Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳ ලෙඩක් හදාගත්තු ලංකාවේ දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව

අපි හැමෝටම ලෙඩවල් බොහොමයක් හැදෙනවා. මොන වෙලාවේ, මොන ලෙඩේ හැදෙයිද කියන එකට අද වන විට වයස් භේදයක් වගේම ස්ත්‍රී පුරුෂ භේදයකුත් නැහැ. සමහරු ඕනෙ නැති ලෙඩ හදා ගෙන, හැරුණත් ලෙඩක් තමයි කියන වෙලාවල් අපි අනන්ත අහලා තියෙනවා. හැබැයි හදාගන්න ඕනෙ නැති ලෙඩ අස්සෙ හොඳ ලෙඩක් හදා ගත්ත අනූෂා, හොඳ ලෙඩකට ස්ත්‍රී පුරුෂ භේදයක් කොහෙත්ම අදාල නොවන බව පෙන්වා දුන්නා. කාර්යබහුල බව නිසා සෞඛ්‍යය ගැනවත් හිතන්නට වෙලාවක් නැති කාලයක හුස්ම ගැනීම ඉබේ සිදුවෙන්නේ වාසනාවටයි. නැත්නම් අපිට ඒකටවත් වෙලාවක් නැහැ. අධි රුධිර පීඩනය, මානසික ආතතිය වැනි ඕනෙ නැති ලෙඩ හැම වයසකම බහුල කාලයක තමන්ගේ හිතේ ඇතිවන අධිෂ්ඨානයක් නිසා ලෝකය දිනන්න, අපේ රටේ නම ලොවට ගෙනියන්න හැකි වෙනවා නම්, අන්න ඒක හොඳ ලෙඩක්.

බොක්සිං කියන්නේ බොහෝවිටම පිරිමි අයට සීමාවුණු, ලංකාවේ සංස්කෘතිය තුළ කාන්තාවක් විසින් සටන් වැදීම්, ලේ වැගිරීම් ආදිය නොකළ යුතුය යන පසුබිමක් යටතේ පවතින ක්‍රීඩාවක් නමුත්, තමන්ට හැදුණු හොඳ ලෙඩක් නිසා එහි ඉදිරියටම යන්නට සමත්වුණු ක්‍රීඩිකාවක් තමයි අනූෂා කොඩිතුවක්කු කියන්නේ.

අනූෂා කොඩිතුවක්කු (ytimg.com)

අනූෂා ලොකු ඉස්කෝලෙකට ගියපු, ධනවත් පවුලක කෙනෙක් නොවෙයි. ඇය පුංචි ගමක, පුංචි ඉස්කෝලෙකින් තමන්ගේ ලොකු ගමන අරඹපු කෙනෙක්. කුඩා කාලයේ පටන්ම ක්‍රීඩා වලට ඇය කැමැත්තක් දැක්වූවා. ඒත් තමන්ගේ පරිසරයේ තිබුණු අඩු පහසුකම් නිසා හෙල්ල විසි කරන්නට නිසි ආකාර හෙල්ලක් පවා ඇයට ලැබුණේ නැහැ. නමුත් සොයාගත් ලීයකින් තමන්ගේ පෙරපුහුණු වීම් කරන්නට ඇය පසුබට වුණේ නැහැ. ඇගේ හිතේ හොඳ අධිෂ්ඨානයක් තිබුණා. පාසලේ අධ්‍යාපන කටයුතු කරද්දීත්, ඉගෙනීමට ලොකු හැකියාවක් නැතත් හැමවිටම පන්තියේ ප්‍රථමයා සහ දෙවැනියා අතර රැඳෙන්නට ඇගේ අධිෂ්ඨානය රුකුලක් වුණා. පිරිමි ළමුන් එක්ක කරට කර වැඩිපුර සෙල්ලම් කළ අනූෂා, ඇය සමඟ සිටි අනෙකුත් සාම්ප්‍රදායික ගැහැණු ළමුන්ට වඩා හාත්පසින් වෙනස් අදහස් දැරුවා. ඇයට ඕනෑ වුණේ පිරිමි ළමුන් අතර පවා ඉදිරියෙන් සිටින්නට මිසක් සියුමැලිව, රූ සපුව ගැන විමසමින්, ගමේ අයගේ අදහස් වලට කොටු වෙමින් මිහිරි ගැමිලියක් වන්නට නොවෙයි; ලෝකයම දැනගත් විශිෂ්ට වීරවරියක්, ආදර්ශමත් චරිතයක් වෙන්නටයි.

බොහෝ අවස්ථාවලදී අපේ හිතේ තියෙන අරමුණු වලට යද්දී අපි පසුබාන්නේ ඉදිරියට හමුවන බාධක, අඩුපාඩු, පහසුකම් නැතිකම, මුදල් නැතිකම වගේ විවිධ ගැලවීමේ හේතු ඉදිරියට දාගෙනයි. ඒ විතරක් නොවෙයි, අවට සිටින අය කියන ඍණාත්මක කථා, වෙනත් අයගේ අසාර්ථකවූ අවස්ථා ගැන සිතමින් හෝ සාර්ථක අය ගැන සිතා “මට නම් කවදාවක් එතනට යන්න බැහැ” වැනි අගතිගාමී සිතුවිලි අපි ඇති කරගන්නවා. හැබැයි අනූෂා නම් කියන්නේ, හොඳ කාය ශක්තියක් තිබුණත් හිත ශක්තිමත් කරගත්තේ නැත්නම් සාර්ථකව මුහුණ දෙන්නට බැරිවන බවයි.‍

අනූෂා ක්රීඩා වළල්ල තුළ (dailysports.lk)

එය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම ඇය ඔප්පු කර තිබෙනවා. 2001දී මුල්වරට බොක්සිං වළල්ලට පිවිස, අඛණ්ඩව දේශීය තරගවලින් ජය ලබා 2002 වර්ෂයේදී තම විදේශ බොක්සිං ශූරතාවට ඉන්දියාවට යන අනූෂා අනතුරුව ජපානයේ සහ වියට්නාමයේදී තරග කර තම පළමු විදේශීය පදක්කම ලෙස ආසියානු ශූරතාවයෙන් ලෝකඩ පදක්කම වෙත ලංකාව ඔසවා තබන්නට ඇය සමත් වුණා. අනතුරුව 2005 දක්වාම වාර්ෂිකව පදක්කම් ලබන අනූෂා 2006දී වියට්නාමයේදී ආසියානු ශූරතාවයේ රන් පදක්කම දිනාගන්නේ ඉතිහාසයේ ද තම නාමය සනිටුහන් කරමින්. තවදුරටත් පදක්කම් ලබමින් ඉදිරියට ඇදෙන ඇය 2010 වර්ෂයේදී ලෝක බොක්සිං ශ්‍රේණිගත කිරීමෙන් 6වන ස්ථානයට පත්වුණා. අනතුරුව අන්තර්ජාතික තරගවලට ද සහභාගී වුණු ඇය 2018දී පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවන්හිදී ලෝකඩ පදක්කම ලැබුවා. එය පොදුරදමඬුලු ක්‍රීඩාවන්හි කාන්තා බොක්සිං අංශයෙන් ශ්‍රී ලංකාව ලද ප්‍රථම පදක්කමයි. පදක්කම්ලාභී ප්‍රථම ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩිකාව ද ඇයයි.

අනූෂා, මේරි කොම් සමඟ සටන් වදිමින් (thepapare.com)

අනූෂාට ජයග්‍රහණය පිළිබඳව හැමවිටම සිහිනයක්, ඉලක්කයක් තිබුණා. මොන දේ ඉදිරියට ආවත්, එය හඹා යෑම ඇගේ අරමුණ වුණා. බොක්සිං ක්‍රීඩාව කාන්තාවකට නුසුදුසු යැයි සාම්ප්‍රදායික චින්තනය පෙන්වා දුන්නත්, ශික්ෂණයක් සහ දැක්මක් සහිත ක්‍රීඩාවේ නියැලෙන ඇය හරිම සංවේදී කාන්තාවක්. ක්‍රීඩාව සඳහා සටන් වදින නමුත් උස් පෙළ සඳහා සංගීත විෂයය හදාරමින් වයලින් මෙන්ම තබ්ලා වාදනයට, රාග ගායනයට ප්‍රිය කළ අනූෂා පහරදීමක් දෙස බලා සතුටූ වූවෙක් නොවෙයි. ඇගේ මව්පියන් පවා මුලදී බොක්සිං පිළිබඳව ඍණාත්මකව සිතුවත් ඇගේ අඛණ්ඩ ජයග්‍රහණ තුළින් ලංකාවට අත්වන කීර්තිය පිළිබඳව ඇය පහදා දීමෙන් පසු සහයෝගය දීමට එකඟව තිබෙනවා. ක්‍රීඩා කිරීමේදීත් අනෙක් ක්‍රීඩකයාට අනවශ්‍ය ලෙස පහර නොදෙන්නට ඇය කල්පනාකාරී වෙනවා. ලංකාවේ හොඳම තාක්ෂණික බොක්සිං ක්‍රීඩිකාව බවට ඇය නම් ලබන්නේ එනිසායි.

ලයන්ස් කප් ජාත්යන්තර තරගාවලියේදී පදක්කම් ලැබූ අනූෂා (cloudfront.net)

දැනුම ලබාගැනීම, මානසිකව සවිමත් වීම, තමාට කරන්න තිබෙන දේවල් ගැන නිතරම සිතමින් සූදානම් වීම වැදගත් බව අනූෂා කියනවා. යමක් කරද්දී, තමන්ගේ සිහිනයක් වෙත පියමන් කරද්දී තමන් ගැහැණියක් ද පිරිමියෙක් ද යන්නට වඩා තමන් ඒ වෙනුවෙන් යොදන කැපවීම ඒ වෙනුවෙන් ධනාත්මකව බලපාන බවයි ඇය අදහස් කරන්නේ. ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ වඩාත් හොඳ බොක්සිං කණ්ඩායමක් සකසන්නට තමන්ගේ දැනුම, හැකියාව යෙදවීමයි අනූෂාගේ බලාපොරොත්තුව.

බොක්සිං ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නට අනූෂාට හැදුණු හොඳ ලෙඩේ අන්තිමට ලංකා ක්‍රීඩා ඉතිහාසය තුළ, විශේෂයෙන් කාන්තාවක් ලෙස සහ අවසානයේ ජාත්‍යන්තරය පවා ජයගෙන, ලංකාවේ නම රැඳවීමෙනුයි තවත් මේ ඉදිරියට ඇදෙන්නේ. ඔබේ හිතෙත් මේ වගේ හොඳ ලෙඩවල් හැංගිලා ඇති. ඒවා අනිත් අය කරන ඒවාට වඩා වෙනස් ලෙඩ වෙන්නත් ඇති. නමුත්, තමන් දෙයකට අසීමිත ලෙස ආශාවක් දක්වනවා නම්, එයින් ඔබේ ජීවිතය පරිපූර්ණ වෙනවා නම්, ඒවාට ඉඩදීලා අධිෂ්ඨානයෙන්, ඒ හොඳ ලෙඩේ වෙනුවෙන් කැපවෙන්න.

Softlogic Life සමාගමත් ඔබට කියන්නේ, හොඳ ලෙඩ වෙනුවෙන් කැපවෙන්න කියලා. මොකද, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය රක්ෂණාවරණය වශයෙන් Softlogic Life කියන්නේ, “ඕනෙ ලෙඩක් හදාගන්න, වෙන ලෙඩ හැදුණොත් Softlogic Life ඉන්නවා බලාගන්න” කියලා.

කවරය: ytimg.com

Related Articles