Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලාංකීය සිනමාවේ පළමු කාන්තාව- අයිරාංගනී සේරසිංහ

අයිරාංගනී රොක්සානා මීදෙනිය, නැත්නම් ඔබ කව්රුත් හඳුනන අයිරාංගනී සේරසිහ ලාංකීය සිනමාවේ විශිෂ්ටතම චරිතාංග නිළියක්. පසුගිය වසරේ අනූ (90) වියට පා තැබූ ඇය වර්ෂ 1950 සිට මේ දක්වා දක්ෂ රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරනනීය. ඊට අමතරව මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක් වශයෙන් ද කටයුතු කර ඇති ඇය පත්‍ර කලාවේදිනියක ද වෙයි. ලාංකීය සිනමාවේ පළමු කාන්තාව ලෙසින් විරුදාවලිය ලබන්නේ ද කලාකීර්ති සම්මානයෙන් පිදුම් ලද ඇයමයි. මෙරට සිනමා රංගනය හැදෑරු ප්‍රථම නිළිය වශයෙන් ඉතිහාසගත වන්නේ ද අයිරාංගනී සේරසිංහයන් ය.

උපත සහ අධ්‍යාපනය

අයිරාංගනී මීදෙනිය ඉපිද හැදී වැඩුණේ රුවන්වැල්ල නගරය ආසන්නයේ මූදුගොමුව නම් ගම්මානයේයි. පසුකාලීනව ඇය පරිසර හිතකාමී අයෙක් බවට පත් වීමට බලපා ඇත්තේ ද ඇගේ ගම්මානයේ තිබුණු සුන්දරත්වය බවයි ඇගේ නම් මතය. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් ද, බිෂොප් පාසලෙන් ද, මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය හදාරන ඇය 1947 වර්ෂයේ දී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වන්නේ රටේ මහත්තයෙකු වූ ඇයගේ පියාගේ විරෝධතා මධ්‍යයේ යි. ඒ ඇයගේ ඥාති සහෝදරයන්ගේ උදව් මතයි. ඇගේ පියා මිය යන්නේ ඇය පළමු වසර ශිෂ්‍යාවක ලෙස විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ යි.

කලාවට පිවිසීම

Image Credit: suravi.fr

විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන අවදියේ මහාචාර්ය ඊ. ‍‍එෆ්. සී. ලියුඩොක් ගේ මඟ පෙන්වීම යටතේ කලාව වැළඳ ගන්නා ඇය චිත්‍රසේනයන්ගේ ඉගැන්වීම මත දක්ෂ ලෙස නර්තනය හැදෑරුවා. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් (වර්තමානයේ කොළඹ විශ්ව විද්‍යාලය) කලා උපාධිය ලබා ගන්නා ඇය ලන්ඩන් බලා පිටත් වන්නේ මහාචාර්ය ඊ. ‍‍එෆ්. සී. ලියුඩොක් මහතාගේ නිර්දේශ මතයි. වසර 3ක් එහි රංග කලාව විෂයය මැනවින් හදාරන ඇය නැවත ලංකාවට පැමිණෙන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින්.

නැවත ලංකාවට පැමිණි ඇයට මහාචාර්ය ඊ. ‍‍එෆ්. සී. ලියුඩොක් සහ ඔස්ට්‍රියානු යුදෙව් අධ්‍යක්ෂකවරයෙකු වන නියුමාන් ජුබල් ව මුණගැසෙන අතර ඇයගේ රංගන කලාවේ මුල් පියවර වන්නේ ද එයයි. 1953 දෙසැම්බර් මස 12 වන දින ලයනල් වෙන්ඩ්ට් කලාගාරය ආරම්භ කරන අතර නියුමාන් ජුබල් විසින් නිෂ්පාදනය කරන ලද මැක්සිම් ගෝර්කිගේ “The Lower Depths” එහි රඟදක්වන ලදී. ඒ අනුව අයිරාංගනී මීදෙනිය පළමුවෙන්ම රංගන දායකත්වය ලබා දෙන්නේ ඉංග්‍රීසි චරිතයකට වුවත් පසුකාලීනව ඇය සිංහලෙන් තම රංගන දායකත්වය ලබා දෙනු දැකගත හැකියි.

චිත්‍රපට කලාව

Image Credit: mirrorarts.lk

අයිරාංගනී මීදෙනිය තම පළමු වෘත්තීය රංගන දායකත්වය ලබා දෙන්නේ ‍ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක යි. ඒ අනුව ඇය රංගන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්නේ මෙරට ප්‍රවීණතම සහ ජ්‍යෙෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “රේඛාව” සිනමා පටය හරහා යි. 1950 වර්ෂයේ දී තිරගත වූ රේඛාව චිත්‍රපටයේ මවකගේ චරිතයට පණ පොවන ඇය එහිදී හඳුනාගත් වින්ස්ටන් සේරසිංහ සමඟ විවාහ වූ පසුවයි අයිරාංගනී සේරසිංහ ලෙසින් හඳුනා ගන්නේ. ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ වැඩිදියුණුව වෙනුවෙන් අයිරාංගනී සේරසිංහයන්ගේ දායකත්වය ඉස්තරම් ය. ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට පහත අයුරින් හඳුනාගත හැකියි.

වර්ෂය     චිත්‍රපටය                    චරිතය

1950          රේඛාව                           කැත්රිනා

1960          සංදේශය                       කාන්තා ඔත්තුකාරියක්

1966          දෙලොවක්                     අතර නිශ්ශංකගේ මව

1967          රන් සළු

1969          බක්මහ දීගේ                 කුමාරිහාමි

1970          තේ වත්ත

1970          ප්‍රියංගා

1974          ද ගෝඩ් කිං                     වරුනි

1981          සාගරයක් මැද

1982          දෙවැනි ගමන                 සමන්ගේ මව

1984          ඉන්දියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ‍ඔෆ් ඩුම් (Indiana Jones and the Temple of Doom)

1984          දඩයම

1984          අවුරුදු දා                         මාලනිගේ මව

1985          ආදර කතාව                   කාන්තිගේ මව

1990          අවරගිර                           ඩිංගිරි මැණිකේ

1993          පොරොන්දුව                 රඹුක්වැල්ල මැතිනිය

1996          ලොකු දුව                        පුන්නාගේ මව

1998          ඉක්බාල් (Iqbal)              නෝනා

2001          කිනිහිරියා මල්               සිල්වියා

2002         සුදු සෙවනැලි

2002         වෑකන්ද වලව්ව               කැත්රින්

2003         සක්මන් මළුව

2003          ඉරැස්මා

2005           පවන රළු විය                 වීරසිංහ මැතිනිය

2005           සුදු කළු සහ අළු

2005           වෝටර්                              නැන්දම්මා

2007           නිසල ගිර

2007           සමාරා

2008           හාට් එෆ් එම්

2008           රෝස කැලේ

2013           අභිනික්මන                      බුද්ධදාසගේ මව

2013            It’s a Matter of Love

  

Image Credit: nation.lk

චිත්‍රපට කලාවට මෙන්ම ලංකාවේ ටෙලි  නාට්‍ය කලාවට ද ඇයගේ දායකත්වය අති විශාලයි. 1980 වර්ෂයේ “යශෝරාවය” ටෙලි නාට්‍යයේ සුදු හාමිනේගේ චරිතයෙන් ආරම්භ වී දු දරුවෝ, ගම්පෙරලිය, නෑදෑයෝ, අම්මයි තාත්තයි, සත් පුරවැසියෝ, මුතු කිරිල්ලි වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකටම ඇය රංගනයෙන් දායක වී තිබෙනු දැකගත හැකියි.

සම්මාන

මේ වන විට 90 වන වියට පා තබා ඇති අයිරාංගනී සේරසිංහ නම් වූ ඇති දක්ෂ කලා ශිල්පිනිය “කලා කීර්ති” සම්මානයෙන් මෙන්ම “Sri Lankan of the Year” සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

සිනමාවේ, පුංචි තිරයේ මෙන්ම වේදිකාවේ ද ජනප්‍රිය චරිතයක් වූ අයිරාංගනී සේරසිංහ දශක පනහකටත් අධික කාලයක් ක්ෂේත්‍රයේ රැඳී සිටීමේ භාග්‍යය උදා කරගෙන ඇත්තේ ඇය තුළ ඇති ප්‍රතිභාපූර්ණ රංගන ප්‍රතිභාව නිසාවෙන්මයි.

කවරයේ කතාව- english.mirrorarts.lk

මුලාශ්‍ර

lankahelp.com

colombotelegraph.com

dailymirror.lk

Related Articles