කුණාටු තුඩුව සොයාගත් පෘතුගාල දේශ ගවේශකයා

1453 වසරේ දී මුස්ලිම්වරුන් වූ තුර්කීන් කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලා ගත්තා. එම නිසා යුරෝපයේ සිටි ක්‍රිස්තියානි වෙළඳුන්ට සම්ප්‍රදායික වෙළඳ මාර්ග භාවිතා කිරීමට තිබුණු ඉඩකඩ ඇහිරී ගියා. එසේම තුර්කිවරුන් වෙළඳ භාණ්ඩවල මිල වැඩි කිරීම, තීරුබදු ගාස්තු වැඩි කිරීම, සහ නිසි වේලාවට භාණ්ඩ ලබා නොදීම වැනි හේතු නිසා යුරෝපයේ වෙළෙන්දන්ට නිසි අයුරින් සිය වෙළඳාම් කටයුතු කරගෙන යාමට හැකි වුණේ නැහැ. එම කාල වකවානුව වන විට පෙරදිග රටවලින් යුරෝපයට කුළුබඩු රැගෙන ගියා. නමුත් තුර්කි ජාතිකයන් කොස්තන්තිනෝපල් නගරය අල්ලා ගැනීමෙන් පසුව පෙරදිගින් යුරෝපයට කුළුබඩු සැපයීම ඇණ හිටියා. 

කොන්ස්තන්තිනෝපලය බිඳ වැටීම (greek city times)

පෙරදිගින් යුරෝපයට කුළුබඩු සැපයීම නැවතීමත් සමගම යුරෝපීය රටවල්වල සිටි නාවිකයන් කුළුබඩු සොයාගෙන පෙරදිගට පැමිණෙන්නට වුණා. එම කාල වකවානුව වන විට අරාබි ජාතිකයන්ට පෙරදිග සහ අපරදිග අතර කුළුබඩු සහ අනිකුත් භාණ්ඩ වෙළඳාමේ ආධිපත්‍යය හිමිව තිබුණා. එදා යුරෝපියයන්ට අවශ්‍ය වුණේ අරාබි ජාතිකයන් සතුව තිබුණු වෙළඳ බලය ලබාගැනීම යි. ඒ සඳහා දේශ ගවේශනය කළ යුරෝපීය රටවල් අතුරින් පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ප්‍රමුඛස්ථානයක් හිමි වුණා. ඒ අතරින් පෘතුගාල ජාතිකයන් ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල්වල සිය ආධිපත්‍ය රඳවා ගැනීමට සමත් වුණා. 

පෘතුගාලයේ නාවික හෙන්රි කුමරු එරට දේශ ගවේශන කටයුතු සඳහා විශාල අනුග්‍රහයක් ලබාදුන්නා. ඔහුගේ මූලිකත්වය යටතේ 15 වැනි සියවසේ දී නාවික අභ්‍යාස විද්‍යාලයයක් ආරම්භ කෙරුණා. එමඟින් සැලකිය යුතු පිරිසකට නාවික ශිල්පය, සිතියම් හැදෑරීම, නැව් තැනවීම, තාරකා ශාස්ත්‍රය වැනි ක්ෂේත්‍රයන් පිළිබඳව පුළුල් දැනුමක් ලබාදීමට හැකි වුණා. එදා නාවික හෙන්රි කුමරු දේශ ගවේශන කටයුතු සඳහා ලබාදුන් අනුග්‍රහය නිසා පෘතුගාල දේශ ගවේශකයන්ට ජයග්‍රහණ රැසක් ලබාගැනීමට හැකියාව ලැබුණා. 

මුල් යුගයේ දී පෘතුගාලයෙන් බිහිවුණු දේශ ගවේශකයන් කිහිපදෙනා අතුරින් බර්තොලමියු ඩයස්ට සුවිශේෂී යි. ඒ, ඔහු 1488 වසරේ දී අප්‍රිකාවේ දකුණු කෙළවර සොයා ගිය ඓතිහාසික ගමන නිසා යි. 

නාවික හෙන්රි කුමරු (Wikipedia)

බර්තොලමියු ඩයස්ගේ මුල් කාලය 

1450 වසරේ ලිස්බන් නගරයේ ධනවත් පවුලකට උපත ලැබූ බර්තොලමියු ඩයස් කුඩාකල සිට සැපවත් ජීවිතයක් ගතකළ අයෙක්. ඩයස්ගේ ඥාතීන් කිහිපදෙනෙකුම දේශ ගවේශන කටයුතුවලට සම්බන්ධ වී සිටියා. ඒ එක ඥාතියෙකු වුණේ බොජාදෝ තුඩුවට ළඟාවූ මුල්ම යුරෝපීයයා වුණු ජෝන් ඩයස් නම් නාවිකයා යි. එසේම නාවික හෙන්රි කුමරුගේ මඟපෙන්වීම යටතේ කේප් වර්ඩ් වෙත ළඟාවුණු ඩීනිස් ඩයස් ද ඩයස්ගේ සමීපතම ඥාතිවරයෙකු වුණා. සිය ඥාතිවරුන් දේශ ගවේශනයෙහි නිරත වුණු නිසා ඩයස්ටත් දේශ ගවේශකයෙකු වීමේ ආශාව පහළ වුණා. 

දේශ ගවේශකයෙකු වීමට මඟපෑදුණු හැටි 

ඩයස්ගේ පරම්පරාවේ උදවිය පෘතුගාල රාජකීයයන් සමග සමීප සබඳතාවයක් පැවැත්වූවා. එම නිසා ඔහුට පෘතුගාල රාජකීය මාළිගයේ සේවය කිරීමට අවස්ථාව ලැබුණා. 1471 වසරේ දී පමණ පෘතුගාල දේශ ගවේශකයන් බටහිර අප්‍රිකාවට අයත් වුණු ගෝල්ඩ් කෝස්ට් හෙවත් ඝානාව සොයාගත්තා. එය පෘතුගාල දේශ ගවේශකයන් ලබාගත් විශාල ජයග්‍රහණයක් බවට පත්වුණා. එනිසා රජතුමාව හමුවීම සඳහා නිතරම දේශ ගවේශකයන් පැමිණියා. 

මාළිගයට ආ දේශ ගවේශකයන් ඔවුන් මුහුණදුන් අත්දැකීම්, සහ ත්‍රාසජනක කතා රජතුමා සමග පවසන විට ඩයස්ට ද ඒවා අසන්නට ලැබුණා. එකල තරුණ වියේ පසුවුණු ඔහු දේශ ගවේශන කටයුතු පිළිබඳව කතා ඇසීමෙන් ඒ පිළිබඳව වඩාත් උනන්දු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩයස් තරුණයා දේශ ගවේශන කටයුතු සඳහා සහභාගී වීමට තීරණය කළා. 

දේශ ගවේශන කටයුතු සඳහා සහභාගී වීම 

ඩයස් තරුණයාගේ නිර්භීතබව නිසා ඔහු දේශ ගවේශනය සඳහා උචිත පුද්ගලයෙකු වුණා. පෘතුගාල රජුගේ ආශීර්වාද මැද මුහුදු ගමන් කිහිපයකටම සහභාගි වුණු මෙම තරුණයා 1478 වසර වන විට දේශ ගවේශකයෙකු වශයෙන් ‍යම් ප්‍රසිද්ධියකට පත්ව සිටියා. 

ඩයස්ට 1481 වසරේ දී අපූරු අවස්ථාවක් හිමිවුණා. දෙවන ජෝන් රජතුමාගේ අනුග්‍රහය යටතේ සහ දියාගෝ අසම්බුජා නම් දේශ ගවේශකයා යටතේ අප්‍රිකාව බලා ගිය කණ්ඩායමට ඩයස්ගේ නමත් ඇතුළත්කර තිබුණා. ඔහුට එක් නැවක් මෙහෙයවීමේ වගකීම භාරවුණා.

වසරකට රීස් 6000ක වැටුපකට රජ මාළිගයේ සේවය කරමින් සිටි අතරතුරේ ඩයස් සහභාගි වුණු දේශ ගවේශන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල අත්වුණේ නැහැ. එම නිසා ඔහු දේශ ගවේශන කටයුතු කෙරෙහි දැක්වූ උනන්දුව අඩු වුණා. නමුත් එම කාල සමයේ දී දියෝගෝ ද කේයෝ නම් ගවේශකයා අළුතින් දූපත් කිහිපයක් සොයාගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩයස් යළි දේශ ගවේශන කටයුතුවලට අවතීර්ණ වුණා. මාළිගාවේ රැකියාවෙන් ඉවත් වුණු ඔහු සිය සම්පූර්ණ කාලයම දේශ ගවේශනය සඳහා යෙදවීමට තීරණය කළා. ඩයස් ගත් ඒ තීරණය නිසා අනාගතයේ දී විශාල පෙරළියක් සිදුවනු ඇති බවට එදා ඔහුට නොසිතෙන්නට ඇති.

බර්තොලමියු ඩයස් (history.com)

ඓතිහාසික අප්‍රිකානු ගමන 

1487 වසරේ අගෝස්තු මාසයේ දී බර්තොලමියු ඩයස්ගේ නායකත්වය යටතේ යාත්‍රා 3ක් ලිස්බන් නගරයෙන් අප්‍රිකාව බලා පිටත්ව ගියා. ඔවුන් ගමන් කළේ ද දියෝගෝ ද කේයෝ නම් ගවේශකයා ගමන් කළ මාර්ගය ඔස්සේ යි. 

ගවේශක කණ්ඩායම කේයෝ සොයාගෙන තිබුණු ප්‍රදේශය පසුකර තවත් ඉදිරියට ගොස් දෙසැම්බර් 8 වැනිදා නැම්බියාවේ වොල්විස් බොක්ක වෙත ළඟා වුණා. දෙසැම්බර් 26 වැනිදා වන විට එළිසබෙත් බොක්ක වෙත ළඟාවුණු ඩයස් ඇතුළු කණ්ඩායමට එම ප්‍රදේශයේ කුණාටු තත්ත්වය නිසා ඉදිරියට ගියේ අසීරුවෙන්. 

බර්තොලමියු ඩයස් නැමිබියාව ආසන්නයේ තැබූ ස්මාරකයක් (Gondwana Collection)

මෙසේ බාධක හමුවේ අසීරුවෙන් ඉදිරියට ගිය නැව් කණ්ඩායම පෙබරවාරි 3 වන විට මොසෙල් බොක්ක වෙත ළඟා වුණා. ඒ වන විට ඔවුන් අප්‍රිකානු මහද්වීපයේ කෙළවර පසුකර තිබුණා. එයිනුත් ඉදිරියට ගිය ගවේශක පිරිසට ස්වදේශිකයන්ගෙන් ප්‍රහාරයක් එල්ල වුණා. එම ප්‍රහාරයෙන් බේරී පළාගිය පිරිස මාර්තු 12 වැනිදා වන විට ඇල්ගෝවා බොක්ක වෙත ළඟා වුණා. ඔවුන් එහි විශාල කුරුසයක් ඉදිකර පෘතුගීසි ගවේශන කණ්ඩායමක් එහි පැමිණි බවට සටහනක් තැබුවා.

ඉන් පසුව ඩයස්ට අවශ්‍ය වුණේ ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල් කරා යාමට යි. නමුත් ඒ වන විට  මාස 7කට අධික කාලයක් මුහුදු ගමනේ යෙදෙමින් සිටි පිරිස අධික ලෙස විඩාවට පත්ව සිටියා. එම නිසා ඩයස්ට සිය පිරිස ද රැගෙන පෘතුගාලයට යනවා හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. ආපසු යන ගමනේ දී අත්ලාන්තික් සාගරය සහ ඉන්දියන් සාගරය එකිනෙක හමුවන ප්‍රදේශය දකින්නට ලැබුණා. එම ප්‍රදේශයේ නිතරම කුණාටු ඇතිවන නිසා ඩයස් එය “කුණාටු තුඩුව” ලෙස නම් කරනු ලැබුවා.

කුණාටු තුඩුව අසල මුහුද දැක්වෙන පැරණි සිතුවමක් (National Geographic)

රජතුමාගෙන් ඉහළම පිළිගැනීමක් 

ආපසු පෘතුගාලයට ගිය බර්තොලමියු ඩයස් ඇතුළු පිරිස පිළිගැනීම සඳහා පෘතුගාල රජතුමා විශාල උත්සවයක් සංවිධානය කර තිබුණා. ඩයස් ඔහු සොයාගත් තොරතුරු රජතුමාට පවසා සිටියා. තොරතුරු ඇසීමෙන් පසු රජතුමා කුණාටු තුඩුව, “සුබ ප්‍රාර්ථනා තුඩුව” ලෙසින් නම් කළා. 

සාර්ථක ගවේශනයක් නිමා කළ ඩයස් වසර 9ක් යනතුරු නැවත එවැනි ගමනකට සහභාගි වුණේ නැහැ. නමුත් 1497 වසරේ දී වස්කෝ ද ගාමා සමග එක්වුණු ඔහු පෙරදිග බලා යාත්‍රා කළා. එදා ඩයස් කේප්වර්ඩ් දූපත් ආසන්නයේ නතර වෙද්දී ගාමා නොනැවති ඉදිරියට ගොස් 1498 මැයි 20 වැනිදා ඉන්දියාවේ කැලිකට් වරාය වෙත සේන්දු වුණා. 

වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණීම දැක්වෙන චිත්‍රයක් (WBUR)

ඩයස්ගේ අවසානය 

1500 වසරේ දී පෙද්‍රෝ අල්වාරෙස් කබ්රාල්ගේ නායකත්වය යටතේ දේශ ගවේශනයකට සහභාගි වුණු ඩයස් එහි දී නැව් 4කට අණදුන්නා. ගවේශනයේ යෙදුණු කණ්ඩායම 1500 වසරේ මාර්තු මාසය වන විට බ්‍රසීලයට අවතීර්ණ වුණා. ඒ අනුව බ්‍රසීලයට ගිය මුල්ම යුරෝපීය ගවේශකයන් පිරිස ලෙස ඔවුන් ඉතිහාසගත වුණා. 

බ්‍රසීලයට පය තැබීමෙන් පසුව යළි පෙරදිග බලා ගමන් ආරම්භ කළ ගවේශක පිරිස මැයි 29 වැනිදා සුබ ප්‍රාර්ථනා තුඩුව ආසන්නයෙන් ගමන් කරමින් සිටිය දී  විශාල කුණාටුවකට හසුවුණා. එහි දී බර්තොලමියු ඩයස් ගමන් කළ නැව සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී වී ඔහු මරණයට පත්වුණා. 

කවරයේ ඡායාරූපය- Time Magazine

මූලාශ්‍රයයන්- exploration.marinersmuseum.org

Related Articles