Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙද නලාවෙන් පෑනට බට ඇන්ටන් චෙකොෆ්

ලෝක සාහිත්‍යය සැලකීමේ දී රුසියානු සාහිත්‍යය ඉතා ඉදිරියෙන් තිබෙන්නක්. රුසියානුවන් අතින් ලොව විශිෂ්ටතම ගද්‍ය, පද්‍ය පමණක් නොව ලොවක් වසඟ කළ නවකතා, කෙටිකතා මෙන්ම නාට්‍යයන් පවා බිහි වී තිබෙනවා. මක්සිම් ගෝර්කි, ෆියදෝර් දොස්තයෙව්ස්කි, නිකොලොයි ගොගොල් වැනි සාහිත්‍ය ලෝකයේ පතාක යෝධයින් රුසියානු භූමියේ උප්පත්තිය ලද අයයි.

දහනව වන සියවසෙහි අවසාන භාගයේ රුසියානු සාහිත්‍ය නිර්මාණ ගැන කතා කිරීමේ දී ඇන්ටන් චෙකොෆ් නාමය සඳහන් නොකළහොත් එය ඉතා බරපතල අඩුවක්. ජීවත් වූයේ වසර 44ක් වැනි කෙටි කලක් පමණක් වූවත් ඔහු විසින් ලොවට ඉදිරිපත් කළ නිර්මාණ ගොන්න සුළුපටු නැහැ. සාහිත්‍යධරයෙක් වශයෙන් සිය උපරිමයට පැමිණෙමින් සිටිය දී ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගැනීමට සිදු වූවත් එතෙක් සිදු කළ නිර්මාණ වල විශිෂ්ටත්වය නිසාම සිය නාමය ඉනික්බිති වසර සිය ගණනක් රැව් පිළිරැව් දෙන තත්ත්වයක් උදා කර ගැනීමට ඔහු සමත් වුණා.

rbth.com

චෙකොෆ්ගේ උපත හා අධ්‍යාපනය

ඇන්ටන් පැවලොවිච් චෙකොෆ් උප්පත්තිය ලබන්නේ ක්‍රි.ව 1860 ජනවාරි මස 29 වනදා රුසියාවේ තගන්රොග් හීදීයි. කුඩා වෙළඳසැළක් පවත්වාගෙන ගිය ඔහුගේ පියා පාවෙල් නිතරම පාහේ මුදල් අඟහිඟකම් වලින් පිරුණු තැනැත්තෙක් වුණා. ඔහුගේ මව වන යෙව්ගිනියා කුඩා ඇන්ටන් හා ඔහුගේ සහෝදර සහෝදරියන් පස් දෙනා වටකරගෙන විවිධ කතාන්දර කියාදීම පුරුද්දක් කරගෙන තිබුණා. ඇන්ටන්ගේ නිසඟ රචක හැකියාවට අවශ්‍ය පරිචය ලැබුණේ මෙමඟින් බව කිව හැකියි.

තරුණ ඇන්ටන් චෙකොෆ්-art-sheep.com

ක්‍රි.ව 1875 දී, එනම්, ඇන්ටන් චෙකොෆ්ට යාන්තම් වයස අවුරුදු 15ක් පමණ වන විට දී ඔහුගේ පියාගේ වෙළඳ ව්‍යාපාරය බිඳවැටෙනවා. මේ නිසා ඔහු සිය ගම්බිම් අතහැර, දරුමල්ලන්ද කැටුව මොස්කව් නුවරට සංක්‍රමණය වීමට තීරණය කරනවා. ඒ, වෙනත් රැකියාවක් සොයාගැනීමේ අපේක්ෂාවෙන්. කෙසේ වෙතත් මේ වන විට හොඳින් අධ්‍යාපනය හදාරමින් සිටි ඇන්ටන් තගන්රොග්හි ඔහුට හුරුපුරුදු පරිසරයේ නවත්වායාමට පාවෙල් තීරණය කරනවා. ඉතාම හොඳින් අධ්‍යාපනය හදාරන දීප්තිමත් සිසුවෙකු වූ ඇන්ටන් ක්‍රි.ව 1879 වසරේ දී සිය මූලික අධ්‍යාපනය හමාර කොට සිය පවුල හා එක්වන්නේ වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වීමෙන් අනතුරුවයි. කෙසේ නමුත් ඉන් ඇන්ටන් චෙකොෆ්ගේ ජීවන අරගලය නිමා වෙන්නේ නැහැ. මූලික අධ්‍යාපනය ලබන සමයේ දී ඊට අවශ්‍ය මුදල් තනිවම සොයාගත් ඔහුට වෛද්‍ය විද්‍යාලයට තේරී පත් වූ පසු ද එසේ කිරීමට සිදුවන්නේ සිය පවුලට ද ආර්ථික වශයෙන් උපකාර කරන අතරේ යි. ඔහු මේවාට අවැසි මුදල් සොයාගත්තේ ඉගැන්වීම් කටයුතු වලින් හා නිදහස් රචකයෙකු ලෙස කෙටි කතා, චිත්‍ර කතා වැනි දේ ලිවීමෙනුයි.

ලේඛක දිවියේ මුල් අවධිය

ක්‍රි.ව 1880 දශකයේ මුල් භාගයේ දී ඇන්ටන් චෙකොෆ් වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට පටන් ගත් අතර ඒ කාලයේදීම සිය සාහිත්‍ය නිර්මාණ කිහිපයක්ම එළිදැක්වීමට යෙදුණා. මෙතෙක්කල් ආරූඪ නාමයකින් සිය නිර්මාණ ඉදිරිපත් කළ ඔහු සිය නමින්ම නිර්මාණ පලකිරීමට පටන් ගත්තා.

ඔහුගේ නිර්මාණ පුවත්පත්වල පල වුණු අතර බොහොමයක් ඒවා පාඨකයින් විසින් වැළඳගත්තා. විශේෂයෙන්ම ඔහුගේ Motley Stories (1886) හා The Steppe යන නිර්මාණ අතිසාර්ථක වූ අතර 1888 වසරේ දී සාහිත්‍ය නිර්මාණ සඳහා පිදෙන පුෂ්කින් ත්‍යාගය පවා පිරිණැමුණේ The Steppe වෙනුවෙනුයි. මුල් කාලයෙහි ඇන්ටන් චෙකොෆ්ගේ සාහිත්‍ය නිර්මාණ වල, 19වන සියවසේ සත්‍යවාදී කතා ශෛලිය අනුගමනය කරමින් කෘති රචනා කළ ලියෝ තෝල්ස්තෝයි හා ෆියදෝර් දොස්තයෙව්ස්කි වැන්නවුන්ගෙන් ගත් ආභාෂය කැපී පෙණුනා.

Ivanov (1887) -pacificresidenttheatre.com

මේ කාලයේ වේදිකා නාට්‍යය වෙනුවෙනුත් චෙකොෆ් විසින් තිර පිටපත් ලිවීම සිදු කළා. මුලදී කළ නිර්මාණ ඒ තරම් සාර්ථක නොවුණ ද, ඔහු විසින් තමන්ට අනන්‍ය වූ ශෛලියක් ගොඩනඟාගැනීම ඉක්මණින්ම සිදු කළා. විශේෂයෙන් ඔහුගේ නිර්මාණ වල හාස්‍යය හා දුක යන භාවයන් දෙකම ඉතා අපූර්ව සංකලනයකින් යුතුව ගැබ්ව තිබුණා. එසේම ඔහු විසින් රුසියානු ඉහළ පැලැන්තියෙහි දුර්වලතා හා අනර්ථකාරී ක්‍රියා සිය නිර්මාණ වලින් හොඳින් විවේචනය කර තිබුණා. Ivanov (1887) හා The Wood Demon (1889) යන ඔහුගේ මුල් කාලීන නිර්මාණයන් දෙකෙහි, අධ්‍යාපනය ලද ඉහළ පන්තියේ රුසියානු මිනිසුන් ණය, රෝගාබාධ, හා දුක්ඛ දෝමනස්සයන් සමඟ ගනුදෙනු කරන ආකාරය හොඳින් සාකච්ඡාවට බඳුන් කර තිබුණා.

ඇන්ටන් චෙකොෆ් ගේ සුවිශේෂී නිර්මාණ

ක්‍රි.ව 1890 සිට සිය දිවිය නිමාවන තුරුම ඇන්ටන් චෙකොෆ් විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ රාශියක්ම ලොවට දායාද කරනවා. විශේෂයෙන්ම ඔහු විසින් රචිත කෙටි කතා කිහිපයක්ම පාඨක ප්‍රසාදයට ලක් වෙනවා. “Ward No. 6” සහ “The Lady with the Dog,” යන කෙටි කතා වලින් මනුෂ්‍යභාවයන් ගැඹුරු ලෙස විදහා පෑමටත් සාමාන්‍ය සිද්ධීන් ඔස්සේ ඉතා ගැඹුරු සාමාජීය පැතිකඩ සාර්ථකව සාකච්ඡා කිරීමටත් ඔහු සමත් වී තිබෙනවා.

ඇන්ටන් චෙකොෆ් නාට්‍ය රචකයෙකු ලෙස උපරිමයටම පැමිණි සමයේ ඔහු විශේෂයෙන්ම සිය නිර්මාණයන් කේන්ද්‍රගත කරන්නේ මානව හැඟීම් හා චරිත ඔස්සේයි. ඔහුගේ බොහෝ නිර්මාණවල චරිතයන් විශාල ගලායෑම් පෙන්නුම් නොකළත්, ඒ තුළින් ඉතා දැඩි ලෙස එම චරිතය නියෝජනය කරන සමාජ තලයේ අභ්‍යන්තරික ගැටුම් ගෙනහැර පෑමට ඔහු මොනවට සමත් වී තිබෙනවා. විශේෂයෙන්ම ඔහුගේ මේ නිර්මාණ පූර්ව-විප්ලවීය රුසියාවේ සමාජක්‍රමයේ දුර්වලතා හොඳින් උළුප්පවා පෙන්වීමට සමත්ව තිබෙනවා.

The Cherry Orchard (1904) -Joan Marcus/ roundabouttheatre.org

මේ කාලයේ දී ඇන්ටන් චෙකොෆ් නාට්‍යවේදී කොන්ස්ටන්ටීන් ස්ටැනිස්ලව්ස්කි හා මොස්කව් රංගශාලාව හා එක්ව ඉතා විශිෂ්ට නාට්‍ය නිර්මාණ කිහිපයක්ම කරනවා. The Seagull (1895), Uncle Vanya (1897), The Three Sisters (1901), සහ The Cherry Orchard (1904) ඉන් සාර්ථකම කිහිපයක් වෙනවා. පසුකලෙක නාට්‍යවේදී රංජිත් ධර්මකීර්ති විසින් “චෙරි උයන” යන නමින් ශ්‍රී ලාංකික වේදිකාවට ගෙන ආවේ මේ “The Cherry Orchard” නම් නාට්‍යය යි.

ජීවිතයේ අවසාන අවධිය හා අකල් මරණය

ක්‍රි.ව 1901 දී චෙකොෆ් ඔල්ගා නිපර් නම් රංගන ශිල්පිනිය හා විවාහ වෙනවා. කෙසේ නමුත් මේ වන විටත් ඔහුට ක්ෂ‍යරෝගය වැළඳී තිබුණු අතර එකල ඊට සාර්ථක ප්‍රතිකාර නොතිබුණු නිසා සෑහෙන තරම් සෞඛ්‍යයෙන් පිරිහී ගොස් තිබුණා. සිය දිවියේ අවසාන කාලය ජර්මනියේ සාත්තු නිවාසයක ගෙවා දැමූ මේ අසහාය සාහිත්‍යධරයා ක්‍රි.ව 1904 ජූලි මස 15 වනදා දිනය උදාවත්ම මෙලොවින් සමුගන්නවා.

ඇන්ටන් චෙකොෆ් සිය දිවියේ අවසන් කාලයේදී -radioopensource.org

ඇන්ටන් චෙකොෆ් ඔහුගේ යුගයේ ලොව පහළ වූ විශිෂ්ටතම සාහිත්‍යධරයෙකු ලෙස පිළිගැනෙනවා. තවමත් ඔහුගේ නාට්‍ය නිර්මාණ ලොව පුරා වේදිකා ගත වන අතර පසු කාලීන සාහිත්‍යකරුවන් රාශියක් ඔහුගේ නිර්මාණ වලින් ආභාෂය ලබා තිබෙනවා. අර්නස්ට් හෙමින්ග්වේ හා ටෙනිසි විලියම්ස් ඉන් දෙදෙනෙකු පමණයි.

කවරයේ පින්තූරය -publishingperspectives.com

Related Articles