සෝවියට් දේශය විවේචනය කළ ප්‍රකට ම සෝවියට් ලේඛකයා – අලෙක්සාන්දර් සොල්ශෙනිට්සින්

සෝවියට් දේශයේ පැවති ක්‍රමය යටතේ ලේඛකයන්ට එවක පැවති රජය විවේචනය කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ලේඛන කලාව මත පනවන ලද සීමාවන් කාලයෙන් කාලයට වෙනස් වූ නමුත් පොදුවේ ගත් විට රජය විවේචනය කරමින් සාහිත්‍යකරණයේ නිදහසේ යෙදීමට එරට ලේඛකයන්ට ඉඩකඩ ලැබුණේ ඉතා ම අඩුවෙන්. නමුත් මෙකල සෝවියට් ක්‍රමය විවේචනය කළ විවිධ ලේඛකයන් බිහි වුණා. ඒ ඇතැම් ලේඛකයන් සිය ජීවිතය ගෙවූයේ ඉතා ම කටුක ආකාරයෙන්. බොරිස් පැස්ටර්නැක්, මිහායිල් බුල්ගාකොෆ් වැනි එවන් ඇතැමුන් ලංකාවේ පාඨකයන් අතර ද ජනප්‍රිය යි.

සෝවියට් දේශයේ කලක් ජීවත් වී පසු ව රටින් පිටව ගොස්, සෝවියට් රජයේ බිඳ වැටීමෙන් පසු යළි රුසියාවට පැමිණීමට වරම් ලද​, ප්‍රකට විරෝධාකල්ප ලේඛකයෙකු වූ අලෙක්සාන්දර් සොල්ශෙනිට්සින් මේ සියල්ලන් අතර සුවිශේෂී ස්ථානයක් ගන්නවා. මෙම වසරේ දෙසැම්බර් 11 වන දාට ඔහුගේ ජන්ම ශත සංවත්සරය යෙදී තිබෙනවා.

සොල්ශෙනිට්සින් උපන්නේ 1918 දෙසැම්බර් 11 වන දා ස්ටව්රොපෝල් ප්‍රදේශයේ කිස්ලොවොඩ්ස්ක් හි දී. ඔහුගේ පියා රුසියානු අධිරාජ්‍ය හමුදාවේ නිලධාරියෙකු වූ අතර, මව ඉඩම් හිමියෙකුගේ දියණියක වුණා. ඇගේ පියා එතරම්, වත් පොහොසත්කම් නොමැති පවුලක ඉපිද​, ස්වෝත්සාහයෙන් දියුණු වූ ඉඩම් හිමියෙකු වුණා.

සොල්ශෙනිට්සින් උපදින්නට පෙර ඔහුගේ පියා අනතුරකින් මියගියා. ඔහුගේ මව ඔහු ව හදා වඩා ගත්තේ මූල්‍යමය අපහසුතා මැද යි. සෝවියට් රජය විසින් ඇගේ පවුලෙහි ඉඩම් රජයට පවරා ගත්තා. මේ අතර අලෙක්සාන්දර්ගේ පියා අධිරාජ්‍යයීය හමුදාවේ නිලධාරියකු වූ බව ද සැඟවීමට එම පවුලට සිදුවුණා.

සොල්ශෙනිට්සින් මුල් කාලයේ සිට ම සාහිත්‍යයට ඇල්මක් දැක්වූවා. ඔහු තරුණ කාලයේ ඓතිහාසික නවකතාවක් රචනා කිරීම පිළිබඳ සිහින දුටුවා. මෙය පසු කලෙක ඔහුගේ “අගෝස්තු 1914” නවකතාව ලෙස පළ කෙරුණා.

අත්අඩංගුවට පත් වීම

අලෙක්සාන්දර් සොල්ශෙනිට්සින් දෙවන ලෝක යුධ සමයේ දී රතු හමුදාව වෙනුවෙන් සේවය කළා. එහි දී ඔහුගේ හැකියාවන් හේතුවෙන් සොල්ශෙනිට්සින්ට පදක්කම් පවා පිරිනැමුණා. නමුත් යුද්ධයේ අවසන් භාගය එළඹෙන විට ඔහුගේ ජීවිතය ම කණපිට හැරුණා.

1945 පෙබරවාරියේ දිනෙක ඔහු සිය මිතුරකුට යැවූ පුද්ගලික ලියුමක සෝවියට් නායක ජෝෂප් ස්ටාලින් විවේචනය කළා. මෙය සෝවියට් ඔත්තු සේවය විසින් සොයාගනු ලැබුණා. පෞද්ගලික ලියුමක ලියූ කරුණක් පදනම් කරගෙන ඔහු ව අත්අඩංගුවට ගනු ලැබුණා.

සෝවියට් දේශයේ වූ ගුලාග් සමහරක් දැක්වෙන සිතියමක් (Wikimedia Commons)

සොල් ශෙනිට්සින් වසර අටක් සඳහා වැඩ කඳවුරකට නියම කරනු ලැබුණා. සෝවියට් දේශයේ සිරකරුවන් දහස් ගණනින් රැඳවීම සඳහා ඉදිකෙරුණ මෙම වැඩ කඳවුරු පිළිබඳ එකල බාහිර ලෝකය එතරම් දැන සිටියේ නැහැ. මේවායේ ඉතා අයහපත් තත්ත්වයන් යටතේ සිරකරුවන් වැඩෙහි යොදවනු ලැබුණා. බොහෝ කඳවුරු පිහිටියේ ශීතාධික සයිබීරියාවේ හෝ යුරෝපීය රුසියාවේ හෝ උතුරුදිග ප්‍රදේශවල යි. මේ අතර යුරෝපීය රුසියාවේ ද විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති ආශ්‍රිත ව මෙවන් වැඩ කඳවුරු තිබුණා.

වසර අටක් වැඩ කඳවුරෙහි රඳවන ලද සොල්ශෙනිට්සින් පසු ව මධ්‍යම ආසියාවේ ඈත ප්‍රදේශයකට පිටුවහල් කෙරුණා. මෙහි දී ඔහු පිළිකාවකින් පෙළෙන බව සොයාගන්නා ලද අතර, ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත වීමට ඔහුට අවසර ලැබුණා. ඔහුගේ පිළිකා තත්ත්වය එහි දී යටපත් වූ බව සඳහන්. මෙසේ ප්‍රතිකාර ලැබීම සඳහා ඔහු රෝහල්ගත ව සිටි සමය පසුකලෙක “පිළිකා වාට්ටුව​” නවකතාව සඳහා පාදක වුණා.

අයිවන් ඩෙනිසොවිච්

1956 සෝවියට් කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේ දී නිකිතා කෘෂ්ශොෆ් විසින් කරන ලද රහස් දේශනයෙන් පසු, සෝවියට් දේශයේ ස්ටාලින්වාදී ප්‍රතිපත්ති ලිහිල් වුණා. මේ කාලයේ සොල්ශෙනිට්සින් නිදහස් කරනු ලැබුණ අතර, මීළඟ වසර කිහිපය තුළ ඔහුට සාපේක්ෂ ව යම් නිදහස් පරිසරයක සාහිත්‍යකරණයෙහි යෙදෙන්නට අවස්ථාව ලැබුණා.

සෝවියට් දේශයේ පළ වූ ඔහුගේ එක ම නවකතාව වූ “අයිවන් ඩෙනිසොවිච්ගේ ජීවිතයේ එක් දිනක්” නම් කෘතියෙහි සංස්කරණය කරන ලද පිටපතක්, 1962 සිට නෝවි මීර් නම් සඟරාවේ පළ වුණා. මෙහි දී විස්තර කෙරෙන්නේ සෝවියට් වැඩ කඳවුරක​, නැතහොත් ගුලාගයක​, රැඳවියෙකු ගත කරන එක් දිනයක් පිළිබඳ ව යි. මෙය සෝවියට් ගුලාග් ක්‍රමය ඒ පිළිබඳ නොදත් සෝවියට් වැසියන්ට මෙන්ම බාහිර ලෝකයාට ද පෙන්නුම් කළ කෘතියක් වුණා. මෙහි සඳහන් අයිවන් ඩෙනිසොවිච් අන් කවරෙකුවත් නොව සොල්ශෙනිට්සින් ම බවට විශ්වාස කෙරෙනවා.

1970 දී තිරගත වූ අයිවන් ඩෙනිසොවිච්ගේ ජීවිතයෙන් එක් දිනක් චිත්‍රපටයෙන් (Getty Images)

1964 දී නිකිතා කෘෂ්ශොෆ් බලයෙන් නෙරපන ලද අතර, ඉන්පසු සෝවියට් දේශයෙහි වූ සාපේක්ෂ නිදහසට යළි වැට බැඳෙන්නට වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සොල් ශෙනිට්සින්ට තම කෘති පළ කරගැනීම අසීරු වුණා. ඔහුගේ “පිළිකා වාට්ටුව​” කෘතිය නීත්‍යනුකූල ව පළ කරගැනීමට කළ උත්සාහයන් අසාර්ථක වුණා. සොල්ශෙනිට්සින් පිළිබඳ KGB රහස් පොලිසිය විශේෂ අවධානයෙන් පසු වුණ අතර, 1965 දී ඔහුගේ “පළමු කවය​” අත් පිටපත ඇතුළු ලේඛන ඔවුනගේ භාරයට ගනු ලැබුණා. මේ අතර සොල්ශෙනිට්සින් සිය “ගුලාග් දූපත් රැස​” කෘතිය රහසිගත ව සම්පාදනය කරමින් සිටියා. මෙය ව්ලැදිමීර් ලෙනින් පාලන සමයේ සිට 1950 දශකය දක්වා ගුලාග් ක්‍රමය විකාශනය වූ අයුරු පිළිබඳ ව ලියන ලද විශාල කෘතියක් වනවා.

සෝවියට් දේශයෙන් පිටමං කිරීම​

1969 දී සොල්ශෙනිට්සින්ව සෝවියට් දේශයේ ලේඛක එකමුතුවෙන් ද නෙරපනු ලැබුණා. 1970 දී ඔහුට සාහිත්‍යය පිළිබඳ නොබෙල් සම්මානය ද ප්‍රදානය කළ නමුත්, ඔහු එය භාර ගැනීමට ස්වීඩනය බලා ගියේ නැහැ. ඊට හේතුව නම් ඔහුට ආපසු පැමිණීමට අවසර නොලැබෙනු ඇතැ යි යන සැකය යි.

මේ අතර 1971 දී සොල්ශෙනිට්සින් රෝගාතුර වූ අතර, ඔහු ව විෂ ශරීරගත කර මරා දැමීමට KGBය විසින් කළ උත්සාහයක් ඊට හේතු වූ බව සැක කෙරෙනවා. නමුත් ඔහු දිවි ගලවා ගැනීමට සමත් වුණා.

සොල්ශෙනිට්සින් 1978 දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ දී (Harvard Magazine)

1974 පෙබරවාරියේ දී සොල් ශෙනිට්සින් බටහිර ජර්මනියට පිටුවහල් කරනු ලැබුණා. ඔහුගේ සෝවියට් පුරවැසිභාවය ද අහෝසි කෙරුණා. ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ කලක් ජීවත් වූ ඔහු ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආරාධනාව මත ඇමරිකාව බලා පිටත් වුණා. 1994 වන තුරු ඔහු ජීවත් වුණේ ඇමරිකාවේ යි.

ආපසු රුසියාවට

මිහායිල් ගොර්බචොෆ් යටතේ සෝවියට් දේශයෙහි ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැඟීමෙන් පසු සොල් ශෙනිට්සින්ට 1990 දී නැවත සෝවියට් පුරවැසිකම ප්‍රදානය කරනු ලැබුණා. මේ අවස්ථාවේ ඔහුට ආපසු පැමිණීමට ආරාධනා ලැබුණ අතර, ඔහු පැවසූයේ “මා නැවත පැමිණෙන්නේ මගේ පොත් පැමිණි පසු ය​” යනුවෙන්.

සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු 1994 දී සොල් ශෙනිට්සින් රුසියාවට පැමිණියා. ඔහු මියගියේ 2009 දී. ඔහු විවිධ අවස්ථාවල රුසියාවේ මෙන්ම බටහිර ලෝකයේ සමාජය විවේචනය කළ අයෙකු ලෙස එකල ප්‍රකට ව සිටියා. නමුත් ඔහු කවදාටත් වඩාත් ම ප්‍රචලිත වූයේ සෝවියට් දේශය පිළිබඳ ව වන ඔහුගේ විවේචනයන් හේතුවෙන්.

ඇතැම් විචාරකයන්ගේ මතය වන්නේ සොල්ශෙනිට්සින් සමාජවාදය නොව ඒ ඔස්සේ බලයට පැමිණියවුන්ගේ නොපනත්කම් විවේචනය කළ බව යි.

සොල්ශෙනිට්සින් සිය පළමු කවය කෘතියෙහි දෙබසක සඳහන් කරන එක් ප්‍රකාශයක් තිබෙනවා. “ශ්‍රේෂ්ඨ ලේඛකයකු ඉන්නවා කියන්නේ තවත් ආණ්ඩුවක් තියෙනවා වගෙයි. කිසිම ආණ්ඩුවක් ශ්‍රේෂ්ඨ ලේඛකයකුට සලකන්නේ නැත්තේ ඒක යි. ඔවුන් සලකන්නේ අල්ප ලේඛකයින්ට යි.”

කවරයේ පින්තූරය: සොල්ශෙනිට්සින් (Aleteia)

මූලාශ්‍රයයන්:

  • Aleksandr Solzhenitsyn (Alexandr Solzhenitsyn Center)
  • Aleksandr Solzhenitsyn (nobelprize.org)
  • අලෙක්සාන්දර් සොල්ශෙනිට්සින් අනුස්මරණ දේශනය - ඩබ්. ඒ. අබේසිංහ (2018 නොවැ. 28 රුසියානු කේන්ද්‍රයේ දී)

Related Articles