නූතන රුසියානු සාහිත්‍යයයේ ආරම්භකයා ලෙස අවිවාදයෙන් පිළිගැනෙන්නේ මහා කවි අලෙක්සන්දර් පුෂ්කින් ය​. එයින් අදහස් කෙරෙන්නේ පුෂ්කින්ට පෙර පද්‍ය හෝ ගද්‍ය හෝ නිර්මාණකරුවන් රුසියාවේ නොසිටි බව නොවේ. මෙම ප්‍රකාශයේ අදහස නම් නූතන රුසියානු සාහිත්‍ය රටාවේ නිර්මාපකයා වූයේ පුෂ්කින් බව යි.

සිය සාහිත්‍යකරණයේ දී සාමාන්‍ය රුසියානු ජන වහර​, පැරණි සම්ප්‍රදායික ශ්‍රාස්ත්‍රීය බස හා මුසු කිරීමට සමත් වීමෙන් ඔහු වෙනමම භාෂා රටාවක් නිර්මාණය කරගත් හෙයින්, තමන්ටම ආවේණික වූ රටාවක් ඔහු නිර්මාණය කරගත්තා. ඔහුගේ භාෂා රටාව සමකාලීන රුසියානු ජනයාට සමීප වූවක් වුණා. එමෙන්ම ඔහුගේ කවි බොහොමයක් රචනා වූයේ ප්‍රේමය​, විරහව ආදිය පිළිබඳව යි.

කුඩා කල පසුබිම​

පුෂ්කින් උපන්නේ 1799 ජූනි 6 වන දා (රුසියාවේ පැරණි දින දර්ශනයට අනුව මැයි 26) යි. ඔහුගේ පියාගේ පාර්ශවය රුසියාවේ උසස් වංශවත් පවුලක් වුණා. මවගේ පාර්ශවයෙන් ඔහුගේ මුත්තණුවන් කෙනෙකු වූයේ ඉතියෝපියානුවකු බව පැවසෙන අබ්‍රම් පෙත්‍රොවිච් ගැනිබල් නම් ජෙනරාල්වරයා යි.

කුඩා කල, අලෙක්සන්දර් රැක බලාගැනීම පිළිබඳ ඔහුගේ මව එතරම් විශාල අවධානයක් යොමු නොකළ අතර, නිවසේ සේවිකාවන් සහ පුෂ්කින්ගේ ප්‍රංශ භාෂා ගුරුවරුන් කෙරෙහි එම වගකීම පැවරුණා.

එකල රුසියාවේ වංශවත් සමාජයේ සාමාන්‍ය ක්‍රමය වූ පරිදි පුෂ්කින්ට ප්‍රංශ භාෂාව ඉගැන්වීම සඳහා අවධානය යොමු වුණා. ඔහු රුසියන් බස උගත්තේ නිවසේ වූ සේවිකාවන්ගෙන්. විශේෂයෙන්ම ඔහුගේ ආයා වූ අරීනා රොදියනෝවා සහ අලෙක්සන්දර් අතර සමීප සබඳතාවක් ගොඩ නැගුණා. මවගේ අඩුව පියවුණේ රොදියනෝවා හේතුවෙන් යයි කිව හැකියි.

සාර්කොයේ සෙලෝ හි පුෂ්කින් නැවතී සිටි කාමරය (RIAN)

1811 දී පුෂ්කින් සාර්ස්කොයේ සෙලෝහි ලයිසියම් පාසැලට ඇතුලත් වුණා. එකල රුසියාවේ වංශවත් පවුල්වල දරුවන් ඇතුලත් කරන ලද්දේ මෙම පාසැලට යි. පුෂ්කින් මෙම පාසැලේ ඉගෙනගන්නා අතර 1814 දී පළමු වරට ඔහුගේ පද්‍ය රචනාවක් සඟරාවක පළ වුණා. එවකට ඔහුගේ වයස අවුරුදු 15ක් පමණ යි.

1815 දී ඔහු රචනා කළ සාර්කයේ සෙලෝහි මතක සටහන් නම් පද්‍ය රචනාවට එකල ප්‍රසිද්ධම කවියා වූ ගැව්රිල් දෙර්ශවින්ගේ මහත් වූ ප්‍රශංසා හිමි වුණා.

විමුක්තිය වෙනුවෙන්

පුෂ්කින් පාසැල් මිතුරන් සමග සමීප සබඳතාවක් ගොඩනගා ගත් අතර 1817 දී පසැල් අධ්‍යාපනය නිමා කළ පසු ද ඉහළ සමාජයේ සාද සහ උත්සව අතර ඔහුගේ කාලය ගෙවී ගියා. එහෙත් ඔහුත් ඔහුගේ මිතුරන් සමහරෙකුත් ප්‍රතිසංස්කරණවාදී අදහස් දරමින් ඒ පිළිබඳව කතාබහ කරමින්, අදහස් ප්‍රකාශ කරමින් කල් ගත කළා. මෙකල රුසියාවේ සාර් වූ පළමුවන අලෙක්සන්දර් ද​, සිය ප්‍රතිසංස්කරණවාදී සමය නිමා කර වඩා තදබල පාලනයක් ගෙනගිය සමයක්. එහෙයින් පුෂ්කින් මෙකල ලියූ ඇතැම් කවි, එකල හැටියට විප්ලවවාදීයැ යි සැලකිය හැකි වුණා.

සාර් පළමුවන අලෙක්සන්දර් (Public Domain)

විශේෂයෙන්ම සාර් සහ ඔහුගේ ගාතානුගතික ඇමතියකු වූ අරක්චීෆ් පිළිබඳ වූ කවි මේ අතර වනවා. එමෙන්ම "ගම්මානය​" සහ "විමුක්තිය වෙනුවෙන් ලියූ ගීත කාව්‍යය​" (Ode to Liberty) ඔහුගේ විප්ලවවාදී දහස් ඉස්මතු වූ අවස්ථා ලෙස ගත හැකියි. මීට සමකාලීනව ඔහු සිය පළමු දීර්ඝ ගද්‍යය ලිවීමට පටන් ගත්තා. ඒ "රුස්ලාන් සහ ලුද්මිලා" නම් වූ ඔහුගේ ප්‍රකට කතාව යි.

Ode to Liberty කාව්‍යය හේතුවෙන් සාර්වරයා පුෂ්කින් කෙරෙහි කිපුණු අතර ඔහුව සාන්ත පීතර්බුර්ග් නගරයෙන් වසර හයකට පිටුවහල් කෙරුණා. මේ අනුව 1820 මැයි 6 වන දා ඔහු එකතරිනොස්ලාව් (වර්තමාන යුක්‍රේනයේ ද්නීප්‍රෝ) නගරය වෙත පිටව ගියා. එහි සිටිය දී ඔහු කොකේසස් කඳුකරය සහ ක්‍රිමියාව ද දැක බලා ගැනීමට එම ප්‍රදේශයන්හි සංචාරය කළා. පසුකාලීනව ඔහුව මොල්දෝවාවේ චිසිනවු වෙත යවනු ලැබුණා. මේ අතර පුෂ්කින් ඉංග්‍රීසි කවි ජෝර්ජ් බයිරන්ගේ කාව්‍යයන් කියවීමට පටන් ගත්තා. ඒ සමගම ඔහු රොමෑන්ටිකවාදය දෙස යොමු වූ අතර රුසියාවේ එම ශෛලියේ ප්‍රාරම්භකයා ලෙස ද පුෂ්කින් සැලකෙනවා.

පීතර්බුර්ග්හි ඉහළ සමාජයේ වූ ඔහුගේ මිතුරන් විසින් කෙරුණු පෙළඹවීම මත පුෂ්කින් 1823 දී ඔඩෙස්සා වෙත යවනු ලැබුවා. එහිදී ඔහු දිගටම නිර්මාණකරණයට මෙන්ම නාට්‍ය නැරඹීම​, සාද ආදී අවස්ථාවන්ට සහභාගී වුණා. ආදර සබඳතාවල ද පැටළුණා. මේ අතර ඔහු තම ප්‍රසිද්ධම නිර්මාණ වූ "අහිගුණ්ඨකයෝ" මෙන්ම තම විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙන "එයුජින් ඔනෙගින්" ලිවීමට පටන් ගත්තා. එයුජින් ඔනෙගින් පද්‍යයෙන් ලියන ලද නවකතාවක් ලෙස යි සලකනු ලබන්නේ.

මෙකල රාජ්‍ය නිලධාරීන් පුෂ්කින් දෙස අවධානයෙන් පසු වූ අතර ඔහු යැවූ ලියුම් පවා පරීක්ෂාවට ලක් වූ බවක් පෙනී යනවා. ඒ බව පැහැදිලි වූයේ ඔහුගේ ලියුමක වූ අදේවවාදයට සහාය පළ වන ආකාරයේ ප්‍රකාශයක් හේතුවෙන් ඔහුව උතුරුදිග රුසියාවේ මිහායිලොව්ස්කෝයේහි ඔහුගේ මවගේ වතු යායක් වෙත පිටුවහල් කෙරුණා. එහිදී ද ඔහු පිළිබඳ රාජ්‍ය ඔත්තුකරුවන් ඇස ගසාගෙන සිටි නමුත් පුෂ්කින් දිගටම නිර්මාණකරණයෙහි නිරත වුණා. ඔහුගේ බරිස් ගොදුනොෆ් නාට්‍යය ලියන ලද්දේ මේ කාලයේ යි. එය 1598 සිට 1605 තෙක් රුසියාවේ සාර් වූ බරිස් ගොදුනොෆ්ගේ පාලන සමය​ පදනම් කරගෙන නිර්මාණය වූවක්.

1825 දෙසැම්බර් 26 වන දා (පැරණි දින දර්ශනයට අනුව දෙසැම්බර් 14) සාන්ත පීතර්බුර්ග් හි "දෙසැම්බර්වාදීන්ගේ කැරැල්ල​" සිදු වූ අතර කැරැල්ල මර්ධනය කෙරුණා. මෙම කැරැල්ලට පුෂ්කින්ගේ මිතුරන් ද සම්බන්ධ වූ නමුත් නගරයෙන් පිටුවහල්ව සිටියෙන් පුෂ්කින් ඊට සහභාගී වූයේ නැහැ. අභිනව සාර්වරයා වූ පළමුවන නිකුලස් ඊළඟ අවුරුද්දේ දී පුෂ්කින්ට සාන්ත පීතර්බුර්ග් වෙත පැමිණීමට අවසර දුන්නා. නමුත් ඔහුට අනවසරයෙන් කිසිදු ගමනක් යාම තහනම් වූ අතර, ඔහුගේ නිර්මාණයන් සියල්ල වාරණය කෙරුණා. ඔහුගේ නිර්මාණ පළ කිරීම පමණක් නොව ප්‍රසිද්ධියේ කියවීම​ පවා පුෂ්කින්ට තහනම් වුණා.

ආපසු පීතර්බුර්ග් වෙත​

මින් පසු ගතවූ සිව් වසරක කාලය ඔහුගේ නිර්මාණකරණය මන්දගාමී වූ ලෙස දැකිය හැකියි. සම්පූර්ණයෙන්ම නිර්මාණකරණය අත නොහැරිය ද ඔහු අතින් එයුජින් ඔනෙගින්හි පරිච්ඡේද කිහිපයක් හැරුණ විට මේ කාලයේ ලියැවුණේ පොල්ටාවා නම් කාව්‍යය පමණ යි. තම මුත්තණුවන් වූ ගැනිබාල් පිළිබඳ නවකතාවක් ලිවීමට පුෂ්කින් මුල පිරූ නමුත් ඔහුට එය අවසන් කිරීමට හැකි වූයේ නැහැ.

1830 දී ඔහු කෙටි කලක් සඳහා බොල්ඩිනෝ නම් වතු යාය වෙත ගියා. එය පුෂ්කින් පවුල විසින් ඒ ආසන්නයේ දී මිලට ගත් වතු යායක් වූ අතර පුෂ්කින් එහි ගියේ කෙටි පරීක්ෂණ සංචාරයක් සඳහා යි. එහෙත් එකල ඇති වූ කොලරා වසංගතයක් හේතුවෙන් පුෂ්කින් එහි මාස තුනක් පමණ නතර වුණා. එකල සාහිත්‍යමය අංශයෙන් ඔහුගේ හොඳම කාලයක් වූ අතර බේල්කින් කතාහි කෙටිකතා පහ ද​, කවි ගණනාවක් ද, එයුජින් ඔනෙගින්හි අවසන් කොටස ද ඔහු එහිදී ලියූ බව සඳහන් වනවා.

1820 දශකය අවසානය කරා එද්දී පුෂ්කින් විවාහයක් පිළිබඳ සිතමින් පසුවුණා. ඔහුට අවශ්‍ය වූයේ අතිශයින් පියකරු වූ තරුණියක්. ඔහුගේ සිතැඟිවලට ගැලපෙන ආකාරයේ තරුණියක් ඔහුට මුණ ගැසුණා. ඒ නතාලියා ගොන්චරෝවා යි.

නතාලියා ගොන්චරෝවා (Public Domain)

අලෙක්සන්දර් සහ නතාලියා 1831 දී විවාහ වුණා. නමුත් විවාහ ජීවිතයට ඇතුලත් වීමත් සමග පුෂ්කින්ගේ ප්‍රශ්න වැඩි වුණා. එක් අතකින් නතාලියා රූමත් වූ හෙයින් සාර්ගේ පටන් විවිධ අයගේ අවධානය ඇය වෙත යොමු වුණා. සාර් පළමුවන නිකුලස් විසින් පුෂ්කින්ට රාජ සභාවේ පහළ මට්ටමේ තනතුරක් ලබා දුන්නා. එවිට ඔහුට සහ ඔහුගේ බිරිඳට රජවාසල වූ විවිධ උත්සව අවස්ථා, සාද ආදියට පැමිණීම අනිවාර්යය වුණා.

පුෂ්කින්ගේ මූල්‍යමය ගැටළු දිනෙන් දින උත්සන්න වුණා. ඔහු සහ නතාලියා දරුවන් සිව් දෙනකු ලැබුවා. මේ අතර 1834 දී ඔහුගේ අවිවාහක සොහොයුරියන් දෙදෙනකු ආලෙක්සන්දර් පවුල හා ජීවත් වීමට පැමිණියා. ඔහු සිය පියාගේ ඉඩකඩම් පරිපාලනය කිරීම ඇරඹූ අතර සිය සහෝදරයා විසින් ගෙන තිබූ ණය පියවීමේ වගකීම ද බාර ගත්තා. මේ සියල්ල මැද ඔහු දැඩි ආර්ථික අපහසුතාවන්ට ලක් වුණා.

නමුත් මෙකල ද ඔහු ලේඛණ කලාවෙහි යෙදුණා පමණක් නොව ඔහුගේ ප්‍රසිද්ධම නිර්මාණ කිහිපයක්ම කෙරුණේ මෙකල යි. ඒ අතර 1833 දී ලියූ "ඉස්කෝප්ප රැජිණ​” මෙන්ම 1836 දී ලියූ "කපිතාන්ගේ දියණියෝ​" ද වනවා. 18 වන සියවසෙහි පැන නැගුණ පුගාචෙෆ්ගේ කැරැල්ල "කපිතාන්ගේ දියණියෝ​" සඳහා පාදක වුණා. මෙහිදී පුෂ්කින් සියුම් ලෙස පාලන තන්ත්‍රය විවේචනය කළ බව යි විචාරක​ පිළිගැනීම වන්නේ.

1834 දී නතාලියාට ජෝර්ජ්-චාර්ල් ද​'අන්තේ නම් වූ ප්‍රංශ වංශවත් තරුණයකු මුණගැසුණා. ඔහු දෑවුරුද්දක් තිස්සේ ඇය පිළිබඳ සිතක් පළ කරමින් සිටියා. මේ අවස්ථාවේ දී ඔහු ඉතා ප්‍රසිද්ධියේ තම අදහස් හැඟවීමට වූයෙන් ඒ පිළිබඳ ආන්දෝලනයක් ඇති වුණා. පුෂ්කින් ඔහුට ද්වන්ද්ව සටනක් සඳහා අභියෝග කළා. මෙම තරුණයා ඇත්තෙන්ම ප්‍රේම කරන්නේ නතාලියාගේ සොයුරිය වන එකැතරීනාට බවට වූ කටකතාවක් අසන්නට ලැබූ පුෂ්කින් ද්වන්ද්ව සටන සඳහා වූ අභියෝගය ඉල්ලා අස්කර ගත්තා. 1837 ජනවාරි 10 වන දා එකැතරීනා සහ ද​'අන්තේ අතර විවාහය සිදු වුණා. එහෙත් ද​'අන්තේ දිගටම නතාලියා වෙත යෝජනා කරන්නට වූයෙන් පුෂ්කින් යළි ද්වන්ද්ව සටනකට අභියෝග කළා. ජනවාරි 27 වන දා සිදු වූ මෙයින් පුෂ්කින් තුවාල ලැබ දින දෙකකින් ඔහු මියගියා.

පුෂ්කින්ගේ ද්වන්ද්ව සටන (Adrian Volkov)

පුෂ්කින්ගේ මරණය රුසියාවේ විශාල ආන්දෝලනයක් ඇති කළා. මේ සා විශිෂ්ට සාහිත්‍යකරුවකු මෙසේ මරණයට පත්වීම පිළිබඳ ජනයා අතර වූයේ කෝපයක්. මේ හේතුවෙන් පුෂ්කින්ගේ අවමඟුල් දේවමෙහෙය රහසේ පවත්වා ඔහුගේ සිරුර මහ රෑ නගරයෙන් පිටමං කෙරුණේ ඔහුගේ මවගේ සොහොන අසල තැන්පත් කිරීමට යි.

Cover Image: පුෂ්කින් ඔරෙස්ට් කිප්‍රින්ස්කිගේ චිත්‍රයක් ඇසුරින් (Public Domain)