Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙරිල් ස්ට්‍රිප් ලොව විශිෂ්ටතම සිනමා නිළිය ද?

90 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල එළඹෙන මාර්තු මස හතර වැනිදා හොලිවුඩයේ ඩොල්බි ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ වැඩි අවධානය යොමුව ඇත්තේ හොඳම සිනමාපටය ඇතුළු  සම්මාන  13 ක් වෙනුවෙන් නාම යෝජනා හිමි කරගෙන සිටින  The Shape of Water  සිනමාපටය වෙතයි. එහෙත් එසේම මෙවර උළෙලේදී සිනමා ලෝකයේ අවධානය තවත් අයකු වෙත යොමු වී තිබෙනවා. ඒ ‘The post’ සිනමාපටයේ කැතරින්ගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් හොඳම නිළිය වෙනුවෙන් නාම යෝජනා වී සිටින මෙරිල් ස්ට්‍රීප් වෙතයි.

static2.businessinsider.com

ඔස්කාර් සම්මාන 21කට නිර්දේශ වූ මෙරිල්

සිය පරපුරේ දක්ෂතම රංගන ශිල්පිනිය ලෙස හැඳින්වෙන මෙරිල්, එදා මෙදාතුර  ඔස්කාර් සම්මාන උළෙලේ වැඩිම සම්මාන ගණනකට නිර්දේශ වූ සිනමා පෞරුෂය යි. ඇය මේ දක්වා 21 වරක් ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේශ වී ඇති අතර ඉන් තුන් වරකදීම සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ඔස්කාර් සම්මාන ලාභිනියක් ලෙස මෙරිල් දෙවැනි වන්නේ කැතරින් හෙප්බර්න් සහ ජැක් නිකල්සන් දෙදෙනාට පමණයි. ඒ ඔවුන් දෙදෙනාම සම්මාන හතරක් බැගින් දිනා සිටින බැවිනුයි. ඉන් කැතරින් සහ නිකල්සන් දෙදෙනාම 12 වරක් සම්මාන සඳහා නිර්දේශ වී තිබෙනවා.

එසේම මෙරිල් 31 වරක් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන වෙනුවෙන් නිර්දේශ වී ඇති අතර අට වරක්ම එහිදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා. තමාටම ආවේනික අයුරින් චරිතයට එළඹෙන සහ දෙබස් හසුරුවන මෙරිල් මේ වන විට පසුවන්නේ 68 වැනි වියේයි. නිව් ජර්සි ප්‍රාන්තයේ එතරම් ජනප්‍රිය නොවූ කලාකරුවකුගේ පවුලේ වැඩිමහලු දියණිය ලෙස මාරි ලුවිස් ස්ට්‍රිප් උපත ලැබුවේ 1949 ජුනි 22 වැනිදා යි. ස්විස්-ජර්මන් සම්භවයක් සහිත කුඩා මාරි කලාවට වැඩි කැමැත්තක් දැක්වීම ඇරඹුවේ ඇගේ මව විසින් ඇය නොයෙක් කලා කටයුතු වලට යොමු කිරීම හේතුවෙනුයි.

upload.wikimedia.org

වේදිකාවේ සාර්ථකත්වය

ඉතාම ධනාත්මක කාන්තාවක් වූ මෙරිල්ගේ මව ඇය නිරන්තරයෙන් අභිප්‍රේරණය කළ  බව මෙරිල් නොයෙක්වර මාධ්‍ය හමුවේ පැවසු කරුණක්. ‘ඔයා විශිෂ්ටයි. ඔයාට තියෙන්නේ ඕන දෙයක් මොහොතකින් ග්‍රහණය කරන්න පුළුවන් විශිෂ්ට හැකියාවක්. ඔයා දවසක ලෝකෙම අල්ලාවි’යනුවෙන් සිය මව තමා දිරිමත් කළ අයුරු මෙරිල් අද ද සිහිපත් කරන්නේ කඳුළු පිරි දෙනෙතින්.

සිය දක්ෂතාව නිසාම වයස අවුරුදු 12 දී පාසලේ ඔපෙරා කණ්ඩායමේ ප්‍රධාන  ගායිකාවක් වූ මෙරිල් ඉන්පසු සිය උසස් පාසල් සමයේදී දක්ෂ අභිරූපන ශිල්පිනියක් ලෙසටද අවධානය දිනා ගත්තේ සිය රංගන ගමනට අඩිතාලම දමමින්. කෙමෙන් වේදිකා නිලියක් බවට පත්වූ මෙරිල් ඉන්පසු සිය ප්‍රතිභාවයට ව්‍යුත්පත්තිය එක් කළේ  සුප්‍රකට යේල් නාට්‍ය පාසලෙන් පශ්චාත් අධ්‍යන කටයුතු ද හදාරමින්.

වේදිකා නාට්‍ය වෙනුවෙන් සුවිශේෂී කැප කිරීමක් සිදු කළ මෙරිල් එවකට යේල් නාට්‍ය පාසලේ නිර්මාණ වලට නැතිවම බැරි චරිතයක් වූ අතර ඒ නිසාම ඇයට සමාන්තර වේදිකා නාට්‍ය හයක චරිත නිරූපණය කිරීමේ දුර්ලභ අවස්ථාවද හිමි ව තිබෙනවා.1976 වසරේදී හොඳම වේදිකා නිළිය ලෙස ටෝනි සම්මානයෙන් පිදුම් ලැබූ මෙරිල් ඉන් අනතුරුව රූපවාහිනී රංගනයට පැමිණියේ  The Deadliest Season නම් මාලා නාටකයේ රඟමින්.

7wallpapers.net

පළමු සිනමා රංගනය

මෙරිල්ගේ පළමු සිනමා රංගනය 1977 වසරේ නිර්මාණය කෙරුණු Julia සිනමා පටයේදී දිගහැරුණු නමුත් එහිදී ඇය රඟපෑ සුළු චරිතයෙන් වැඩි කොටසක් සංස්කරණයේදී අතුරුදන්ව තිබුණේ සිනමා නිලියක් ලෙස ජනප්‍රිය වීමේ සිහිනය ඇයට තවත් දුරස් කරමින්. බොරු කොණ්ඩයක් දමා ගෙන අපහසුවෙන් දෙබස් කියමින් රඟපෑ එම චරිතය සේම, ඊට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරත් මෙරිල්ට සිනමාව එපා කළ  අතර, ඒ නිසාම එම කරදරකාර වෘත්තියෙන් සමුගෙන නැවතත් වේදිකා රංගනයට එක් වීමට මෙරිල් තීරණය කර තිබෙනවා.

‘The Deer Hunter’ සාර්ථක වීම

එහෙත් මෙරිල්ගේ ඉරණම වෙනස් වුයේ දිනක් ඇය රඟපෑ වේදිකා නාට්‍යයක් එවකට හොලිවුඩයේ සිටි සුපිරිතම රංගන ශිල්පියකු වූ රොබර්ට් ඩි නීරෝ ගේ ඇස ගැටීම නිසයි. එකම බැල්මකින් මෙරිල් ගේ හැකියාව වටහා ගත් රොබර්ට් ඇයව සිය ඊළඟ සිනමාපටයේ පෙම්වතියගේ චරිතයට යෝජනා කරනු ලැබුවේ අධ්‍යක්ෂක වරයාට ඉදිරිපත් කළ විශාල වර්ණනාවකින්ද පසුවයි. රොබර්ට් ඩි නීරෝ සහ මෙරිල් ස්ට්‍රිප්  චරිත නිරූපණය කළ The Deer Hunter අති සාර්ථක නිර්මාණයක් බවට පත් වුණේ ඔස්කාර් සම්මාන පහක්ද දිනා ගනිමින්. එම සිනමා පටයේ රංගනය වෙනුවෙන් මෙරිල් හොඳම සහය නිළිය ලෙස නාම යෝජනා හිමි කරගත්තේ සිනමා නිළියක ලෙස ඇගේ වෘත්තීය ගමන සාර්ථකව අරඹමින්.

ඉන්පසු මෙරිල් දිනෙන් දිනම චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස සිය හැකියා වර්ධනය කරගත් අතර හොලිවුඩයේ දැවැන්ත නිර්මාණ සඳහා නැතිවම බැරි නිළියක් බවටද පත් වුනා. පෙර දැක්වූ ලෙසට නිරන්තරව ඔස්කාර් නිර්දේශ ලැබූ ඇයගේ විශිෂ්ටත්වය තහවුරු වන්නේ ගෙවුණු වසර පහේදී හතර වතාවක්ම එලෙස නිර්දේශ ලැබීමටද සමත්වීම හේතුවෙනු යි.

movieposters.ie

චිත්‍රපට

Sophie’s Choice (1982) සහ  The Iron Lady (2011) යන සිනමාපට වල රංගනය සඳහා හොදම නිළිය සම්මානය දිනු මෙරිල් Kramer vs. Kramer(1979) වෙනුවෙන් හොදම සහාය නිළිය ලෙසටද සම්මානයට පාත්‍ර වී තිබෙනවා.බොහෝ විචාරකයන්ට අනුව මෙරිල් ගේ දක්ෂතම රංගනය අඩංගු වන්නේ සුප්‍රකට බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් ගේ චරිතාපදානය ඇසුරින් නිර්මාණය කෙරුණු The Iron Lady  සිනමා පටයේ යි.

ඇමෙරිකානු කලාකරුවකුට හිමි වන ඉහළතම සම්මානය

2010 වසරේදී ජනාධිපති ඔබාමා අතින් හිමි වූ ,ඇමෙරිකානු කලාකරුවකුට හිමි වන ඉහළතම සම්මානය වන ජාතික කලා පදක්කම ද ඇතුළුව ලොව වටා විවිධ සම්මාන සහ ඇගයීම් වලට ලක්ව සිටින මෙම ප්‍රවීන රංගන ශිල්පිනිය සුප්‍රකට Cecil B. DeMille සම්මානයෙන් ද පසුගිය වසරේ පිදුම් ලැබුවා. ඇය වෙත එම සම්මානය පිදූ  වත්මන් ඇමරිකානු ජනපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ අපේ කාලයේ අතිවිශිෂ්ට රංගන ශිල්පිනියක් ලෙස මෙරිල් කළ සේවය සදා අනුස්මරණිය බවයි.

ksassets.timeincuk.net

දරුවන් සිවු දෙනෙකුගේ මවක් වන මේ ප්‍රවීන රංගන ශිල්පිනියට මෙවර ඔස්කාර් සම්මානය දිනා ගනිමින් ලොව බිහි වූ විශිෂ්ටතම රංගන ශිල්පිනිය වීමට හැකි වෙයිද? ඊට පිළිතුර එළඹෙන මාර්තු හතර වැනිදා ලැබෙනු ඇති.

cover-http://images.amcnetworks.com

පාදක-http://www.filmlinc.com

        http://www.independent.co.uk/

        merylstreeponline.net

Related Articles