Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අත්වැල් බැඳ ගත් සිංහල දෙමළ සාහිත්‍යයක් පැතූ ලේඛකයා තෙලිවත්තෙයි ජෝසප්

ශ්‍රී ලංකාවේ දෙමළ සහ සිංහල සාහිත්‍යයේ දැඩි සම්බන්ධතාවක් අපට පේන්නෙ නෑ. අපි දකුණු ඉන්දියානු දෙමළ චිත්‍රපට රසකර කර නැරඹුවත් ලංකාවේ සිටින විශිෂ්ට දෙමළ සාහිත්‍යධරයන් ගැන දන්නෙ නැහැ. එවන් විශිෂ්ට ලේඛකයෙක් පසුගිය දා අප අතරින් වෙන් ව ගියා. ඒ දකුණු ඉන්දියාවේ පවා ඇගැයීමට ලක්වුණු තෙලිවත්තෙයි ජෝසප්. ඩොමිනික් ජීවා හැරුණුකොට ලාංකේය දෙමළ සාහිත්‍යයේ සිංහලයන්ට  වඩාත් සමීප වූ ලේඛකයා තෙලිවත්තෙයි ජෝසප් යයි පැවසීම නිවැරදි යි. පසුගිය 21 වැනිදා මිය ගිය ඔහුගේ අවසන් කටයුතු පසුගිය 23 වැනි දා, කොටහේන මාදම්පිටිය සුසාන භුමියේ දී සිදු කෙරුණා. 

මේ එම ලේඛකයාගේ අප්‍රකට තොරතුරු සොයා යාමට ගත් උත්සාහයක්.

ලේඛකයාට අවසන් ගෞරව දක්වමින් – premarathna thennakoon facebook page

ජීවන තතු

තෙලිවත්තෙයි ජෝසප් බදුල්ලේ හාලිඇළට නුදුරු කැටවලදී උපත ලබන්නේ 1934 පෙබරවාරි 16 වැනි දා යි. ඔහුගේ පියා වූ ශාන්තස්වාමි ජෝසප් ගුරුවරයෙක් වුණා. ඔහු ලංකාවේ සහ තමිල්නාඩුවෙත් සේවය කළ කෙනෙක්. ඔවුන්ගේ ආදි නෑයන් 1880 දී දකුණු ඉන්දියාවේ කුම්භකෝනම්වලින් ලංකාවට පැමිණි බව යි සඳහන් වන්නේ. 

ජෝසප් 5 වසර තෙක් ලංකාවේ කැටවලවත්තේ වතු පාසලෙන් ඉගෙන ගෙන පසුව වැඩිමහල් සොයුරාත් සමඟ තමිල්නාඩුවේ කුම්භකෝනම්වල පාසලක අධ්‍යානය ලැබීමට යනවා. අවුරුදු තුනකින් පසු ලංකාවට යළිත්  විත් බදුල්ල ශාන්ත පීටර්ස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. ඉන් සාමාන්‍ය පෙළ විභාගය සමත්වූ ජෝසප්ට තෙලිවත්තේ වතු පාසලක ගුරු පත්වීමක් ලැබෙනවා. ඔහු ගුරුවරයකු සේ කටයුතු කරන අතර ම ලංකාවේ පුවත්පත්වලට ලිපි ලීවීම ආරම්භ කළා. කෙටිකතා මෙන් ම වතු සමාජයේ අඩුපාඩු විවේචනය කරන ලිපි ද ඒ අතර තිබුණා.

විවාහ වුණු අලුත බිරිය සමඟ – jeyamohan.in

සුද්දා කිපෙයි

මේ නිසා ඌව කැටවල වත්තේ ටී මේකර්ගේ පටන් කම්කරුවා දක්වා බොහෝ දෙනෙක් ඔහු දෙස බැලුවේ නුරුස්සා අයුරින්.  ඒ   ඔහුගේ කෙටිකතාවල වත්තේ සියලු ම දෙනා චරිත බවට පත් ව සිටි නි සයි.  දිනක් වතුපාලක සුද්දා ඔහුට කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා පණිවිඩයක් එව්වා.

“තමුසෙට විරුද්ධ ව පැමිණිලි ඇවිත් තියෙනවා. තමුසෙ ඔය ලියවිලි නැවැත්තුවෙ නැත්තං රස්සාවෙන් අස් කරලා දානවා” යයි සුද්දා ඔහුට තර්ජනය කළා.

වතු පාලක සුද්දාට වතු පාසලේ ගුරුවරයාට වඩා වත්තේ වැඩ කරන මිනිසුන් වැදගත් වුණා. තෙලිවත්තෙයි ජෝසප් බඳු සමාජය දෙස විචාරශීලී ව බලන ගුරුවරයෙක් වැඩි කල් වත්තේ විසුවොත් පාසල් දරුවන් කෙසේ වෙතත් වතු ප්‍රජාව බොහෝ දේ ඉගෙන ගනු ඇතැයි සුද්දාට වැටහුණා. මේ නිසා ජෝසප්ගේ රැකියාව අනතුරට ලක් ව පැවතුණා.  ඒ කාලයේ වතු සමාගම්  කාර්යාලයේ ලිපිකරුවෙක් ලෙස සේවය කළ තෙලිවත්තේගේ වැඩිමහල් සොහොයුරා ඔහුට කොළඹ ස්ටාර් ටොෆී කම්හලේ රස්සාවක් සොයා දුන්නා.   

ලේඛකයා පොත්වලට සමරු සටහන් යොදමින් – jeyamohan.in

කෙටිකතාකරුවෙක්

තෙලිවත්තෙයි සිය මුල් ම කෙටිකතාව ලිව්වේ කළේ 1959 දී යි. ඒ වතු පාසලේ ගුරුවරයෙක් ලෙස සේවය කළ කාලයේදි යි. ‘වලෙයි පලම් කෝල්’ (කෙසෙල් ලෙල්ල) නමැති ඒ කතාව ලියූ ලීවේ තමිල්නාඩු සඟරාවකට යි. උමා, පෙසුම්පාදම් වැනි තමිල්නාඩුවේ පත්තර සඟරාවලට වගේ ම ලංකාවේ වීරකේසරී පත්තරයටත් ඔහු ලියන්න පටන් ගත්තා. ඔහුගේ බො‍හෝ කතාවලට පසුබිම් වූයේ වතු කර ජනතාවගේ පීඩනය ගැන ජීවන පුවත්. ඔහු ලියන කතා පත්තරවල පළවීමෙන් පසු වතුකරයේ ලයිම්වලට ද ආරංචි වුණා.

1963 දී වීරකේසරී පුවත්පත පැවැත්වූ කෙටිකතා තරගයෙන් පළමු ස්ථානය හිමිවුණේ තෙලිවත්තෙයි ජෝසප්ට යි.  ඒ ඔහු ලියූ පටිසොන්න කතායි (අත්තම්මා කියූ කතා) කෙටිකතාවට.  ඔහුගේ නම  ඉන්පසු ජනප්‍රිය වන්නට පටන් ගත්තා. වර්ෂ 1965 වීරකේසරී කෙටිකතා තරගයට ඉදිරිපත් වූ ඔහු එහිදී ද පළමු වන තැන දිනා ගැනීමට සමත් වෙනවා.

කළු ජූලියේ මතක- bbc.com

සිනමා හලක හැංගී දිවි බේරා ගනී

1964 වසරේ දී කොළඹට පැමිණි පසු ඔහුගේ ලිවීමේ වේගය වර්ධනය වුණා. ඉන්දියා ටුඩේ වැනි සඟරා පවා ඔහුගෙන් කෙටිකතා ඉල්ලා සිටියා. ඒ අතර කොළඹින් විවාහයක් කර ගත් තෙලිවත්තෙයි ගේ වැඩිමහල් සොයුරාගේ නෑණන්ඩිය සමඟ ඔහු පෙම් සබඳතාවක් ආරම්භ කළා. ඇගේ නම  පිලොමිනා රුබෙල්ලා යි. ඇයට ඒ වන විට වයස අවුරුදු 12 යි. තෙලිවත්තෙයිට වයස අවුරුදු 26 යි. නිවසින් විරුද්ධත්වයක් එල්ල වූ විට ඇයට නිසි වයස එළඹෙන තෙක් සිටින බව ජෝසප් වැඩිහිටියන්ට කියා සිටියා.1964 සිට සිව් වසරක් පුරා පෙම්පත් වලට සීමා වී තිබූ ප්‍රේමය මල්ඵල ගන්වමින් ඔවුන් විවාහ වුණේ 1968 දී යි.

තෙලිවත්තෙයි – පිලොමිනා යුවළට දරුවන් සිව් දෙනෙකි. පුතුන් දෙදෙනකු හා දූවරුන් දෙ‍දනකු බැගිනි. කොළඹ ඔවුන් ජීවත් වූයේ මට්ටක්කුලියේ කුලී ගෙයක යි.   

අසූ තුනේ ජූලි කලබලය

අසූ තුනේ ජූලි කලබලය පැවති කාලයේ දී තෙලිවත්තෙයි රැකියාව කළ ස්ටාර් ටොෆී කම්හල ගිනි තබා විනාශ කළා. අසල තිබූ සෙයිස්තාන් සිනමා හලේ මුරකරු වූ සයිමන් අයියා තෙලිවත්තෙයි ඇතුළු කිහිප දෙනෙක් සිනමාහලේ හංගාගෙන ඔවුන්ගේ ජීවිත බේරා දුන්නා.

ලේඛක තෙලිවත්තෙයි ජෝසප් – Thesamnet.co.uk

තෙලිවත්තෙයි ජෝසප් ලේඛකයා 83 ජුලි කලබලයේ අත්දැකීම් ඇසුරු කරගෙන‘නාත්තල් පාවීහලාන ඉරුක්කිරම් – 1983’ යයි නවකතාවක් ලිව්වා. එහි සිංහල තේරුම වූ කලී ‘අපි පවුකාර මිනිස්සු වෙලා – 1983’ යනු යි. තෙලිවත්තෙයි එම පොතේ පිදුම ලියා ඇත්තේ 83 ජූලි කලබල සමයේ සිය පවුලේ දිවි බේරා දුන් සොයිසා මැතිනිය ප්‍රමුඛ සිංහල හිතවතුන් වෙනුවෙන් උපහාරයක් පුදමින්.

ලේඛන අස්වැන්න

තෙලිවත්තෙයි ජෝසප් ලේඛකයා විශාල පොත් සංඛ්‍යාවක් ලියා නැතිවුණත් ඔහුගේ කෘති ලංකාවේ මෙන් ම දකුණු ඉන්දියාවේ ද ඇගැයීමට ලක්ව තිබෙනවා. ඔහු වඩාත් දක්ෂකම් දක්වන්නේ කෙටිකතා රචනයට යි. ඒ අතර  ඔහු නවකතා කිහිපයක් ද පළ කර තිබෙනවා. නාම්රික්කුම් නාධෙ (අපි ජීවත්වන බිම), මීන්ගල්, තෙලිවත්තෙයි ජෝසප් සිරුගතෙයිහල්’ ඔහුගේ කෙටිකතා සංග්‍රහ අතර වෙනවා.

ඔහුගේ ප්‍රථම නවකතාව  පළවුණේ 1974 දි යි.  ඒ ‘කාලන්ගල් සාවදිල්ලෙයි’ (කාලය නොමියෙයි) නමින්. ‘කුඩෙයි නිලල්’ (2010) ‘පාලායි කුරුනාවල්’ (කෙටි නවකතා තුනක් – 1997) හා අවසන් නවකතාව වශයෙන් 2016 දී ලියූ ‘නාන්ගල් පාවීහලාන ඉරුක්කිරම් – 1983’ සමඟ ඔහුගේ නවකතා සංඛ්‍යාව  හතරක් ලෙස සඳහන් වෙනවා.

දෙමළ බසින් කඳුකරයයේ සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ පොත් කිහිපයක් ද ඔහු ලියා පළ කර තිබෙනවා.

ගොඩගේ දිවමන් සම්මානය ලබාගනිමින්- jeyamohan.in

සම්මාන රාශියක්  හිමිවෙයි

ඔහුගේ සාහිත්‍ය කෘති සඳහා අවස්ථා දෙකකදී ඔහු රාජ්‍ය සම්මානය හිමි කර ගෙන තිබෙනවා. ‘මලයාග සිරුකත්තෙයි වරලාරු’ (වතුකරයේ කෙටිකතා) සඳහා 2000 වස‍රේ හොඳ ම දෙමළ කෙටිකතා සංග්‍රහය වෙනුවෙන් හා ‘තෙලිවත්තෙයි ජෝසප් සිරුගකෙයිගල්! (තෙලිවත්තෙයි ජෝසප් කතා එකතුව) උදෙසා 2014 වසරේත් ඔහුට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණා.

  1998 දී වාර්ගික කටයුතු හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ඔහුගේ මෙහෙවර අගයමින් සම්මානයක් පිරිනැමූ අතර යාපන පාඨක සමාජය, මඩකලපුව ලේඛක ප්‍රවර්ධන මධ්‍යස්ථානය, පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාල, ලේක්හවුස් ආයතනය, සිංහල දෙමළ ලේඛක එකමුතුව හා වාර්ගික කටයුතු හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය ද මෙම ලේඛකයා  දෙමළ නිර්මාණ සාහිත්‍යයට කළ සේවය වෙනුවෙන් වෙනුවෙන් සම්මාන පිරිනමා තිබෙනවා

සාහිත්‍ය සංවාදයකට එක්වෙමින්- akkiinkkunchu.com

එක්සත් සාමකාමී ශ්‍රී ලංකාවක්

1991 දී කලාභූෂණ සම්මානයත්, 2011 දී ගොඩගේ දිවමන් සම්මානය හා 2014 දී සාහිත්‍ය රත්න සම්මානයත් තෙලිවත්තෙයි ජෝසප් ලේඛකයාට හිමිවුණා. 2013 වසරේ දකුණු ඉන්දියාවේ  විෂ්ණු පුරම් සාහිත්‍ය කවය පිරිනමන සම්මානයත් ඔහුට ප්‍රදානය කෙරුණා.   තෙලිවත්තෙයි ජෝසප්ට ප්‍රණාමය දැක්වූ රටවල් අතරට ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරුව හා එංගලන්තය ද එක්වෙනවා.

ඔහු නිතරම සිහින දැක්කේ එක්සත් සාමකාමී ශ්‍රී ලංකාවක්, අත්වැල් බැඳ ගත් සිංහල දෙමළ සාහිත්‍යයක් සඳහා යි.

කවරයේ ඡායාරූපය- විශිෂ්ට දෙමළ ලේඛක තෙලිවත්තෙයි ජෝසප් - dinamaalai.com
මූලාශ්‍ර:
Dailynews.lk
Dinamina.lk
සාහිත්‍යවේදී කමල් පෙරේරාගේ සටහන්

Related Articles