Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලුසී මෝඩ් මොන්ට්ගොමරිගේ පන්හිඳෙන් මැවුණු අපූරු රතු කොණ්ඩකාරි

ඈන් ෂර්ලි… නම ඇසූ පමණින් ම පොත් කියවන්නෙකුගේ සිතේ මැවෙන්නෙ මුහුණ පුරා ලප වැටිච්ච, නොනවත්වා ම කතා කරන, රතු හිස කෙස් තියෙන පුංචි කෙල්ලෙක්. කැනේඩියානු ජාතික ලුසී මෝඩ් මොන්ට්ගොමරිගේ පන්හිඳෙන් මේ රතු කොණ්ඩකාරි උපත ලබන්නේ 1908 වසරේ දී. ඒ Anne of Green Gables නමැති පොත ප්‍රකාශයට පත් වීමත් සමග යි. ප්‍රේමසිරි මාහිංගොඩ මහතා විසින් මේ පොත ‘ඈන් – 1 :අරඹෙ ගෙදර ඈන්’ නමින් සිංහලයට නගලා තියෙන්නේ දයාදංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් විදියට.

1908 දී ප්‍රකාශයට පත් වූ Anne of Green Gables කෘතියේ මුල් පිටපතක්. Photo Courtesy : Wikipedia

1908 දී ප්‍රකාශයට පත් වූ Anne of Green Gables කෘතියේ මුල් පිටපතක්. Photo Courtesy : Wikipedia

ලුසී මෝඩ් මොන්ට්ගොමරිට මේ පොත ලිවීමේ අදහස මුලින් ම හිතේ ඇති වෙලා තියෙන්නෙ පුංචි පිරිමි ළමයෙක්ව දරුකමට හදා ගන්න බලාපොරොත්තු වෙච්ච ඇගේ ඥාතියෙක්ට වැරදීමක් විදියට කෙලි පොඩිත්තක් භාර ගන්න සිදු වෙච්ච සිදුවීමක් අරඹයායි. ඇය, පොත් අටකින් (8) සමන්විත මේ අපූරු පොත් මාලාවේ කතා නායිකාව වෙන ඈන් ෂර්ලිගේ චරිතය ගොඩ නගන්නේ මෙට්‍රොපොලිටන් සඟරාවේ පළ වෙච්ච එවලින් නෙස්බිට්ගේ සේයාරුවක් පදනම් කරගෙන.

ඈන් ෂර්ලිගේ රුවට පදනම් වූ එවලින් නෙස්බිට්ගේ සේයාරුව. Photo Courtesy : Wikipedia

ඈන් ෂර්ලිගේ රුවට පදනම් වූ එවලින් නෙස්බිට්ගේ සේයාරුව. Photo Courtesy : Wikipedia

1869 වසරේ වසන්ත සමයේ දී උපත ලබන ඈන්, ඇගේ ළමා විය ගත කරන්නේ ඇය උපත ලැබූ නෝවා ස්කෝෂියාවේමයි. පාසල් ගුරුවරුන් ලෙස කටයුතු කළ ඇගේ දෙමව්පියන් (වෝල්ටර් සහ බර්තා ෂර්ලි) ඇයට තුන් මාසයක් වෙද්දී උණසන්නිපාතයෙන් මිය යන්නේ ඇය ව අනාථ දැරියක් කරමින්. නෑදෑ හිතවතුන් කිසිවෙක් නොමැති ව මේ ලෝකෙ තනි වෙන පුංචි ඈන් ව ඉන් පස්සෙ හදාවඩා ගන්නේ ෂර්ලි නිවසේ ගෘහ සේවිකාව වෙච්ච තෝමස් මහත්මිය යි.

Tundra ප්‍රකාශකයන් පළ කළ ඈන් කතා මාලාවේ මෑත කාලීන සංස්කරණයක්. Photo Courtesy : Elly MacKay (ellymackay.wordpress.com)

Tundra ප්‍රකාශකයන් පළ කළ ඈන් කතා මාලාවේ මෑත කාලීන සංස්කරණයක්. Photo Courtesy : Elly MacKay (ellymackay.wordpress.com)

ඈන් පොත් මාලාවේ පළවෙනි පොත, Anne of Green Gables (ඈන් – 1 : අරඹෙ ගෙදර ඈන්), තමන්ගේ ගොවිපොළේ අත් උදව්ව සඳහා පුංචි පිරිමි ළමයෙක් ව දරුකමට හදා ගන්න අදහස් කරන මැතිව් සහ මරිලා කත්බර්ට්ගේ නිවසට වැරදීමකින් පැමිණෙන ඈන්ගේ ළමා කාලය සහ යොවුන් විය අළලායි ලියැවී තියෙන්නේ. මේ පොත ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ව භාෂා හතළිහකට (40) ආසන්න ප්‍රමාණයකට පරිවර්තනය වූ එහි පිටපත් මිලියන පනහකට (50) අධික ප්‍රමාණයක් අලෙවි වී තිබෙනවා.

1909 වසරේ දී Anne of Avonlea ලෙස ප්‍රකාශයට පත් කරපු මේ පොත් මාලාවේ දෙවැන්න ප්‍රේමසිරි මාහිංගොඩ මහතා පරිවර්තනය කරන්නේ ‘ඈන් 2 – ගමට අලුත් එළියක්’ නමින්. හැරිසන් මහතා, ලැවැන්ඩර් ලුවිස් මෙනවිය, පෝල් අර්වින්, ඩේවි සහ ඩෝරා වැනි නව මිතුරන් අතරේ ඒවන්ලී ගමේ පාසලේ ගුරුවරියක් විදියට කටයුතු කරන දහසය වියැති යොවුන් ඈන්ගේ ජීවිතය ගෙවී යන අයුරු මෙහි විස්තර කරනවා.

‘ඈන් 3 – සරසවියට ගිය ගමේ කෙල්ල’ නමින් සිංහලයට නැගුණු මේ පොත් මාලාවේ තෙවැන්න, Anne of the Island, මුල් වරට ප්‍රකාශයට පත් වුණේ 1915 වසරේ දී. කිංග්ස්පෝට් හි රෙඩ්මන්ඩ් සරසවියේ ශ්‍රාස්තවේදී උපාධිය හදාරන ඈන්ට එහි දී මුහුණ දෙන්න සිදුවෙන අභියෝග ගැන යි මේ පොතෙන් කියවන්න ලැබෙන්නේ.

Anne of Windy Poplars (ඈන් 4 – තුන් අවුරුද්ද) 1936 වසරේ දී ප්‍රකාශයට පත් වන්නේ පොත් මාලාවේ හත් වැනි පොත විදියට වුණත් කියවීමේ අනුපිළිවෙළ අනුව එය සැලකෙන්නේ එහි සිව් වැනි පොත විදියට යි. තුන් වසරක් පුරාවට සමර්සයිඩ් උසස් පාසලේ විදුහල්පතිතුමිය ලෙස කටයුතු කරන ඈන්, ඇය විවාහ ගිවිස ගත් වෛද්‍ය ශිෂ්‍ය ගිල්බර්ට් බ්ලයිත්ට ලියන රසවත් ලිපි පෙළකින් මේ පොත සමන්විත වෙනවා.

ගිල්බර්ට්ගේ සොඳුරු බිරිඳ වීමෙන් අනතුරු ව ගෘහණියක් විදියට කටයුතු කරන ඈන් නුහුරු පෙදෙසක ඇගේ අලුත් ජීවිතයට හැඩ ගැසෙන අයුරුත්, එහි දී ඇය එකතු කර ගන්න සුන්දර මෙන් ම කටුක මතකයන් පිළිබඳවත් 1917 දී පළ වූ Anne’s House of Dreams (ඈන් 5 – සිහින මන්දිරය) පොතෙන් විස්තර වෙනවා.

කාලයත් සමග මැදි වියට එළැඹෙන ඈන්, නොයෙක් ආකාරයේ හැල හැප්පීම් මැද පරිණත ගැහැනියක් ලෙසත්, දරුවන් හය දෙනෙකුගේ මවක් ලෙසත් ජීවිතයට මුහුණ දෙන ආකාරය Anne of Ingleside (මව සහ දරුවෝ) පොතෙන් මනා ව පැහැදිලි කරන්න ලුසී මෝඩ් මොන්ට්ගොමරි සමත් වෙලා තියෙනවා.

පොත් මාලාවේ හත් වැනි පොත විදියට 1919 දී පළ වූ Rainbow Valley, දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙස ‘ඈන් 7 – දේදුනු නිම්නය’ නමින් සිංහලයට නගන්නේ ප්‍රභාත් මිරිහාගල්ල විසින්. ඈන්ගේ දරුවන් වන ජෙම්, වෝල්ටර්, නැන්, ඩයි, ෂර්ලි සහ රිලා, ගමට අලුතෙන් පත් වෙලා ආපු ජෝන් මෙරිඩිත් දේවගැතිතුමාගේ දරුවන් සමග ඇති කර ගන්නා මිතුදම පිළිබඳ අපූරු කතා ගොන්නක් ගැන යි මෙයින් කියවෙන්නේ.

Rilla of Ingleside (ඈන් 8 – සුව සේවණේ බඩපිස්සී) 1921 වසරේ දී ප්‍රකාශයට පත් වුණේ ඈන් පොත් මාලාවේ අවසාන පොත විදියට යි. මෙහි කතා නායිකාව වන්නේ ඈන්ගේ බාල ම දියණිය වන බර්තා මරිලා බ්ලයිත් හෙවත් රිලා, යුද්ධයට යන බ්ලයිත් ගැටයන් වන ජෙම්, වෝල්ටර් සහ ෂර්ලි ගැන කියවෙන මේ පොතේ විශේෂත්වය වන්නේ එය පළමු ලෝක යුද්ධය ගැන කාන්තාවකගේ කෝණයෙන් ලියවෙච්ච එක ම කැනේඩියානු කෘතිය වීම යි.

කැවෙන්ඩිෂ් ගමේ පිහිටි Green Gables නිවස. Photo Courtesy : Wikimedia

කැවෙන්ඩිෂ් ගමේ පිහිටි Green Gables නිවස. Photo Courtesy : Wikimedia

ඈන් පොත් පෙළ කියවපු පාඨකයන්ට නිල් මීදුමෙන් වැහිච්ච දිලිසෙන වතුර විල, ඉර බැහැගෙන යන වෙලාවට හෙවණැලි මවන ආදරවන්තයින්ගේ පටුමග, ඒවන්ලී ගම‍, පයින් වත්තකට මැදි වූ පැටී පියස, හොල්මන් ලන්ද, ස්පූක්ස් පටුමග, සුදු මලින් පිරිච්ච පරණ හිම රැජින සහ පාසි බැඳිලා පරණ වෙච්ච කුණාටු රජා ආගන්තුක ස්ථාන නෙමෙයි. කැන්ඩාවේ සංචාරය කරන උදවියට නම් එඩ්වඩ් කුමාර දිවයිනේ කැවෙන්ඩිෂ් ගමට ගියොත් හැබැහින් ම මේ කියපු තැන් දැක බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි … වසර පනහකට (50) ආසන්න කාලයක් තිස්සේ වසන්ත ඍතුවේ දී වේදිකා ගත කරන ‘Anne of Green Gables මියැසිය’ රස විඳින්නත් පුළුවන්කම තියෙනවා.

ඈන් චරිතයට පණ පෙවූ එලා බැලන්ටීනි. Photo Courtesy : Wikipedia

ඈන් චරිතයට පණ පෙවූ එලා බැලන්ටීනි. Photo Courtesy : Wikipedia

ඈන් පොත් පෙළ ඇසුරෙන් නිමැවුණු චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, වේදිකා නාට්‍ය සහ චිත්‍ර කතා බොහෝම යි. මේ වසරේ පෙබරවාරි මාසයේ දී ‘L. M. Montgomery’s Anne of Green Gables’ නමින් රූපවාහිනී චිත්‍රපටයක් එළි දැක් වුණා. එහි ඈන්ගේ චරිතයට පණ පොවන්නේ පහළොස් වියැති එලා බැලන්ටීනී, ඒ වගේ ම 2017 වසරේ දී ඈන් පොත් පෙළ ඇසුරෙන් කථාංග අටකින් සමන්විත රූපවාහිනි මාලා නාටකයක් අධ්‍යක්ෂණය කිරීමට කැනේඩියානු ජාතික නිකී කැරෝ බලාපොරොත්තු වෙනවා.

ඈන් පොත් පෙළ ලියූ ලුසී මෝඩ් මොන්ට්ගොමරි. Photo Courtesy : Wikipedia

ඈන් පොත් පෙළ ලියූ ලුසී මෝඩ් මොන්ට්ගොමරි. Photo Courtesy : Wikipedia

ඈන් ෂර්ලි චරිතය මැවූ ලුසී මෝඩ් මොන්ට්ගොමරි මහත්මියත් එඩ්වඩ් කුමාර දිවයිනේ ම ඉපදී හැදී වැඩුණු කෙනෙක්. 1874 නොවැම්බර් 30 වැනි දින උපත ලැබූ ඇයගේ නිර්මාණ අතරින් වඩාත් ම සාර්ථක පොත් පෙළ ලෙස සැලකෙන්නේ මේ පොත් පෙළ යි. එයට අමතර ව ඇය විසින් රචිත තවත් ජනප්‍රිය පොත් පෙළක් විදියට ‘එමිලි’ පොත් පෙළ හඳුන්වන්න පුළුවන්. ඈන් පොත් පෙළ තුළින් ලොව පුරා පාඨක සිත් දිනූ ඇය 1942 අප්‍රේල් 24 වැනි දින ටොරන්ටෝ නගරයේ දී මිය ගියා.

කවරයේ පින්තුරය: ඈන් ෂර්ලිගේ සිතුවමක් (Pinterest)

Related Articles