Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆෝමියුලා පථයේ ඉගිලී ගිය මැජික්කාරයා

80 දශකයේ මුල් භාගයේ සිට 90 දශකයේ මැද භාගය වන තෙක් ෆෝමියුලා ධාවන පථයේ මැජික්කාරයෙකු ඉගිලුණා. “මැජික් සෙනා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ ඔහුගේ සම්පූර්ණ නම වූයේ, අය(ර්)ටන් සෙනා ද සිල්වා යි.

රොකට්ටුවක් මෙන් තම ෆෝමියුලා රථය ධාවනය කරමින් නරඹන්නන් කුල්මත් කළ ඔහු, අවසානයේ දී අකුණු පහරක් අතුරුදහන් වන වේගයෙන් නොපෙනී ගියා.

සෙනාගේ ළමා කාලය

සෙනා උපත ලබන්නේ 1960 මාර්තු 21 වන දින යි. ඒ බ්‍රසීලයේ කර්මාන්තශාලා සහ ගොවිපළවල් හිමි ධනවත් පවුලක දෙවන දරුවා වශයෙන්. ඔහුට බාල සහෝදරයෙක් හා වැඩිමහලු සහෝදරියක සිටිනවා. වසර හතරේ දී පුංචි සෙනාට ලැබෙන කුඩා රේසිං කාරය (go cart) ඔහුගේ ජීවිතය වෙනස් කරන බව, ඔහුවත් හිතන්නට නැතුව ඇති. එහෙත්, ඉතා වේගයෙන් ඔහුගේ හිත කාර් රේස්වලට ඇදී යනවා. ඒ, තමන්ගේ නහර තුළට කිඳා බැස තිබූ මෝටර් තරග උමතුව පණ ගන්වමිනුයි. රූපවාහිනියෙන් තමන්ගේ ප්‍රියතම ක්‍රීඩකයන්ගේ ෆෝමියුලා තරග නැරඹීම පුංචි සෙනාගේ විනෝදාංශයක් බවට පත් වෙන්නේ ද මේ අතරම යි.

සෙනා ළමා වියේ දී- racezone.pl

වසර දහතුනේ දී සෙනා තමාගේ පුංචි රේසිං කාරයෙන් පළමු වරට ධාවන පථයක තරග වදින අතර, එය පහසුවෙන්ම ජයග්‍රහණය කරනු ලබනවා. ඒ බ්‍රසීලයේ දී, 1973 ජූලි මාසයේ දී යි. එම ධාවන පථය පසු කලෙක දී අය(ර්)ටන් සෙනාගේ නමින් නම් කරනු ලබනවා.

පුංචි රේසිං කාර් තරගවලින් බ්‍රසීලයේ දී හා දකුණු ඇමෙරිකානු රටවල් හි දී ශූරතාවයන් හයක් පමණ දිනාගන්නට සෙනාට හැකි වනවා. මෙම පුංචි රේසිං කාර් තරග ඔස්සේ තමන්ට ලැබුණු අත්දැකීම් සමුදාය ඉදිරි ෆෝමියුලා තරග සඳහා බොහෝ උපකාරී වූ බව ඔහු පසු කාලයක දී පවසනවා.

1993 දී අවසාන ෆෝමියුලා තරගය ජය ගැනීමෙන් පසුව, ‘ඔබගේ ලොකුම ප්‍රතිවාදියා කවුරුන් ද?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු සෙනාගෙන් විමසා සිටියා. එහිදී සියල්ලෝම විමතියට පත් කරමින් ඔහු කියා සිටියේ, ‘1978, 1979 හා 1980 කාලයේ දී තමන් සමග පුංචි රේසිං කාර් තරගවල දී තරග වැදුණු “ෆුලේ(ර්)ටන්” නම් තරගකරුවා තමාගේ ලොකුම ප්‍රතිවාදියා’ බව යි.

මැජික් සෙනා ඉගිලෙයි

බ්‍රිතාන්‍යයේ දී ෆෝමියුලා තුන්වන මට්ටමේ තරගයක් 1983 දී ජය ගැනීමෙන් පසු, 1984 දී බ්‍රසීලයේ “රියෝ ද ජැනෙයිරෝ” නගරයේ පැවති ෆෝමියුලා පළමු පෙළේ තරගයකින් සෙනාගේ ඉගිලීම ආරම්භ වනවා. ඒ සඳහා මුලින්ම ඔහු යොදා ගන්නේ බ්‍රිතාන්‍යයේ නිපදවනු ලබන ෆෝමියුලා නාමයක් වූ “ටෝල්මන්” රථයක්. ඉන්පසුව ඔහු, 1988 සිට 1993 වන තෙක් “මැක්ලෙරේන්” ෆෝමියුලා රථයක් තරග සඳහා පාවිච්චි කරනවා.

අය(ර්)ටන් සෙනා ද සිල්වා- sunday observer 

ප්‍රධාන පෙළේ ධාවන තරග 162කට පමණ සහභාගී වූ අය(ර්)ටන් සෙනා පසුපස ඉන් තරග 41ක ජය හඹා ආවා. 1988, 1990 සහ 1991 යන වසරවල දී ෆෝමියුලා ලෝක ශූරතාවය දිනාගන්නට ද ඔහුට හැකි වුණා.

සෙනා තරගවල දී පාවිච්චි කරන හෙල්මටයේ නිතරම රැඳුණේ කොළ, කහ සහ නිල් පාට යි. ඒවා බ්‍රසීල ධජයේ වර්ණයන්. ෆෝමියුලා ධාවන පථයේ දී ඔහුගේ ප්‍රතිවාදීන් විසින් සෙනාව හඳුන්වනු ලැබුවේ යක්ෂයෙකු ලෙස යි. ඒ ඔහු කෙසේ හෝ ජයග්‍රහණය හඹා යන්නෙකු වූ නිසා යි.

“ඔබට රේසිං කාරය හොඳින් පුරුදු වූ පසු අවශ්‍ය වන්නේ ජයග්‍රහණය පමණකි. දෙවෙනියා හෝ තුන්වෙනියා වීම ප්‍රමාණවත් නැත”- එය සෙනාගේ තේමා පාඨය යි.

එමෙන්ම, ඔහු සාමාන්‍ය ජීවිතයේ දී තම රටේ දිළිඳු ජනයාට සහ ළමුන්ට විශාල ප්‍රමාණයෙන් උදව් උපකාර කළ සමාජ සේවකයෙක්.

“දුප්පතුන් වට වෙච්ච දූපතකට වෙලා පෝසතුන්ට තනියෙන් ජීවත් වෙන්න බැහැ. අපි ඔක්කොම හුස්ම ගන්නෙ එකම හුළඟකින්. අපි හැමෝටම අඩු තරමේ එක අවස්ථාවක් හරි තියෙන්න ඕනි”- ඒ සෙනාගේ වචන යි.

වේගයක අවසානය

සෙනාගේ ඉරණම් දිනය වූයේ 1994 මැයි පළමු වන දා යි. ඒ, ඉතාලියේ සැන් මැරීනෝ ග්‍රෝන් ප්‍රී ධාවන පථයේ දී ෆෝමියුලා තරගය පැවැත්වූ දිනය යි. එම තරගාවලිය පටන් ගත් දින සිටම අවාසනාව එබිකම් කරන්නට වුණා. අවසාන තරගයට පෙර දින පැවැත්වූ සුදුසුකම් ලැබීමේ තරග වටයක දී ඕස්ට්‍රේලියානු ජාතික තරගකරුවෙකු අනතුරට ලක් වීමෙන් මිය ගිය අතර, එම සිදුවීම සෙනාගේ හිත බොහෝ සසල කරන්නට වුණා.

මාරක අනතුර- Daily Mail

සෙනා අවසන් වරට පැද ගියේ ‘විලියම්ස්’ වර්ගයේ නිල් පැහැති ෆෝමියුලා රථයක්. මෙම තරගය ආරම්භයේ දී ම ෆෝමියුලා රථ දෙකක් එකිනෙක ගැටී, ඒවායේ සුන්බුන් ධාවන පථයේ විසිරී ගියා. සෙනා මුල් වට කිහිපයේ සිටම ඉදිරියෙන් ධාවනය කළා. ඔහු පසුපසින් හඹා ආවේ ෆෝමියුලා තරගවල තවත් ශ්‍රේෂ්ඨයෙක් වූ මිෂෙයිල් ෂූමාක(ර්) ය. ධාවන පථයේ ඉතාලි භාෂාවෙන් “තැම්බුරෙල්ලෝ” යනුවෙන් හඳුන්වනු ලබන කෙටි වංගුවක් තිබුණා. මෙම ස්ථානයෙහි ධාවන පථය හා වටේට බැඳ තිබුණු කොන්ක්‍රීට් තාප්පය අතර වූයේ ඉතාම කෙටි පරතරයක්. තරගයේ හත්වන වටයේ දී අය(ර්)ටන් සෙනාගේ විලියම්ස් රථය පාලනයෙන් ඉවත් වී, තිරිංග යෙදීමේ උත්සාහයත් පරදවමින් ධාවන පථයෙන් ඉවතට ඇදී ගොස්, එම කොන්ක්‍රීට් තාප්පයේ ගැටෙන්නේ අසුරු සැනෙකින්.

එතැන් සිට ලෝකයම විශ්මයෙන් හා ශෝකයෙන් අවුලවමින් සෙනා රැගත් හෙලිකොප්ටරය කඩිනමින් රෝහල වෙත ඇදී යනවා. මෙම අනතුර සිදු වූ පසු සෙනාගේ හෙල්මටය ගලවා හදිසි ප්‍රතිකාර ලබා දෙන විට ජායාරූප ශිල්පියෙකු ඔහුගේ ජායාරූප ලබාගත් නමුත්, සෙනාගේ පවුලේ උදවිය විසින් ඒවා ප්‍රසිද්ධ කිරීම නවතාලනු ලැබුවා. තවද, පුහුණු තරගය අතරතුරේ දී මියගිය ඕස්ට්‍රේලියානු ජාතික තරගකරුවාට ගෞරවය පුද කිරීම සඳහා මේ තරගය අවසානයේ දී ප්‍රදර්ශනය කිරීමට සෙනා විසින් තබා ගත් ඕස්ට්‍රේලියානු ධජයක් ද, අනතුරට පත් වූ ඔහුගේ රථය තුළ තිබී පසුව හමුවනවා.

හිස් කබලට හා මොළයට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් එදින හවස් යාමය වන විට ෆෝමියුලා ධාවන පථයේ ශ්‍රේෂ්ඨතම ධාවකයා ලෙස සැලකෙන අය(ර්)ටන් සෙනා හෙවත් “මැජික් සෙනා” මෙලොවින් සමුගන්නවා.

එම පුවත බ්‍රසීලය පමණක් නොව, මුළුමහත් ක්‍රීඩා ලෝකයම කඳුළින් නහවන්නට සමත් වනවා. ජාතික ශෝක දින තුනකට පසුව 1994 මැයි පස් වන දා සෙනාගේ දේහය ඔහුගේ ජන්ම භූමිය වන “සෝ පාවුලෝ” හි දී මිහිදන් කරන්නේ වීදී පුරා රැස් වූ ලක්ෂ තිහකට අධික ජනතාවකගේ ගරු බුහුමන් හා සෝ සුසුම් මැදිනුයි.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පසුව ෆෝමියුලා ධාවන තරගවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු වන අතර, ඒ සඳහා නව විධික්‍රම ද හඳුන්වා දෙනු ලබනවා. සෙනාගේ මරණය සම්බන්ධයෙන් එම ග්‍රෝන් ප්‍රී තරග සංවිධායකයන්ට හා ඔහු පැද වූ ෆෝමියුලා රථයේ නිෂ්පාදකයන්ට චෝදනා එල්ල වන අතර, ඔවුන්ට එරෙහිව ඉතාලියේ අධිකරණය තුළ නඩු පවා ගොනු කෙරෙනවා.

කවරයේ පින්තූරය- UnracedF1

මූලාශ්‍රයයන්:
ayrtonsenna.com
mclaren.com
formula1.com

Related Articles