Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමුගත් ලෝක බලවතා – ඔබාමා (“ඔබාමා-ලෝක බලවතා වීමට පෙර” නම් ලිපියේ දෙවන කොටස )

ලොව බලවත් රටක බලවත් නායකයෙක් පසුදිනක සමුගෙන ගියේය. ඒ ජනතා අප්‍රසාදය මැද නොව ව්‍යවස්ථානුකූලව, නීතියට ගරු කරමින්. ඔහුගේ නික්ම යාමත් සමඟ ලොව නන්දෙසින් මෙම ජනාධිපතිවරයාට තුති මල් මෙන්ම විවේචනද එල්ල වෙමින් පවතිනවා.

ඉතින් අද ලිපියේ ඉඩ වෙන් කරන්නට අදහස් කළ ඒ පුද්ගලයා අන් කවරෙකුත් නොව ඇමරිකා එක්සත් ජනපදයේ 44 වන ජනාධිපති බරක් හුසේන් ඔබාමාය. තම දෙවන ධූර කාලය අවසන් වීමත් සමඟ ඔහු පසුගිය 11 වනදා 44 වන ජනාධිපති ලෙසින් අවසන් වරට ජනතාව අමතමින් තම අවසන් ජනහමුව පවත්වන්නට විය. මෙයට පෙර ඉවත් වීමේදී ජනතා ප්‍රසාදය දිනාගත් ඇමරිකානු ජනාධිපතිවරුන් අතරින් ප්‍රමුඛත්වය ගෙන සිටියේ බිල් ක්ලින්ටන්ය. වසර අටක ජනාධිපති ධූරයට සමුදෙන ඔබාමාද ඔහු හා සමානව ඉවත් වන මොහොතේ 57%ක ජනප්‍රසාදයක් දිනාගෙන සිටිනවා.

මෙයට පෙර ඔබාමා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට පත් වීමට ප්‍රථම ඔහුගේ ළමාවිය තරුණ විය හා දේශපාලනික දිවිය පිළිබඳව අපි ඔබ වෙත ඔබාමා – ලෝක බලවතා වීමට පෙර නමින් ලිපියක් ගෙන ආවා. ඉතින් අද අප ගෙන එන්නේ 2008 වසරේ පැවති ජනාධිපති ජයග්‍රහණයේ සිට 2017 දී ඔහු සිය ධූරයෙන් ඉවත් වන තුරු කළ කී දෑ සම්බන්ධවයි. මීට අමතරව ඔබට හැඟෙන පරිදි ඔබාමා ඇමරිකානු ජනතාවට මෙන්ම ලෝක ප්‍රජාව උදෙසා කළ සේවාවන් හෝ ඔහු පිළිබඳව ඇති විවේචන comment එකකින් සටහන් කරන්න අවස්ථාව තිබෙනවා.

ප්‍රථම වරට හා දෙවන වරට ජනාධිපති වූ ඩිමොක්‍රටික් අපේක්ෂකයා

”වෙනස”- ඔහුගේ පළමු ජනාධිපතිවරණයේ තේමාව (Vivelohoy)

ඔබාමා මෙයින් අවුරුදු 8 කට පෙර එනම් 2008 වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කලේ  52.9%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින්. 2009 වසරේ ජනවාරි 20 වෙනිදා ඇමරිකාවේ 44 වෙනි ජනාධිපතිවරයා ලෙස බරක් ඔබාමා ප්‍රථම වරට ධූරයේ දිවුරුම් දෙද්දී ඇමරිකානු ජනතාව තුළ දැල්වුණු නව බලාපොරොත්තුව වූයේ මින් ඉදිරියට සුදු ඇමරිකාවක් හෝ කළු ඇමරිකාවක් නොව සැමට උරුමවූ එක්සත් ඇමරිකාවක් ඇතිවනු දැකීමයි. ඔහු ධවල මන්දිරයට පැමිණියේ ප්‍රථම අප්‍රිකානු-ඇමරිකානු කළු ජාතික ජනාධිපතිවරයා ලෙස ඉතිහාස ගත වෙමින්.

ප්‍රථම කළු ජාතික අපේක්ෂකයා වීම, බුෂ් පාලන ක්‍රමය හා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය පිළිබඳව තිබු මහජන විරෝධය මෙන්ම 2003 වර්ෂයේ සිට පැවති ඇමරිකානු ආර්ථික අවපාතය හා ඔබාමා කෙරෙහි තිබු සහජ කථිකත්වය තුළින් 2008 වසර තුළදී ඔහුට ජයග්‍රහණය කිරීමට හැකි වූ බව විචාරකයන් පෙන්වා දෙනවා.

තම ප්‍රථම පත් වීමෙන් අනතුරුව ඔබාමා දෙවන වරටද 2013 වසරේ ජනවාරි මස ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට පත් වන්නේ ඡන්ද පීඨ 332ක බලය(51.1%) ලබා ගනිමින්. ඔහුගේ ප්‍රතිවාදියා වු රිපබ්ලිකන් පක්ෂයේ මිට්රොම්ට ලබාගත හැකි වන්නේ ඡන්ද පීඨ 206ක්(47.2) පමණයි.

Sub Prime  අර්බුදය හමුවේ ඔබාමා

බංකොලොත් වූ ලිමන් බ්‍රදර්ස් බැංකුව වසා දැමීමෙන් පසු ඉන් පිටවන සේවකයෙක් (www.investors.com)

2000 වර්ෂයේ සිට ඇමරිකානු ආර්ථිකය දීර්ඝ ආර්ථික අවපාතයකට යොමු කරමින් සිටි Sub Prime අර්බුදය ආරම්භ වන්නේ ඇමරිකානු මුල්‍ය පද්ධතිය තුළ වූ මුල්‍යමය නියාමන වල දුර්වලතා හේතුවෙන් පුද්ගල ණය අත්තිකාරම් ලබා දීමේදී හා එම සඳහා ලබාදුන් දේපළ ඇප ප්‍රතිමූල්‍යකරණයේදී ගැටළු මතු වීමයි. නිවාස හා දේපළ ණය අත්තිකාරම් අය කර ගත නොහැකි වීම ඒ තුලින් පැන නැගුණු  ආර්ථික අර්බුදයයි.

මෙයින් ඇමරිකා එක්සත් ජනපදයේ මුල්‍ය අංශයේ ප්‍රබල කඩාවැටීමක් ඇතිවිය. ලිමන් බ්‍රදර්ස්, මෝගන් සැටැන්ලි හා ගෝල්ඩන් සාච් වැනි අධි ආයෝජන බැංකු කඩා වැටී රජයෙන් ආධාර අපේක්ෂා කරන්නට වුණා. මුල්‍ය ආයතනයක් තුළ වූ අක්‍රමිකතා නිවැරදි කර ඒවා ප්‍රතිව්‍යුහ ගත කිරීම එම ආයතන වලට අයත් ක්‍රියාවක් බවත් ඒ සඳහා මහජන බදු මුදල් ලබා නොදෙන බවටත් ඔබාමා ප්‍රකාශයක් නිකුත් කරන්නට විය.

ඒ ප්‍රකාශයත් සමඟ මුල්‍ය ආයතන කිහිපයක් බංකොලොත්ව වසා දැමුනත් මුල්‍ය අංශයේ දිගු කාලීන පැවැත්ම උදෙසා එම තීරණය ඉවහල් වූ බව ඇමරිකානු ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙනවා.

මිලියන 20ක ජනතාවට සොඛ්‍ය ආරක්ෂණයක් සැපයූ “ඔබාමාකෙයාර්”

Affordable Healthcare Act ඔබාමා විසින් සිය අත්සන යොදා සම්මත කළ අයුරු (www.politicususa.com)

ඔබාමා ජනාධිපතිවරයා ලෙස පත් වන විට ආර්ථික වශයෙන් පසුබසිමින් සිටි ඇමරිකා එක්සත් ජනපදය ගමන්කරමින් සිටි දිශාව නිවැරදි යැයි ප්‍රකාශ කළේ සමස්ත ඇමරිකානුවන්ගෙන් 13% ක් පමණයි.

මෙසේ අපේක්ෂාභංගත්වයට පත්ව සිටි ජනතාවට නව බලාපොරොත්තු ඇතිකරමින් “ඔබාමාකෙයාර්” නමින් නව සෞඛ්‍ය සහනසේවා ක්‍රමයක් ඇරඹීම මොහුගේ පාලන කාලය තුළ සිදු කළ තවත් වැදගත් ව්‍යාපෘතියක්.

ඇමරිකානු සෞඛ්‍ය ආරක්ෂණයේ පැවති අයහපත් තත්වයන් ඉවත් කරමින් ඔබාමා තම මුද්‍රා සලකුණු ලෙස හැදින්වූ ව්‍යාපෘතියක් වන “Affordable Healthcare Actවිශාල පරිශ්‍රමයක් දරා සම්මත කරගන්නේ රිපබ්ලිකන් පක්ෂයේ විරෝධතා හමුවේයි. “ඔබාමාකෙයාර්” ලෙස හැදින්වූ මෙම ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය ආරක්ෂණයක් ලබා ගැනීමට නොහැකි වූ මිලියන 20කට අධික ඇමරිකානුවන්ට සෙත සැළසෙනවා.

නමුත් මෙය මධ්‍යම ප්‍රාන්තික ඇමරිකානුවන්ට අහිතකර ලෙස බලපා ඇති බව පවසන නව ජනාධිපතිවරයා මෙම සෞඛ්‍ය ආරක්ෂණ පනත සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන අවම කිරීමේ විධායක නියෝගයකට අත්සන් තැබීම තමන් ගනු ලබන ප්‍රථම පියවරවල් අතරින් එකක් බව සදහන් කරනවා.

විරැකියාව අවම කළ Stimulus Plan

මේ වන විට විරැකියාව  (MINING.com)

ඇමරිකානු රාජ්‍ය වියදම ඇ;ඩො බිලියන 787ක මුදලක් යොදාගනිමින් පුළුල් කළ ඔබාමා සමස්ත ආර්ථිකය සක්‍රීය කිරීම අරඹනවා. ඉහත ක්‍රියාවලිය හේතුවෙන් 2008 වර්ෂයේ ඔහු ජනාධිපති ධූරය ලබාගන්නා විට එරට පැවති 10%ක විරැකියාව මේ වන විට 5% දක්වා අඩු වී තිබෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව තුළ සිදුවූ වැඩිම රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වීම මෙම කාලය තුළදී තමයි සිදුවෙන්නේ.

විදේශීය ප්‍රතිපත්තිය

ඔබාමාගේ කියුබා සංචාරය – රාවුල් කැස්ත්‍රෝ සමඟ (CNN.com)

දෙවෙනි ධූර කාලය ආරම්භයේදීම ඔබාමා තම විදේශ ප්‍රතිපත්තිය තුළින් වැඩි ජනතා ප්‍රසාදයක් දිනාගෙන තිබෙනවා.

මෙහිදී කියුබාව සමඟ දීර්ඝ කාලයක් තිස්සේ පැවති විරසකකම් අමතක කරමින් 1928දී කෙල්වින් කුලිජ් ජනාධිපතිවරයාගේ කියුබානු සංචාරයෙන් වසර 54 කට පසු ඔබාමා ඇමරිකානු ජනාධිපතිවරයෙක් ලෙස කියුබාවේ සංචාරය කරන්නේ 2016 වර්ෂයේ මාර්තු මාසයේයි. දෙරට අතර තානාපති සම්බන්ධතා ඇති කිරීම, කියුබාවට එරෙහිව පනවා තිබු ඇමරිකානු ආර්ථික සම්බාධක ලිහිල් කිරීම හා කියුබානු රජයෙන් අවසර නොගෙන ඇමරිකාවට එන කියුබානු පුරවැසින්ට ඇමරිකානු පුරවැසිභාවය ලබා නොදීම වැනි ප්‍රගතිශීලි සම්මුතීන් සඳහා ඔහු එකඟත්වය පළකරනවා.

ඇමරිකාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්ව සිටි මෙන්ම 9/11 ප්‍රහාරයේ සැළසුම්කරු වන ඔසාමා බින් ලාඩන් මරණයට ලක්වීම, ඉරාකයේ හමුදා මෙහෙයුම්වලින් ඇමරිකාව ඉවත්වීම මෙන්ම විශේෂයෙන් සඳහන් කළ හැකි ආකාරයේ යුද ගැටුම්වලට මැදිහත් නොවීම ඔබාමාගේ ලක්ෂණයක් ලෙස සදහන් කළ හැකියි. 2009 වසරේදී බරක් ඔබාමා නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීමට හේතුවූයේ ද ලෝක සාමය පිළිබඳව ඔහු දැරූ ධනාත්මක ආකල්ප හේතුවෙනි.

කෙසේ නමුත් ක්‍රමයෙන් ලෝක දේශපාලනය තුළ ඇමරිකානු ආධිපත්‍යය පෙන්නුම් කරමින් ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු හමුදා භට සංඛ්‍යාව වැඩිකරන ඔබාමා ලිබියාවට එරෙහිව හමුදා මෙහෙයුමක් දියත්කරනවා. තම බලවත්බව පෙන්වමින් ඉරානය සමග න්‍යෂ්ඨික ගිවිසුමක් ඇතිකරගනිමින් ඔවුන්ගේ වැඩපිළිවෙල අඩාළ කිරීම සඳහා මැදිහත්කරුවකු ලෙසද කටයුතු කරනවා.

ජෙනරල් මෝටර්ස් සමාගමෙන් වැඩි කොටසක් ජනසතු කිරීම

නොබෙල් සම්මානය ලබා ගනිමින් (Zero Hedge)

ඔහු බලයට පත්වන විට දිගින් දිගටම පාඩු ලබමින් සිටි ඇමරිකාවේ විශාල මෝටර්රථ නිෂ්පාදන සමාගමක් වන ජෙනරල් මෝටර්ස් (GM) සමාගමෙන් 60%ක කොටස් ප්‍රමාණයක් රජයට පවරාගෙන ලාභ ලබන තත්වයට පත් කිරීම මෙන්ම තවත් පාඩු ලැබූ ප්‍රධාන මෝටර් රථ සමාගමක් වන කරයිස්ලර් (Chrysler) සමාගම ඉතාලියේ ෆියට්(Fiat) සමාගමට විකුණා දැමීම සිදු කරනවා.

දේශීය මෝටර්රථ මිලදී ගැනීම සඳහා ණය ආධාර ලබා දීම මගින් දේශීය මෝටර්රථ සමාගම් කරුවන් දිරිමත් කිරීම සිදු කරනවා.

ඇමරිකාවට අවාසිදායක TPP වෙළද ගිවිසුමට අත්සන් තැබීම

TPP සඳහා මහජන විරෝධය (www.bbc.com)

රට තුළ ඇති නැති පරතරය සමනය කිරීමට ප්‍රතිපත්තීන් සම්පාදනය කිරීමට ඔබාමා හට නොහැකි වීම කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස නව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. එමෙන්ම ඔබාමා අත්සන් කළ TPP ගිවිසුම මගින් වාසිය අයත් වන්නේ අනෙක් පැසිෆික් කලාපීය රටවල් වලට මිස තම රටට නොවන බව රිපබ්ලිකන් පක්ෂය මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ සමහර පාර්ශවයන් සදහන් කරනවා. ඉදිරි කාලයේ එම වැරැද්ද නිවැරදි කරන බව වත්මන් ජනාධිපති ප්‍රකාශ කරනවා.

ධනාත්මක වෙනස් කිරීම්

සමරිසීන්ගේ අයිතිය තහවුරු කිරීමෙන් පසු ඔහු තැබූ පණිවුඩය.(cnet3.cbsistatic.com)

ලෝකයේ ප්‍රමුඛතම පරිසර දූෂකයා ලෙස එය අවම කිරීමේ අරමුණින් ගෝලීය උෂ්ණත්වය අවම කිරීමේ පැරිස් සම්මුතිය උදෙසා එකඟ වීම මෙන්ම එහි නායකත්වය ගැනීමත් සුවිශේෂී සිදුවීමක්. තියෝඩර් රූස්වෙල්ට් ජනාධිපතිවරයාගෙන් පසුව වැඩිම භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට පත්කරන්නේත් ඔබාමායි. ඒ අක්කර මිලියන 553ක්. සමලිංගික ප්‍රජාවට ඇමරිකානු සමාජය තුළ පිළිගැනීමක් ලබාදීමට කටයුතු කිරීම සහ පාසල් කිහිපයක සිදුවූ වෙඩි තැබීම්වලින් පසු ගිනි අවි පාලනය සඳහා නව නීති හඳුන්වා දීමත් ඔහුගේ පාලන සමයේ සිදු වෙනවා.

සමුගැනීම

අවසන් කථාවේදී කදුළු හෙළමින් ජනතාව අමතන අයුරු (The Inquisitr)

සමුගැනීමේ කතාව පැවැත්වීමට ඔහු සුදානම් කර තිබුනේ ඉලිනොයිස් ජනපදයේ චිකාගෝ නුවරයි. ජනාධිපති ධූරයට පත්වූ වාර දෙකේදීම ඔහු මුල් වරට ජනතාව අමතන්නට යොදාගත් ස්ථානයම මේ සඳහා තෝරාගෙන තිබුණා. සමුගැනීමේ කතාවේදී වඩා සංවේදී වූ ඔබාමා මිට පෙර එවැනි ආකාරයට ජනතාව ඉදිරියේ හැගීම්බර වූයේ ඇමරිකාවේ “නිව්ටවුන්” හි සිදුවූ ශිෂ්‍ය ඝාතනයේදීයි.

ඔබාමා දැකගන්නට එහි පැමිණි සිටි පිරිස දහඅටදහස ඉක්මවන්නට සමත් වුණා. අප්‍රිකානු ස්වාහිලි බසින් බරාක් යනු ආශිර්වාද ලද්දාය යන අරුත පසක් කරමින් බරක් ඔබාමා ධූරයෙන් ඉවත්ව යන්නේ අනෙක් ඇමරිකානු ජනපතිවරුන්ට වඩා ලෝකය පුරා වැඩි පිරිසකගේ ප්‍රසාදය දිනාගනිමින් යන්න ලියා තැබීම ඉතා නිවැරදියි.

Related Articles