සමස්ථ අප්‍රිකාවම පාහේ යුරෝපීය යටත් විජිත ලෙස පවතින සමයෙහි බටහිර අප්‍රිකාවේ වූ පෘතුගීසි ගිනියාව සහ කේප් වර්ඩේ දූපත්වල ජාතික නිදහස උදෙසා සටන් වැදුණ විමුක්තිදායකයා ලෙස සැලකෙන්නේ අමිල්කාර් කබ්රාල් නම් වූ නායකයා යි.

වෘත්තියෙන් කෘෂි විද්‍යාඥයකු වූ හෙතෙම කවියකු සහ ලේඛකයකු මෙන්ම මාක්ස්වාදී දේශපාලන චින්තකයකු ද වුණා. තම කර්තව්‍යයේ අවසාන ජයග්‍රහණය දකින්නට හෝ ඉන්පසු සිදු වූ කඩා වැටීම දකින්නට හෝ ඔහු ජීවතුන් අතර සිටියේ නැහැ.

අමිල්කාර් කබ්රාල් උපන්නේ 1924 සැප්තැම්බර් 12 වන දා යි. ඔහු උපන්නේ පෘතුගීසි ගිනියාවේ (වර්තමාන ගිනි බිසව්) බෆටා නගරයේ දී වුව ද, ඔහුගේ දෙමාපියන් කේප් වර්ඩේ දූපත්වල පදිංචිකරුවන් වුණා. ඔහුගේ පියා ධනවත් ඉඩම් හිමියකු ද වුණා. කබ්රාල් මෙම ප්‍රදේශ දෙකම පිළිබඳ උද්‍යෝගයෙන් පසු වූ අතර, ප්‍රදේශ දෙකම එක අනාගතයක් සහිත ප්‍රදේශ ලෙස සැලකුවා. පෘතුගීසි පාලකයින් මෙම ප්‍රදේශ දෙකට තරමක් වෙනස් ලෙස සැලකූ අතර, කේප් වර්ඩේ වෙත වැඩි සැලකිලි දක්වනු පෙන්නුම් කෙරුණා.

පෘතුගීසි අප්‍රිකාව​

පෘතුගීසි පාලනය යටතේ වූ අප්‍රිකානු ප්‍රදේශ වූයේ ඇන්ගෝලාව​​, පෘතුගීසි ගිනිකොනදිග අප්‍රිකාව හෙවත් මොසැම්බික්, කේප් වර්ඩේ සහ පෘතුගීසි ගිනියාව යි.

පෘතුගීසි පාලකයින් ඉතා නරක ලෙස අප්‍රිකානු විජිතවලට සැලකූ බව ප්‍රකට කරුණක්. ඔවුන් අතීතයේ දී ධනය ඉපයීමේ ප්‍රධානම මාර්ගයක් කරගත්තේ මෙම ප්‍රදේශවලින් ඇරඹුණ වහල් වෙළෙඳාම යි. 1940 දශකයේ කේප් වර්ඩේ දූපත්වලට සාගත කිහිපයක්ම බලපෑ අතර, යටත් විජිත පාලකයින් ඒවා පිළිබඳ තැකීමක් කළේ නැහැ. තව ද, පෘතුගීසි ගිනියාවේ ජනයා ඔවුන් විසින් දැඩි ලෙස තලා පෙලා දමනු ලැබුණා.

පෘතුගීසි අප්‍රිකාව​. බටහිර අප්‍රිකාවේ පෘතුගීසි ගිනියාව සහ ඉන් ඔබ්බෙහි කේප් වර්ඩේ වෙයි (Wikimedia Commons)

මෙකල පෘතුගීසි පාලකයින් යටත් විජිතවල තෝරාගන්නා ලද කිහිපදෙනකුට පෘතුගාලයේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව ලබා දුන්නා. එහි අරමුණ වූයේ අනාගතයේ දිනෙක තම පරිපාලනයට සහාය වන කණ්ඩායමක් නිර්මාණය කිරීම යි. 1945 දී කබ්රාල්ට ලිස්බන් නගරයේ දී කෘෂි විද්‍යාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබුණා.

අප්‍රිකාවේ දී ඔහුට අන් පෘතුගීසි අප්‍රිකානු විජිතවලින් පැමිණි අය ද මුණගැසුණා. ඒ අතර ඇන්ගෝලාවේ අගොස්තිනෝ අන්තෝනියෝ නෙටෝ, මොසැම්බික් හි එඩුවාර්ඩෝ මොන්ඩ්ලේන් ආදීන් සිටියා. මේ අතර ඔහු යටිබිම්ගත වාමාංශික ක්‍රියාකාරීන් සමග ද සබඳතා ගොඩනගා ගත්තා. ඔවුන් වෙතින් ඔහුට වාමාංශික පොත පත ලැබුණා.

නිදහස් සටන

සිය අධ්‍යයන කටයුතු හමාර කළ කබ්රාල්, නැවත පෘතුගීසි ගිනියාව වෙත පැමිණියා. ඔහු රටෙහි ගම්බද ප්‍රදේශයන් හි සංචාරය කරමින් එහි පාංශු සංයුතිය සහ භෝග වගාව පිළිබඳ අධ්‍යයනය කළා. තම රටේත්, ඇන්ගෝලාවේත් කළ සංචාරයන්හි දී ඔහු යටත්විජිතකරණය විසින් එම රටවල ජනතාව මත පටවන ලද මානසික සහ සංස්කෘතික පීඩනය නිරීක්ෂණය කළා. පෘතුගීසි පාලකයන් රටකජු වැවිලි භෝග වගාවට ජනයා පෙළඹවීම සහ එයින් රටේ සරු පස නාස්ති වීමත්, අධික මිලට භාණ්ඩ විකුණන පෘතුගීසි වෙළෙන්දනුත් ගිනියාවේ ජනයා පීඩනයට පත් කළා.

අමිල්කාර් කබ්රාල් සන්නද්ධ සටන්කාමීන් සමග (amilcar-cabral.com)

කේප් වර්ඩේ දූපත් අප්‍රිකානු වෙරළෙන් කිලෝමීටර් 800ක් පමණ ඈත පිහිටි නමුදු, ඒවායේ සහ පෘතුගීසි ගිනියාවේ ජනතාවගේ ඉරණම එකට බැඳී තිබෙන බව විශ්වාස කළ කබ්රාල්, 1956 දී ස්වාධීනත්වය උදෙසා අප්‍රිකානු පක්ෂය පිහිටවූවා. පසුකාලීනව එය ගිනියාවේ සහ කේප් වර්ඩේ හි ස්වාධීනත්වය උදෙසා වන අප්‍රිකානු පක්ෂය (PAIGC) ලෙස නම් කෙරුණා.

මෙකල ලොව පුරා පැතිර යමින් පැවති ජාතික විමුක්තිකාමී රැල්ලෙහි ප්‍රබලයකු ලෙස කබ්රාල් කැපී පෙනුණා. ඔහු බටහිර අප්‍රිකාවේ අරගලය ක්‍රියාවට නගන සමයෙහි අප්‍රිකානු රටවල් නිදහස ලබමින් තිබුණා. චීන විප්ලවය ජයගෙන වැඩිකල් ගතව තිබුණේ නැහැ. කියුබානු විප්ලවයේත් වියට්නාම් ජනතා අරගලයේත් මතකයන් නැවුම්ව පැවතියා. ජනතාව බලගැන්වීම මඟින් මහජන විමුක්තිකාමී ව්‍යාපාරයක් ගොඩනැගීම කබ්රාල්ගේ බලාපොරොත්තුව වුණා.

1961 දී ඇන්ගෝලාවේ නිදහස් සටන ඇරඹුණා. ඉන් ස්වල්ප කලකට පසු මොසැම්බික්, පෘතුගීසි ගිනියාව සහ කේප් වර්ඩේ ප්‍රදේශයන්හි ද ජාතික විමුක්ති අරගලයන් පැතිර ගියා. පෘතුගීසි ෆැසිස්ට් පාලනය මෙම අරගලයන් මර්දනය කිරීම සඳහා ප්‍රබල උත්සාහයක් ගත්තා. එය පෘතුගීසි භාණ්ඩාගාරයට විශාල බරක් බවට පත් වුණා. කෙතරම් උත්සාහ කළත්, මෙම විමුක්ති ව්‍යාපාර මර්දනය කිරීමට පෘතුගාලය සමත් වූයේ නැහැ. නිදහස ලබන සමය වන විට පෘතුගීසි ගිනියාවේ භූමියෙන් තුනෙන් දෙකක් පමණ වූයේ PAIGC සෙබළුන් අත යි.

අමිල්කාර් කබ්රාල්, ෆිදෙල් කස්ත්‍රෝ සමග (amilcar-cabral.com)

මේ අතර, අප්‍රිකාවේ දී ඇතැම් පෘතුගීසි සෙබළුන් නව අදහස්වලට නිරාවරණය වුණා. කෙමෙන් කෙමෙන් ඔවුන් ෆැසිස්ට් විරෝධී ස්ථාවරයකට පැමිණියා. 1974 දී පෘතුගාලයේ ෆැසිස්ට් පාලනය අවසන් කළ හමුදා කුමන්ත්‍රණයට හේතු වූ කරුණු දෙකක් වන්නේ භාණ්ඩාගාරය හිස් වීම සහ ෆැසිස්ට් විරෝධී අදහස් හමුදාව තුළ පැතිරීම යි.

ෆැසිස්ට් පාලනය බිඳ වැටුණ පසු පෘතුගාලය විසින් අප්‍රිකාවේ යටත් විජිතවලට නිදහස ප්‍රදානය කළා. ඒ අනුව 1975 දී එම රටවල් නිදහස ලැබුවා.

එහෙත් එම අනාගතය දකින්නට අමිල්කාර් කබ්රාල් ජීවත් වූයේ නැහැ. 1973 ජනවාරි 20 වන දා ඔහුගේ විරුද්ධවාදීන් විසින් කබ්රාල් ඝාතනය කෙරුණා. මෙය පිටුපස පෘතුගාල රහස් පොලිසිය සිටින්නේයැ යි සැක කළ ද, එය තහවුරු වී නැහැ. මේ අතර​, කබ්රාල් ලබා සිටි ජාත්‍යන්තර කීර්තිය නොරිස්සූ ගිනියාවේ ජනාධිපති අහමඩ් සෙකවු ටූරේ මෙම ඝාතනය පිටිපස වීයැ යි ද ඇතමුන් සැක කරනවා. එය ද තහවුරු වූ කරුණක් නොවේ.

පෘතුගීසි ගිනියාව නිදහස ලද්දේ ගිනි බිසව් යන නමින්. අමිල්කාර්ගේ අර්ධ සහෝදරයකු වූ ලුවී කබ්රාල් එරට ප්‍රථම ජනාධිපති වුණා. මේ අතර PAIGC පක්ෂය ගිනි බිසව් මෙන්ම කේප් වර්ඩි යන දෙරටෙහිම පාලක පක්ෂය ලෙස පැවතුණා. 1980 දී ගිනි බිසව් හි සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු කේප් වර්ඩේ හි පක්ෂය වෙන්ව ගියා. ගිනි බිසව්, රාජ්‍යය හමුදා කුමන්ත්‍රණ සහ අසාර්ථක පාලකයන් හේතුවෙන් අප්‍රිකාවේ අයහපත්ම තත්ත්වයක සිටින රාජ්‍යයක් බවට පත් ව තිබෙනවා.

කවරයේ පින්තූරය: කබ්රාල් 1964 දී (Public Domain)