Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම නව නිපැයුම්කරුවා – ආචාර්ය රේ විජයවර්ධන

රෝද දෙකේ අත් ට්‍රැක්ටරය ලෝකයට හඳුන්වා දෙන ලද්දේ ලාංකික ඉංජිනේරුවෙක් විසින්. නමුත් ඒ පිළිබඳව ලංකා රජය අවධානය යොමු නොකිරීම හේතුවෙන් එම නිෂ්පාදනයෙන් වඩා ආර්ථික ලාභ ලබන්නේ වෙනත් රටවල්. අත් ට්‍රැක්ටර වගේම දේශීයව සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් යානා ද නිර්මාණය කිරීමට මේ ශ්‍රී ලාංකිකයා සමත් වෙනවා. නමුත් එවකට ශ්‍රී ලංකාවේ පැවති ආරක්ෂක තත්ත්වය ද ප්‍රධාන හේතුවක් කරගනිමින් ඒ සඳහා අවශ්‍ය සහාය රජය මඟින් ඔහුට ලැබෙන්නේ නෑ.

වරෙක මොරටුව විශ්විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ද, වරෙක තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපතිවරයා  ලෙස ද කටයුතු කළ මේ විද්වතා ඔබ අප අසා තිබෙන රේ විජේවර්ධන හෙවත් ආචාර්ය පිලිප් රේවත විජයවර්ධන යි. ලංකාවෙන් බිහි වූ අනෙකුත් විද්වතුන් මෙන්ම රේ විජයවර්ධනගෙන් ද උපන් බිමට සේවය ලබා ගැනීමට එවකට පැවති ආණ්ඩු උත්සාහ නොකළ බව සඳහන් කිරීම නිවැරදි යි.

කුඩා කළ සිට පැවති ගුවන් යානා උමතුව 

තරුණ රේ (static.ft)

1924 වසරේ අගෝස්තු මස 20 වන දින කොළඹ උපත ලබන පිලිප් රේවත විජයවර්ධන සුප්‍රසිද්ධ විජයවර්ධන පවුලට නෑකම් කියයි. ඔහුගේ පියා ඩි. ආර්. විජයවර්ධනගේ සොයුරෙකි. මව්පියන් දෙදෙනාම වෘත්තියෙන් වෛද්‍යවරුන් වූ අතර කුඩා අවධියේ පළමුව කොළඹ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබනවා. පසුව ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළු වී ද්විතික අධ්‍යාපනය හදාරනවා. කුඩා වියේ සිටම ගුවන් යානා හා හෙලිකොප්ටර් පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ රේ පාසල් අවධියේම රහසිගතව ගුවන් යානාවක් නිර්මාණය කිරීමට උත්සාහ දරනවා.

පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව රේ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් වෙනවා. එහිදී ප්‍රධාන ඉංජිනේරු ක්ෂේත්‍රයන් තුනක් යටතේ අධ්‍යාපනය හැදෑරීමට ඔහු තීරණය කරනවා. ඒ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, කෘෂි ඉංජිනේරු විද්‍යාව, හා ගගන ඉංජිනේරු විද්‍යාව යි. අධ්‍යාපනය සාර්ථකව හදාරා නිමා කරන ඔහු වරලත් ඉංජිනේරුවෙක් දක්වා තම වෘත්තියෙන් ඉහළට ගමන් කරනවා. පසුව ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් ද අධ්‍යාපනය ලබා ගන්නවා.

අධ්‍යාපනයෙන් පසුව නිවර්තන රටවල කෘෂිකර්මය පිළිබඳ විශේෂඥයෙක් ලෙස එක්සත් ජාතීන්ගේ කෘෂිකර්ම හා ආහාර වැඩසටහෙනේ (FAO) හා ලෝක බැංකුවේ සේවය කිරීමට රේ විජේවර්ධන එකතු වෙනවා. ඔහු 1973 සිට 1974 දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර්හි යාන්ත්‍රික හා ස්වයංක්‍රීය පර්යේෂණ මධ්‍යස්ථානයේ (MARDI) කෘෂිකාර්මික ඉංජිනේරු අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරනවා.1975 – 1979 කාල සිමාවේ දී ඔහු නිවර්තන කෘෂිකර්මය පිලිබඳ ජාත්‍යන්තර ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. එහිදී  ”Conservation Farming” (සංරක්ෂණ ගොවිතැන) කෘතිය රචනා කරනවා. 

2002 –  2007 කාල සීමාවේ දී මොරටුව විශ්විද්‍යාලයේ කුලපතිවරයා ලෙසත් තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස හා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ ප්‍රධානියා ලෙසත් කටයුතු කරනවා. පොල් පර්යේෂණ ආයතනය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ජාතික විද්‍යා සභාව හා ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය ඔහුගේ සේවය ලැබූ තවත් ආයතන ලෙස හැඳින්විය හැකි යි.

සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් නිර්මාණය 

සැහැල්ලු ගුවන් යානයක් සමග (alchetron)

සැහැල්ලු ගුවන් යානා හා සැහැල්ලු හෙලිකොප්ටර් යානා නිර්මාණය සඳහා ඉහළ හැකියාවක් හා දැඩි කැමැත්තක් දැක්වූ ඔහු තම නනිවසේ ම සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් යානා කිහිපයක් නිර්මාණය කරනවා. ඔහු සැහැල්ලු ගුවන් යානා දහයකුත්, හෙලිකොප්ටර් යානා තුනකුත් නිර්මාණය කළ බව සඳහන්. එම ගුවන් යානා “සූටික්කා”, “කූරා”, හා “ලිහිණියා” වැනි නම්වලින් හඳුන්වනු ලබනවා.

80 දශකයේ දී ලංකාවේ පැවති යුදමය තත්ත්වය මෙම යානා නිර්මාණය සඳහා ඔහුට විශාල බාධාවක් වූ අතර නිර්මාණ කෙරෙහි දිරි ගැන්වීම් කිසිවෙක් සිදුවන්නේ නෑ. 2000 වසරෙන් පසුව එවකට පැවති ආරක්ෂක තත්ත්වය මත පෞද්ගලික ගුවන් යානා ගුවන්ගත කිරීමට රජය විසින් අවසර ලබා දෙන්නේ නෑ. ඉන් පසුව කිසිම දිනෙක රේ විජේවර්ධනගේ ගුවන් යනා ගුවන්ගත වන්නේ නෑ.

රෝද දෙකේ ට්‍රැක්ටරය නිර්මාණය 

රෝද දෙකේ ට්‍රැක්ටරය සමග රේ (srilankastamps)

රෝද හතර ට්‍රැක්ටරය අභිබවා රෝද දෙකේ ට්‍රැක්ටරය බිහිකිරීම ඔහුගේ විශිෂ්ට කාර්මික දැනුමේ ප්‍රතිඵලයක් ලෙස සඳහන් කළ හැකියි.1950 දී ඔහු විසින් ඝර්ම කලාපීය රටවල කුඩා පරිමාණයේ ගොවීන්ට වඩාත් පහසුවෙන් හැසිරවිය හැකි, නඩත්තුවට වඩාත් පහසු අත් ට්‍රැක්ටරය නිර්මාණය කරනවා. නමුත් එය මෙරට දී වාණිජව නිෂ්පාදනය කිරීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නෑ. ඉන්පසුව, එංගලන්තයේ දී එය වාණිජ මට්ටමින් නිපදවා ලොව පුරා බෙදා හැරීමට ඔහුට යෝජනාවක් ලැබෙන අතර ඒ සඳහා ඔහු සිය කැමැත්ත පල කරනවා. ජපානය ඇතුළු වෙනත් රටවල ද එම රෝද දෙකේ ට්‍රැක්ටරය විවිධ වෙළෙඳ නම්වලින් නිපදවීම ආරම්භ වන්නේ ඉන් පසුව යි. 

එක්සත් රාජධානිය,ඔස්ට්‍රේලියාව, පිලිපීනය, ඉන්දියාව, මැලේසියාව ආදි රටවල් ගණනාවක රෝද දෙකේ ට්‍රැක්ටරය කෘෂිකර්මාන්තය සඳහා යොදාගන්නා අතර ශ්‍රී ලංකාවේ ද ජනප්‍රිය හා වාසිදායකම ට්‍රැක්ටරය බවට අදටත් පත්ව ඇත්තේ මේ රෝද දෙකේ අත් ට්‍රැක්ටරය යි. 

පිහිනුම් ශූරයා 

රේ විජයවර්ධන (movingimages)

රේ ජල ක්‍රීඩාවේ දස්කම් දැක්වූ විශිෂ්ට ක්‍රීඩකයෙක් ලෙස හැඳින්විය හැකි යි. කොළඹ ඔරු පැදීමේ සමාජයේ සාමාජිකයෙකු වූ ඔහු ජාත්‍යන්තර තරගකාරී යාත්‍රා ඉසව් සඳහා ලංකාව නියෝජනය කරනවා. රේ විජයවර්ධන 1968 දී මෙක්සිකෝ ඔලිම්පික් උළෙලට ද ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙනවා. 1970 දී බැංකොක් නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ද ඔහු සමත් වෙනවා.

මූලාශ්‍ර - raywijewardene.net

Related Articles