Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කායවර්ධනයේ විශිෂ්ටතමයා වීමට ෆිල්ට හැකි වෙයිද?

කායවර්ධන ක්‍රීඩාවේ නිරත වන ඕනෑම කෙනෙකුගේ සිහිනය තමයි මනාව වර්ධනය වුණු මස්පිඬු ඇති කරගැනීම. එයින්ද ඔබ්බට එහි නිරත වෙන අයකුගේ අරමුණ වන්නේ යම් කාය වර්ධන තරගාවලියක් ජයග්‍රහණය කිරීම විය හැකියි. ලෝකයේ තිබෙන විවිධ ආකාරයේ කායවර්ධන තරගාවලි අතරින් අංක එකේ පිළිගැනීම සහිත තරගාවලිය ලෙස හැඳින්වෙන්නේ මිස්ටර් ඔලිම්පියා තරගාවලියයි.1965 වසරේ සිට මේ දක්වා වාර්ෂිකව පැවැත්වෙන මිස්ටර් ඔලිම්පියා තරඟාවලියේ වර්තමාන ශූරයා ගැන තොරතුරුයි මේ.

wa-ll-pa-pe-rs.blogspot.com

ෆිලිප් ජෙරල්ඩ් හීත් හෙවත් ෆිල් හීත් ඔහු තමයි අපි මේ කතා කරන විශිෂ්ටයා. වර්තමාන මිස්ටර් ඔලිම්පික් ශූරයා වන ඔහු මෙම තරගාවලිය හත් වරක්ම දිනා ගැනීම විශේෂත්වයක්. එම දක්ෂතාවය අතින් ෆිල් දෙවැනි වී සිටින්නේ අට වරක්ම මිස්ටර් ඔලිම්පියා බවට පත්වුණු ලී හානි සහ රොනී කොල්මන් දෙදෙනා හට පමණයි. සුප්‍රකට ආර්නෝල්ඩ් ස්වාසනේගර් සහ ෆිල් හීත් දෙදෙනා හත්වරක් මිස්ටර් ඔලිම්පියා කිරුළ දිනා සිටින අතර ෆිල් ගේ අරමුණ ඉදිරි වසර දෙක තුළදී ද එම කිරුළ දිනාගෙන මිස්ටර් ඔලිම්පියා වංශ කතාවේ සදාතනික පුරාවෘත්තය වීමටයි. 2011 සිට 2017  දක්වා ෆිල් විසින් පිට පිටම එම දස්කම දැක්වීමත් විශේෂත්වයක්.

‘ද ගිෆ්ට්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ෆිල් මේ වන විට පසු වන්නේ 38 වැනි වියේයි. ඇමරිකාවේ වොෂින්ටන් හිදී උපත ලැබූ ඔහු අඩි 5 අඟල් 9 ක උසින් යුතු තැනැත්තෙක්. පාසල් සමයේ දක්ෂ බාස්කට් බෝල් ක්‍රීඩකයකු වූ ඔහු වැඩිදුර අධ්‍යයන කටයුතු සිදුකර ඇත්තේ ඩෙන්වර් විශ්ව විද්‍යාලයෙනුයි. විශේෂ ශිෂත්වයක් ලබා එම විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණු ෆිල් තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරා තිබෙනවා. 1998-2002 අතර කාලයේදී ඔහු සිය විශ්ව විද්‍යාල කණ්ඩායම වෙනුවෙන් බාස්කට් බෝල් ක්‍රීඩාවේ විශිෂ්ට දස්කම් දැක් වූ බව පැවසෙනවා.

reddit.com

බාස්කට් බෝල් ක්‍රීඩාවට වඩා අන්තර්ජාතිකව දිගු ගමනක් යා හැකි ක්‍රීඩාවක් ගැන අවධානය යොමු කළ ෆිල් අවසානයේදී ඒ සඳහා තෝරා ගනු ලැබුවේ කායවර්ධන ක්‍රීඩාවයි. බාස්කට් බෝල් ක්‍රීඩාවෙන් සමුගෙන පූර්ණකාලීන කායවර්ධන ක්‍රීඩකයකු බවට පත්වීමට තීරණය කළ ෆිල් එහි පුහුණුවීම් ඇරඹුවේ 2002 වසරේ සිටයි.

රාත්තල් 185 ක සිරුරක් සහිතව කායවර්ධනයට යොමුවුණු ෆිල් ඉතා ඉක්මනින්ම සිය සිරුරේ හැඩය සහ ප්‍රමාණය වෙනස් කරගත්තේ කායවර්ධන ක්‍රීඩාවේ දිගු ගමනක් යාමේ අරමුණෙන් යුතුව යි. 2003 වසරේදී ඔහු සිය පළමු කායවර්ධන කිරුළ දිනා ගත්තේ  The Rocky Mountain NPC තරඟාවලිය ජය ගනිමින්.

එම ජයග්‍රහණයෙන් ඔද වැදුණු ෆිල් ඉන් සති අටක් යාමටත් මත්තෙන් සිය දෙවැනි තරඟාවලියට ඉදිරිපත් වූ නමුත් එක් ලකුණක් මදි වීම නිසා ඔහුට එහි ශූරතාවය හිමි වුණේ නැහැ. එම පරාජයෙන් පාඩමක් ඉගෙන ගත් ෆිල් ඉන් පසුව තීරණය කළේ වඩාත් කැප වී සිය සිරුර මනාව නිර්මාණය කරගෙන ඊළඟ තරඟාවලි සඳහා ඉදිරිපත් වීමටයි.

getbig.com

මෙලෙස ක්‍රමිකව ප්‍රාදේශීය තරග ඔස්සේ ඉදිරියට පැමිණි ෆිල් 2007 වසරේදී මිස්ටර් ඔලිම්පියා තරඟය සඳහා සුදුසුකම් ලැබුවත් ඔහු එවර තරඟයට සහභාගී නොවූයේ එම තරඟය සඳහා තමා තවමත් සුදානම් නොමැති බව සඳහන් කරමින්. එකම අරමුණක් සහිතව දිගින් දිගටම කායවර්ධනාගාරයේ දහදිය වැගිරූ ෆිල් 2008 වසරේ මිස්ටර් ඔලිම්පික් තරඟාවලිය නිම කළේ තෙවැනියා ලෙසිනුයි. නවකයකු ලෙස ඔහු දැක් වූ එම දස්කම දෙවැනි වන්නේ 1993 වසරේදී ෆ්ලෙක්ස් වීලර් දැක් වූ දස්කමට පමණයි.

2009 වසරේ මිස්ටර් ඔලිම්පියා පදක්කම ඔහු දිනාගනු ඇති බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුණත් ෆිල්ට එම විස්කම සිදුකළ නොහැකි වුණේ ඇති වූ උදරාබාධයක් හේතුවෙනුයි. ෆිල් එම තරඟය නිම කළේ පස්වැනියා ලෙසටයි. 2010 වසරේ මිස්ටර් ඔලිම්පියා ලෙස ජේ කට්ලර් සුදුසුකම් ලබද්දී  ෆිල් ඔහුට පමණක් දෙවැනි වෙමින් අනුශූරතාවය දිනුවේ තමා ඉතාම ඉක්මනින් මිස්ටර් ඔලිම්පියා වන බව ප්‍රකට කරමින්.

musclesprod.com

2011 වසරේ මිස්ටර් ඔලිම්පික් ෆිල් දිනාගත් අතර සුප්‍රකට ජේ කට්ලර් හට හිමි වුණේ අනුශූරතාවයයි. ඉන්පසු මේ දක්වා මිස්ටර් ඔලිම්පියා කිරුළ ෆිල් ගෙන් ලබා ගැනීමට කිසිවකුට හැකි වුණේ නැහැ. ෆිල් එසේ සිය විශිෂ්ටත්වය තහවුරු කර ගත්තේ අසාමාන්‍ය අධිෂ්ටානයකින් වෙහෙසකර ව්‍යායාම වල නිරත වෙමිනුයි.

වර්තමානය වන විට මිස්ටර් ඔලිම්පියා කිරුළ වෙනුවෙන් ෆිල් හීත් ට තවත් තරඟකරුවන් ගණනාවක් වෙතින් දැඩි තරඟයක් එල්ල වී තිබෙනවා. ඒ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ඩෙක්ස්ටර් ජැක්සන් සහ කායි ග්‍රීන් දෙදෙනාගෙනුයි. එයින්ද කායි ග්‍රීන් ෆිල් ගේ දිගුකාලීන ප්‍රතිවාදියා ලෙස සැලකෙන්නේ නොයෙක් අවස්ථා වලදී ඔවුන් දෙදෙනා කායවර්ධන වේදිකාව මතදී ගැටුම් වලට පවා යොමු වූ බැවිනුයි. 2012,2013 සහ 2014 යන වසර තුනේදීම මිස්ටර් ඔලිම්පියා අනුශූරයා වුණු ඔහු පසුගිය වසර දෙකේදී මිස්ටර් ඔලිම්පියා තරඟාවලියට සහභාගී නොවුනේ අනාවරණය නොකෙරුණු හේතුවක් නිසා බව පැවසෙනවා.

mensxp.com

ඇතැම් අවස්ථාවලදී මල්ලව පොර ක්‍රීඩකයකු ලෙසටද කටයුතු කරන ෆිල් කායවර්ධනය සම්බන්ධ උපදේශකයකු ලෙස සිය දැනුම නව පරපුර වෙත බෙදා හැරීමටද දැඩි කැමැත්තක් දක්වනවා. ඔහු නමින් කායවර්ධන අභ්‍යාස මාලා මෙන්ම පෝෂණ ද්‍රව්‍ය ද වෙළඳපලට ඉදිරිපත් වී ඇති අතර කායවර්ධනය සම්බන්ධ dvd තැටි ගණනාවක්ද ඔහු නිකුත් කර තිබෙනවා.

2007 වසරේදී ජෙනී ලැක්සන් සමඟ විවාහ වූ ෆිල් 2015 වසරේදී ඇගෙන් දික්කසාද වූ අතර, මේ වනවිට කොලරාඩෝ හි වාසය කරනවා. ඔහුගේ එකම අරමුණ තවත් මිස්ටර් ඔලිම්පියා තරඟ දෙකක් ජයගෙන ඉතිහාසයේ හොඳම කායවර්ධන ශුරයා බවට පත් වීමටයි. එය සාර්ථක වෙයිද යන්න ඉදිරි වසර දෙක තුළ ඔහු හෙළන දහදිය මගින් තීරණය වනු ඇති.

cover- desktopwalls.net

මූලාශ්‍ර

www.mensxp.com/

www.phillipheath.com

www.generationiron.com

Related Articles