වීදියේ සටන්කරුවා – ආචාර්ය ගාමිණී හත්තොටුවේගම

වීදි නාට්‍ය කලාව ලංකාවට හඳුන්වා දුන්නේ ඔහුය. හඳුන්වා දුන්නා පමණක් නොව එය ලාංකීය භූමිය මත පැළ කළේද ඔහුමය. එය යහපත් සමාජයීය අරමුණකින් කළ කාර්යයකි. කලාවේ පාරිශුද්ධ අරමුණ කුමක්දැයි ඔහු ඉතා හොඳින් දැන හැඳින සිටියේය.

මේ කලාකරුවා එක්දහස් නවසිය හැත්තෑ හතර වසරේ ජුනි මාසයේ පොසොන් පෝය දින කොළඹ සිට අනුරාධපුරය බලා යන දුම්රියක නැගුණේය. ඔහු සන්තකයේ තිබුණේ ඇඳුම් කිහිපයක් ලූ බෑගයත්, වියදමට සරිලන සුළු මුදලකුත් පමණි. ඔහු සතුව තිබුණේ භෞතික දේවල් සුළුතරයක් වුවත්, ඔහුගේ හදවතේ තිබුණු අරමුණ සුළු පටු නොවීය. ඒ අරමුණ සමාජය වෙත ගෙන යාමටත්, ඔහු තුළ වූ ක්‍රම විරෝධය සමාජයට දනවන්නටත් හත්තොටුවේගමයන් තෝරා ගත්තේ මහ පාරයි. එනම් වීදියයි.

ඒ තෝරාගැනීම හරහා මේ සමාජයට සිදු වූ බලපෑම ඉතා විශාලය. ඒ බලපෑම පිළිබඳවත් හත්තොටුවේගම කලාකරුවා හෙවත් වීදියේ සටන් කරුවා පිළිබඳවත් මෙම ලිපියෙන් අප පුළුල් ලෙස කතා කරන්නට බලාපොරොත්තු වන්නෙමු. ඒ සඳහා ගාමිණී හත්තොටුවේගම විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ පැරැණිම සාමාජිකයකු වන රංගන ශිල්පී සමන් හේමරත්නව සම්බන්ධ කර ගැනීමට අපට හැකි විය. මේ ඔහු සමග කළ කතා බහකින්  සම්පාදනය වුණු ලිපියකි.

අපි සමන් හේමරත්නත් සමග කතා බහට ප්‍රවේශ වුණේ මේ විදියට…̎ඔබ කොහොමද හත්තොටුවේගම විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙන්නෙ ? ̎

මම විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙන්නෙ අසූ ගණන්වල. වේදිකාවේ රඟපාන්න ලොකූ කැමැත්තකින් තමයි මම හිටියෙ ඔය දවස් වල. ඒ සඳහා සූදානම් වීමක් විදියට වැඩමුළු ආදී දේවල් වලට සහභාගී වෙමින් හිටියා. නිමල් චන්ද්‍රසිරි සහ ප‍්‍රසන්නජිත් තමයි මාව වීදි නාට්‍ය කණ්ඩායමට එක්කරගෙන ගියෙ. ඔය වකවානුවෙ තමයි අසූ අට අසූ නවයේ භීෂණ යුගය කියන කාලය උදාවෙන්නෙ. ඒ භීෂණයට පොඩ්ඩක් කලින් තමයි මම වීදී නාට්‍ය කණ්ඩායම සම්බන්ධ වෙන්නෙ. භීෂණ යුගයේ පවා විවෘත විදි නාට්‍ය කණ්ඩායමේ අපි මහපාර වේදිකාවක් බවට පත් කර ගත්තා.  ඉතින් එදා සිට අද දක්වා විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ නොකඩවා හිටිය සාමාජිකයෙක් මම. අදටත් මම වීදි නාට්‍ය කණ්ඩායමේ ඉන්නවා. ඒ වගේම මම වීදියට සහ වේදිකාවට අනිත් දේවල් වලට වඩා කැපවීමෙන් යුතුව වැඩ කරනවා.

ගාමිණී හත්තොටුවේගම කියන පුද්ගල චරිතය සම්බන්ධයෙන් සමාජයේ කාගෙන් හෝ ඇහුවොත් කියන එක සමාන කතාවක් තිබෙනවා. ඒ තමයි ඔහු අව්‍යාජ කලාකරුවෙක් කියන කාරණය. සමන් හේමරත්න කලාකරුවා හත්තොටුවේගම නිර්මාණකරුවාගේ චරිතය දකින්නෙ කොහොමද ?

ගාමිණී හත්තොටුවේගම සර්ව වීදි නාට්‍යකරුවෙක් ලෙස පමණක් හඳුන්වන්න මම කැමති නැහැ. ඇත්තටම ඔහු එතනින් ගොඩාක් එහාට ගිය පුද්ගලයෙක්. ඊට හේතුව ඔහු තුළ තිබුණා පුදුමාකාර මානවවාදී මිනිස් කමක්. ඒක තමයි මේ සමාජයේ ඉතා දුර්ලභ, නමුත් සර් ගාව තිබුණු වැදගත්ම වටිනාම දේ.

ඊළඟට හත්තොටුවේගම සර් ක‍්‍රම විරෝධියෙක්. ඒ කියන්නෙ තිබෙන ක‍්‍රමය වෙනස් කළ යුතුයි කියන මතවාදය තමයි සර්ට තිබුණෙ. සරළවම කියනවා නම් සර් දැඩි ක‍්‍රම විරෝධියෙක්. මම හිතන විදියට මේ ලෝකය බිහි වුණේ සිස්ටම්ගත වෙච්ච මිනිස්සුන්ගෙන් නෙමෙයි. ලෝකය බිහි වෙලා තිබෙන්නෙ සිස්ටම් එක කඩා ගෙන ගිය මිනිස්සුන්ගෙන්. හත්තොටුවේගම සර් සිස්ටම් ගත වෙච්ච මිනිහෙක් නෙමෙයි. ඔහු එතනින් එහාට ගිය පුද්ගලයෙක්. උදාහරණයක් විදියට හත්තොටුවේගම සර් කවදාවත් මට මගේය කියන සංස්කෘතියක හිටියෙ නැහැ. අපි අපේය කියන සංස්කෘතියක තමයි ඔහු හිිටියෙ. සර් කිසිම දවසක තමන් වෙනුවෙන් කියලා වැඩ කළේ නැහැ. ලොකු ගෙවල් දොරවල් හදන්න, තමන්ගෙ දරුවන්ව ලොකු ඉස්කෝල වලට දාන්න සර්ට උවමනාවක් තිබුණෙ නැහැ. මේ යන සිස්සටම් එකේ සියළු අය වාහන, ගෙවල්, සල්ලි පසු පස හඹා යද්දි සර් ඒ සිස්ටම් එකේ ජීවත් වුණේ නැහැ.

සර් හොඳ ඉංග‍්‍රීසි දැනීමක් තිබුණු පුද්ගලයෙක්. හොඳට ඉංග‍්‍රීසි භාෂාව හසුරවපු පුද්ගලයෙක්. ඒ දේවල් සර් කවදාවත් බිස්නස් එකක් බවට පත් කර ගත්තෙ නැහැ. ඔහු කවදාවත් ඔහුගේ ඉංග‍්‍රීසි භාෂා දැනුම සිවිල් බලයක් විදියට පාවිච්චි කළෙත් නැහැ.

සර් නිතරම වගේ කියපු කතාවක් තිබෙනවා. ඒ තමයි ලෝකයට ජයග‍්‍රහණය කරන්න පුළුවන් වෙන්නෙ වාමවාදී දාර්ශනික දේශපාලන මතවාදයත් එක්ක ගියොත් පමණයි කියලා. මැරෙන තුරුම සර් ඒ මතවාදය අත් නොහැර ඒ මතවාදය ජනගත කිරීමේ දුෂ්කර ව්‍යායාමයේ යෙදිලා හිටියා. ඒ නිසා තමයි මම කියන්නෙ ඔහු වීදි නාට්‍යකරුවෙකුට එහා ගිය පුද්ගලයෙක් කියලා.

සර් මල ගෙවල්වලට යන්නෙ නැහැ. මගුල් ගෙවල්වලට යන්නෙත් නැහැ. හැබැයි මල ගෙදරක මගුල් ගෙදරක නොගියාට ඔහු මේ මුළු රටටම ආදරේ කරපු මිනිහෙක්. ඒවා සර්ගෙ ඇතුළෙන් ආපුවා මිස මවාගත්තුවා නෙමෙයි.

සර් අසනීප වෙලා ඉන්න යුගයේ අපි කිව්වා සර් දැන් රෙස්ට් කරන්න. සර්ගෙ පුතයි දුවයි ඉන්න හින්දා  ඕස්ටේ‍්‍රලියාවට යන්න කියලා. එතකොට මට සර් කිව්වා  ̎සමන් මම ඉපදුනෙත් මේ රටේ. මම මැරෙන්නෙත් මේ රටේ. මම වෙන කොහෙවත් යන්නෙ නැහැ ̎ කියලා.

පසුගිය කාලෙ ආන්ඩුවෙන් කලාකරුවන්ට ගෙවල් දුන්නා. ඒ ගෙවල් ගන්න මිනිස්සු හෙන බලු පොරයක හිටියෙ. එක්කෙනාට එක්කෙනා හොරෙන් යනවා. ඔහොම මොහොතක දවසක් දීපානි අක්කා මට ගෙනත් දුන්නා ඇප්ලිකේෂන් එකක්. සර්ට ගෙයක් දෙන්න කියලා රජයෙන් කියලා තියෙනවා කියලා. මට කිව්වා මේ ඇප්ලිකේෂන් එක සර්ට ගිහින් දෙන්න කියලා. මම ඇහුවා සර් මේක ගනියිද කියලා. දීපානි අක්කා කිව්වා “ගන්න නොගන්න එක වෙනම වැඩක්. උඹ  ඕක ගෙනිං දීහං” කියලා. මම ඒකත් අරගෙන සර්ගෙ බෝඩිමට ගියා. සර් කුලියට කාමරයක් අරන් තමයි හිටියෙ පිංවත්තෙ. ගිහින් මේ ඉල්ලුම් පත‍්‍රය දුන්නාම සර් ඒක බලලා මට කිව්වා ̎සමන් මම මේ හිටියා වගේම ඉඳලා මැරිලා යයි. මට රජයෙන් ගෙවල් එපා ̎  කියලා.

ඊට පස්සෙ සර්ට සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් උපහාර සම්මානයක් දුන්නා. මුදලුත් එක්ක. සර් කිව්වා ̎උපහාරයක් කිව්වාම මට බැහැ කියන්න බැහැ. ඒ හින්දා උපහාරෙට දෙන සම්මානය විතරක් ගන්නම්. මේ මුදල් අහිංසක නාට්‍යකරුවෙකුට දෙන්න ̎ . කියලා සර් සල්ලි ප‍්‍රතික්ෂේප කළා. හැබැයි එහෙම කළේ සර් ගාව සල්ලි තිබිලා නෙමෙයි. සල්ලි තිබිච්චි මිනිහෙක් නෙමෙයි සර්.

අතේ තියෙන්නෙ කීයද? කව්ද ඉල්ලන්නෙ ඉල්ලුවා නම් සර් එහෙම්මම දෙනවා. ආයෙ ඉල්ලන්නෙත් නැහැ. හැබැයි සරුත් එහෙම ගන්නවා. ඒ ගත්තත් කවදාවත් ඒක ආපහු දෙන්න යන්නෙත් නැහැ. මොකද සර්ට ගනුදෙනු තිබුණෙ නැහැ. සර් හිස් අතින් ඇවිල්ලා හිස් අතින් ගිය මිනිහෙක්. මොකද සර්ට තිබුණු දැනුමත් එක්ක සල්ලි හොයනවා නම්  ඕන තරම් හොයන්න තිබුණා.  හැබැයි කවදාකවත් සර් එතනට වැටුණෙ නැහැ.

ගාමිණී හත්තොටුවේගම කලාකරුවා ක‍්‍රම විරෝධියෙක් බව සමන් කිව්වා. ඇත්තටම ඔහු තමන්ගෙ ක‍්‍රමවිරෝධය නිර්මාණවලට පාවිච්චි කරන්න ඇත්තෙ මොන වගේ ක‍්‍රමයකට වෙන්න ඇතිද ?

සර් වීදි නාට්‍ය වැඬේ පටන් ගත්තෙ කොළඹින් නෙමෙයි. ඔහු එක්දහස් නවසිය හැත්තෑ හතර අවුරුද්දෙ පොසොන් පෝය දවසෙ කොළඹින් අනුරාධපුර කෝච්චියකට ගොඩවෙනවා. අනුරාධපුරේ ස්ටේෂමෙන් බැහැපු සර් ඔහුගෙ පළමු වේදිකාව බවට පත් කරගන්නෙ අනුරාධපුර ස්ටේෂන් එක. එතැන් සිට සර් රටේ සියලූ ප‍්‍රදේශ වලට යනවා.  ඒ ප‍්‍රදේශවල තිබෙන ප‍්‍රශ්න සර් අධ්‍යයනය කරනවා. ඊට පස්සෙ ඒ ප‍්‍රශ්න වලින්ම නිර්මාණයක් හදනවා.

ඊළඟ වැදගත්ම දේ සර්ගෙ ගීතය. සර්ගෙ හැම ගීතයකම තියෙන්නෙ ක‍්‍රම විරෝධය.

සර්ගෙ තිබුණු එක ලක්ෂණයක් තමයි, සර් හරි දක්ෂයි ඕඩියන්ස් එක අල්ලගන්න. උදාහරණයක් විදියට අපේ තිබෙනවා රූකඩයෝ කියලා නාට්‍යයක්. ඒක අපි තාමත් පෙන්වනවා. ගුරුන්නාන්සෙයි ගෝලයයි රූකඩ පෙන්වන්න යනවා. ගිහින් බලනකොට රූකඩ පෙට්ටිය නෙමෙයි ගෙනැල්ලා තිබෙන්නෙ, වෙන පෙට්ටියක්. අන්තිමට ගෝලයව රූකඩයක් කරළා නටෝලා ජාමෙ බේරගෙන එනවා. මේක කරළා ඕඩියන්ස් එක අල්ල ගන්නවා. අවසානයේ ලංකා ඉතිහාසයේ අරගල වලින් මියගිය මිනිස්සුන්ගෙ මිනී ගොඩ ගහලා මිනිස්සුන්ව පුච්චන දර්ශනයක් දක්වා නාට්‍යය ගේනවා. සර්ගෙ ගීතයක් තිබෙනවා මෙහෙම…

යකඩ කඳන්වලියෙන් මුළු ලොව වට කෙරුවා – නැවත නැවත එනවා නැගිට නැගිට එනවා…

ජනතා අරගල මොන ජාති දාලාවත් මර්ධනය කරන්න බැහැ. ඒකෙන් මේ වැඩේ නතර කරන්නත් බැහැ. සැබෑ විසඳුමක් ලැබෙන තුරු ජනතා සටන් නැවත නැවත එනවා කියන තමයි සර් එම ගීතයෙන් කියන්නෙ.

ඔය විදියටම රටේ ඒ ඒ ප‍්‍රදේශයේ තිබෙන ප‍්‍රශ්න ගැන කතා කරළා ඒකට අදාල දේවල් තමයි නිර්මාණයක් විදියට ගේන්නෙ. ඒවගේම හැම නාට්‍යයක් ම තැනින් තැනට වෙනස් වෙනවා. ටවුන් හෝල් එකේ පෙන්වන නාට්‍යය අපි පිටකොටුවේ පෙන්වන කොට වෙනස් වෙනවා. පිටකොටුවේ තිබෙන පරිසරය තමයි නාට්‍යයට අරගෙන කරන්නෙ. ඔය දේවල් තමයි සර් ක‍්‍රම විරෝධය සඳහා ඉතා සියුම් දේවල් විදියට පාවිච්චි කළේ.

ගාමිණී හත්තොටුවේගම කලාකරුවා අපෙන් සමුගත්තෙ දෙදාස් නවය අවුරුද්දෙ. හැබැයි ඔහුගේ වියෝවෙන් පසුව ඔහු ආරම්භ කරපු කාර්යය​ නතර වුණේ නැහැ. විවෘත වීදි නාට්‍ය කණ්ඩායම තව දුරටත් ඉදිරියට අරගෙන යන්න එහි පැරණි සාමාජිකයෝ විශාල කැපවීමක් කළා. සමන් හේමරත්නත් එහි එක කොටස් කරුවෙක්. ඇත්තටම වර්තමානයේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ගමන් මග ගැන කතාබහත් අපට වැදගත්. සමන් හේමරත්න ඊට දුන්නෙ මෙවැනි පැහැදිළි කිරීමක්…

මම දැක්කා මේ ළඟදි එක්තරා සති අන්ත පත්තරයකට මෑතකදී විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වුණු කිහිප දෙනෙක් ප‍්‍රකාශ කිහිපයක් ලබා දීලා තිබුණා. ඒ ප‍්‍රකාශ වලින් ඔවුන් කියනවා ගාමිණී හත්තොටුවේගම කලාකරුවගේ උරුමය ඉදිරියට අරන් යා යුතුයි කියලා. ඇත්තටම මට නම් සර්ගෙ උරුමයක් කියන දේ තේරෙන්නෙ නෑ. උරුමය කියපුවාම මට නං ඒකෙ පොඩි විහිලු ගතියක් තමයි තියෙන්නෙ. යම් පුද්ගලයෙක් කරපු දෙයක් තිබෙනවානම් ඒ කරපු දේ නිවැරැදි නම් ඒ කාර්යයයි අපි ඉදිරියට අරගෙන යා යුත්තේ.

ඔය සර්ගෙ උරුමය ගැන කතා කරන අය ගැන මට තියෙනවා දෙයක් කියන්න. සර්ට අසනීප වෙලා ඉන්න කාලෙ ඔය උරුමය ගැන කතා කරන දෙන්නෙකුට කතා කරලා එන්න කියලා තිබුණා. සර්ට බෙහෙත් එහෙම ගෙන්න ගන්න. හැබැයි ඒ එක්කෙනෙක්වත් ගිහින් තිබුණෙ නැහැ. එක්කෙනෙක් කිව්වලු ගුරු පත්වීම ලැබුණෙ අලුත නිසා නිවාඩු ගන්න බැහැ කියලා.  අනිත් එක්කෙනා පුහුණු වීම් තියෙනවා කියලා කියලා එන්න බෑ කිව්වලු. අන්තිමට සර් උපාලිට කතා කළාලු. උපාලි තමයි සර්ගෙ උදව්වට ඒ වෙලාවෙ ගිහින් තියෙන්නෙ. ඔන්න ඔහොම කරපු අය තමයි දැන් සර්ගෙ උරුමය ගැන කතා කරන්නෙ.

ඒගොල්ලන්ට තිබුණු ප‍්‍රශ්නය මේකයි. සර්ගෙන් පසුව නාට්‍ය කණ්ඩායමට මෙහෙයවන්නෙක්  ඕන වුණා. කණ්ඩායමේ ආදරයක් ඇතුව ගෞරවයක් ඇතුව යම් දැනීමක් ඇතුව මිනිස්සුත් එක්ක පවතින්න පුළුවන් කෙනෙක් තමයි ඊළඟට අපිට මේක පවත්වාගෙන යන්න ඕන වුණේ. ඒ සඳහා මුළු කණ්ඩායමේම කැමැත්තෙන් දීපානි සිල්වා අක්කාව පත් කර ගත්තා. නමුත් අපිට ගොඩාක් පසු කාලීනව ආපු අය, මේ තනතුරට කෑදර කමේ ඉඳලා තිබෙනවා. අපි දීපානි අක්කාව පත් කරගත්තු එකට මේගොල්ලො කැමති නැහැ.

වීදි නාට්‍ය කණ්ඩායමක් මෙහෙයවන්නෙක් වෙනවා කියන්නෙ ඒක වෙනම වැඩක්. ඒක බොහොම පාරිශුද්ධ වැඩක්. මේක ඇතුළෙ මොනවා ගන්නද ? අපිට මොකවත් ලැබෙන්නෙ නැහැනෙ. අපි යම් දෙයක් දුන්නොත් මිස. මේක අපි පරිත්‍යාගශීලිව කරන වැඩක්. නමුත් උරුමය කියලා කියන්නෙ අන්තිම කුහක තමන්ට මේක ඇතුළෙන් ගරා ගන්න එකක්නෙ මේ හොයන්නෙ.

ඒ නිසා අපි නං සර්ගෙ උරුමයක් ගෙනියන්නෙ නැහැ. මම නම් එතන ඇත්තෙත් නැහැ. ඔහු ගෙනාපු ඔහු විශ්වාස කරපු මතවාදය පවත්වා ගනිමින් ගෙනියන එක තමයි අපි කරන්නෙ. සහ අපි හැමෝම කළ යුත්තෙත් ඒක.

අසූ අට අසූ නවය කාල වකවානු ගැන නැවත නැවත පැහැදිළි කිරීම්  ඕන නැහැ. ඒක අතිශය බිහිසුනු කාල පරිච්ඡේදයක්. එවැනි පසුබිමක් යටතේ වුවත් වීදියේ සටන් කරුවා තමන්ගෙ සටන අරගෙන ගියා. ඒ සටන එදා තිබුණු පාලක තන්ත‍්‍රයට දැනෙන්න ඇත්තෙ කොහොමද ? මේ ඒ ගැන අත්දැකීම් තිබෙන සමන් හේමරත්න දරන්නෙ මෙහෙම අදහසක්…

මම එක උදාහරණයක් කියන්නම්. ඔය දවස්වල රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පෞද්ගලිකකරණය කරන්න ආණ්ඩුව තීරණයක් අරන් තිබුණා. මුළු රටේම ලොකු සටනක් ගියා ඒකට එරෙහිව. හත්තොටුවේගම සර් සමග​ අපිත් විවෘත වීදි නාට්‍ය හරහා ඒ සටනට එක්වුණා. දවසක් අපි ගියා එතන (උතුරු කොළඹ වෛද්‍ය පීඨය ඉදිරිපිට) වීදි නාට්‍යයක් රඟ දක්වන්න.

ගියාම ඒ කාලෙ රට පාලනය කරපු අයගෙන් කෝල් එකක් ආවා. ඒ අය කිව්වෙ එක දෙයයි. ඒ තමයි “ගාමිණී හත්තොටුවේගමගෙ වීදි නාට්‍ය ඇරෙන්න ඔතන  ඕනම දෙයක් කරන්න දෙන්න.” කියලා. ඒකෙන්ම අපිට හිතා ගන්න පුළුවන් සර්ගෙ නිර්මාණ කොයි තරම් දුරට පාලකයන්ට දැණුනද කියලා. සර්ගෙ ප‍්‍රකාශන එච්චරටම ප‍්‍රබලයි.

බොහෝමයක් නාට්‍ය කරුවො අතර වැඩ  කරපු නාට්‍යකරුවො හිටියෙ ටික දෙනයි. අශෝක හඳගම​ මාඝාත කළා. ඊට අමතරව ධර්මසිරි බණ්ඩාරණායක ධවල භීෂණ කළා. සුගත් සමරකෝන් උතුරේ රාහුල හිමි නාට්‍යය ගියා. එහෙම කිහිප දෙනෙක් හිටියා. හැබැයි නිහඬව හිටපු නැති එකම නිර්මාණකරුවා තමයි හත්තොටුවේගම සර්. ඔහුව නිහඬ කරවන්න බැරි වුණා. සර් කිසිම තැනක රජයේ අනුග‍්‍රහයන් අරගෙන කිළිටි වෙච්ච මිනිහෙක් නෙමෙයි.

විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ මෑත කාලීන නාට්‍ය දර්ශනයක්

සමන් හේමරත්න විවෘත වීදියේ හත්තොටුවේගම කලාකරුවා ළඟින්ම හිටපු කෙනෙක් නිසා ඔහුගෙන් මෙහෙම ප‍්‍රශ්නයක් අහන්න හිතුණා. බොහෝ දෙනා තමන් කරන වැඩේ කලකිරීම් හින්දා අතහැරලා දාලා යනවා. ඒ කලකිරීම් වලට අවශ්‍ය කරන සාධකත්  ඕන තරම් මේ සමාජයේ තිබෙනවා. ඇත්තටම හත්තොටුවේගම කලාකරුවා තමන් කරන වැඩේ ගැන කලකිරීමකින් ද හිටියෙ ?

කවදාකවත් එහෙම දෙයක් තිබුණෙ නම් නෑ සර් ගාව. ඒක මම නොබියව, ඉතාම වගකීමෙන් කියනවා. මම ඒකම තමයි කියන්නෙ සර් සිස්ටම් එකෙන් පිට හිටපු කෙනෙක් කියලා. බහුතරයක් දෙනා මේක ගැන කලකිරිළා බය වෙලා නැවතුණා තමයි. නමුත් සර් එහෙම වුණේ නැහැ. හැබැයි ඔය අසූ අට අසූ නවය වකවාණුවේ සිදුවුණු මනුෂ්‍ය සංහාරය ගැන සර් ඇත්තටම විශාල විදියට කණගාටුවට පත්වුණා. ඒ ගැන සර් ඉතාම බරපතළ විදියට කළකිරීමකින් හිටියා. නමුත් ඒ දේවල් වලින් සර් ආපස්සට ගියේ නෑ. ඔහු ඒ දේවල් වලින් තව තවත් පන්නරය ලැබුවා. තව තවත් ශක්තිමත් වුණා.

සර් කිව්වෙ හැම මොහොතකම අපි උපක‍්‍රමශීලී වෙන්න  ඕනෙ කියලා. අපි වීදි නාට්‍යයක් පෙන්වද්දි වහිනවා කියමුකො. එතකොට සර් කියන්නෙ වැස්සෙ තෙමීගෙන අපි මේක කරන්න  ඕනෙ නැහැ. හැබැයි වැස්ස අඩුවෙනකල් ඉන්නවා නාට්‍යය කරන්න. නාට්‍ය පෙන්වන්න ගියාම සර් කියන දේ තමයි අවු කාශ්ඨකේ මැරීගෙන නාට්‍ය පෙන්වන්න ඕනෙ නෑ. අපි හෙවණ තිබෙන තැනක් තෝරගෙන ජනතාවත් හෙවණෙ තියාගෙන නාට්‍ය කරමු.

දවසක් මම සර්ව බලන්න රෝහලට ගියා. එදා මට ළමයෙක්ව පෙන්නලා කියනවා  ̎ සමන් බලන්නකො මේ ළමයට කැන්සර් එකක් හැදිලාලු. මෙයා සාමාන්‍ය පෙළ පාස් වෙලා. අසනීපය හින්දා උසස් පෙළ කරන්න බැහැලු. බලන්නකො ඉතින්. මම කිව්වා මේ පිස්සු කෙලින්නෙපා. මිනිස්සු මැරෙනකල්ම ඉගෙන ගන්නවා කියලා. මම මේ එයාට දැන් ඉංග‍්‍රීසි උගන්වනවා” . අසනීප වෙලා රෝහලේ ඉද්දිත් සර් කළේ ඒක. සර් මේ සමාජයේ හිටපු වෙනමම මිනිහෙක්.

Cover Image: Wikimedia Commons

Related Articles