Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමතක නොවන පැරණි සිංහයෝ 10- බන්දුල වර්ණපුර

1975-1982 කාල සමය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ බන්දුල වර්ණපුර, ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ දී හමුවන සුවිශේෂී ක්‍රීඩකයෙකු වනවා. ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාගැනීම සඳහා කළ දුෂ්කර මෙහෙයුමේ දී සිය කණ්ඩායමට විශාල සවියක් ලබාදුන් බන්දුල, සිය රට ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගයේ දී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට තරම් වාසනාවන්ත වුණා. එසේම, 1979 ලෝක කුසලානයේ දී ලංකා එක්දින ඉතිහාසයේ පළමු ජයග්‍රහණය ලබාගත් අවස්ථාවේ ද සිය කණ්ඩායමේ මෙහෙයවනු ලැබුවේ මෙම ක්‍රීඩකයා යි. එලෙස ක්‍රිකට් පිටිය තුළ දිගු ගමනක් යාමට හැකියාවක් තිබුණු මෙම දක්ෂ ක්‍රීඩකයා 1982 වසරේ දී තහනම් දකුණු අප්‍රිකානු සංචාරක සඳහා සහභාගි වීමත් සමගම අකාලයේ සිය ක්‍රිකට් දිවිය හමාර කරගනු ලැබුවා. එසේ නම්, අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ 10 වැනි ලිපිය තුළින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ බන්දුල වර්ණපුර නම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයා පිළිබඳව යි. 

බන්දුල වර්ණපුරගේ ටෙස්ට් දිවියේ මතක සටහන් 

ටෙස්ට් තරග 4ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ බන්දුල වර්ණපුර, ඉනිම් 8ක් තුළ ලබාගෙන තිබෙන්නේ ලකුණු 96ක් පමණ යි. ශ්‍රී ලංකාව නිල නොවන ටෙස්ට් තරග ක්‍රීඩා කළ අවදියේ දී බන්දුල පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණත්, ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දී ඔහුට පිතිකරුවෙකු ලෙස සාර්ථක වීමට හැකි වුණේ නැහැ.

බන්දුලට මංගල ටෙස්ට් තරගය අමතක නොවන එකක් වුණා. 

1982 වසරේ දී ශ්‍රී ලංකාව සිය මංගල තරගය ක්‍රීඩා කළා. කොළඹ පී සරා ඕවල් පිටියේ දී එංගලන්තය සමග පැවති එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ බන්දුල වර්ණපුර යි. එසේම, එම තරගයේ දී ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසයේ මුල්ම පන්දුවට මුහුණදුන් බන්දුල සිය රට වෙනුවෙන් මුල්ම ටෙස්ට් ලකුණ ලබාගත් පිතිකරුවා ලෙසින් ඉතිහාසගත වුණා. නමුත්, එම තරගයේ දී දස්කම් අතරට පිවිසීමට අපොහොසත් වුණු වර්ණපුර, පළමු සහ දෙවන ඉනිම්වල දී පිළිවෙලින් ලබාගත්තේ ලකුණු 2ක් සහ 38ක් පමණ යි. එලෙස බන්දුලගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 38 ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමක ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා.

බන්දුල මංගල ටෙස්ට් තරගයේ දී (gettyimages)

බන්දුල නිල නොවන ටෙස්ට් තරගවල දී පිත්තෙන් දක්වා ඇති දස්කම් 

70 දශකයේ මුල සිටම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ වර්ණපුර, නිල නොවන ටෙස්ට් තරගවල දී පිත්තෙන් මෙන්ම පන්දුවෙනුත් දස්කම් දක්වා තිබෙනවා. බන්දුල වර්ණපුර 20 හැවිරිදි වියේ දී පාකිස්ථානු අවුරුදු 25න් පහළ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිමක් නිසා මුලින්ම ඔහුගේ නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට වඩාත් සමීප වුණා. 1973 වසරේ පී සරා ඕවල් පිටියේ දී පැවති එම තරගයේ දී වර්ණපුර ලකුණු 154ක් ලබාගත්තේ සුනිල් වෙත්තමුණි සමග පළමු කඩුල්ල සඳහා ලකුණු 179ක සබඳතාවයක් ගොඩනගමින්. එදා බන්දුල මෙන්ම විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සුනිල් වෙත්තමුණි ලකුණු 107ක් ලබාගැනීමට සමත් වුණා. ඔවුන් දෙදෙනාට අමතරව දුලිප් මෙන්ඩිස්, ලලිත් කළුපෙරුම, රංජන් ගුණතිලක, ශ්‍රී දරන් ජෙගනාදන් වැනි පසුකලෙක ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් එදා තරගයට සහභාගි වුණා. 1977 වසරේ දී DH Robins XI කණ්ඩායමට එරෙහිව පී සරා ඕවල් පිටියේ පැවති තුන්දින තරගයේ දී වර්ණපුර අගනා ලකුණු 100ක් ලබාගත්තේ ඉන්ටිකාබ් අලාම්, ජෝන් එම්බියුරි වැනි දක්ෂ පන්දු යවන්නන් හමුවේ යි. එලෙස නිල නොවන ටෙස්ට් තරගවල දී ශතක ලබාගත් බන්දුල 1974 වසරේ දී පාකිස්ථානයට එරෙහිව ගඩාෆි පිටියේ දී ලබාගත් ලකුණු 92ත් විශිෂ්ට ගණයේ ඉනිමක් වුණා.

බන්දුල වර්ණපුරගේ එක්දින දිවියේ මතක සටහන් 

එක්දින තරග 12ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ බන්දුල වර්ණපුර, ඉනිම් 12ක් තුළ ලකුණු 180ක් ලබාගෙන තිබෙනවා. එම තරග 12ක තුළ පිත්තෙන් පමණක් නොව පන්දුවෙනුත් දස්කම් දැක්වූ බන්දුල කඩුලු 8ක් දවාගත්තේ ඉනිමක හොඳම පන්දු යැවීම 42/3 ලෙස සටහන් කර ගනිමින්.

බන්දුල සිය මංගල එක්දින තරගය සඳහා සහභාගි වුණේ 1975 වසරේ දී යි 

1975 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ශ්‍රී ලංකා-කොදෙව් එක්දින තරගය ශ්‍රී ලංකාව මුහුණදුන් මුල්ම ජාත්‍යන්තර එක්දින තරගය බවට පත් වුණා. බන්දුල එම තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසියත්, ප්‍රබල කොදෙව් වේග පන්දු යවන්නන් ඉදිරියේ ඔහුට ලබාගැනීමට හැකි වුණේ ලකුණු 8ක් පමණ යි. නමුත්, එදා ඔහු හතරේ පහර 2ක් එල්ල කරමින් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම හතරේ පහර එල්ල කළ පිතිකරුවා ලෙස වාර්තා අතරට එක් වුණා.

බන්දුල 1975 ලෝක කුසලාන තරගාවලියේ දී (gettyimages)

බන්දුලගේ එක්දින දිවියේ හොඳම ඉනිම 

බන්දුල වර්ණපුර සිය එක්දින එක්දින දිවිය තුළ දී ලබාගෙන තිබෙන්නේ එක් අර්ධ ශතකයක් පමණ යි. 1982 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය කළා. එම සංචාරය යටතේ පැවති එක්දින තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වුණේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දී යි. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි වර්ණපුර අගනා ලකුණු 77ක් ලබාගත්තේ හතරේ පහර 10ක් පිටිය පුරාවට එල්ල කරමින්.

බන්දුලගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම 

1975 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානු කණ්ඩායම තරග වැදුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම, නියමිත පන්දුවාර 60 තුළ දී කඩුලු 6ක් දැවී ලකුණු 330ක් ලබාගැනීමට සමත් වුණා. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වුණු වර්ණපුර, පන්දුවාර 8ක් යවමින් ලකුණු 42ක් ලබා දී කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා. 

බන්දුල නිල නොවන එක්දින තරගවල දී පිත්තෙන් දක්වා ඇති දස්කම් 

1981 වසරේ දී කිම් හියුස්ගේ නායකත්වය යටතේ තරග වැදුණු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළා. එම සංචාරය යටතේ පැවැත්වුණු එක්දින තරගාවලියේ දෙවන තරගය ක්‍රියාත්මක වුණේ කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී යි. එදා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 189ක ඉලක්කයක් හඹාගිය අවස්ථාවේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ වර්ණපුර අගනා ලකුණු 106ක් ලබාගත්තේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින්. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාගැනීමට ගිය ගමනේ දී වඩාත් උපකාරී වුණු බව මෙහි දී සිහිපත් කළ යුතු යි.

බන්දුල නිල නොවන එක්දින තරගවල දී පන්දුවෙන් දක්වා ඇති දස්කම් 

1976 වසරේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති නිල නොවන එක්දින තරගාවලිය 2-0ක් ලෙසින්  ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාව යි. එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා බවට පත් වුණේ බන්දුල වර්ණපුර යි. එහි දී බන්දුල, එක් තරගයක දී ලකුණු 21කට කඩුලු 3ක් දවාගන්නා විට අනිත් තරගයේ දී ලකුණු 11කට කඩුලු 2ක් දවාගනු ලැබුවා. එසේම, 1977 වසරේ දී සුප්‍රකට මාලිබෝන් ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ එක්දින තරගයේ දී වර්ණපුර, ලකුණු 24කට කඩුලු 3ක් දවාගත්තා. එහි දී ඩෙනිස් ඒමිස්, කීත් ෆ්ලෙචර් වැනි දක්ෂ පිතිකරුවන් වර්ණපුරගේ පන්දු හමුවේ දැවීගියා. 1979 වසරේ දී ශ්‍රී ලංකාව ICC කුසලානය දිනාගනු ලැබුවා. එම තරගාවලිය යටතේ ඩෙන්මාර්කයට එරෙහිව පැවති තරගයේ දී ලකුණු 22කට කඩුලු 3ක් දවාගත් වර්ණපුර, නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 21කට කඩුලු 2ක් දවාගනු ලැබුවා. 

ශ්‍රී ලංකාව ICC කුසලානය දිනාගත් අවස්ථාව (gettyimages)

වර්ණපුර නායකයෙකු ලෙස 

සිය ක්‍රිකට් දිවිය තුළ දී ටෙස්ට් තරග 4කට නායකත්වය දුන් වර්ණපුර, ඉන් එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගන්නා විට ඉතිරි තරග 3ම පරාජයට පත් වුණා. නමුත්, එක්දින පිටියේ දී නායකයෙකු ලෙස තරමක් සාර්ථක වුණු වර්ණපුර එක්දින තරග 8කට නායකත්වය ලබා දී, ඉන් අවස්ථා 3ක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවා තිබෙනවා. එහි දී ශ්‍රී ලංකාව ලබාගත් මුල්ම එක්දින ජයග්‍රහණය සඳහා බන්දුල නායකත්වය ලබා දීම සුවිශේෂී සිදුවීමක් වුණා. 1979 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයක දී ඉන්දියාවට එරෙහිව ලබාගත් එම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාගැනීමට පවා බලපෑම් කළ ජයග්‍රහණය වුණා. බන්දුල වර්ණපුර, නායකයෙකු ලෙස වැඩි තරග ප්‍රමාණයක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවා නැතත්, ඔහු උපක්‍රමශීලී නායකයෙකු වුණා. නමුත්, අකාලයේ ඔහුගේ ක්‍රීඩා දිවිය නිමා වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බලවත් පාඩුවක් වුණා.

බන්දුල මංගල ටෙස්ට් තරගයේ දී (gettyimages)

බන්දුලගේ ක්‍රිකට් දිවිය අකාලයේ නිමා වීම 

80 දශකයේ මුල භාගය වන විට බන්දුල වර්ණපුර, ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කළ ඇතැම් යෝජනා නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරින්ගෙන් ඔහුට කැපිලි කෙටිලි තිබුණු බව ප්‍රසිද්ධ රහසක්. එම නිසාම තරමක කලකිරීමෙන් සිටි බන්දුල, 1982 වසරේ තහනම් දකුණු අප්‍රිකානු සංචාරය සඳහා එක් වුණා. එම අවදිය වන විට දකුණු අප්‍රිකාවට දීර්ඝ ක්‍රීඩා තහනමක් පනවා තිබුණා. ඒ අනුව දකුණු අප්‍රිකාවේ සංචාරය කළ වර්ණපුර ප්‍රමුඛ කණ්ඩායමට දීර්ඝ තරග තහනමක් පනවනු ලැබුවා. එම සිදුවීම නිසා බන්දුල වර්ණපුර, අනුර රණසිංහ, අජිත් ද සිල්වා, මහේෂ් ගුණතිලක වැනි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ලංකාවට අහිමි වුණා.

එලෙස සිය ක්‍රිකට් දිවිය අකාලයේ විනාශ කරගත් බන්දුල ක්‍රිකට්වලට තිබුණු ආලය අත්හැරියේ නැහැ. එම නිසාම ඔහු පුහුණුකරුවෙකු, කළමනාකරුවෙකු ලෙස සිය රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට සිය දායකත්වය ලබාදුන්නා. එලෙස සිය රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මොහු කළ සේවය නිසාම බන්දුල වර්ණපුර නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ හැමදාමත් රන් අකුරින් ලියැ වී පවතිනු ඇති. 

කවරයේ ඡායාරූපය- 1975 ලෝක කුසලානයට ගිය ලංකා කණ්ඩායම (gettyimages)

Related Articles