Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියාවේ ඉහළම සාහිත්‍ය සම්මානය දිනාගත් නීති විරෝධී සංක්‍රමණිකයා

ඕස්ට්‍රේලියාව වෙත අනවසර සංක්‍රමණිකයෙක් ලෙස පැමිණ ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් වී, වර්තමානය වන විට පැපුවා නිව්ගිනියාවට අයත් මනුස් දූපතේ රඳවා සිටින බෙහෙරූස් බූචානි තමයි මේ ලිපියේ කතා නායකයා වෙන්නේ. ඉරාන – කුර්දි ජාතික සරණාගතයෙක් වන ඔහු ඕස්ට්‍රේලියාවෙන් පිරිනමන ඉහළම සාහිත්‍ය සම්මානය වන සාහිත්‍යය සඳහා වන වික්ටෝරියානු ත්‍යාගය හිමිකරගෙන සිටිනවා.

ඔහු රචනා කළ No Friend But the Mountains නම් එම කෘතියට මෙම සම්මානය හිමි වී තිබෙනවා. තම කෘතිය රචනා කර, වට්ස්ඇප් ඔස්සේ භාෂා පරිවර්තකයෙක් හරහා ඔහු එය ඉංග්‍රීසි බසට හරවා තිබීම විශේෂත්වයක්. ඉතින් අද ලියවෙන්නේ ඔහුගේ එම කතාව යි.

සරණාගතයෙක් ලෙස පළා ඒමට ප්‍රථම

බෙහෙරූස් බූචානි (ABC)

1983 වසරේ දී ඉරානයේ උපත ලබන බෙහෙරූස් බූචානි Tarbiat Modares විශ්වවිද්‍යාලයයෙන් සිය ප්‍රථම උපාධිය හිමිකර ගන්නවා. එම විශ්වවිද්‍යාලයයෙන්ම සිය ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමටත් බූචානි සමත් වෙනවා. ඒ ලෝක දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන්.

පසුව ඔහු නිදහස් ලේඛකයෙක් ලෙස එරට පුවත්පත් කිහිපයකටම ලිපි සපයනවා. ලිපිවල අන්තර්ගතය වන්නේ මැද පෙරදිග දේශපාලනය යි.

2013 වසරේ දී ඉරානයේ ආධ්‍යාත්මික සංවිධාන ඔහුගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරනවා. එම වසරේ දීම ඔහුගේ සමකාලීනයන් 11 දෙනෙකු ඉරානීය හමුදා විසින් අත්අඩංගුවට ගෙන සිරගත කෙරෙනවා. ඔහු අත්අඩංගුවෙන් බේරීම පිණිස මාස ගණනාවක් සැඟවී ජීවත් වෙනවා.

බූචානිදේශපාලන රැකවරණය පතා ඉන්දුනීසියාව හරහා ඕස්ට්‍රේලියාවට සාගරය ඔස්සේ පළා ඒමේ දී ඕස්ට්‍රේලියානු හමුදාවේ අත්අඩංගුවට පත්වෙනවා. ඒ 2015 වසරේ අගෝස්තු මාසයේ දී යි. ඉන් අනතුරුව බූචානි ඇතුළු බොහෝ පිරිසක් පැපුවා නිව් ගිනියාවට අයත් මනුස් දූපතේ රඳවා තබන්නේ සරණාගතයන් ලෙස යි.

සරණාගතයෙකු ලෙස

තමන්ට මූලික පහසුකම්වත් නොලැබෙන බව ප්‍රකාශ කරන නීතිවිරෝධී සංක්‍රමණිකයින් (The New Daily)

බූචානි මනුස් දුපතේ සරණාගතයෙකු ලෙස රඳවා තැබෙන විට පැපුවා නිව් ගිනියාවේ පුරවැසිභාවය ලබා දී තිබුණත් ඔහු ඒ පිළිබඳව සතුටක් දක්වන්නේ නෑ. තම රට තුළ සිරකාරයෙක් වීමට තමන්ට අනවශ්‍ය වූ බැවින් පැන ආ තමන්ව ඕස්ට්‍රේලියාව මෙලෙස වසර ගණනාවක් සිරගත කර තැබීම අසාධාරණ බව ඔහු පවසනවා.

මුහුද ඔස්සේ බෝට්ටු මඟින් පැමිණෙන පුද්ගලයන්ට සරණාගතභාවය ප්‍රදානය කිරීමට සාධාරණ හේතු තිබුණත්, මෑතක සිට ඒ පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය එතරම් අවධානය යොමු කරන්නේ නෑ. මුහුදු මාර්ග ඔස්සේ තම රටට අනතුරුදායක ලෙස සංක්‍රමණිකයන් ඇතුල්වීම වැළක්වීම සිය ප්‍රධාන අරමුණ බව ඕස්ට්‍රේලියානු රජය පවසා සිටිනවා.

ඕස්ට්‍රේලියාවේ මෙම දැඩි ප්‍රතිපත්තියට එරෙහිව සටන් කරන සරණාගතයන් අතරින් බූචානි ප්‍රධාන පුද්ගලයෙකු ලෙස හඳුන්වා දිය හැකි යි. රැකවරණ පතා බෝට්ටු ඔස්සේ පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඕස්ට්‍රේලියාව ඔවුන් සැබෑ සරණාගතයින් බවට හඳුනා ගත්ත ද, එසේ පැමිණෙන පුද්ගලයන්ට සිය රටේ පදිංචි වීමට ඉඩ නොදීම ඉතා අසාධාරණ බව ඔහු ඇතුළු පිරිසගේ මතය යි.

මෙම දූපතේ තමන් ඇතුළු සගයන් ගෙවන දුක්ඛිත ජිවිතය පිළිබඳව ගාඩියන් ඇතුළු පුවත්පත්වලට ලිපි ලිවීමට ද බූචානි ක්‍රියා කරනවා. ඊට අමතරව ඒ පිළිබඳව සමාජ ජාලා ඔස්සේ විවිධ ලිපි පළ කිරීම ද කාලයක් තිස්සේ ඔහු විසින් සිදු කරනු ලබනවා.

වික්ටෝරියා සාහිත්‍ය සම්මානය

මනුස් දූපතේ දර්ශනයක් (News.com.au)

2019 වසරේ ඕස්ට්‍රේලියාවේ සාහිත්‍යය සඳහා වූ වික්ටෝරියා සම්මානය දිනා ගැනීමට බූචානි සමත් වෙනවා. ඒ ඔහු විසින් රචනා කරන ලද “No Friend But the Mountains” නම් කෘතිය සඳහා යි. මෙම සම්මාන උළෙල සඳහා කෘති ඉදිරිපත් කළ හැක්කේ ඕස්ට්‍රේලියානු පුරවැසියන් සඳහා පමණකි. නමුත් විනිශ්චය මණ්ඩලයේ විශේෂ අවසරය මත බූචානිගේ කෘතිය ද මේ සඳහා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා.

මෙහිදී ත්‍යාග මුදල් ලෙස ඕස්ට්‍රේලියානු ඩොලර් 100,000ක මුදලක් හිමි වී ඇති අතර මෙම සම්මානයට අමතරව ප්‍රබන්ධ නොවන (Non-Fiction) විශිෂ්ටතම කෘතිය සඳහා වූ ත්‍යාගය ද හිමි වන්නේ ද බූචානිගේ කෘතියට යි. එහි ත්‍යාග මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් 25,000ක්.

සම්මානය පිළිබඳව තමන් සතුටුවන බව බූචානි පවසනවා. නමුත් තමන් ඇතුළු සහෝදරයන් සිය ගණනක් සරණාගත කඳවුරු වල දිවි ගෙවන බවත්, ඔවුන්ට සාධාරණයක් ඉටු විය යුතු බවටත් ඔහු ප්‍රකාශ කරනවා. සාධාරණ හේතූන් නිසා තම රටවල් අතහැර ඔස්ට්‍රේලියාව වෙත පැමිණි තමන් ඇතුළු සගයන්ට නිදහස් ජීවිතයක් ලබෙන තෙක් මෙම සම්මානය ලැබීමේ සතුට සැමරිය නොහැකි බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

පොත ලීවේ කොහොම ද?

ඔහුගේ කෘතිය (Twitter)

2015 වසරේ දී සරණාගත කඳවුරට පැමිණි පසු තමන් සතුව ඇති ලිවීමේ හැකියාව නැති වේවි ද යන සැකය ඔහුට ඇති වූ බවත්, ඒ නිසාම ලිවීමේ ක්‍රියාවලියේ දිගටම නිරත වීමට තමන් අදහස් කළ බව බූචානි පවසනවා.

ඒ සඳහා කඳවුර තුළ කඩදාසි භාවිතා කළ නොහැකි බැවින් වට්ස්ඇප් ඔස්සේ පණිවුඩ ආකාරයට ග්‍රන්ථය රචනා කරන ඔහු, තම මිතුරු ලේඛකයෙක් වෙත එම පණිවුඩ යවනු ලබනවා. පාර්සි බසින් ග්‍රන්ථය රචනා කර ඇති අතර එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම බූචානිගේ මිතුරා වන Omid Tofighian විසින් සිදු කර තිබෙනවා.

මේ වන විට ඔහු ඇතුළු පිරිසක් සඳහා සරණාගතභාවය ප්‍රදානය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සුදානම්ව සිටින බව ප්‍රකාශ වෙනමුත් එය ස්ථිර වී නෑ.

තව ද සරණාගතයන් පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය දක්වන දැඩි ප්‍රතිපත්තිය යුරෝපා රටවල් හා එක්සත් ජාතින්ගේ ද විවේචනයට ලක් වී තිබෙනවා.

කවරයේ පින්තූරය - www.in.com

මූලාශ්‍රයයන්:

bbc.com

smh.com.au

theguardian.com

Related Articles