Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශේක්ස්පියර්ගේ නිර්මාණ සැබැවින් ම ඔහුගේ ඒවා ද?

ඉංග්‍රීසි නාට්‍ය රචකයකු, කවියෙකු සහ වේදිකා නාට්‍ය නළුවකු ද වන විලියම් ශේක්ස්පියර් පිළිබඳ අසා නැති කෙනෙක් නොමැති තරම් ය. ඊට හේතුව ඔහු රචිත නාට්‍ය, කවි සහ අනිකුත් සාහිත්‍ය නිර්මාණ ලොව සියලු රටවල පාහේ වර්තමානයේ පවා අතිශයින් ම ජනප්‍රිය වීම ය. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ ද ඉංග්‍රීසි සාහිත්‍යය, විෂයයක් වශයෙන් හදාරන සිසු සිසුවියන්ට ශේක්ස්පියර් ගේ සාහිත්‍ය නිර්මාණ එකක් හෝ ඉගෙනීමට සිදු වේ. ඒ අතර ඔතෙලෝ සහ හැම්ලට් වැනි නිර්මාණ ප්‍රධාන තැනක් ගනී.

විශිෂ්ට නාට්‍ය රචකයකු සහ කවියකු ලෙස ශත වර්ෂ ගණනාවක් තිස්සේ ලොව සුපතළ ශේක්ස්පියර් ගේ මව්පියන්ට, ඔහුගේ බිරිය සහ දරුවන්ට කියවීමට හෝ ලිවීමට හැකියාවක් නොතිබූ අය කියතොත් එය විශ්වාස කළ හැකි ද? ඒ හේතුව නිසා ම සමහරුන්ගේ විශ්වාසය වන්නේ ශේක්ස්පියර් ගේ සාහිත්‍ය නිර්මාණ ඔහු තනි ව කළ ඒවා නොවන බව ය. මෙම ලිපිය ශේක්ස්පියර් පිළිබඳ පවතින එවැනි අප්‍රසිද්ධ කරුණු කිහිපයක් පිළිබඳ ය.

විලියම් ශේක්ස්පියර් – www.biography.com

විලියම් ශේක්ස්පියර්

1564 අප්‍රේල් 26 දින එංගලන්තයේ උපත ලැබූ විලියම් ශේක්ස්පියර් ගේ මව්පියන් වුයේ ජෝන් ශේක්ස්පියර් සහ මේරි ආර්ඩ්න් ය. වයස අවුරුදු 18 දී ඈන් හැතවේ සමඟ විවාහ වන ශේක්ස්පියර් වයස අවුරුදු 21 දී නාට්‍ය රචනා කිරීම අරඹයි. ඉන් අනතුරු ව කවි රචනා කිරීම අරඹන ශේක්ස්පියර් රංගන ශිල්පියකු ලෙස ද වේදිකා නාට්‍යවලට දායක වන්නේ ක්ෂේත්‍ර කිහිපයක ම කැපී පෙනෙන සමත්කම් දක්වන පුද්ගලයකු බවට පත් වෙමිනි. 1616 අප්‍රේල් 23 වැනි දින මිය යන ශේක්ස්පියර් සැලකෙන්නේ ලොව පහළ වූ විශිෂ්ටත ම ඉංග්‍රීසි නාට්‍ය රචකයා ලෙස ය.

 ශේක්ස්පියර් ගේ පියා

අනුන්ට අයත් වගාබිම්වල වගා කටයුතු කළ පුද්ගලයකුගේ පුත්‍රයකු වූ ශේක්ස්පියර් ගේ පියා රැකියා ගණනාවක නිරත වී තිබේ. මුලින් ම සම් භාණ්ඩ, සත්ත්ව ලොම්, මෝල්ට් සහ බඩඉරිඟු වැනි දේ අලෙවි කළ ඔහු පසුව එක්තරා මත්පැන් නිෂ්පාදන කම්හලක රස පරික්ෂවරයකු ලෙස සේවයට බැඳිණි. ඉන් අනතුරුව වංශාධිපති ගොවියකුගේ දියණියක වූ මේරි ආර්ඩ්න් සමඟ විවාහ වන ඔහු කෙමෙන් කෙමෙන් ධනවතෙක් බවට පත් විය. ඒ සමඟ ම ප්‍රාදේශීය දේශපාලනඥයකු ලෙස  විවිධ තනතුරු හෙබ වූ ඔහු කලක් ස්ට්‍රැට්ෆර්ඩ් නගරාධිපති ලෙස ද තේරී පත් විය. 1570 ගණන්වලදී ඔහු ණය බරින් පීඩිත ව නීතිමය ගැටලුවලට ද මුහුණ දී තිබේ.

ශේක්ස්පියර් උපන් නිවස – www.shakespeare.org.uk

සාක්ෂරතාවයෙන් තොර වූ ශේක්ස්පියර් ගේ මව්පියන්, බිරිය සහ දරුවෝ

ශේක්ස්පියර් පිළිබඳ සඳහන් වන තොරතුරුවලට අනුව ඔහුගේ මව්පියන්, එනම්, ජෝන් ශේක්ස්පියර් සහ මේරි ආර්ඩ්න් ලිවීමට හෝ කියවීමට හැකියාවක් තිබු අය නොවේ. විශේෂයෙන් ම එළිසබෙත් යුගයේ ජිවත් වූ බොහෝ දෙනකු ලිවීම හෝ කියවීම ඉගෙනීමට උනන්දුවක් දක්වා නොතිබීම නිසා ඔවුන් සාක්ෂරතාවයෙන් තොර පුද්ගලයන් බවට පත් වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ජෝන් ශේක්ස්පියර්ට සිය රැකියාව කිරීමේ දී තරමක් හෝ සාක්ෂරතාවක් අත්‍යවශ්‍ය වන්නට ඇති බව සමහරුන් තර්ක කළත් ඔහු අත්සන වෙනුවට ද යොදා ඇත්තේ එක්තරා සලකුණක් බව අනාවරණය වී තිබේ. විලියම් ශේක්ස්පියර් ගේ බිරිය සහ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් ද (අනික් දරුවා කුඩා කල මියගොස් තිබේ) සාක්ෂරතාවක් නොතිබූ අය බව පැවැසේ.

1585-1592 කාලය තුළ අතුරුදන් වූ ශේක්ස්පියර්

ශේක්ස්පියර් පිළිබඳ ව සඳහන් ඓතිහාසික මුලාශ්‍රවල 1585-1592 කාලය තුළ ඔහුට සිදු වූයේ කුමක්ද යන්න සඳහන් නොවේ. 1585 වසරේ දී ඔහුගේ නිවුන් දරුවන් දෙදෙනාගේ බෞතීස්මය පිළිබඳ ව සඳහන් වන නමුත් ඊට පසුව ශේක්ස්පියර්ට සිදු වුයේ කුමක්දැයි සඳහන් නොවේ. ඉන් අනතුරුව 1592 වසරේ දී නාට්‍ය රචකයකු වූ රොබට් ග්‍රීන් එක්තරා පත්‍රිකාවක ශේක්ස්පියර් විවේචනය කර තිබේ.

මේ පිළිබඳව අධ්‍යනය කළ ඉතිහාසඥයන් අනුමාන කරන්නේ මෙම වසර හතක කාලය තුළ ශේක්ස්පියර් පාසලක උගන්වා ඇති බව යි. ඊට අමතර ව තවත් පිරිසක් අනුමාන කරන්නේ ඔහු එම කාලය තුළ නීතිය හදාරා තිබෙන බව යි. තරමක වෙනස් කරුණක් සඳහන් කරන තවත් ඉතිහාසඥයන් පිරිසක් පෙන්වා දී ඇත්තේ ශේක්ස්පියර් 1585-1592 කාලය තුළ යුරෝපා මහද්වීපයේ රටවල් කිහිපයක සංචාරය කර ඇති බව යි. 17 වැනි සියවසට අයත් ශේක්ස්පියර් පිළිබඳ සටහනක සඳහන් වන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට අයත් වතුයායක මුවන් දඩයම් කිරීමේ සිදුවීමකින් පසු ඔහු පදිංචි වී සිටි ප්‍රදේශයෙන් පලාගොස් සිටි බවයි.

ශේක්ස්පියර් ගේ පවුලේ අය දැක්වෙන සිතුවමක් – www.thoughtco.com

 ශේක්ස්පියර් ද ඇතුළු බොහෝ දෙනෙක් ඔහුගේ නම ලියා ඇත්තේ නිවැරදි ආකාරයට නොවේ

විලියම් ශේක්ස්පියර් පිළිබඳ ව සඳහන් වන විවිධ මූලාශ්‍රවල ඔහුගේ නම එකිනෙකට වෙනස් ආකාර අසූවකට වැඩි ප්‍රමාණයකින් සඳහන් කර තිබේ. සමහර මූලාශ්‍රවල ඔහුගේ නම “Shappere” යනුවෙන් සඳහන් වන අතර තවත් මූලාශ්‍රවල එය සඳහන් වන්නේ “Shaxberd” යනුවෙනි. එපමණක් නොව ශේක්ස්පියර් ද බොහෝ ලේඛනවල ඔහුගේ නම සම්පූර්ණයෙන් ලියා නැත. ඒ වෙනුවට ඔහු ශේක්ස්පියර් යන කොටස කෙටි කර සඳහන් කර තිබේ.

 ශේක්ස්පියර්ගේ නිර්මාණ හැකියාව පිළිබඳව සමහරු සැක පහළ කරති

කිසි දිනක විශ්වවිද්‍යාලයකට හෝ ඔහු උපන් ස්ට්‍රැට්ෆර්ඩ් නගරයෙන් පිටතට නොගිය ශේක්ස්පියර් මේ සා විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ කිරීමට තරමක් දැනුමක් ලබාගත්තේ කෙසේදැයි බොහෝ දෙනකු සැක පළ කර තිබේ. විශේෂයෙන්ම නාට්‍ය සහ කාව්‍ය රචනය ආරම්භ කළ මුල් කාලයේ පටන් ඔහු ගේ නිර්මාණවලින් පිළිබිඹු වන්නේ ඔහු ජාත්‍යන්තර කටයුතු, යුරෝපා දේශපාලනය සහ ඉතිහාසය වැනි මාතෘකා පිළිබඳ ව හසළ දැනුමක් ඇත්තකු බව ය.

මේ හේතුවෙන් සමහර පාර්ශව අනුමාන කර ඇත්තේ සිය අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති/ අවශ්‍ය නොවූ නිර්මාණකරුවන් පිරිසක් ශේක්ස්පියර් හරහා සිය නිර්මාණ සමාජගත කරන්නට ඇති බව ය.අනන්‍යතාව හෙළි කිරීමට අවශ්‍ය නොවූ  එවැනි නිර්මාණකරුවන් අතර එඩ්වඩ් ඩි වෙරේ, ෆ්‍රැන්සිස් බේකන්, ක්‍රිස්ටෝපර් මාර්ලෝ සහ මේරි සිඩ්නි හර්බට් වැනි අය සිටිය හැකි බව මෙම මතය දරන්නන්ගේ අදහස ය.

ශේක්ස්පියර් ගේ නිර්මාණ ඇතුළත් පොතක් – www.spywriter.wordpress.com

 කිසිදු හානියක් නොවී අදට ද පවතින ශේක්ස්පියර් ගේ සොහොන් කොත

1616 අප්‍රේල් 23 දින, වයස අවුරුදු 52 දී ශේක්ස්පියර් මිය ගියේ ය. කෙසේ වෙතත් එවකට බොහෝ දෙනකු ජිවත් වුයේ උපරිම වයස අවුරුදු තිහක් හතළිහක් වැනි කාලයක් දක්වා පමණක් බැවින් වයස අවුරුදු 52 තෙක් ජිවත් වීම ශේක්ස්පියර් ලද භාග්‍යයක් ලෙස සැලැකේ. බොහෝ දෙනකු විශ්වාස කරන්නේ ශේක්ස්පියර් ගේ සමකාලීන නාට්‍ය රචකයකු වූ බෙන් ජොන්සන් සමඟ රාත්‍රියේ අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය ගිය බව ය. කෙසේ වෙතත් ඒ බව තහවුරු කරගෙන නැත.

 ඔහු මිය යාමට පෙර ඔහුගේ සොහොන්කොත මත සටහන් කළ යුතු වැකියක් ඔහු ලියා තිබේ. එහි සඳහන් වන්නේ:

“යහපත් මිතුර, ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉවසන්න, මෙහි දුහුවිලි එක්රැස් කිරීම සඳහා මේ ගල් සොලවන මිනිසාට ආශීර්වාද වේවා, නමුත් මගේ ඇටකටු සෙලවීමට යම් අයෙක් උත්සහ කරයි නම් ඔවුන්ට ශාප වේවා,”

එකල බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සොහොන්කොත් මංකොල්ලකරුවන් කඩා බිඳ දැමුවත් ශේක්ස්පියර්ගේ සොහොන් කොත මේ වන තෙක් නිරුපද්‍රිත ව පවතින්නේ ඉහත වැකිය දකින මංකොල්ලකරුවන් බියට පත්වන නිසා බව කියැවේ. 

ශේක්ස්පියර් ගේ සොහොන – www.bbc.com

කවරයේ ඡායාරූපය- www.bbc.com

මූලාශ්‍ර- www.history.com

www.bbc.co.uk

www.shakespeare.org.uk

Related Articles