Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

’96 ලෝක කුසලාන ජය පිටුපස සිටි දක්ෂ පරිපාලකයා

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු සුවිශේෂී ජයග්‍රහණ අතරින් 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ඒ, එවකට ලෝක ක්‍රිකට් පිටියේ සිටි ගලිවරයන් පරාජය කරමින් ශ්‍රී ලංකාව වැනි ලිලිපුට්ටෙකු ලෝක කුසලානය ජයග්‍රහණය කළ නිසා යි. එදා අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරිය පිත්තෙන් සහ පන්දුවෙන් සුපිරි දස්කම් දක්වමින් ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා පාර කපද්දී ඩේව් වට්මෝර් සෑම තරගයක් සඳහාම සිය කණ්ඩායම මනාව පුහුණුකරනු ලැබුවා. එම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයෙන් තරගය ජයග්‍රහණය කරමින් ලෝක කුසලානය දිනාගන්නට අවස්ථාව ලැබුණා. පුහුණුකරුවා සහ ක්‍රීඩකයන් සේම 1996 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු තවත් වීරයෙකු සිටියා. ඒ අන් කවරෙකුත් නොව, එවකට  ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ආනා පුංචිහේවා යි.

ආනා පුංචිහේවා සභාපතිවරයා වශයෙන් තේරී පත්වීම 

1995 වසරේ පෙබරවාරි මාසයේ දී ආනා පුංචිහේවා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තේරී පත්වුණා. ඔහු එම තනතුරට පත්වන විට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව එතරම් දියුණු මට්ටමක තිබුණේ නැහැ. 

1994 වසරේ දී පැවති එක්දින සහ ටෙස්ට් තරගාවලි කිහිපයකින්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණු නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අවශ්‍යතාවය මතුව තිබුණා. එසේම එම යුගය වන විට ක්‍රිකට් පාලක මණ්ඩලය සතුව ද විශාල වත්කමක් තිබුණේ ද නැහැ. එම නිසා ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් ද නිසි පරිදි ලැබුණේ නැහැ. එවැනි වටපිටාවක ක්‍රිකට් සභාපති තනතුරට පත්වුණු ආනා පුංචිහේවාට පැවරුණු මුල්ම අභියෝගය වුණේ 1995 නවසීලන්ත තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් කිරීම යි. 

1994 ශ්‍රී ලංකා-පාකිස්ථානු ටෙස්ට් තරගාවලියේ අවස්ථාවක් (gettyimages)

නවසීලන්ත සංචාරයෙන් පසුව සිදුවුණු වෙනස 

1995 වසරේ මාර්තු මාසයේ දී පැවති නවසීලන්ත සංචාරය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලෙහෙසි පහසු සංචාරයක් වුණේ නැහැ. එම තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය සඳහා සුහද හමුවක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ පුංචිහේවා සභාපතිවරයාගේ මඟපෙන්වීම යටතේ යි. 

සභාපතිවරයාගේ අරමුණ වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම යි. එහි දී ක්‍රීඩකයන් සමග සුහදව කතා කළ ක්‍රිකට් සභාපතිවරයා ඔවුන්ට එක් පොරොන්දුවක් ලබාදුන්නා. ඒ, තරගාවලිය ජයග්‍රහණය කළහොත් තම පෞද්ගලික වියදමින් අව් කණ්නාඩි ලබාදීමට වුණු පොරොන්දුව යි.

එවර නවසීලන්ත බිමේ දී පැවති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. එහි දී චමින්ද වාස් ලකුණු 90කට කඩුලු 10ක් ලබාගෙන පෑ සුපිරි දස්කම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නේපියර් ටෙස්ට් තරගය  ලකුණු 241කින් ජයග්‍රහණය කළා. ඉන්පසුව ඩනීඩන්හි දී පැවති ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කළේ විදෙස් රටක දී ලබාගත් මුල්ම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වාර්තා කරමින්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිවි බිමේ දී දැක්වූ දස්කම් පිළිබඳව පුංචිහේවා සභාපතිවරයා උද්දාමයට පත්වුණා. ඔහු ලබාදුන් පොරොන්දුව ද එලෙසම ඉටු කළා. එසේම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් දියුණු කිරීම සඳහා විදෙස් පුහුණුකරුවෙකු අවශ්‍ය බව තේරුම් ගත්තා. නමුත් ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් ක්‍රිකට් පාලක මණ්ඩලය සතුව තිබුණේ නැහැ. එම නිසා පුංචිහේවා සභාපතිවරයා ඔහු සතුව තිබුණු ජාත්‍යන්තර සබඳතා භාවිතා කරමින් එංගලන්ත සහ ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලවලින් සහාය ඉල්ලා සිටියා.

චමින්ද වාස් (gettyimages)

වට්මෝර් ලංකාවට පැමිණෙයි 

පුංචිහේවාගේ ඉල්ලීමට කන්දුන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය, හිටපු එංගලන්ත ටෙස්ට් ක්‍රීඩකයන් වුණු ඉයන් බොතම්, බොබ් වූල්මර්, සහ  මයික් හෙන්ඩ්‍රික් යන අයගේ නම් පුහුණුකරු තනතුර සඳහා යෝජනා කළා. නමුත් ඔවුන්ගේ මාසික වැටුප ගෙවීමට තරම් වත්කමක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සතුව තිබුණේ නැහැ. ඒ අතරතුර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඩේව් වට්මෝර්ගේ නම යෝජනා කළා. ඉන් නොනැවතී ඔවුන් වට්මෝර්ගේ මාසික පඩිය ගෙවීමට ද එකඟ වුණා. එහි දී වට්මෝර්ගේ පුහුණු කිරීමේ ක්‍රමවේදය විද්‍යානුකූල එකක්වීම සහ ඔහු උපතින් ශ්‍රී ලාංකිකයෙකු වීම යන කාරණා පිළිබඳව පුංචිහේවා සභාපතිවරයා උනන්දු වුණා. 

එම නිසා 1995 වසරේ අප්‍රේල් මාසයේ දී  වට්මෝර් මෙරට ක්‍රිකට් පුහුණුකරු තනතුරට පත්වුණා. එදා ලංකාවේ ක්‍රිකට් පුහුණුකරු තනතුරට පත්වුණු වට්මෝර් කණ්ඩායමට භෞත චිකිත්සකවරයෙකු අවශ්‍ය බව පවසා සිටියා. නමුත් ඒ සඳහා ගෙවීමට මුදල් ක්‍රිකට් පාලක මණ්ඩලය සතුව තිබුණේ නැහැ. එම අවස්ථාවේ දී එවකට ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරි තනතුර හෙබවූ වෛද්‍ය ක්වීන්ටස් ද සිල්වා මැදිහත් වුණා. ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කර භෞත චිකිත්සකවරයාගේ වැටුප ද ගෙවීමට එකඟ කරගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇලෙක්ස් කුන්ටූරි ලංකාවට පැමිණියා.

ඩේව් වට්මෝර් ශ්‍රී ලංකා කණ්ඩායම සමග (gettyimages)

ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට පිවිසෙයි 

වට්මෝර් ලංකාවට පැමිණ මුලින්ම කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මනස සකස් කිරීම යි. එසේම එම අවධියේ ශ්‍රී ලංකාවේ පන්දු රැකීම ඉතාමත් ඉහළ මට්ටමකට ගෙන ඒමට වට්මෝර්ට අවශ්‍ය වුණා. එක් පන්දු රකින්නෙකුට එක්දින තරගයක පන්දු රැකීමෙන් ලකුණු 2ක් නැවැත්වීමට හැකි නම් තරගය පුරාවට ලකුණු 22ක් ආරක්ෂා කරගත හැකි බවත්, එය එම අවධියේ එක්දින තරගයක ප්‍රතිඵලයට ලොකු බලපෑමක් කරන බව ද ඔහු වරෙක ප්‍රකාශ කළා. එලෙස මාස කිහිපයක් මනාව පුහුණුවීම්වල යෙදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 1995 වසරේ සැප්තැම්බර් මාසයේ දී පාකිස්ථානය බලා සංචාරය කළා.

ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස පත්වීමෙන් පසුව වට්මෝර් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ මුල්ම සංචාරය බවට පත්වුණේ පාකිස්ථානු සංචාරය යි. එම කාල සමය වන විට සිය පාකිස්ථානුවන් වසර 15කින් මව්බිමේ දී ටෙස්ට් තරගාවලියක් පරාජය වී තිබුණේ නැහැ. 1980 වසරේ දී ඔවුන්ව අවසන් වරට ටෙස්ට් තරගාවලියකින් පරාජයට පත්කළ තිබුණේ ක්ලයිව් ලොයිඩ් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යි. එසේම පාකිස්ථානය වසර 8කින් මව්බිමේ දී එක්දින තරගාවලියක් පරාජයට පත්ව තිබුණේ ද නැහැ. ඔවුන් අවසන් වරට එක්දින තරගාවලියක් පරාජය වී තිබුණේ 1987 වසරේ දී මයික් ගැටිංගේ නායකත්වය යටතේ තරග වැදුණු එංගලන්ත කණ්ඩායම හමුවේ යි. එදා පාකිස්ථානය මව්බිමේ දී රැකගෙන සිටි අභිමානය බිඳ දැමූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ටෙස්ට් තරගාවලිය 2-1 ලෙස ජයග්‍රහණය කර, ඉන් නොනැවතී එක්දින තරගාවලිය ද 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළා. ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව අනිත් කණ්ඩායම් අවධානය යොමුකරන්නට පටන් ගත්තා. 

පාකිස්ථානු සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් අභියෝගාත්මක තුන්කොන් තරගාවලියක් සඳහා සහභාගි වුණා. ඒ 1995 සාජා තුන්කොන් තරගාවලිය යි. එම යුගය වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සාජා පිටියේ දී කැපී පෙනෙන දස්කම් දක්වා තිබුණේ නැහැ. එදා ඉතිහාසය වෙනස් කළ  ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල  කොදෙව් සහ පාකිස්ථානු  කණ්ඩායම් පරාජයට පත්කරමින් සාජා තුන්කොන් තරගාවලියේ ශූරතාවය හිමිකරගත්තා. එය විදෙස් රටක දී ශ්‍රී ලංකා පිල ලබාගත් මුල්ම තුන්කොන් එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙසින් ඉතිහාසගත වුණා. 

සාජා තුන්කොන් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම (sportstar)

ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව මුහුණදුන්  අවසන් තරග සංචාරය වුණේ 1995/96  ඕස්ට්‍රේලියානු තරග සංචාරය යි. ඒ යටතේ පැවැත්වුණු  ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය පත්වුණත් තුන්කොන් එක්දින තරගාවලියේ දී කොදෙව්වන් අභිබවා යමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එදා ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව පැවති අවසන් තරග වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රබල සටනක් ලබාදුන්නත් ඕස්ට්‍රේලියානු විනිසුරුවරයන් ලබාදුන් මතභේදාත්මක තීරණ නිසා ශූරතාවය ඕස්ට්‍රේලියානුවන් හිමිවුණා. එම  තරගාවලියේ දී සනා-කළූ ආරම්භක පිතිකරු යුගලය කරළියට පිවිසුණා.  70 සහ 80 දශකවල දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දුලිප් මෙන්ඩිස්ගේ වේගවත් පිතිකරණය නිරීක්ෂණය තුළින් මෙම උපක්‍රමය ක්‍රියාත්මක කිරීමේ අදහස ඇති වුණු බව පසුකලෙක වට්මෝර් ප්‍රකාශ කර තිබුණා.

ඕස්ට්‍රේලියානු තණතීරුවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ දස්කම් නිසා ඔවුන් පිළිබඳව වැඩි දෙනෙකුගේ අවධානය යොමුව තිබුණා. එහි දී රිචඩ් හැඩ්ලි පවසා සිටියේ නිසැක වශයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කරන බව යි. කලක් ටෙස්ට් පිටියේ වැඩිම කඩුලුලාභියා ලෙසින් වැජඹුණු හැඩ්ලි වැනි කෙනෙකු එවැනි ප්‍රකාශයක් කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම ඉහළයාමට විශාල හේතුවක් වුණා.

හෂාන් ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලියේ දී පන්දුවට පහරදෙමින් (gettyimages)

ලෝක කුසලානයේ දී ලකුණු 4ක් ලබාගන්නට කළ සටන 

1996 ජනවාරි 31 වැනිදා කොටි ත්‍රස්තවාදීන් කොළඹ මහ බැංකු ගොඩනැගිල්ලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරය හේතුවෙන් කොළඹ නගරයේ ඇතිවුණු අනාරක්ෂිත වාතාවරණය නිසා ඕස්ට්‍රේලියානුවන් සහ කොදෙව්වන් ශ්‍රී ලංකාවේ දී තරගවැදීම ප්‍රතිකේෂ්ප කළා. ඕස්ට්‍රේලියානු නායක මාක් ටේලර් පවසා සිටියේ ක්‍රිකට් තරගයක් වෙනුවෙන් දිවිපිදීම මෝඩකමක් බව යි. කොදෙව් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් ශ්‍රී ලංකාවේ දී ක්‍රීඩා නොකරන තරග සඳහා කණ්ඩායම් දෙකටම ලකුණ බැගින් ප්‍රදානය කිරීමට මුල දී තීරණය වුණා. 

මාක් ටේලර් (gettyimages)

එම අවස්ථාවේ දී එයට විරෝධය පෑ ආනා පුංචිහේවා ලෝක ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරින්ට පෙන්වා දුන්නේ ඕස්ට්‍රේලියානුවන්ට සහ කොදෙව්වන්ට ලංකාවට පැමිණ තරග කිරීමට නොහැකි නම් එම තරගවල ප්‍රසාද ලකුණු 4 ශ්‍රී ලංකාවට ලැබිය යුතු බව යි. ඉන් පසුව ආනා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණා. එහි දී පළමු වටයේ ඡන්ද විමසීමෙන් යෝජනාව එක් ඡන්දයකින් පරාජයට පත්වුණා. එලෙස ඡන්ද විමසීමෙන් පරාජයට පත්වුණත් නොසැලුණු පුංචිහේවා සභාපතිවරයා ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 4ක් ලැබිය යුතු බව පුන පුනා ප්‍රකාශ කළා. එම නිසා යෝජනාව සම්බන්ධව යළි ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වුණා. එහි දී කලින් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ රටක් මෙවර එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. එම නිසා තරගාවලිය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 4ක් හිමිවුණා. 

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම 

ආනා පුංචිහේවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හොඳින් තරග කිරීමට අවශ්‍ය වුණු වටපිටාව සකසා තිබුණා. එම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගාවලිය සඳහා අවතීර්ණ වුණේ ප්‍රබල මානසික මට්ටමක සිටිමින්. එලෙස තරගාවලිය සඳහා අවතීර්ණ වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළමු වටයේ තරග සියල්ලම ජයග්‍රහණය කළා. එහි දී කෙන්යා තරගයේ දී 398/5 ලෙස ලකුණු ලබාගනිමින් එවකට එක්දින තරගයක දී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළා.

පසුව එංගලන්තයට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල ඉන්දියානු කණ්ඩායම ඔවුන්ගේ බිමේ දීම පරාජයට පත්කළා. එලෙස සුපිරි දස්කම් දක්වමින් අවසන් සටන දක්වා පිවිසි ශ්‍රී ලංකාව එම තරගයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්කරමින් ලෝක කුසලානය හිමිකරගත්තා. එම ජයග්‍රහණය ලබාගැනීම සඳහා අරවින්ද, ජයසූරිය සහ ගුරුසිංහ වැනි ක්‍රීඩකයන් විශාල මෙහෙයක් ඉටුකළා.

අර්ජුණ විල්ස් ලෝක කුසලානය සමග (gettyimages)

ආනා පුංචිහේවා එළියට විසිවීම 

1996 ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා තිරය පිටුපස සිට විශාල වැඩ කොටසක් කළ ආනා පුංචිහේවාට එම සතුට වැඩිකල් විඳින්නට හැකිවුණේ නැහැ. ඒ, 1996 මාර්තු 31 පැවති ක්‍රිකට් නිලවරණයේ දී ඔහු ඡන්ද 3කින් පරාජයට පත්වුණු නිසා යි. ආනා පුංචිහේවා යළි ක්‍රිකට් මුල් පුටුවට තේරී පත්වන තෙක් මෙරට ක්‍රිකට් ලෝලීන් බලාසිටියත් එය එසේ සිදුනොවුණේ දේශපාලනය ක්‍රිකට් නිලවරණ සටනට මැදිහත් වුණු නිසා යි. එදා ආනා පුංචිහේවා නම් දක්ෂ ක්‍රිකට් පරිපාලකයා අපට අහිමි වුණා. ඉන්පසු කිසි දිනෙක එවැනි දක්ෂ ක්‍රිකට් පරිපාලකයෙකු අපට හමුවුණේ නැහැ. 

මේ වසරේ මාර්තු 17 වැනිදා ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනාගෙන වසර 25ක් සම්පූර්ණ වනවා. එම වසර 25 පුරාවටම පුංචිහේවා වැනි දක්ෂ පරිපාලකයෙකුගේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තදින්ම දැනුණා. ඒ ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අවංකවම කළ සේවය ලාංකිකයන්ගේ හිත්වල තවමත් රැදී පවතින නිසා යි.

කවරයේ ඡායාරූපය- ආනා පුංචිහේවා සහ අර්ජුණ 1996 ලෝක කුසලානය සමග (Prasanna Hennayake)

මූලාශ්‍රයයන්- පළමුවෙනියා- අසෝක ගුණතිලක 

Related Articles