Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවන් සේවිකාවකගේ දශක ගණනක මතක අලුත් කළ ඡායාරූපය

2022 වසරේ මුල්භාගයේ හවායි දූපත් සමූහයට අයත් ඕහු දූපතේ සිට මෝයි දූපත බලා ගමන් කළ 94 හැවිරිදි ග්වෙන්ඩලින් බෲන් මුහුණ දුන් අත්දැකීමක් පසුගිය කාලය පුරාවට විශාල වශයෙන් කතාබහට ලක් විය. සිය මිණිබිරියකගේ විවාහ මංගල්‍යයට සහභාගී වීමට යාම සඳහා හොනොලුලු හි පිහිටි “Daniel K. Inouye” ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ඇගේ දශක ගණනාවක් පැරැණි මතකයන් ආවර්ජනය කරන්නට ගුවන්තොටුපොළේ එල්ලා තිබූ ඡායාරූපයකට හැකි විය.

මතකයන් අලුත් කළ ඡායාරූපය

පවුලේ සාමාජිකයන් ද සමඟ ගුවන්තොටුපොළට පැමිණි ඇයට ගුවන්යානයට ගොඩ වීමට පෙර අන්තර් දූපත් පර්යන්තයේ ටික වෙලාවක් රැඳී සිටීමට සිදු විය. එහි රැඳී සිටින අතරතුර එහි බිත්තියක එල්ලා තිබූ ඡායාරූපයක් දුටු ඇය අතිශයින් ම පුදුමයට පත් වූවා ය. හවායි ගුවන් සේවයේ සේවය කළ, නිල ඇඳුමින් සැරසුණු ගුවන් සේවිකාවන් පිරිසක් එක පෙළට සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් වූ එය, 1947 දී ලබා ගත් ඡායාරූපයක විශාල ප්‍රමාණයේ පිටපතක් විය.

ග්වෙන්ඩලින් බෲන් තරුණ වියේ දී – www.cnn.com

ගුවන්තොටුපොළට පැමිණෙන අන් සියලු දෙනාට එය හුදු ගුවන් සේවාවල ඉතිහාසය පිළිබිඹු කරන ඡායාරූපයක් වුවත්, බෲන්ට එය ඇගේම අතීතය සිහිගැන්වූ ඡායාරූපයක් විය.

“මට අනේ දෙවියනේ කියලා කියවුණා. මං ඒ ඡායාරූපයෙන් මීට දශක ගණනකට පෙර සිටි මා දැක්කා. මගේ ඡායාරූපයක් ගුවන්තොටුපළේ බිත්තියේ එල්ලා තිබීම ගැන මං පුදුමයට පත් වුණා.”

ඇය විදෙස් මාධ්‍ය ආයතනයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර සඳහන් කළාය.

ගුවන් සේවිකාවක් ලෙස සේවයට එක් වීම

බෲන් උපත ලබා වසරකට පසු, එනම් 1929 දී හවායි ගුවන් සේවය ආරම්භ කර තිබේ. වර්තමානය වන විට හවායි ගුවන් සේවය ලොව පුරා රටවල් ගණනාවකට ගුවන් සේවා සපයන නමුත් මුල් කාලයේ එහි සේවා හවායි දූපත් සමූහය අතරට පමණක් සීමා විය. අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු සිය මිතුරියක් මාර්ගයෙන් ලැබුණු තොරතුරක් අනුව ගුවන් සේවිකාවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකට අයදුම් කළ බෲන් 1947 සිට 1950 දක්වා වසර තුනක කාලයක් එහි සේවය කළා ය.

බෲන්ට අතීතය සිහිගැන්වූ ඡායාරූපය (ඇය ඉහළ පෙළේ දකුණු කෙළවරෙහි) – www.cnn.com

“ඒ දිනවල ගුවන් සේවිකාවෝ අළු සහ කහ පැහැති නිල ඇඳුමකින් සැරසිලා සිටියා. ඔවුන් ඉතාමත් ආකර්ශනීය යි. මං කුඩා කාලයේ සිට ඔවුන් ගැන පැහැදීමකින් සිටියා, විශේෂයෙන් ම ඔවුන්ගේ නිල ඇඳුම ගැන. මට කවදාහරි දවසක ඒ නිල ඇඳුම අඳින්න අවස්ථාවක් ලැබෙයි කියල මං හිතුවේ නැහැ. කෙසේ වෙතත් අවසානයේ මටත් ගුවන් සේවිකාවක් විදියට සේවය කරන්න අවස්ථාව ලැබුණා. එය මතක රැසක ආරම්භයක්.”

ඇය සිය අතීතය සිහිපත් කරන්නීය.

සත්‍යය සැඟවූ බෲන්

ගුවන් සේවිකාවක් ලෙස සේවයට බැඳීමට පෙර ඇය කිසි දිනෙක ගුවන් යානයක ගමන් කර නොතිබිණි. කෙසේ වෙතත් රැකියාව ලබා ගැනීමේ අරමුණින් ඇය සම්මුඛ පරීක්ෂණය අතරතුර ඒ බව සඟවා තිබේ. සම්මුඛ පරීක්ෂණය අතරතුර අදාළ නිලධාරීන් ඇය ඊට පෙර ගුවන් යානයක ගමන් කර තිබේ ද යන්න විමසූ බවත්, තමන් ඊට ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් බවත් ඇය සඳහන් කළා ය. ගුවන් ගමන් අතරතුර සමහරුන්ට ඇති වන වමනය වැනි රෝග තත්ත්වයන් තිබේ ද යන්න විමසූ අවස්ථාවේ ඇය එවැනි කිසිදු රෝග තත්ත්වයක් නොමැති බව සඳහන් කර ඇත.

හවායි ගුවන් සේවයේ වර්තමාන ගුවන් සේවිකාවන් දෙදෙනෙක් – www.skytraxratings.com

සිය පළමු ගුවන් ගමන අතරතුර අවස්ථා කිහිපයක දී වමනය කිරීමට අවශ්‍ය වූ බව ඇය මෑතක දී පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර සඳහන් කළා ය. එදින තරමක අපහසුතාවක් දැනුනණත් ඒ බව මගීන්ට නොපෙනෙන සේ කටයුතු කිරීමට ඇය වගබලාගෙන ඇත.

“මං හිතුවා මට ගුවන් ගමන් අතරතුර ඇති වන අසනීප තත්ත්වයන් තියෙන බව මගීන්ට දැනෙන්න ඉඩ හරින්න හොඳ නැහැ කියලා. මොකද ගුවන් සේවිකාවක් ලෙස මං ඔවුන්ට විශ්වාසය තැබිය හැකි ආකාරයේ අයෙක් විය යුතුයි.”

ඇය සඳහන් කළා ය.

අමතක නොවන අත්දැකීම්

පළමු ගුවන් ගමන් කිහිපය අතරතුර තරමක අපහසුතාවක් දැනුණත් ඇය ටිකෙන් ටික ඊට හුරු වූවා ය. බොහෝ විට හවායි දූපත් සමූහයට අයත් දූපත් අතර පමණක් ක්‍රියාත්මක වූ ගුවන්ගමන් ඇයට නව අත්දැකීම් රැසක් ගෙන දුන් බව ඇය සිහිපත් කළා ය. සමහර අවස්ථාවල සක්‍රීය ගිනිකඳු ඉහළින් ගුවන්යානා පියාසර කරන විට ලාවා ගලා යන අයුරු දැකීම සහ, සමහර මගීන් සුවඳ හමන මල් පොකුරු රැගෙන ගුවන් යානයට ඇතුළු වීම වැනි සියලු දෑ තමන් ඉතා ප්‍රිය කළ අත්දැකීම් බව ඇය සඳහන් කළා ය.

හවායි ගුවන් සේවයට අයත් ගුවන්යානා කිහිපයක පැරැණි ඡායාරූපයක් – www.cnn.com

විවිධ රටවල සිට පැමිණි, විවිධ තරාතිරම්වලට අයත් මගීන් හමු වූ අයුරු ද බෲන් සිහි කරන්නී ය. රංගන ශිල්පී ජිමී ස්ටුවර්ට් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවක් ඇයට ගුවන්ගමන් අතරතුර හමු වී තිබේ. කොපමණ ප්‍රසිද්ධ හෝ වැදගත් පුද්ගලයන් වුවත් ඔවුන්ට ද සාමාන්‍ය මගීන්ට සේවා සපයන ආකාරයෙන් ම සුහදශීලි අයුරින් සේවාවන් සපයන ලෙස එවකට ගුවන් සේවිකාවන්ට උපදෙස් දී තිබිණි. මත්පැන් බෝතල් රැගෙන ගුවන්යානාවලට ඇතුළු වීමට තැත් කළ මගීන් සහ ආසන පටි පැළඳ ගැනීම ප්‍රතික්ෂේප කරන මගීන් සමඟ කටයුතු කිරීම තරමක් අපහසු වූ බවත් ඇය සඳහන් කළා ය.

මිතුරු මිතුරියෝ

1940 දශකය වන විට ගුවන් සේවිකාවන්ගේ ශරීර ප්‍රමාණය සහ රූපලාවන්‍ය පිළිබඳ ව ඉතා දැඩි රෙගුලාසි පනවා තිබිණි. බෲන්  පවසන්නේ සෑම විට ම සිය සිරුර සිහින්ව තබා ගත යුතු වූ බව ඔවුන් දැන සිටි බව යි. එවකට එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් ලෙස නම් කර නොතිබූ හවායි රාජ්‍යය නියෝජනය කරන්නට හැකි වීම තමන් ලද භාග්‍යයක් බව ද ඇය සඳහන් කළා ය. සමහර අවස්ථාවල ගුවන්යානය තුළ සිටි එක ම ගුවන් සේවිකාව තමන් වූ බවත්, දුෂ්කරතා මධ්‍යයේ වුවත් මගීන් අසනීප වූ අවස්ථා වැනි සෑම අවස්ථාවක දී ම ඉතා හොඳින් සිය රාජකාරිය ඉටු කළ බවත් ඇය සිහිපත් කළා ය.

40 දශකයේ ගුවන් සේවිකාව – www.newsroom.com

ගුවන් සේවිකාවක ලෙස කටයුතු කළ කාලයේ හමු වූ බොහෝ දෙනෙක් පසුකාලීන ව සිය සමීප මිතුරු මිතුරියන් බවට පත් වූ බව බෲන් පැවැසුවා ය. ඇය සඳහන් කළේ එවැනි මිතුරු මිතුරියන් අතර ගුවන් සේවිකාවන්, කාර්මික ශිල්පීන්, ඉංජිනේරුවන්, සහ ගුවන් නියමුවන් ද වන බව යි.

“මට දැනුනා මේ තමයි මට ගැළපෙන ජීවිතය කියලා. ගුවන් නියමුවරියක් වෙන්න ඕනි කියලා මට සමහර අවස්ථාවල දැනුණා, නමුත් ඒක කිසි දිනෙක වුනේ නැහැ. මගේ විවාහයෙන් පසු මං රැකියාවෙන් ඉල්ලා අස් වුණා.”

ඇය සඳහන් කළාය.

විවාහය සහ රැකියාවට සමු දීම

බෲන් හවායි හි විදුලි සමාගමක සේවය කළ කා(ර්)ල් බෲන් සමඟ 1950 දී විවාහ වූවා ය. ඔවුන්ගේ පළමු දරුවා 1951 දී උපත ලැබූ අතර ඒ වන විට ඇය රැකියාවෙන් ඉල්ලා අස් වී තිබිණි. 1950 දශකය වන විට විවාහක යුවතියන් ගුවන් සේවිකාවන් ලෙස කටයුතු කිරීම ඉතා දුර්ලභ වූ බව කියැවේ. ඔවුන්ට තවත් දරුවන් සිව් දෙනෙක් ලැබුණු අතර 2012 දී කා(ර්)ල් මිය යන විට ඔවුන් විවාහ වී වසර 62ක් ගත වී තිබිණි. මේ වන විට බෲන්ට මුණුබුරු මිණිබිරියන් 11ක් සහ ඔවුන්ගේ දරුවෝ 24ක් සිටිති.

බෲන්ගේ විවාහය – www.cnn.com

ගුවන් සේවිකාවක ලෙස කටයුතු කළේ මීට දශක කිහිපයකට පෙර වුවත් ඇය තවමත් ගුවන්යානාවල ගමන් කිරීමට කැමැත්තක් දක්වන්නී ය. ඇගේ මිණිබිරියන් කිහිප දෙනෙක් ඇතුළු පවුලේ සාමාජිකාවන් කිහිප දෙනෙක් ද හවායි ගුවන් සේවයේ සේවය කර ඇති බව පැවැසේ.

“හවායි ගුවන් සේවය සමඟ කාලය ගත කරන්නට ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මට කවදාවත් ඒ අත්දැකීම් අමතක වෙන්නේ නැහැ. නිල ඇඳුමින් සැරසුණු තරුණ ගුවන් සේවිකාවන් දකින විට මට මාව මතක් වෙනවා. මං මටම හිනා වෙලා ‘මං දන්නවා ඔවුන්ටත් මුහුණ දෙන්න වෙන අත්දැකීම්’ කියලා කියාගන්නවා.”

ඇය පැවැසුවා ය.

කවරයේ ඡායාරූපය - ගුවන්තොටුපොළේ එල්ලා තිබූ ඡායාරූපය දෙස බලා සිටින 94 හැවිරිදි ග්වෙන්ඩලින් බෲන් - www.abc17news.com
මූලාශ්‍ර :
www.cnn.com
www.abc17news.com
www.dustyoldthing.com
www.jetlinemarvel.com

Related Articles