Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටවල් තුනක් වෙනුවෙන් පාපන්දු ගැසූ සුපිරි ක්‍රීඩකයා

ලෝක පාපන්දු ඉතිහාසය තුළ බිහි වූ සුපිරි ක්‍රීඩකයන් අතුරින් ඇල්ෆ්රඩෝ ඩි ස්ටෙෆානෝට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. 1947-1962 කාල සමය තුළ ජාත්‍යන්තර පාපන්දු පිටියේ රැඳී සිටි මෙම ක්‍රීඩකයා රටවල් තුනක් නියෝජනය කරමින් පාපන්දු ක්‍රීඩාවේ නිරත වුණා. එසේම ස්පාඤ්ඤයේ රියල් මැඩ්‍රිඩ් පාපන්දු ක්‍රීඩා සමාජය වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිපදෙනා අතරට ස්ටෙෆානෝත් අයත් වුණා. එලෙස පාපන්දු ලෝකයේ අවධානය දිනාගත් මෙම සුපිරි තරුව පිළිබඳව වර්තමානයේ දී එතරම් කතාබහ නොකරන  නිසා මෙම ලිපිය වෙන්වන්නේ ස්ටෙෆානෝගේ පාපන්දු දිවිය ගැන කතා කිරීමට යි.

ස්ටෙෆානෝගේ ජාත්‍යන්තර පාපන්දු දිවිය පිළිබඳ තොරතුරු 

1926 වසරේ දී ආජන්ටිනාවේ උපන් ස්ටෙෆානෝගේ පියා රිවර් ප්ලේට් නම් ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෙකු වුණා. 1945 වසරේ දී ස්ටෙෆානෝටත් එම පාපන්දු සමාජයට සම්බන්ධ වීමට හැකි වුණා. එදා රිවර් ප්ලේට් කණ්ඩායම වෙනුවෙන් පෑ දස්කම් නිසාම 1947 වසරේ දී ආජන්ටිනා පාපන්දු කණ්ඩායමට එක් වීමේ අවස්ථාව ඔහුට හිමි වුණා.

වසර 5ක් ඇතුළත රටවල් 2ක් නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වුණා   

1947 වසරේ පැවති දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනාගත්තේ ආජන්ටිනා කණ්ඩායම යි. එහි දී තරග 6කට සහභාගි වුණු ස්ටෙෆානෝ ගෝල 6ක් වාර්තා කළේ තරගාවලියේ දෙවැනි වැඩිම ගෝල ලාභියා බවට පත් වෙමින්. එසේම කොලොම්බියා කණ්ඩායමට එරෙහිව ස්ටෙෆානෝ ලබාගත් ත්‍රිත්ව ගෝලය, තරගාවලිය තුළ වාර්තා වාර්තා වුණු මුල්ම ත්‍රිත්ව ගෝලය බවටත් පත් වුණා. එලෙස ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූ මෙම ක්‍රීඩකයාට පසුව කොලොම්බියාව නියෝජනය කිරීමට සිදුවුණේ 1949 වසරේ දී ආජන්ටිනාව තුළ ඇති වූ පාපන්දු අර්බුදය නිසා යි. නමුත්, කොලොම්බියාව වෙනුවෙන් සහභාගි වුණු තරග 4 තුළ දී ස්ටෙෆානෝට ගෝල ලබා ගැනීමට හැකි වුණේ නැහැ.

1957 වසරේ දී ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමට එකතු වුණා  

1953 වසරේ දී ස්පාඤ්ඤයේ රියල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණු ස්ටෙෆානෝ එහි දී සුපිරි දස්කම් දක්වනු ලැබුවා. ඉන් අනතුරුව 1956 වසරේ දී ස්පාඤ්ඤ පුරවැසිභාවය ලබාගත් ස්ටෙෆානෝ ඉන් වසරකට පසුව ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමට එකතු වුණා. එලෙස ස්පාඤ්ඤ කණ්ඩායමට එකතු වීමෙන් පසුව වසර 5ක් එම කණ්ඩායම නියෝජනය කළ ස්ටෙෆානෝ තරග 31ක් තුළ ගෝල 23ක් ලබාගත්තා.

ස්ටෙෆානෝ ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝලයක් වාර්තා කරමින් (gettyimages)

කිසිදිනෙක පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වීමට හැකි වුණේ නැහැ 

ස්ටෙෆානෝ නම් සුපිරි ක්‍රීඩකයා ආජන්ටිනාව සහ ස්පාඤ්ඤය වැනි ප්‍රබල රටවල් නියෝජනය කළත්, ඔහුට පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබීම කණගාටුදායක සිදුවීමක් වුණා. ස්ටෙෆානෝ ආජන්ටිනාව නියෝජනය කළ සමයේ පැවැත්වුණු 1950 සහ 1954 ලෝක කුසලාන තරගාවලි සඳහා ආජන්ටිනාව සහභාගි නොවුණු නිසා ඔහුට ලෝක කුසලාන තරගාවලි 2ම අහිමි වී ගියා. පසුව 1958 ලෝක කුසලාන තරගාවලි සුදුසුකම් ලැබීමේ තරග වටයට එක් වුණු ස්ටෙෆානෝ, එහි දී නියෝජනය කළේ ස්පාඤ්ඤ කණ්ඩායම යි. නමුත් එවර ස්පාඤ්ඤ කණ්ඩායම සුදුසුකම් ලබාගැනීමේ තරග පරාජයට පත් වුණා. එම නිසාම නැවතත් ස්ටෙෆානෝට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ක්‍රීඩා කිරීමට ලැබී තිබුණු අවස්ථාව අහිමි වුණා. නමුත් 1962 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායමට හැකි වුණා. එවර සුදුසුකම් ලබාගැනීමේ තරගවල දී ගෝල 3ක් ලබාගත් ස්ටෙෆානෝ එහි දී සිය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා බවටත් පත් වුණා. නමුත් චිලී දේශයේ පැවැත්වුණු එම තරගාවලියට පෙර ස්ටෙෆානෝ ආබාධයකට ලක් වුණා. එම නිසාම සිව්වන වරටත් ඔහුට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මඟහැරී ගියා.

ස්ටෙෆානෝගේ පාපන්දු ක්‍රීඩා සමාජ දිවිය පිළිබඳ තොරතුරු 

1945-1949 කාල සමය තුළ ආජන්ටිනාවේ රිවර් ප්ලේට් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ස්ටෙෆානෝ තරග 66ක දී ගෝල 49ක් ලබාගත්තා. 1949 වසරේ දී ආජන්ටිනාව තුළ ඇති වුණු පාපන්දු අර්බුදය නිසා කොලොම්බියාවට ගිය ස්ටෙෆානෝ මිලියොනරියොස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වසර 4ක් ක්‍රීඩා කළා. එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග 101ක දී ගෝල 90ක් ලබාගැනීමට ස්ටෙෆානෝ සමත් වුණා. 

රියල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජය ස්ටෙෆානෝගේ පාපන්දු දිවිය ආලෝකමත් කළා  

1953-1964 කාල සමය තුළ රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම නියෝජනය කළ ස්ටෙෆානෝ ගෝල 282ක් වාර්තා කළේ තරග 216කට පමණක් සහභාගි වෙමින්. 1955/1956 තරග වාරයේ සිට 1959/1960 තරග වාරය දක්වා පිට පිටම තරගවාර 5ක දී යුරෝපා පාපන්දු සමාජ කුසලානය දිනාගත්තේ රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම යි. එහි දී රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම සහභාගි වුණු අවසන් තරග 5 දී ම ස්ටෙෆානෝ ගෝල වාර්තා කිරීමට සමත් වීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඉන් ස්ටෙෆානෝට අමතක නොවන අවසන් තරගය වන්නේ 1960 වසරේ ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු අවසන් තරගය යි. එහි දී ඔහු ත්‍රිත්ව ගෝලයක් වාර්තා කළේ සුපිරි දස්කම් දක්වමින්.

1960 යුරෝපා පාපන්දු සමාජ තරගාවලියේ අවසන් තරගයේ ගෝලයක් ලබාගනිමින් (gettyimages)

වසරේ යුරෝපීය පාපන්දු ක්‍රීඩකයා සම්මානය දෙවරක්ම දිනාගත්තා  

1956/1957 තරග වාරයේ සිට 1961/1962 තරග වාරය දක්වා පැවති යුරෝපා ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලිවල දී ස්ටෙෆානෝ සුපිරි දස්කම් දක්වනු ලැබුවා. ඉන් 1957/1958 සහ 1961/1962 තරග වාර 2ම ස්ටෙෆානෝට සුවිශේෂී ඒවා බවට පත් වුණා. ඒ එම තරග වාර 2ක තුළම ඔහු යුරෝපා පාපන්දු ක්‍රීඩා සමාජ තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත් වුණු නිසා යි. එලෙස අඛණ්ඩව දැක්වූ සුපිරි දස්කම් නිසාම 1957 සහ 1959 වසරවල යුරෝපීය පාපන්දු ක්‍රීඩකයා බවට පත් වුණෙත් ඔහු යි.

ස්ටෙෆානෝ 1957 යුරෝපීය පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගනිමින් (pinterest)

පාපන්දු ක්‍රීඩාවෙන් සමුගෙන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළා  

1966 වසරේ දී වෘත්තීය පාපන්දු ක්‍රීඩාවෙන් සමුගත් මෙම සුපිරි තරුව ඉන් අනතුරුව පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළා. එහි දී රියල් මැඩ්‍රිඩ්, රිවර් ප්ලේට්, බොකා ජූනියර්ස්, වැලෙන්සියා වැනි ක්‍රීඩා සමාජවල පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබුණා. එහි දී ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ බොකා ජූනියර්ස් කණ්ඩායම 1969 කෝපා ආජන්ටිනා ශූරතාවය දිනාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. එසේම වැලෙන්සියා කණ්ඩායම 1979/1980 යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය මුල්මවරට දිනාගනු ලැබුවේ ද ස්ටෙෆානෝගේ පුහුණුකාරීත්වය යටතේ යි.

සිය පාපන්දු දිවිය තුළ සුපිරි දස්කම් මෙම විශිෂ්ට ක්‍රීඩකයා 1998 වසරේ දී තෝරාගැනු ලැබූ 20 වැනි සියවසේ හොඳම පාපන්දු කණ්ඩායමටත් ඇතුළත් වුණා. ජාත්‍යන්තර පාපන්දු පිටියේ එතරම් දස්කම් නොදැක්වුවත් ස්ටෙෆානෝ සතුව තිබුණු සුපිරි හැකියාව නිසාම එම ගෞරවය ඔහුට ලැබුණා. 2014 වසරේ දී ඇති වුණු හෘදයාබාධයක් නිසා මෙම සුපිරි තරුව නිවී ගියත් ඔහුගේ නාමය පාපන්දු ඉතිහාසය තුළ හැමදාමත් රැඳෙනු ඇති.

Related Articles