Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මරුවා සමඟ වාසය කළ ‘මරු සිරා’

ඔබ ‘සිරිපාල සහ රන් මැණිකා’ හෝ ‘මරුවා සමග වාසේ’ යන සිනමාපට එකක් හෝ නරඹලා තිබෙනවා නම් මරු සිරා ගැන නොදැන සිටින්න බැහැ. මෑතකාලීන ලාංකේය ඉතිහාසයේ ආන්දෝලනාත්මක චරිතයක් ලෙසට සැලකෙන ඔහු  වඩාත් ප්‍රකට වුනේ බන්ධනාගාර වලින් පලා යාම හේතුවෙනුයි.

දේද්දුව ජයතුංගලාගේ සිරිපාල හෙවත් ‘මරු සිරා’

දේද්දුව ජයතුංගලාගේ සිරිපාල උපත ලැබූ වර්ෂය ලෙස සඳහන් වන්නේ 1948 වසරයි. පන්නිපිටියේ උපන් නමුත් ඔහු රටම හඳුනාගන්නේ අනුරාධපුරය ප්‍රදේශයේ සිදුකළ අපරාධ හේතුවෙනුයි. සිරිපාල 1975 වසරේ අගෝස්තු 5 වැනිදා බෝගම්බර බන්ධනාගාරයේ දී එල්ලා මරා දමනු ලැබූ අතර ඒ වන විටත් ඔහු 27 හැවිරිදි වියේ පසු වීම විශේෂත්වයයි.

www.9lanka.com/ – (සිරිපාල පොලිස් අත්අඩංගුවට පත්ව)

සිරිපාලට මරණ දඬුවම ලැබීමට හේතුව ලෙස සැලකුණේ මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීම ලෙස නඩු වාර්තාවන්හි සටහන්ව තිබෙනවා. කෙසේ වෙතත් ඔහු එල්ලා මැරුවාද මරා එල්ලුවාද යන්න පිළිබඳ එවකට පමණක් නොව මෙවකටද සමාජයේ යම් කුකුසක් ඇති බව ප්‍රකට කරුණක්. ජනප්‍රිය ගායක ඇන්ටන් ජෝන්ස් මරු සිරා සම්බන්ධ කරමින් ගැයූ ගීතයේද ඔහුගේ මරණය සම්බන්ධ සැකයක් පවතින බව සඳහන් වීමත් ප්‍රකට කරුණක්. මියගිය සිරිපාල එල්ලූ බව ඔහුගේ බිරිඳ වූ රන් මැණිකා පවා ප්‍රකාශ කරන අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහු එල්ලා මරා දැමීමට පෙරදින රාත්‍රියේ  නිදි පෙති පානය කර සිය දිවි නසා ගත් බවයි. ඒ සඳහා සිර ගෙදර සිටි ‘කිටී’ නමැති බළලාගේ ගෙලෙහි තිබූ පටියක සඟවා තිබුණු නිදි පෙති යොදා ගත් බවත් පැවසෙනවා.

එසේම බන්ධනාගාර නිලධාරීන් ඔහු පලා යාම වැළක්වීමට හෝ ගැටුමක් ඇති වීම වැළක්වීමට  ඔහුට නිදි පෙති හෝ එවැනි යමක් ලබා දී ඇති බවටත් ඇතැමුන් සැක කරනවා. නාහෙට නාහන දඩබ්බරයකු වූ සිරිපාලට අනෙක් සිරකරුවන් පමණක් නොව බන්ධනාගාර නිලධාරීන්ද බියක් දැක්වූ බව පැවසෙන අතර තමා එල්ලීමට පැමිණෙන නිලධාරීන්ද සමග තමා  මරාගෙන මැරෙන බව හඟවන ප්‍රකාශයක් ඔහු විසින් ඊට පෙර දිනයේ බන්ධනාගාරය තුළදී ප්‍රසිද්ධියේ පැවසූ බවත් සඳහන් වෙනවා.

gossiplankastar.blogspot.com – (වසර ගණනක අතීතය සිහි කිරීමට පැමිණි රන් මැණිකා)

මිතුරා සමඟ දබරය සහ නිවසින් පලා යාම

සිරිපාල සම්බන්ධ පළමු සිදුවීම වාර්තා වන්නේ ඔහුගේ පාසල් සමයේදී යි. පාසලේ මිතුරකු සමග වූ දබරයක් බ්ලේඩ් ප්‍රහාරයකින් විසඳූ සිරිපාල ඊට විරුද්ධ වූ  සිය සොයුරා සමගද ගැටුණු අතර එය අවසන් වුනේ සිරිපාල විසින් නිවස අසල ඇති දෙල් ගසක් නිවස මතට කපා දමා නිවසෙන් පලා යාමත් සමගයි. වැඩිදුරටත් පැවසෙන පරිදි මිතුරාගේ ගල් පහරකින් සිරිපාලගේ දතක් කැඩී ඇති අතර ඔහුගේ සොයුරා සිරිපාලගේ වරදට දඬුවම් කර ඇත්තේ ඔහු නිවස අසල දෙල් ගසේ බැඳ තබමිනුයි. ඔහු අනුරාධපුරයට පැමිණෙන්නේ ඔහුගේ පියා වැඩිහිටි නිවාසයක උපස්ථායකයකු ලෙස සේවය කරමින් එහි සිටි බැවිනුයි.

අනුරාධපුරයේ ජීවිතය කුලී වැඩ වලින් ඇරඹු සිරිපාල කෙමෙන් වඩාත් ලෙහෙසියෙන් මුදල් සෙවීම සඳහා ගැට කැපීමට සහ විවිධ සොරකම් වලට යොමු වූ අතර එවකට ඔහුට හමු වූ හොදම මිතුරා වූ ලක්ෂ්මන් පසු කාලයේදී සිරිපාල සමග සමීපව සිටි විශ්වාසවන්තයා බවට ද පත් වුණේ ඔහු සමග බන්ධනාගාරවලින් පලා ඒමට ද සම්මාදන් වෙමින්.

සිරිපාල හා රන් මැණිකා

කෙටි කලකින්ම විවිධ දුරාචාර වල කප්පිත්තෙකු වූ සිරිපාල දිනපතා මත්පැන් පානය සඳහා පැමිණියේ වැන්දඹු කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය කසිප්පු තිප්පොලකට යි. එම කාන්තාව පසුකලෙක සිරිපාලගේ බිරිඳ බවට පත් වූ රන් මැණිකා වූ අතර ඇය ඔහුට වඩා වැඩිමහලු වීම මෙන්ම එවකට පස්දරු මවක් වීමද විශේෂත්වයක්. ට්‍රැක්ටර් රියදුරකු වූ සිය සැමියා සර්පයකු දෂ්ට කිරීමෙන් මිය යාමෙන් පසු ජීවිකාව වෙනුවෙන් කසිප්පු විකිණීමට තීරණය කළ රන් මැණිකා සිරිපාලට සමීප වීමට එක් හේතුවක් වූයේ සිය සැමියාගේ සොයුරා වූ සිමන් නමැත්තාගෙන් විඳීමට සිදු වූ ගැහැටවලින් බේරීම සඳහා බවත් පැවසෙනවා. සීමන්ද කසිප්පු ව්‍යාපාරයේ නිරතව සිටි අයෙක්.

සිය ව්‍යාපාරයේ පැවැත්ම සහ තම ආරක්ෂාව සඳහා නව පෙම්වතා වූ සිරිපාල නිවසේ නතර කරගැනීමට රන් මැණිකා කටයුතු කිරීම සීමන් ඇතුළු බොහෝ දෙනෙකුට නොරිස්සීම සිරිපාල අපරාධ කිහිපයකටම පැටලීමට හේතු වුනා. සීමන් සහ සිරිපාල අතර ගැටුමේ ප්‍රතිපලයක් ලෙස සීමන් විසින් වෙල්ලියා නම් පුද්ගලයකු සිරිපාල මරා දැමීමට යෙදවූ අතර ඔහු සිරිපාල ඉදිරියේ එම සැලසුම හෙළි කිරීමේ ප්‍රතිපලය වුනේ කෝපයට පත්වූ සිරිපාල ගේ තුවක්කුවෙන් පත්තු වූ උණ්ඩයට බිලි වෙමින් සීමන් මහමගදී ඝාතනය වීමයි.

‘මරුවා සමග වාසේ’

ඉන්පසු පොලිසියෙන් බේරීමට ගමෙන් පලා යන සිරිපාල නැවත හොරෙන් ගමට පැමිණ රන් මැණිකාගේ දුක සැප විමසුවේ ඔහු සැබවින්ම ඇයට ආදරය කල බැවිනුයි. සිරිපාල මරා දැමු අනෙක් පුද්ගලයා පියදාස නම් කසිප්පු ව්‍යපරිකයායි. සිරිපාලගේ මිතුරකුට පියදාස පහර දීමෙන් කෝපයට පත්වන සිරිපාල පියදාසට තර්ජනය කරන අතර එය දෙපාර්ශවය අතර ගැටුමක් බවට පත් වන්නේ ලෙයට ලෙය ඉව අල්ලමිනුයි. පියදාස තමා මරා දැමීමට පිරිසක් සමග පැමිණෙන බව දැනගන්නා සිරිපාල මග රැක සිට පියදාසට වෙඩි තබා ඔහුගේ පිරිවරද පන්නා හරින්නේ පළාතේ තමාට ඉහළින් යාමට කිසිවකුත් නොමැති බව පසක් කරමිනුයි. කෙසඟ සිරුරකින් යුතු නමුත් සිරිපාල ශක්තිවන්තයකු බව ප්‍රකට කරුණක්. වරක් බස් රියදුරකු සමග වූ ගැටුමක් අවසන් වී ඇත්තේ සිරිපාල විසින් හිස් බස් රිය තනිවම අසල වෙලකට තල්ලු කිරීමෙන් බව පවසා ඇත්තේ ඔහුගේ බිරිඳ වූ රන් මැණිකායි.

gossiplankastar.blogspot.com – ( වියපත් වී සිටින රන් මැණිකා සහ මරු සිරා අසල සිටින රන් මැණිකා හා දරුවා)

එම සිදුවීම් නිසා යුතු සිරිපාල මරු සිරා බවට පත්වන අතර තවත් අයුරකින් ඔහු ජනප්‍රිය වන්නේ පපුවේ කොටා තිබූ පච්චය වන ‘මරුවා සමග වාසේ’ යන අකුරු පෙළ හේතුවෙනුයි. පොලිසියෙන් කට්ටි පනිමින්  කැලයේ සැඟ වී සිටි සිරිපාලට සොරෙන් කෑම බිම ලබා දීමට රන් මැණිකා කටයුතු කළ අතර, එය සිරිපාල නීතියේ රැහැනට හසු විමට හේතුවක්ද වුනා. සිරිපාල වරක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සොරෙන් රන් මැණිකාගේ නිවසට පැමිණ රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී යි.

අසාධාරණයට එරෙහිව

බන්ධනාගාරයේදී නිර්භයව අසාධාරණයට එරෙහි වූ සිරිපාලට අනෙකුත් සිරකරුවන්ද ගෞරව කළේ ඔහු සතුව තිබු එඩිතරකම හේතුවෙනුයි. බන්ධනාගාරය තුළ නිලධාරීන් සමග නිරන්තරව ගැටුණු ඔහු වාර කිහිපයකදී සියදිවි නසා ගැනීමට තැත් කළ බවද පැවසෙනවා. ඒකනායක නම් පොලිස් නිලධාරියකු නිරන්තරව සිරිපාලට දැඩි ලෙස කරදර කෙරුවෙක් බව පැවසෙන අතර, ඔහු ඒ සඳහා තම හිතවත් බන්ධනාගාර නිලධාරීන් මෙන්ම සිරකරුවන්ද යොදා ගෙන තිබෙනවා. ඒ හේතුවෙන්ම වරෙක සිර මැදිරියේ බල්බය කෑ ඔහු තවත් වරක බෙලෙක් පිඟානක් දෙකට කඩා ඉන් උදරය කපා ගෙන සිය දිවි නසා ගැනීමට තැත් කර තිබෙනවා.

සිරිපාල තෙවරක් සිරෙන් පැන ගොස් ඇති අතර ඉන් එක්වරක් ඔහු පැන යන්නේ තමාට දාව රන් මැණිකා විසින් බිහි කළ දරු පැටවාගේ මුහුණ දැක ගැනීමේ ආශාව හේතුවෙනුයි. සිරිපාල  සමග සිරෙන් පලා ගියවුන් අතර ‘හිතුමතේ’ හෙවත් ඩබ්ලිව් ජි සුමතිපාල සහ ලයනල් ද සිටිනවා. විවිධ බන්ධනාගාර වල සිරගතව සිටි සිරිපාල එල්ලා මැරීමට නියම වූයේ බෝගම්බර බන්ධනාගාරයේදී යි.

gossiplankastar.blogspot.com (බෝගම්බර සිර ගෙය මහජන ප්‍රදර්ශනයට විවෘත කළ අවස්ථාවේ මාරු සිරා ලියා තැබූ සටහන නැරඹීමට පැමිණි ජනකාය අතර සිටි රන් මැණිකා සිතේ තද කරගෙන සිටි වේදනාව කඳුලින් පිට කළ අයුරු)

‘මරු සිරා’ ගේ අවසානය

මිය යන මොහොත දක්වා සිය බිරිඳ සහ දරු පැටවාට මුළු හිතින්ම ආදරය කළ සිරිපාල සිය මරණයට පෙරදා තම සිර කුඩුවේ බිත්තිය මත එය සිය අකුරෙන්ම මෙසේ සටහන් කර තිබෙනවා.

රන් මැණිකා මගේ ළඟ සිටි එකම පණ

හෙට උදයේ අටට නිම වෙයි මගේ පණ

අහිතක් නොහිතන්න මා යන ගමන ගැන

දරුවා සමග ඔබ යහතින් සිටිනු මැන

සිය මරණයෙන් පසු රන් මැණිකා රැක බලා ගැනීම සිරිපාල විසින් භාර කර ඇත්තේ සිරගෙදර සිටි සිය හොඳම මිතුරකු වන ධර්මදාස වෙතටයි. සිරිපාලගේ ඉල්ලීම පිට ඔවුන් දෙදෙනා පසුව එක්වූ බවත් ධර්මදාස විසින් රන් මැණිකා රැක බලාගත් බවත් සඳහන්.

පෙර සඳහන් කළ ලෙස සිරිපාලගේ චරිතය ඇසුරෙන් ‘සිරිපාල සහ රන් මැණිකා’ සහ ‘මරුවා සමග වාසේ’ යන නම් වලින් සිනමාපට දෙකක් නිර්මාණය වූ අතර, පිළිවෙලින් එම සිනමාපට වල ප්‍රධාන චරිත නිරූපණය කරනු ලැබුවේ රවින්ද්‍ර රන්දෙණිය සහ විජය කුමාරතුංග විසිනුයි.

COVER- wp.production.patheos.com

මූලාශ්‍ර

archives.dinamina.lk

chitrangi.wordpress.com

www.9lanka.com/

www.divaina.com

Related Articles