Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ සුදු ආණ්ඩුව දණගැස්සූ රතු සුද්දා

සුද්දන්ගෙ කාලෙ සුදු අධිරාජ්‍යවාදීන්ගෙ පැත්ත ගන්නවා වෙනුවට, පීඩිත ඉන්දියානු වතු කම්කරුවන්ගෙ සහ සිංහල ජනතාවගෙ පැත්ත ගත් රැඩිකල් සුද්දෙක් තමයි බ්‍රේස්ගර්ඩ්ල් කියන්නේ. 1930 දශකයේ සුදු අධිරාජ්‍යවාදයට අභියෝග කරමින් ඔහු කළ කී දෑ එකල හිරු නොබසින අධිරාජ්‍යයේ හැම රටකම කතාබහට ලක්වුණා. අපේ කළුසුද්දන් පවා සුද්දන්ට කත්අදිමින් වරප්‍රසාද ගන්නා අතර, මේ සුදු ජාතිකයා සටන් කිරීම අදත් කතාබහට ලක්විය යුතු සිද්ධියක්. ලංකා ඉතිහාසයේ සුද්දන්ගේ පාලනයට සුද්දෙක් එරෙහිවූ මුල්වතාව වශයෙන් එය ඉතිහාස ගත වුණා.   

ලංකාවට පැමිණි සුද්දා

බ්‍රේස්ගර්ඩ්ල් තරුණකල- roar.lk

1930 දශකය මෙරට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හිණිපෙත්තේ පැවති සමයක්. වතු වගාව කඳුකරය ගිලගෙන තිබුණා. පහතරට සුදු ජාතිකයන්ට අයත් පොල්වතු සහ රබර් වතු සුලබ වුණා. මේවායේ වැඩ කළේ ඉන්දියාවෙන් ගෙන්වාගත් වතු කම්කරුවන්. ස්ත්‍රී, පුරුෂ ළමා කම්කරුවන්ට ගෙවන ලද්දේ සොච්චම් වැටුපක්. ඔවුන්ට සැලකුවේ සතුන්ට වගේ. ඒ කාලෙ පිරිමි කම්කරුවකුගේ දිනක වැටුප ශත 30ක්. ගැහැනු කම්කරුවෙකුට ශත 25ක්. මේ දෛනික පඩියෙන් ද වත්තේ කංකානිටත් ගතමනාවක් දීමට සිදුවුණා. සුද්දෝ ඔවුන් පදිංචි කරවූයේ ලැයින් කාමර නමින් හැඳින්වූ, හරක් මඩු වගේ අඳුරු, අපිරිසුදු පේලි ගෙවල්වල යි.

මේ කාලයේ දී වැවිලි කර්මාන්තය ගැන පුහුණුවක් ලැබීමට මාක් ඇන්තනි ලිස්ටර් බ්‍රේස්ගර්ඩ්ල් නමැති 24 හැවිරිදි තරුණ සුද්දෙක් ලංකාවට ගොඩබැස්සා. ඔහු ආවේ 1936 මාර්තු 11 දා එස් එස් බෙන්ඩිගෝ නමැති නෞකාවෙන්. ඔහු උපත ලබා තිබුණේ 1912 සැප්තැම්බර් 10 දා එංගලන්තයේ ලන්ඩන්වල චෙල්සීහි දී යි. කෙනින්ටන් විද්‍යාලයේ ඉගෙනුම ලබා සිටියෙක්. පසුව මවත් සමග ඕස්ට්‍රෙලියාවට සංක්‍රමණය වී සිටියෙක්. ඔහු එහිදී තරුණ කොමියුනිස්ට් ලීගය හා සම්බන්ධ වී සිටි බව පැවසෙනවා.

රෙලුගස් වතුයාය

තේ වතු කම්කරුවන් – lankapura.com

බ්‍රේස්ගර්ඩ්ල් තරුණයා ලංකාවට ආවේ ලංකාවේ තේවත්තක වතු පාලනය පුහුණුවීමට යි. මෙම සුදු තරුණයා  මාතලේ මඩුල්කැලේ රෙලුගස් වතුයායට ගියා. ඔහු වැවිලි කර්මාන්තය පිළිබඳ කලින් හදාරා තිබූ අයෙක්. ඔහු රෙලුගස් වතුපාලක එච්. ඩී. තෝමස් යටතේ පුහුණුව ආරම්භ කළා. නමුත් ඔහුට රෙලුගස් වතුයායේ සේවය කිරීමට ලැබුණේ මාස හතක් පමණ යි. වතු පාලකයන් වතු කම්කරුවන්ට කරන අමානුෂික අඩන්තේට්ටම් නිසා ඔහුට ඒ රැකියාව එපා වුණා.

ඒ කාලෙ ලංකාවෙ මැලේරියා වසංගතයක් පැතිරෙමින් තිබුණා. මැලේරියාවෙන් දරුණු ලෙස රෝගාතුර වී සිටින කම්කරුවන් පවා තේ දළු කැඩීමට බලෙන් ගෙන්වා ගන්නා අන්දම බ්‍රේස්ගර්ඩ්ල් දුටුවා. ඔවුන්ට කෑමබීම, බෙහෙත් හේත් පවා තිබුණේ නැහැ.

මේ සිද්ධි දුටු බ්‍රේස්ගර්ඩ්ල් වතු කම්කරුවන්ට කාරුණිකව සලකන්නට උත්සාහ කළා. ඔවුන් සමග සුහදව කතාබහ කළා. ඔවුන්ගේ දුක්ගැහැට ගැන අනුකම්පා අනුකම්පා කළා. මේ අනුකම්පාව රෙලුගස් වතු පාලක තෝමස්ට කරදරයක් වුණා. ඔහු පැවසුවේ බ්‍රේස්ගර්ඩ්ල් වත්තේ කම්කරුවන්ගෙන් වැඩ ගැනීමට දන්නේ නැති බව යි. මේ නිසා දෙදෙනා අතර ගැටුම් හටගත්තා.

වතු කම්කරු ජීවිතය- – lankapura.com

වතු පාලක තෝමස්, වතු අයිතිකාර ඉංග්‍රීසි ජාතිකයාට බ්‍රේස්ගර්ඩ්ල් ගැන පැමිණිලි ඉදිරිපත් කළා. ඔහු වත්තෙන් පමණක් නොව රටින් ද පන්නා දමන ලෙස ඉල්ලා සිටියා. වතු අයිතිකාරයන්ගේ ඒජන්ත ජේ. එච්. ග්ලාස් එය අනුමත කර සිටියා. බ්‍රේස්ගර්ඩ්ල්ට වූ චෝදනාව වුණේ වතුකම්කරුවන් සමග සුහදව  සහයෝගයෙන් වැඩකිරීම යි. බ්‍රේස්ගර්ඩ්ල් රටින් පිටකිරීමට සුදු වතු අයිතිකාරයෝ තීරණය කළා. ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර ගැන රහසේ කුමන්ත්‍රණය කළා. නමුත් බ්‍රේස්ගර්ඩ්ල් තීරණය කළේ ලංකාවේ රැඳී සිට වතුකම්කරුවන් වෙනුවෙන් යම් සේවයක් කිරීමට යි. කොමියුනිස්ට් අදහස් සහිත ඔහු අධිරාජ්‍යවාදීන්ගෙන් මිදීමේ වැදගත්කම ද ස්වදේශිකයන්ට අවබෝධ කරන්න සිතුවා. ඒ නිසා ඔහු මාස හතකින් පසු වතු රස්සාවෙන් ඉවත්වී කොළඹට පැමිණියා.    

සමසමාජයට

ඇන්. ඇම්, කොල්වින්, සහ පිලිප් ඇතුළු  සමසමාජ නායකයන් 1930 දශකයේ- roar.lk

එංගලන්තයේ අධ්‍යාපනය ලැබූ තරුණ පිරිසක් 1935 දී ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා තිබුණා. දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, අධිනීතිඥ ලෙස්ලි ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ඩොරින් වික්‍රමසිංහ, බී. ජේ. ප්‍රනාන්දු, සෙලිනා පෙරේරා ඒ අතර ප්‍රකට චරිත ලෙස කටයුතු කළා. අධිරාජ්‍යවාදයෙන් මිදී ලංකාවට පූර්ණ නිදහස ලබාගැනීම මෙන්ම, සම්පත් සමානව සියලු දෙනා අතර බෙදීගිය සමසමාජ ක්‍රමය ගැනත් ඔවුන් ජනතාවට කියාදුන්නා. මේ අතර  බ්‍රේස්ගර්ඩ්ල් ලංකා සමසමාජ පක්ෂයට එක්වුණා. ඒ, එහි ලේකම් වර්නන් ගුණසේකරගේ මාර්ගයෙන්. 1936 දී කොළඹ පැවති සමසමාජ රැස්වීමේ වේදිකාවට මේ සුදු තරුණයා ද එක්වීම ජනතාව පුදුම කරවීමට සමත් වුණා. එහි මුලසුන හෙබවූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ඔහු හඳුන්වාදුන්නේ පීඩිත ජනතාවගේ පැත්ත අරන් ප්‍රසිද්ධ රැස්වීමක කතා පවත්වන පළමු සුදු ජාතිකයා වශයෙන්.

(සමසමාජ පක්ෂය ගැන තොරතුරු මේ ලිංකුවෙන් ගොස් කියවන්න)

සුදු ආණ්ඩුව පතුරු ගසයි

බ්‍රේස්ගර්ඩ්ල් තරුණයා- thupahis.com

බ්‍රේස්ගර්ඩ්ල් සමසමාජකාරයන් සමග භජනෙට ගොස් සුදු ආණ්ඩුව විවේචනය කිරීම වතු පාලකයෝත්, බ්‍රිතාන්‍ය රජයත් තැතිගත් කරුණක් වුණා. ඔහු රටින් නෙරපා දමන්නට පොලීසියේ සියලු උසස් නිලධාරීන්ට බලතල පැවරුවා. එවකට උප පොලිස්පතිව සිටියේ ඩී. එච්. ෆර්ගියුසන්. පොලිස්පති වුණේ පී. එස්. බෑන්ක්. බ්‍රේස්ගර්ඩ්ල් පසුපස පොලිසිය ලුහුබැන්ඳා. ඔහුගෙන් නිතර ප්‍රශ්න කළා.  ඒත් ඔහු ප්‍රසිද්ධියේ තම මතය ජනතාවට ඉදිරිපත් කළා. ඔහු සමසමාජ පක්ෂයේ සියලුම රැස්වීම්වල ප්‍රධාන කථිකයෙකු බවට පත්වුණා. බ්‍රිතාන්‍ය පාලනයටත්, පොලීසියටත් පහර ගසමින් අමානුෂික යටත්විජිත පාලනය විවේචනය කළා.

කමලාදේවී

කමලාදේවී -newskarnataka.com

ඉන්දියාවේ ජාතික විමුක්ති ව්‍යාපාරයේ විශිෂ්ට චරිතයක් වූ කර්නාටක ප්‍රාන්තයේ කමලාදේවී චට්ටෝපාධ්‍යාය,  1937 දී සමසමාජ පක්ෂය සංවිධානය කළ රැස්වීම් රැසකට සහභාගිවීම පිණිස ලංකාවට පැමිණියා. ඇය අප්‍රේල් 3 දා නාවලපිටියේ පැවති රැස්වීමක් ඇමතුවා. ඊට අමතරව තවත් දේශන රාශියක් පැවැත්වූ අතර ඒ රැස්වීම්වල බ්‍රේස්ගර්ඩ්ල් ද කතා කළා.

ඔහුගේ කතාවල සාරාංශය මෙසේ දැක්විය හැකියි:

සහෝදරවරුනි, ඔබලාට ඇත්තේ කළු සමක්. මා ඇතුළු ඉංග්‍රීසින්ට ඇත්තේ  සුදු හමක්. නමුත් මේ අයගේ හදවත පිරී තිබෙන්නේ කළු සිතිවිලිවලින්. සුදු ජාතිකයන් විඳින්නේ කුමාර සැපසම්පත්. ඒ සඳහා ඔවුන් ඔබේ ලේ උරාබොනවා. වැවිලිකරුවන්ගේ රහස් මම දන්නවා. මමත් වත්තක කාලයක් වැඩකළ කෙනෙක්. ලංකාව කියන්නේ සම්පත්වලින් පිරුණ රටක්. ඒත් මේ රටේ සම්පත්වල ප්‍රතිලාභ ගලායන්නේ මම ඉපදුන එංගලන්තයේ මිනිසුන්ගේ සාක්කුවලට යි.   

ඔබ වතුපාලකයන්ටවත්, සුදු මිනිසුන්ටවත් බයවෙන්න එපා. අපට කියන්න. අපි ඔබට උදව් කරනවා. අපේ පක්ෂයේ නීතිඥවරු ඉන්නවා. ඔවුන් නොමිලේ පෙනී සිටිනවා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සමසමාජ මන්ත්‍රීවරු ඉන්නවා. ඔබ ගැන කතා කරාවි. ජීවිතය වුණත් ඔබලා වෙනුවෙන් දෙනවා’

පිටුවහල් නියෝග

ආණ්ඩුකාර රෙජිනල්ඩ් ස්ටබ්ස්- thupahis.com

1937 අප්‍රේල් මාසයේ 07 දා පොලිස්පතිවරයා වෙත වැඩබලන පොලිස්පති ජී. එච්. ෆර්ගියුසන් රහසිගත ලිපියක් ලිව්වේ, මාක් ඇන්තනි ලිස්ටර් බ්‍රේස්ගර්ඩ්ල් ලංකාවෙන් පිටුවහල් කිරීම සඳහා ආණ්ඩුකාරතුමාගෙන් නියෝගයක් ලබාගන්නා ලෙස ආයාචනා කරමින්.   

ඒ අනුව පොලිස්පති බෑන්ක්ස් අවශ්‍ය ලියවිලි සකස්කොට, එවකට ස්වදේශ කටයුතු ඇමැතිවරයා වූ සර් ඩී. බී. ජයතිලක වෙත ඉදිරිපත් කළත් ඇමැතිවරයා එම ලියවිලි අනුමත කළේ නැහැ.

මේ අතර ආණ්ඩුකාර රෙජිනල්ඩ් ස්ටබ්ස් (1933 – 1937) 1937 අප්‍රේල් 20 දා බ්‍රේස්ගර්ඩ්ල් ලංකාවෙන් පිටමං කිරීමට නියෝගය ලබාදුන්නා. ඒ වනවිට ස්වදේශ කටයුතු ඇමැති ජයතිලක සිටියේ එංගලන්තයට ගොස්.  බ්‍රේස්ගර්ඩ්ල් පැය 48ක් ඇතුළත ලංකාවෙන් පිටවිය යුතු වුණා. නමුත් මේ සුදු තරුණයා තමන් අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමට සැඟවුණා.  තීන්දුවට විරුද්ධව සමසමාජ පක්ෂය විසින් ආණ්ඩුකාරයාට හා පොලිස්පතිට එරෙහිව හබයාස් කෝපුස් නඩුවක් උසාවියේ ගොනු කළා.

බ්‍රේස්ගර්ඩ්ල් ඕනෑ

සමසමාජය පත්තරයෙන්- roar.lk

ඒ අවුරුද්දේ කොළඹ ප්‍රයිස් පිටියේ පැවති සමසමාජ මැයි රැළියේ ප්‍රධාන සටන් පාඨය වුණේ අධිරාජ්‍යවාදී ආණ්ඩුවේ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි බ්‍රේස්ගර්ඩ්ල් පිටුවහල් කිරීමේ තීන්දුව යි. “අපට බ්‍රේස්ගර්ඩ්ල් ඕනෑ”, “පිටුවහල් කිරීම අවලංගු කරනු” ආදී සටන් පාඨ එහිදී ප්‍රකාශ වුණා. ආණ්ඩුව පත්ව සිටියේ විශාල අවුලක යි. මේ සිද්ධිය හිරු නොබසින අධිරාජ්‍යයේ යටත්විජිත රටවල නිදහස් ව්‍යාපාරවලටත් නව පන්නරයක් එක් කළා. මේ අතර පිටුවහල් නියෝග තිබිය දී බලෙන් රටේ රැඳී සිටින බ්‍රේස්ගර්ඩ්ල් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශාල උත්සාහයක් ගත්තත් ඔහු හමුවුණේ නැහැ. ඔහුට සමසමාජ නායකයන් රැකවරණය ලබා දී තිබුණා.

මැයි 5 දා ගෝල්පේස් පිටියේ තවත් රැස්වීමක් පැවැත්වුණා. ඒ, බ්‍රේස්ගර්ඩ්ල් නිදහස් කර ගැනීම වෙනුවෙන්. එයට 50000ක ජනකායක් සහභාගි වී සිටියා. කොල්වින් ආර්. ද සිල්වා, ඒ. ඊ. ගුණසිංහ, ඇන්. ඇම්. පෙරේරා ඇතුළු කම්කරු නායකයන් රාශියක් එහිදි කතා කළා. අත්අඩංගුවට ගැනීමට නියමිත බ්‍රේස්ගර්ඩ්ල් එම රැස්වීමට හදිසියේ  පැමිණියත්, විශාල ජනතාවක් මැද ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාවක් ලැබුණේ නැහැ. 1937 මැයි 7 දා සමසමාජය පුවත්පත එම සිද්ධිය වාර්තා කළේ “සහෝදර බ්‍රේස්ගර්ඩ්ල් පනස් දහසක් සෙනඟ මැදට පහළවීම” යනුවෙන්.

නඩුවෙන් දිනුම්

වියපත් බ්‍රේස්ගර්ඩ්ල් – roar.lk

හබයාස් කෝපුස් නඩුව ඇසුවේ අගවිනිසුරු සිඩ්නි ඒබ්‍රහම්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ තුන්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ල යි. බ්‍රේස්ගර්ඩ්ල් වෙනුවෙන් රාජනීතිඥ ප්‍රැන්සිස් ද සොයිසා, රාජනීතිඥ එච්. වී. පෙ​රේරා, නීතිඥ එම්. ටී. ද එස්. අමරසේකර, නීතිඥ ජේ. ආර්. ජයවර්ධන, එන්. ද සිල්වා පෙනී සිටියා. 1937 මැයි 18 දා අග්‍රවිනිශ්චයකාර ඒබ්‍රහම් තීන්දුව ප්‍රකාශයට පත්කළා. එය අධීකරණ ඉතිහාසයේ අදටත් කියැවෙන වැදගත් තීන්දුවක්. ඉන් කියවුණේ හදිසි තත්ත්වයක් නැති අවස්ථාවක බ්‍රේස්ගර්ඩ්ල් රටින් පිටමං කිරීමට තීන්දුවක් දීමත්, ඔහු අත්අඩංගුවට ගැනීමත් නීතිවිරෝධී බව යි. ඔහුට තමන්ට කැමති මතයක් ප්‍රකාශ කිරීමට අයිතිය ඇති බවත් කියමින් බ්‍රේස්ගර්ඩ්ල් නිදොස් කොට නිදහස් කළා. උද්දච්ච සුදු ආණ්ඩුවත්, ආණ්ඩුකාරයාත් පරාජයට පත්වුණා. 

මෙරට තවත් ටික කලක් ගතකළ මේ සුදු තරුණයා පසුව එංගලන්තය බලා නැව් නැග්ගා. ඔහු එරට දී ද කොමියුනිස්ට් දේශපාලන කටයුතුවල නිරත වූ බව සඳහන්. ඔහු 1939 දී හෙදියක හා විවාහ වන අතර ඇයත් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකාවක්. ඉංජිනේරුවකු ලෙස ද කටයුතු කළ ඔහු මියගියේ 1999 ජුනි 22 දා යි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 86 යි.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

Iawnet.gov.lk (නඩු වාර්තාව )

Theguardian.com

Europe- solodaire.org

ඉරිදා ලංකාදීප 2021. 01. 31

Cover- බ්‍රේස්ගර්ඩ්ල් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ වතුකම්කරු ජනතාව සමග -thupahis.com

Related Articles