ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා සලකුණ – කුමාර් සංගක්කාර

2011 වසරේදී ලන්ඩන් නුවර සුප්‍රකට කොලින් ක්‍රවුඩි දේශනය පවත්වන්නට එදා මෙදා තුර සහභාගී වූ එකම ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් ඉතිහාසයේ එවැනි ඇරයුමක් ලැබූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසත් ක්‍රීඩාවේ නියැලී සිටින අතරතුරදීම එම සම්මානය ලැබූ ක්‍රීඩකයෙක් ලෙසටත් වාර්තා පොත් වල ලියැවුණු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ඔබ අප කවුරුත් හොදින් දන්නා සංගා හෙවත් කුමාර් සංගක්කාරයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් ලෙසත්, ප්‍රබල ලෙස පන්දුවට පහර දෙන්නෙකු ලෙසත් කඩුලු රකින්නෙකු ලෙසත් ලෝක වාර්තා කිහිපයකට උරුමකම් කියන ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ මෙම ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා ගැන දැන ගන්නට බලා සිටින ඔබ වෙනුවෙන් ලියා තැබෙන මේ සටහනට එක් කරන්නට තවත් දේ තිබෙනවානම් comment තීරය හරහා ඔබට ඉඩ ලබා දී තියනවා.

බැඩ්මින්ටන් හා ටෙනිස් ක්‍රීඩාවට ජාතික වර්ණ දිනූ කුඩා කුමාර්

ශිෂ්‍ය අවධියේදී (Cricket Trolls)

ස්වර්ණකුමාර සංගක්කාර හා කුමාරි සුරංගනා යන දෙමවුපියන්ට දාව 1977 වසරේ ඔක්තෝම්බර් 27 වන දින මාතලේදී උපත ලබන කුමාර් චෝක්සානන්ද සංගක්කාර පසුව මවුපියන් නුවර ප්‍රදේශයට ස්ථිර පදිංචිය සඳහා යෑම හේතුවෙන් හැදී වැඩෙන්නේ නුවරයි.

විමින්දු, තුෂාරි හා සාරංගි, කුමාර්ගේ සහෝදර සහෝදරියන් වෙනවා. මොහු ප්‍රාථමික අධ්‍යාපනය හා ද්විතික අධ්‍යාපනය ලබන්නේ නුවර ත්‍රිත්ව විද්‍යාලයෙන්. එහිදී තෝරා ගැනීමකින් තොරව කුඩා කුමාර් බැඩ්මින්ටන්, ටෙනිස්, පිහිනීම හා මේස පන්දු වැනි ක්‍රීඩා වලට ඉහළ හැකියාවක් පෙන්නුම් කරනවා. ක්‍රීඩා රාශියක නිරත වෙමින් පවා ඔහු කුඩා අවදියේම බැඩ්මින්ටන් හා ටෙනිස් ක්‍රීඩාවන්ට ජාතික වර්ණ දිනා ගන්නවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට උපරිම හැකියාවන් පෙන්වන බැවින් ක්‍රිකට් සඳහා යොමු කරන්නේ එවකට ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති කර්නල් ලෙනාඩ් ද අල්විස් විසින්.

ඕල් රවුන්ඩර්ට හිමි රූඩ් රන් පදක්කම  දිනා ගැනීම

සංගක්කාරගේ කවර් ඩ්‍රයිව් පහර (Askmen India)

13, 15, 17 හා 19න් පහළ ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම් වල නිත්‍ය සාමාජිකයෙක් වන සංගක්කාර 1996දී ලකුණු දහස සිමාව ඉක්මවා ලකුණු රැස් කළ ක්‍රීඩකයෙක් ලෙස වාර්තා පොතට එක් වෙනවා. 1997දී ශාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ පැවති 81 වන “නිල් මහා සටනේදී” ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායමේ නායකත්වය දරන්නේ මොහුයි. දැක්වූ දක්ෂතා හේතුවෙන් එම වසරේම 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් වීමේ හැකියාව සංගක්කාරට හිමි වෙනවා.

පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් වූ සංගක්කාර උසස් පෙළ වසර වල ඉගනුම ලබන විට ත්‍රිත්ව විද්‍යාලයේ හැම අතින්ම දක්ෂ ක්‍රීඩකයාට හිමිවෙන රූඩ් රන් පදක්කම දිනා ගන්නවා.1998-99 වසර වල පැවති දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් සංචාරය සඳහා 19 හැවිරිදි සංගක්කාර තෝරා ගනු ලබන අතර එහිදී සිම්බාබ්වේ ඒ කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 156ක් ලබා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් වීමේ හැකියාව ලැබෙනවා.

නීතිඥ පරපුරකට උරුමකම් කියන සංගක්කාරට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුල් වීමට හැකියාව ලැබුනත් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීම හේතුවෙන් උපාධිය සම්පුර්ණ කිරීමට හැකියාව ලැබෙන්නේ නෑ.

ටෙස්ට් ජයග්‍රහණ

2001දී ප්‍රථම ටෙස්ට් ශතකය ලබා ගැනීමෙන් පසුව (elakolla.com)

ගාල්ලේදී පළමු ටෙස්ට් ශතකය වාර්තා කරන්නේ මුත්තයියා සමඟ එක් වී 2001 වසරේ ඉන්දියාවට එරෙහිවයි. 2002 වසරේදී පැවැත්වුණු ආසියානු ටෙස්ට් ශූරතාවලියේදී පාකිස්ථානයට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කරන්නටත්  සංගක්කාරට හැකිවෙනවා. 2004 මැයි මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු ටෙස්ට් තරඟයේදී සිම්බාබ්වේට එරෙහිව ත්‍රිත්ව ශතකයක් ආසන්නයට පැමිණෙන සංගක්කාර ලකුණු 270ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී යනවා.

ලෝක වාර්තා රාශියකට හිමිකම් කියන සංගක්කාර ටෙස්ට් වාර්තා දෙකකට හිමිකම් කියනවා. ටෙස්ට් තරඟ හතරකදී අඛණ්ඩව ලකුණු 150කට වැඩි ප්‍රමාණයක් ලබාගත් එකම ක්‍රීඩකයා වන්නේ ඔහුයි. 2006 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව තුන් වන කඩුල්ල සඳහා ලකුණු 624ක් ලබා ගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවන්නේ මහේල ජයවර්ධන සමඟයි.

2006 වසරේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ශ්‍රේණි ගතකිරීම් වලින් පළමු ස්ථානය ලබා ගන්නේ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන්. මීට අමතරව සංගක්කාර විසින් ලබා ගත් ද්විත්ව ශතක හය කඩුලු රකින්නෙකු විසින් ලබා ගත් වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා 120,000 ලකුණු සීමාව පසුකළ ඔහු 10,000 සීමාවේ වේගවත්ම වාර්තාවට හිමිකම් කියනවා. ඒ වගේම ලෝකයේ හොදම ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකත්වය හය වතාවක් සංගක්කාරට හිමි වෙනවා.

ඔහු තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ තරඟ 133කට සහභාගී වී 57.71ක සාමාන්‍ය ලකුණු ප්‍රමාණයක් රදවා ගැනීමට සමත් වෙනවා. ශතක 38ක් හා අර්ධ ශතක 52ක් සමඟින් රැස් කර තිබෙන ටෙස්ට් ලකුණු ප්‍රමාණය 12,350ක්. තරඟයකදී ලබා ගත් ඉහළම ටෙස්ට් ලකුණු ප්‍රමාණය 319ක්.

එක්දින ජයග්‍රහණ

ප්‍රථම එක්දින ශතකය ලබා ගනිමින් (Dailymotion)

ඔහු සහභාගී වන දෙවන එක් දින තරඟයෙදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 85ක් ලබා ගනිමින් තරඟයේ වීරයා බවට පත් වෙනවා. නමුත් එක්දින ශතකයක් ලබා ගැනීමට ඔහුට තරමක කාලයක් බලාගෙන සිටීමට සිදු වෙනවා. පළමු එක්දින ශතකය වාර්තා කරන්නේ 2003 වසරේ පාකිස්තානයට එරෙහිවයි.

මෙයට පෙර සනත් ජයසූරිය විසින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලබාගෙන ඇති උපරිම එක්දින ලකුණු ප්‍රමාණය වන 13,430 වාර්තාව බිද දමා නව වාර්තාවක් පිහිටුවන්නේ සංගක්කාර විසින්.

එක්දින තරඟ 404කට සහභාගී වී ඇති සංගක්කාරගේ සාමාන්‍ය ලකුණු ප්‍රමාණය වන්නේ ලකුණු 41.98ක්. ශතක 25ක් හා අර්ධ ශතක 93ක්ද ඇතුළුව ලකුණු 14,234ක් ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා. උපරිම ලකුණු සංඛ්‍යාව 169ක්.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඔබ්බට

සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම් නායක කුමාර් සංගක්කාර හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම් නායක මහේල ජයවර්ධන (Indian Cricket Team Updates)

ශ්‍රීරී ලංකා කණ්ඩායමෙන් ඔබ්බට 2007 වසරේදී පියනගන සංගක්කාර එංගලන්තයේ වෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමත් සමඟ ගිවිසුමකට අත්සන් කරනවා. ඊට අමතරව ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟ ගණනාවකට සහභාගී වී ඇති සංගක්කාර සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය පවා දරා තිබෙනවා.

වාර්තා පිහිටවූ කඩුළු රකින්නෙකු ලෙස

කඩුලු රකින්නෙක් ලෙස (Getty Images)

ප්‍රබල පිතිකරණයට අමතරව දක්ෂ කඩුලු රකින්නෙකු ලෙස 2000-2015 කාලය තුළ ටෙස්ට් තරඟ 133කට සහභාගී වී ක්‍රීඩකයන් 202ක් දවාගෙන ඇති අතර මොහු  එක්දින තරඟ 404කට සහභාගී වී ක්‍රීඩකයන් 501ක් දවාගෙන තිබෙනවා. එලෙස සංගා බිද දමන්නේ ඇඩම් ගිල්ක්‍රිස්ට් විසින් තැබූ වාර්තාවක්. 2006 වසරේ සිට ටී 20 තරඟ 56කට සහභාගී වී කඩුලු 45ක් බිඳ දමා තිබෙනවා.

සම්මාන

2012 වසරේදී ICC සම්මාන තුනක් දිනාගනිමින්. හොදම ක්‍රීඩකයා, හොදම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා, LG ජනතා සම්මානය යන ත්‍රිත්වය. (Getty Images)

2011 හා 2013 වසර වලදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හොදම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වන සංගක්කාර 2012 වසරේ හොදම ක්‍රීඩකයාට හා හොදම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මාන දිනා ගන්නවා. 2011 හා 2012 වසර වලදී හොදම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස එල්.ජි ජනතා සම්මානය ලබා ගන්නෙත් සංගක්කාරයි.

2011 හා 2015 වසරේදී ලෝකයේ ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩම් සම්මානය හිමි කර ගැනීමට මොහු සමත් වෙන අතර දෙවරක් මෙම සම්මානය ලබා ගත් ලොව අනෙක් එකම ක්‍රීඩකයා වන්නේ ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් පමණයි.

ජනතා මෙහෙවර

“ජීවිතයට සංගක්කාරගේ බයිසිකල්” වැඩසටහන යටතේ උතුරේ දරුවන්ට බයිසිකල් බෙදා දෙමින් (Sunday Times)

“ජීවිතයට සංගක්කාරගේ බයිසිකල්” නම් සමාජ සුබසාධක ව්‍යාපෘතියක් මඟින් තිස් වසරක බියකරු යුද්ධයෙන් බැටකෑ උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ජීවන මට්ටම යහපත් කිරීමේ අරමුණින් ඔවුන් වෙත බයිසිකල් ලබා දීමේ පියවර සංගක්කාරගේ එක් සමාජීය මෙහෙවරක්.

එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් නිවාරණ වැඩසටහන, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හා යුනිසෙෆ් ආයතනය විසින් එක් වී කරනු ලබන ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීම වැළක්වීම, ඒඩ්ස් රෝගය වැළදුණු පුද්ගලයන්හට සමාජීය වශයෙන් ඇති බාධක ඉවත් කිරීම වැනි ක්‍රියාමාර්ග වලදී ඒ හා සම්බන්ධව කටයුතු කරන පාර්ශවකරුවෙක් ලෙස මේ වන විට සංගක්කාර කටයුතු කරනවා. ඊට අමතරව වර්තමාන ජනපතිවරයා විසින් ආරම්භ කර ඇති මත්ද්‍රවය නිවාරණ වැඩසටහනේ සන්නාම තානාපතිවරයා වන්නේත් ඔහුයි.

වර්තමානය වන විට ළමා පරපුරේ සුබසාධන කටයුතු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගති ලක්ෂණ එලෙසින්ම ආරක්ෂා කළ ක්‍රීඩකයෙක් ලෙස ලොව පුරා කීර්තියක් දිනා ගැනීමට සමත්ව සිටිනවා.

කවරයේ පින්තුරය: thelittlenews.com

Related Articles

Exit mobile version