Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

 නොබෙල් සාම තෑග්ග ලද සිර ගත මානව හිමිකම් ක්‍රියාකාරිකයා

සෑම වර්ෂයක ම ලෝක සාමය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයන්ට/ආයතනවලට නෝර්වීජියානු නොබෙල් කමිටුව  නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව අප සියලු දෙන්නා දන්නා කරුණක්. 2022 වර්ෂයට අදාළ නොබෙල් සාම ත්‍යාගයත් එම කමිටුව පසුගිය ඔක්තෝම්බර් 8 වැනි දින නොර්වේ ඔස්ලෝවල දී ප්‍රදානය කරනවා. 

මෙවර නොබෙල් සාම ත්‍යාගය එක් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් හා තවත් මානව හිමිකම් ආයතන දෙකක් අතර බෙදී ගොස් තිබෙනවා. ඇලස් බියාලියාට්ස්කි (Ales Bialiatski) නම් බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයාට, රුසියාවේ මෙමෝරියල් (Memorial) හා සිවිල් නිදහස සඳහා වන යුක්රේන මධ්‍යස්ථානය (Center for Civil Liberties) යන මානව හිමිකම් සංවිධාන වෙත එම නොබෙල් ත්‍යාගය හිමි වෙනවා. යුද අපරාධ, මානව අයිතිවාසිකම් කඩ කිරීම හා බලය අයුතු ලෙස භාවිත කිරීමට එරෙහිව තොරතුරු රැස් කිරීම වෙනුවෙන් ඉටු කළ සේවාවටයි මෙම පාර්ශව තුනට නොබෙල් සාම ත්‍යාගය මෙවර පිරිනැමෙන්නේ.

ඇලස් බියාලියාට්ස්කි – rightlivelihood.org

මේ වන විටත් සිරගත ව සිටින ඇලස් බියාලියාට්ස්කි

බෙලරුසියාවේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවී කටයුතු කළ අයකු ලෙස නොබෙල් කමිටුව ඇලස් බියාලියාට්ස්කි නම් කර තිබෙනවා. උද්ඝෝෂණයක් අතුරතුර අත්අඩංගුවට ගෙන මේ වන විට නඩු විභාගයකින් තොර ව සිර ගත කර සිටින ප්‍රකට බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් ලෙස ඔහු හඳුන්වන්නට පුළුවන්.  

1996 වසරේ දී වියස්නා මානව හිමිකම් මධ්‍යස්ථානය (Viasna Human Rights Centre) ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගන්නේ ඇලස් බියාලියාට්ස්කි යි. බෙලරුසියාවේ අත්තනෝමතික පාලක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට එරෙහි ව කටයුතු කිරීම හේතුවෙන් 2003 ඔක්තෝබර් 28 වැනි දින එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම සංවිධානයේ රාජ්‍ය ලියාපදිංචිය අවලංගු කරනවා. එතැන් සිට එය ක්‍රියාත්මක වන්නේ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස යි. 2000 සිට 2004 වර්ෂය දක්වා එරට රාජ්‍ය නොවන සංවිධාන එකතුවේ සභාපති ලෙස ඇලස් බියාලියාට්ස්කි කටයුතු කරනවා. 

2007–2016 කාලය තුළ මානව හිමිකම් සඳහා ජාත්‍යන්තර සම්මේලනයේ (FIDH) උප සභාපති ලෙස ද ඔහු කටයුතු කරනවා. බෙලරුසියානු ලේඛකයන්ගේ සංගමය වැනි තවත් ස්වේච්ජා ආයතන රැසක ඔහු මේ දක්වා සාමාජිකත්වය දරනවා. මේ කාල වකවානුව තුළ ඔහුගේ සේවාව හේතුවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සම්මාන රැසක් හිමි වෙනවා. 2011 වසර සිට 2014 දක්වා ඔහු එරට රජය සිරගත කරන අතර එයට හේතුව ලෙස දක්වන්නේ බදු නොගෙවා පැහැර හැරීමක්. මෙම චෝදනාව බියාලියාට්ස්කි තරයේ ප්‍රතික්ෂේප කරනවා. 2020 වසරේ එරට පැවති මැතිවරණය දූෂිත යැයි පවසා පාලක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට එරෙහි ව විපක්ෂය ඇතුළු බහුජන ව්‍යාපාර රැසක් විරෝධතාවල නිරතවෙනවා. මේ හේතුවෙන් 2021 වසරේ ඔක්තෝම්බර් 6 වැනි දින ඔහු නැවතත් අත්අඩංගුවට ගැනෙනවා. අද වන තුරුත් බියාලියාට්ස්කි නිදහස් කර නෑ. 

මොස්කව් අධිකරණය මෙමෝරියල් සංවිධානය තහනම් කිරීම – cnn.com

රුසියාවේ මෙමෝරියල් සංවිධානය

නොබෙල් සාම ත්‍යාගය හිමි කර ගත් අනෙක් සංවිධානය ලෙස මෙම මානව හිමිකම් සංවිධානය හැඳින්විය හැකි යි.  2022 වසරේ අප්‍රේල් 5 වන දින මෙම සංවිධානය වසා දැමීමට එරට අධිකරණය කටයුතු කරනවා. මෙය ජෝසප් ස්ටාලින්ගේ පාලන සමයේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හා අනෙකුත් අපරාධ අධ්‍යයනය කිරීම සඳහා සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව රුසියාවේ ආරම්භ කළ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක්. 

මෙම සංවිධානයේ කටයුතු සම්බන්ධයෙන් රුසියානු රජයේ එතරම් කැමැත්තක් මුල සිට ම පැවතියේ නෑ. වරින් වර මෙමෝරියල් සංවිධානයේ කටයුතුවලට මැදිහත් වූ රුසියානු බලධාරීන් අවස්ථා කිහිපයක දී ම සංවිධානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවවාදාත්මක උපදේශන නිකුත් කරනවා. 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම සංවිධානය සහ එහි ප්‍රාදේශීය ශාඛා වසා දැමීමට නියෝග කරනවා. ඒ විදේශීය නියෝජිත නීතිය (foreign agent law) උල්ලංඝණය කරමින් ත්‍රස්තවාදයට හා අන්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින්. සංවිධානයේ යම් යම් පළකිරීම්වලදී විදෙස් නියෝජිතයන්ගෙන් ලද තොරතුරු බවට එම පළකිරීම් සටහන් නොකිරීම විදේශීය නියෝජිත නීතිය උල්ලංඝණය කිරීමක් ලෙස මෙතැන දී අර්ථ දක්වා තිබෙනවා. ඒ අනුව මෙය 2022 වසරේ දී මෙය වසා දමනවා.

සිවිල් නිදහස සඳහා වන යුක්රේන මධ්‍යස්ථානය – nobelprize.org

යුක්රේනයේ සෙන්ටර් ෆෝ සිවිල් ලිබටීස්

මෙවර නොබෙල් ත්‍යාගය දිනා ගත් අනෙක් පාර්ශවය වන්නේ සිවිල් නිදහස සඳහා වන යුක්රේන මධ්‍යස්ථානය යි. මෙය 2007 වසරේ යුක්රේනයේ දී ස්ථාපනය වූ මානව හිමිකම් සංවිධානයක්. එහි මූලික පරමාර්ථය වන්නේ රට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට යොමු කිරීම උදෙසා යුක්රේන රජයට බලපෑම් කිරීම යි. 

2014 වසරේ දී රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගැනීමෙන් පසුව එම ප්‍රදේශයේ සිදු වූ යුද අපාරාධ, ජන සංහාර, මානව හිමිකම් උල්ලංඝණය හා නීතිවිරෝධී ලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු ලේඛනගත කිරීම හා ජාත්‍යන්තර ප්‍රජාව ඒ පිළිබඳ ව දැනුම්වත් කිරීම ඔවුන් දිගින් දිගට ම සිදු කරනවා. නීතිවිරෝධී ලෙස සිර ගත කර සිටින පුද්ගලයන් නිදහස් කිරීම සම්බන්ධයෙන් රුසියාවෙන් දිගින් දිගට ම ඉල්ලීම් කිරීමට ද මෙම සංවිධානය කටයුතු කරනවා. 

‘සෙන්ටර් ෆෝ සිවිල් ලිබටීස්’ – www.britannica.com

‘සෙන්ටර් ෆෝ සිවිල් ලිබටීස්’

2022 වසරේ දී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ව යුද්ධයේ දී  සිදු වෙමින් පවතින රුසියානු යුද අපරාධ ලේඛනගත කිරීමට ද ‘සෙන්ටර් ෆෝ සිවිල් ලිබටීස්’ ආරම්භ කරනවා. 2022 වසර සඳහා නොබෙල් සාම ත්‍යාගය ලබා දෙමින් නෝර්වීජියානු නොබෙල් කමිටුව ප්‍රකාශ කරන්නේ රුසියානු යුක්රේන ගැටුමේ දී යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය වාර්තා කිරීම සම්බන්ධයෙන් මෙම සංවිධානය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව යි. යුක්රේන සංවිධානයක් හෝ පුරවැසියෙක් ලබා ගත් ප්‍රථම නොබෙල් සාම ත්‍යාගය ලෙස ද මෙය වාර්තා වෙනවා. 

මෙවර නොබෙල් ත්‍යාගය ඉහත පාර්ශව තුනට හිමි වූ අතර මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ වූ නම් අතර ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක් ද වෙනවා. ප්‍රැන්සිස් පාප් වහන්සේ, විකිලික්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්, රුසියාවේ දේශපාලන රැකවරණය ලබන එඩ්වර්ඩ් ස්නෝඩන්, රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි, පරිසර ක්‍රියාකාරිණි ග්‍රේටා තුන්බර්ග් හා යුක්රේන ජනාධිපති ව්ලදමියර් සෙලෙන්ස්කි ද නිර්දේශ වූ නාම අතරින් කිහිපයක් ලෙස දක්වන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය - ඇලස් බියාලියාට්ස්කි - indianexpress.com
මූලාශ්‍ර:
nobelprize.org
memo.ru
ccl.org.ua

Related Articles