Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමතක නොවන පැරණි සිංහයෝ 9- අසන්තා ද මෙල්

1982-1987 කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අසන්තා ද මෙල්, ප්‍රසිද්ධව සිටියේ දක්ෂ වේග පන්දු යවන්නෙකු ලෙස යි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරගවල දී මුල්මවරට කඩුලු 5ක් දවාගත් වේග පන්දු යවන්නා ලෙස ඉතිහාසගත වුණු අසන්තා සිය රට වෙනුවෙන් මුලින්ම ටෙස්ට් සහ එක්දින කඩුලු 50 සම්පූර්ණ කළ පන්දු යවන්නා බවටත් පත් වුණා. එසේම, 1983 ලෝක කුසලාන තරගාවලියේ දී ලකුණු සටහන්කරුවෙකු අතින් සිදුවුණු අතපසුවීමක් නිසා තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාගේ සම වාර්තාව උරුමකර ගැනීමට තිබුණු අවස්ථාව ඔහුට අහිමි වීම කණගාටුදායක සිදුවීමක් වුණා. එලෙස ක්‍රිකට් පිටිය තුළ දස්කම් දැක්වූ අසන්තා ක්‍රිකට් පිටියෙන් නික්ම යන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලබාගත් පන්දු යවන්නා බවටත් පත්ව සිටියා.

අසන්තා ද මෙල්ගේ ටෙස්ට් දිවියේ මතක සටහන් 

ටෙස්ට් තරග 17ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අසන්තා ද මෙල් පන්දුවාර 586.2ක් යවමින් කඩුලු 59ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. එහි දී 3 වරක් ඉනිමක දී කඩුලු 5 බැගින් දවාගත් අසන්තා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් ලකුණු 109කට කඩුලු 6ක් ලබාගෙන ඇත්තේ පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව යි. 

අසන්තා ශ්‍රී ලංකාව සහභාගි වුණු මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළා. 

ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගි වුණේ 1982 වසරේ දී යි. පී සරා ඕවල් පිටියේ පැවති එම තරගයේ දී ශ්‍රී ලංකාව තරග වැදුණේ එංගලන්ත කණ්ඩායම සමග යි. එදා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලද මුල්ම ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසගත වුණු අසන්තා, එංගලන්ත පළමු ඉනිමේ දී ලකුණු 70කට කඩුලු 4ක් ලබාගන්නා විට දෙවන ඉනිමේ දී ලකුණු 33කට දවාගත්තේ කඩුලු 1ක් පමණ යි. 

අසන්තා පන්දුවෙන් දස්කම් දැක්වූ ටෙස්ට් තරග 

අසන්තා ද මෙල් සිය ටෙස්ට් දිවිය තුළ අවස්ථා 3ක දී කඩුලු 5 බැගින් දවාගෙන තිබෙනවා. එහි දී ඔහු දෙවරක් එම දස්කම දක්වා තිබෙන්නේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව යි. එසේම ඔහු දකුණු ආසියානු කලාපයෙන් පිටත දී ක්‍රීඩා කර තිබෙන්නේ එක් ටෙස්ට් තරගයක් පමණ යි. ඔහු නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල දී ටෙස්ට් තරග ක්‍රීඩා කරා නම් ඉහළ දස්කම් දැක්වීමට ඉඩ තිබුණා. 

මංගල ටෙස්ට් තරගයේ දී ම සිදුකළ දක්ෂ පන්දු යැවීම 

1982 වසරේ දී පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 218ක් පමණ යි. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 40ක් තුළ දවාගත් මෙල්, ඔවුන්ව භීතියට පත් කළා. එලෙස මෙල් ලබා දුන් පීඩනය නිසාම එංගලන්ත පළමු ඉනිම ලකුණු 223කට සීමා වන විට මෙල්ගේ පන්දු යැවීම සටහන් වුණේ 70/4 ලෙසින්.

ඉන්දු බිමේ දී ලංකා අභිමානය බේරාගත් පන්දු යැවීම 

1982 වසරේ මදුරාසියේ චෙපොක් ක්‍රීඩා පිටියේ දී (වර්තමානයේ චෙන්නායි නුවර චිදම්බරම් ක්‍රීඩා පිටිය) පැවති ඉන්දු-ලංකා ටෙස්ට් තරගයේ අවසන් හෝරා කිහිපය තුළ ඉන්දියාවට ලකුණු 175ක ඉලක්කයක් හඹා යාමට සිදුවුණා. එදා ලකුණු 16ක් තුළ ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගලය ක්‍රීඩා පිටියට යැවූ අසන්තා, ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදුන්නා. නමුත්, ඉන්පසුව පිටියේ එක් වුණු ඉන්දීය පිලේ සිටි ප්‍රහාරාත්මක පිතිකරු යුගලය වුණු කපිල් දේව් සහ සංදීප් පටෙල් ඉන්දීය ලකුණු පුවරුව 78/2 දක්වා ඉහළ නැංවූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව දැඩි පීඩනයකට ලක් කරමින්. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් තරගය ගිලිහී යමින් පැවතුණු අවස්ථාවක නිවැරදි එල්ලයක් සහිතව ආක්‍රමණශීලි පන්දු යැවීමක නිරත වුණු අසන්තා, තවත් කඩුලු 3ක් ඉක්මනින්ම දවාගත්තේ ඉන්දීය ලකුණු පුවරුව 130/7 බවට පත් කිරීම සඳහා මූලිකත්වය ගනිමින්. එදා අසන්තා විසින් ලකුණු 68කට කඩුලු 5ක් ලබාගනිමින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා තරගය ජය පැරදුමෙන් තොරව නිමා වන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන් වුණේ 135/7 ලෙසින්. යම් හෙයකින් එදා තරගය තවත් පන්දුවාර කිහිපයක් ක්‍රියාත්මක වුණා නම් ශ්‍රී ලංකාවට මංගල ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට පවා ඉඩ තිබුණා. එලෙස අසන්තා ලබාගත් කඩුලු 5 ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු ටෙස්ට් ඉනිමක දී ලබාගත් මුල්ම කඩුලු 5 ලෙසින් ද සටහන් වුණා.

ඉන්දියානුවන්ට එරෙහිව නැවතත් පන්දුවෙන් දස්කම් 

1985 වසරේ පැවති ඉන්දු-ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වුණේ කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 218කට සිමා කිරීම සඳහා ප්‍රබල පන්දු යැවිමක නිරත වුණු මෙල්, ලකුණු 64කට කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා. 

කරච්චියේ දී පාකිස්ථානුවන්ට එරෙහිව හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කළා 

1985 වසරේ පැවති ශ්‍රී ලංකා-පාකිස්ථාන ටෙස්ට් තරගාවලිය යටතේ ක්‍රියාත්මක වුණු කරච්චි ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 162ක් පමණ යි. ඉන්පසුව, සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානු කණ්ඩායම ලකුණු 295කට සිමා වුණේ අසන්තා ද මෙල්, ලකුණු 109කට කඩුලු 6ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි.

අසන්තා ටෙස්ට් තරගයක දී පන්දු යවමින් (gettyimages)

අසන්තා ද මෙල්ගේ එක්දින දිවියේ මතක සටහන් 

එක්දින තරග 57ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අසන්තා ද මෙල්, පන්දුවාර 455.5ක් යවමින් කඩුලු 59ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. එහි දී 2 වරක් ඉනිමක දී කඩුලු 5 බැගින් දවාගත් අසන්තා, සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් ලකුණු 32කට කඩුලු 5ක් ලබාගෙන ඇත්තේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව යි. 

අසන්තා, මංගල එක්දින තරගය ක්‍රීඩා කළේ එංගලන්තයට එරෙහිව යි 

1982 වසරේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වුණේ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී යි. එය, ශ්‍රී ලංකාව තුළ පැවති පළමු නිල ජාත්‍යන්තර ක්‍රිකට් තරගය බවට ද පත් වුණා. එම තරගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු අසන්තා, ලකුණු 34කට කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා.

අසන්තා පන්දුවෙන් දස්කම් දැක්වූ එක්දින තරග 

අසන්තා ද මෙල් සිය එක්දින දිවිය තුළ අවස්ථා 2ක දී කඩුලු 5 බැගින් දවාගෙන තිබෙනවා. එහි දී ඔහු එම දස්කම් දක්වනු ලැබුවේ 1983 වසරේ එංගලන්තයේ දී පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ දී යි. එහි දී පාකිස්ථානය සහ නවසීලන්තය යන කණ්ඩායම් හමුවේ අසන්තා එලෙස දස්කම් දැක්වීමට සමත් වුණා. 

මංගල එක්දින තරගයේ දී ම පන්දුවෙන් දස්කම් දක්වයි 

1982 වසරේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වුණේ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 3ක් දැවී ලකුණු 191ක් ලබා සිටියා. එලෙස එංගලන්තය ප්‍රබල ස්ථානයක සිටි අවස්ථාවක ක්‍රියාත්මක වුණු අසන්තා, ලකුණු 34කට කඩුලු 4ක් දවාගත්තේ එංගලන්ත ඉනිම ලකුණු 211කට සීමා කිරීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදෙමින්.

1983 ලෝක කුසලාන තරගාවලියේ දී අසන්තාගෙන් සුපිරි දස්කම් 

1983 වසරේ එංගලන්තයේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී අසන්තා කඩුලු 17ක් දවාගත්තේ තරගාවලියේ දෙවන වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමින්. එහි දී පාකිස්ථානයට එරෙහිව ලකුණු 39කට කඩුලු 5ක් දවාගත් අසන්තා, නවසීලන්තයට එරෙහිව ලකුණු 32කට කඩුලු 5ක් දවාගත්තේ සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින්. එලෙස අසන්තා සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ තරගයේ දී ලකුණු සටහන්කරුවන්ට සිදුවුණු අත්වැරදීමකින් අසන්තා ලබාගත් ජෙෆ් හොවාත්ගේ කඩුල්ල සටහන් වුණේ රුමේෂ් රත්නායක ලබාගත් කඩුල්ලක් ලෙසින්. එදා සිදුවුණු එම අත්වැරදීම නිසා අසන්තාට 1983 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙසින් ඉන්දියාවේ රොජර් බිනී තැබූ වාර්තාව සම කිරීමට තිබුණු අවස්ථාව ගිලිහී ගියා.

අසන්තා 1983 ලෝක කුසලාන තරගාවලිය තුළ දී පන්දු යවමින් (gettyimages)

අසන්තාගේ එක්දින දිවියේ කණගාටුදායකම තරගය 

1987 ලෝක කුසලාන තරගාවලිය යටතේ කරච්චි නුවර දී පැවති එක්දින තරගය සුපිරි කොදෙව් පිතිකරු විවියන් රිචඩ්ස්ගේ නමින් ලියැවුණු තරගයක් වුණා. එදා රිචඩ්ස්, හයේ පහර 7ක් සමගින් එම අවදියේ ලෝක කුසලාන තරගයක දී පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වුණු ලකුණු 181ක් ලබාගත්තා. එදා රිචඩ්ස් දියත් කළ ප්‍රචණ්ඩකාරී ඉනිම නිසා කොදෙව්වන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 360ක් ලබාගත්තේ එම අවදියේ කණ්ඩායමක් එක්දින තරගයක දී ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්. එහි දී දරුණු ප්‍රහාරයකට ලක් වුණු අසන්තා, නියමිත පන්දුවාර 10 තුළ ලකුණු 97ක් ලබාදෙමින් කඩුල්ලක් ලබාගත්තේ එම අවදියේ එක්දින තරගයක දී වැඩිම ලකුණු ප්‍රමාණයක් ප්‍රතිවාදීන්ට ලබාදුන් ලංකා පන්දු යවන්නා බවට පත් වෙමින්.

රිචඩ්ස්ගේ 1987 ලෝක කුසලාන තරගාවලියේ දී (gettyimages)

අසන්තාගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී දස්කම් 

1) ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් දවාගත් මුල්ම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා මොහු යි.

2) එක්දින තරගයක මුලින්ම කඩුලු 5ක් දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා ද අසන්තා යි.

3) එක්දින ලෝක කුසලාන තරගයක දී මුල්මවරට කඩුලු 5ක් දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත් වුණේ මොහු යි.

4) එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිට පිටම පැවති තරග 2ක දී කඩුලු 5 බැගින් දවාගත් මුල්ම ආසියානු පන්දු යවන්නා වුණේ අසන්තා යි.

5) ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින කඩුලු 50 සම්පූර්ණ කළ මුල්ම පන්දු යවන්නා වුණේත් මොහු යි.

කවරයේ ඡායාරූපය- අසන්තා ද මෙල් (gettyimages)

Related Articles