Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිනමාවේ ආදරණීය අපරාධකරු: අල් පචීනෝ

මේ ලිපිය කියවන ඔබ හොලිවුඩ් රසිකයකු නම්, 1972 වසරේ දී  මුල් වරට නිෂ්පාදනය වූ ‘ද ගෝඩ්ෆාදර්’ (The Godfather) චිත්‍රපටය නරඹා තිබෙනවා විය යුතු ය. චිත්‍රපට තුනකින් සමන්විත The Godfather සිනමා නිර්මාණය ලොව බිහිවූ අග්‍රගණ්‍යම සිනමා කෘති අතර ඉහළින්ම රැඳි තිබෙන්නක් ලෙස පිළිගැනීමට ලක්වේ. ආරම්භක නිෂ්පාදනයේ සිට දශක පහක් ඉක්මවූ තැන ද The Godfather චිත්‍රපටය සඳහා ඇත්තේ අසීමිත ජනප්‍රසාදයකි. එකී ජනප්‍රසාදය සඳහා ගත්කතුවරයකු වූ මාරීයෝ ඩී පූසෝගේ විශිෂ්ට තිර රචනය, ෆ්‍රැන්සිස් ඩි කොපෝලාගේ අධ්‍යක්ෂණය සේම, රංගනයෙන් දායක වූ හොලිවුඩයේ පතාක යෝධයන් ද හේතුවක් වන්නට ඇත. අද සටහන මාලන් බ්‍රැන්ඩෝ, රොබර්ට් ඩි නීරෝ සමග අසමසම රංගන ප්‍රතිභාවක මඟ සලකුණු එළිකළ විස්මිත තරුණයා වූ “අල් පචීනෝ” පිළිබඳව යි.

ද ගෝඩ්ෆාදර් චිත්‍රපටයේ තොරතුරු සහ කතාව සැකෙවින් දැනගන්න මේ ලිපියෙන්: The Godfather; පියවරු සහ පුත්තු

ඇල් පචීනෝ ඉන්සොම්නියා හි රංගනයෙන් දායක වෙමින්
අල් පචීනෝ Insomniaහි දර්ශනයක/nofilmschool.com

 

කුඩාකල දිවිය 

1940 අප්‍රේල් 25 වන දින නිව්යෝර්ක්හි ඊස්ට් හාලම් ප්‍රදේශයේ විසූ ඉතාලි ඇමෙරිකානු පවුලක ඇල්ෆ්‍රඩෝ ජේම්ස් පචීනෝ උපත ලැබුවේ ය. ඔහුගේ පියා වූ සැල්වටෝර් පචීනෝ, 1920 මුල්භාගයේ දී ඉතාලියේ සිසිලි දූපතේ සිට නිව්යෝර්ක් වෙත සංක්‍රමණය වූ අයෙකි. එකල ඉතාලි සංක්‍රමණිකයන් බොහෝදෙනෙකු නිව්යෝර්ක් නුවරට සංක්‍රමණය වූ අතර,  සමාජීය ප්‍රශ්න රාශියක මුලපිරීමට ද එය හේතු විය. බොහෝ සංක්‍රමණික ඉතාලි දරුවන්ගේ මෙන්ම කුඩා පචීනෝගේ ළමා කාලයත් එතරම් සොඳුරු නොවී ය. 

1942 වසරේ, පචීනෝට වයස අවුරුදු දෙකක් පිරෙන සමයේ දී පචීනෝ දෙමාපියන් නිත්‍යානුකූලව වෙන්වූ අතර, කුඩා පචීනෝගේ වගකීම රෝස් ජෙරාඩ් නම් වූ ඔහුගේ මව වෙත පැවරෙනවා. එතැන් සිට ඔහුගේ මව මියෙන තුරාවටම ඔහු විසුවේ මව සහ ඇගේ පවුල සමග ය.

කුඩා අල් පචීනෝ
කුඩා අල් පචීනෝ/Pinterest

අල් පචීනෝ දූම්පානයට සහ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවන්නේ ඔහුට අවුරුදු නමයක් සම්පූර්ණ වන විට ය. අවුරුදු දහතුනක් වන විට ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිව සිටියේ ය. ඔහු විසූ සමාජයෙන් ද ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයිනි. ඔහුගේ සමීපතම මිතුරන් දෙදෙනකු පවා කොකේන් භාවිතයෙන් මරු දැක තිබුණි. කොතරම් අඟහිඟකම් සහ වැරදි පුරුදු තිබුණ ද, පියාගෙන් ඔහුට උරුම වූ සුන්දර ඉතාලි පෙනුම නිසාවෙන් ඔහුගේ මිතුරන් ඔහු හැඳින්වූයේ “The Actor ” (නළුවා) යන සුරතල් නාමයෙනි. පාසල් සමයේ බේස්බෝල් ක්‍රීඩකයකු වීමේ සිහිනය දුටු පචීනෝගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ ඔහුට ප්‍රසිද්ධ වේදිකාව හමුවීම ය.

 

වේදිකාවට

අල් පචීනෝට නළුවෙකු වීමට අවශ්‍ය වුණත්, ඔහුගේ මව ඊට එකඟ වූයේ නැත. මෙනිසා නිවාස හැරයන ඔහු නාට්‍ය පාසලකට බැඳී, අධ්‍යාපන කටයුතු සඳහා මුදල් උපයාගැනීමට රැකියාවක නිරතවිය. 1962 වසරේ දී පචීනෝගේ මව මියයන අතර, ඊළඟ වසරේ දී ඔහුගේ මවගේ පියා ද මියගියේ ය. මේ වන විට පචීනෝ විසි දෙහැවිරිදි වියේ පසුවිය.

එයින් පසුව HB Studio නම් නාට්‍ය පාසලේ නළුනිළි පරීක්ෂණයකට ඉදිරිපත් වන තරුණ පචීනෝ එයින් සමත් වී, පළපුරුදු නළුවන්ගෙන් උපදෙස් ලබමින් රංගනය විධිමත් ලෙස හැදෑරිමට අවස්ථාව උදාකර ගත්තේ ය. පචීනෝ ප්‍රසිද්ධ වේදිකාවට පැමිණිමේ අඩිතාලම සකසා ගත්තේ එසේ ය.

තරුණ අල් පචීනෝ/Vulture

1967, ඔහුගේ සාර්ථක වෘත්තීය දිවියේ ආරම්භක වසර විය. පුහුණු වට කිහිපයකට පසුව ප්‍රකට නාට්‍ය රචකයකු වන ක්ලිෆර්ඩ් ඔඩෙට්ස්ගේ Awake and sing නම් ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයට සිය දායකත්වයක් ලබාදුන් අල් පචීනෝ පියවරෙන් පියවර වේදිකාවේ පරිණතභාවයට එළඹීම ආරම්භ කළේ ය. Awake and Sing සඳහා ඔහු ලබන මුල්ම චෙක්පතේ වටිනාකම වූයේ ඩොලර් 125කි. ඒ, ඔහු රංගනයෙන් ඉපැයූ මුල්ම විශාල මුදල විය. 1968 වසරේ දී The Indian wants the Bronx සඳහා රංගනයෙන් දායක වන ඔහු, වේදිකා රංගනය සඳහා ලැබෙන ඉහළතම ඇගයීමක් වන Tony Award සම්මානය 1969 වසරේ දී දිනාගත්තේ ය. ඉතා කෙටි කලකින් සිය රංගන කෞශල්‍යය වැඩිදියුණු කරගත් අල් පචීනෝගේ සිනමා දිවිය ආරම්භ වන්නේ එයින් පසුව ය.

රීදී තිරයේ සිහින තරුව

සිය සාර්ථක වේදිකා රංගනයෙන් අනතුරුව අල් පචීනෝ විසින් රීදී තිරය ආක්‍රමණය කිරීම ඇරඹිනි. පසුකලෙක සංකීර්ණ මෙන්ම ගැඹුරු චරිත නිරූපණයේ සමත්කමක් ඔහු දැක්වූව ද, ඔහුගේ මුල්ම සිනමා පටය වූ Me, Natalie චිත්‍රපටය විනෝදාත්මක ශානරයේ නිර්මාණයකි. එහි අධ්‍යක්ෂවරයා වූ ෆ්‍රෙඩ් කෝ ලබාදුන් අවස්ථාවෙන් ප්‍රයෝජනයගත් පචීනෝ, ඉන්පසු The panic in Needle Park නම් විශිෂ්ට සිනමා කෘතියට සිය දායකත්වය ලබා දුන්නේ ය. එම චිත්‍රපටයේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ‘බොබී’ නමැත්තෙකුගේ චරිතය නිරූපණය කළ ඔහු එයින් එවකට තරුණ අධ්‍යක්ෂවරයකු වූ ෆ්‍රැන්සිස් ෆෝර්ඩ් කොපොලාගේ අවධානය දිනා ගැනීමට සමත් විය. ඔහු ඔහුගේ දෛවය වෙනස් කළ ‘මයිකල් කොර්ලියෝන්’ වීමේ ආරම්භය එය යි.

1972 වසරේ තිරගත වූ Godfather චිත්‍රපටයේ රූගත කිරිමක් අතරතුර/FanPop

කොපොලා විසින් The Godfather නවකතාවෙන් සිනමාපටයක් නිර්මාණය කිරිමේ දී මුහුණදුන් ප්‍රධානතම ගැටලුව වූයේ චරිත තෝරාගැනීම යි. වැඩිමහලු කොර්ලියෝන්ගේ චරිතය සඳහා මාලන් බ්‍රැන්ඩෝට ඉහටත් ඉහළින් සුදුසුකම් තිබුණු නමුත්, මයිකල් කොර්ලියෝන්ගේ චරිතයට නළුවෙකු තෝරාගැනීම ඔහුට ගැටලුවක් විය. නමුත් The panic in Needle Parkහි ඇල් පැචීනෝගේ රංගනය දැකීමෙන් පසු කොපෝලා පචීනෝට චරිතය සඳහා ආරාධනා කළේ ය. කෙසේ නමුත්, ඒ වන විට සිනමා පට කිහිපයකට පමණක් රංගනයෙන් දායකත්වය ලබාදී තිබූ මෙම තරුණයා සමග වැඩ කිරීමට බ්‍රැන්ඩෝ ඇතුළු පරිණත ශිල්පීන් තරමක අකමැත්තක් දක්වා තිබුණි. පසුකලක අල් පචීනෝ එය සඳහන්කර තිබුණේ මෙසේ ය:

‘The Godfather චිත්‍රපටියට මාව ඕනෑ වුණේ ෆ්‍රැන්සිස්ට විතර යි. වෙන කාටවත් මාව එතනට ඕනෑ වුණේ නැහැ’

නමුත් 1972 වසරේ මාර්තු 14 වන දින The Godfather තිරගත වීමත් සමග, එම චරිතයට  තමා තරම් සුදුස්සෙකු නොමැතිබව පචීනෝ ඔප්පුකර පෙන්වූයේ ය.

අල් පචීනෝගේ ඉතාලි හුරුව සහ පෙනුම, චිත්‍රපටයේ මයිකල් කොර්ලියෝන් චරිතයට ගැලපුණු අතර, කලු සුදු චරිතයක් නිරූපණයට ඔහු සතුවූ විභවය ද පචීනෝ පෙන්නුම් කළේ ය. එතැන් සිට The Godfather චිත්‍රපට මාලාවටම සිය අඛණ්ඩ දායකත්වය ලබාදුන් ඔහු, 2021 වසර දක්වා හැත්තෑවකට අධික සිනමාපට සංඛ්‍යාවකට සිය දායකත්වය ලබා දී ඇත. ඒ අතරින් Scarface, Scent of a Woman, Insomnia, Donnie Brasco, Serpico, Dog day Afternoon සහ Heat ප්‍රධාන තැනක් ගත්තේ ය.

Irishman චිත්‍රපටයේ ජිමී හෝෆා ලෙසින් රංගනයෙන් දායක වීම
2019 තිරගත වූ Irishmanහි රංගනයක්/wired.com

ඔස්කාර් සම්මාන නමයකට නිර්දේශ වූ අල් පචීනෝ සිය එකම ඔස්කාර් සම්මානය දිනාගන්නේ 1993 වසරේ දී ය. ඒ, ඔහු අන්ධ විශ්‍රාමික සොල්දාදුවකුගේ චරිතය නිරූපණය කළ Scent of a Woman සිනමා පටයෙනි. අතිශය සංවේදී සිනමා නිර්මාණයක් වූ එහි පචීනෝගේ රංගනය අතිශයින්ම කතාබහට ලක්විය. 1973 වසරේ සිට අවස්ථා හතක දී ඔස්කාර් සම්මානයට නිර්දේශ වුවත් සම්මානය නොදිනූ ඔහු 1993 වසරේ දී සම්මනය දිනාගත් විට හාස්‍යජනක අයුරින් ප්‍රකාශ කළේ, “ඔයගොල්ලෝ මගේ (සම්මානය නොදිනීම) වාර්තාව බිඳලා දැම්මා” යනුවෙනි.

නිහතමානී විශිෂ්ඨත්වය

අල් පචීනෝ “හොලිවුඩයේ සදාකාලික පෙම්වතා” විය. ඉතාම අසීරු ළමා කාලයක් ගත කළ පචීනෝ සිය නිසඟ හැකියාව සහ කැපවීම තුළින් හොලිවුඩයේ විශිෂ්ටතම නළුවන්ගෙන් කෙනෙකු බවට පත්වී ඇත.ඔහු මේ වන විට අසූ එක්වෙනි විය ගතකරමින් සිටියි. තම රංගන දිවිය තුළ සිනමාපට 70කට පමණ රංගන දායකත්වය ලබාදුන් ඔහුගේ මීළඟ සිනමා රංගනය මෙම වසරේ නොවැම්බර් 24 දින තිරගත වීමට නියමිත House of Gucci චිත්‍රපටයෙන් නැරඹිය හැකිය.

මූලාශ්‍රයයන්:

biography.com/ 

britannica.com/

famouspeople.com/

Related Articles