ඉන්දියාවේ නිදහස් සටන වෙනුවෙන් සිරබත් කෑ උඩකැන්දවල හිමියෝ

අද අපට අසන්න ලැබෙන්නේ සමහර භික්ෂුන් දේශපාලනයේ දි මන්ත්‍රී පදවිවලට පොරකෑම පිළිබඳ යි. අතීත භික්ෂුව දේශපාලනයේ යෙදුණේ රටේ යහපත සඳහා මිස වරප්‍රසාදවලට නෙවෙ යි. එදා ජාත්‍යන්තර ව පවා කීර්තියට පත් වුණු භික්ෂු චරිතයක් වන උඩකැන්දවල සිරි සරණංකර හිමියන්ගේ දේශපාලන මැදිහත්වීම අගය කරමින් එවකට සෝවියට් සංගමය ( දැන් රුසියාව බෙදී යාමට පෙර) ලෙනින් සාම ත්‍යාගයත් උන්වහන්සේට පිරිනැමුවා.

හත්කෝරළේ උපන් රන්බණ්ඩා

1902 ජනවාරි 07 වැනිදා වයඹ පළාතේ හත්කෝරළයට අයත් හිරියාලේ උඩකැන්දවල කියන පිටිසර ගමේ තමයි රන් බණ්ඩා උපත ලැබුවේ. වයස අවුරුදු දෙකේ දී ඔහුගේ මව මිය යන අතර පුංචි අම්මා තමයි ඔහු හදා වඩා ගත්තේ. රන් බණ්ඩාගේ ළමා කාලය ගැහැටවලින් පිරි දුෂ්කර එකක් වුණා. දුප්පත්කම සහ ජීවන අරගලය ගැන ඔහු කුඩා කාලයේ දී ම අවබෝධ කර ගත්තා. මේ දරුවා පත්තර, කවිකොළ හඬ නගා තාලයට කියවීමට දක්ෂ වුණා. කුඩා රන් බණ්ඩා පුංචි අම්මා සමඟ ධර්ම දේශනා ඇසීමට නිතර පන්සලටත් ගියා.

උඩරට කැරැල්ලේ දී අත්අඩංගුවට ගත් හිමිවරු- sinhalahistory.blogspot.com

 

සිරි සරණංකර හිමි

ගම් ප්‍රදේශයේ ම කුඩා පාසලකින් ඔහු මූලික අධ්‍යාපනය ලැබූවා. ටික කාලයකින් ම රන් බණ්ඩා දරුවා වැඩිහිටියන්ගේ කැමැත්ත පරිදි ශාසනයට ඇතුළත් ව මහණ දම් පුරන්නට වුණා. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 13 යි. ඔහුගේ නම උඩකැන්දවල සිරි සරණංකර ලෙසින් වෙනස් වුණා. මේ සාමණේර හිමි පහතරටට වැඩම කර තම භික්ෂු ජීවිතය ආරම්භ කළේ ගම්පහ, උඩුගම්පොළ කොස්පිල්ලෑව විහාරස්ථානයේ සිට යි.

උන්වහන්සේ ගම්පහ දොරණාගොඩ සදානන්ද පිරිවෙනට ඇතුළත් වී අධ්‍යාපනය ලබන්නට වුණා. එවකට රට පාලනය කළ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ පීඩාව නිසා රට නිදහස් කර ගැනීමේ අවශ්‍යතාව මත උන්වහන්සේ ශිෂ්‍ය හිමි නමක් ලෙස සිටින කාලයේ පටන් සිංහල ජාතිය පත්‍රයට ලිපි ලිව්වා. තරුණ සරණංකර හිමියන්ට අවශ්‍ය වුණේ මෙරට පාලනය කළ අධිරාජ්‍යවාදීන්ට මෙන් ම ඔවුන්ගේ ගැත්තන් ව සිටි දේශද්‍රෝහීන්ට විරුද්ධ ව සටනක් කිරීමට අවබෝධයක් මහජනයාට ලබා දීමට යි.

 අනගාරික ධර්මපාල- mahamegha.lk

අනගාරික ධර්මපාල ඇසුර

1921 වසරේ එක් දිනක පුවත්පතක අනගාරික ධර්මපාල තුමන් ලියූ ලිපියක් කියවූ විට සරණංකර හිමියන් දැන ගත්තේ දඹදිව ධර්ම ප්‍රචාරයට කුඩා ස්වාමීන් වහන්සේලා දසනමක් අවශ්‍ය බව යි. පළමු පස් අවුරුදු අධ්‍යාපනය ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ දී දෙන බවත් අනගාරික ධර්මපාලතුමන් එහි සඳහන් කර තිබුණා. සරණංකර හිමියන් අනගාරික ධර්මපාලතුමාට ලිපියක් ලිව්වා.

අනගාරික ධර්මපාලතුමාගෙන් දින තුනකට පසු එයට පිළිතුරු ලැබුණා. ධර්මපාලතුමා එවක පදිංචි ව සිටි කොල්ලුපිටියේ ඇලෝ ඇව්නිවු නිවෙසට පැමිණ හමුවන ලෙස එහි සඳහන් ව තිබුණා. තරුණ සරණංකර හිමියන් අනගාරික ධර්මපාලතුමාගේ නිවෙසට ගොස් ඔහු හමු වුණා.

සරණංකර හිමියන්ට තවමත් වයස මදි නිසා තව වසර කිහිපයකින් උන් වහන්සේ ඉන්දියාවට කැඳවා ගෙන යාමට ධර්මපාලතුමා පොරොන්දු වුණා. සරණංකර හිමියන් ඒ අතර ම නිවසේ දී ධර්මපාල මෑණියන් වූ මල්ලිකා හේවා විතරණ හමු වූ අතර කුඩා ස්වාමීන් වහන්සේ දැකීමෙන් හා උන්වහන්සේගේ සමඟ කතාබහ කිරීමෙන් පසු මල්ලිකා හේවාවිතාරණ තම පුත්‍ර ධර්මපාලතුමන්ට උපදෙස් දුන්නේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සරණංකර හිමියන් ඉන්දියාව කැඳවාගෙන යන ලෙස යි. සරණංකර හාමුදුරුවන්ගේ සටන්කාමීත්වය වැඩි වෙන්න මුලින්ම බලපෑවේ අනගාරික ධර්මපාල ඇසුර යි.

 ශාන්ති නිකේතනය – scroll.in

ශාන්ති නිකේතනය

1921 මැයි මස ඉන්දියාවට ගිය හිමියන් ශාන්ති නිකේතනයේ ඉගෙනීම් කටයුතු ආරම්භ කළා. ඉගෙනුම නිසා වංග භාෂාව ද චතුර ලෙස කතා කිරීමට උන්වහන්සේට හැකියාව ලැබුණා. වංග භාෂාවෙන් අධිරාජ්‍යවාදින්ට එරෙහි ව ප්‍රසිද්ධ දේශනත් පැවැත්වූවා. ඉගෙනීමට වඩා උන්වහන්සේ වැඩි කාලයක් යෙදවූයේ ජාතික නිදහස් සටන්වලට යි. තම රටේ නිදහස උදෙසා ඉන්දියාව ගෙනයන වැඩ පිළිවෙළට දැඩි සේ ඇලුම් කළ උඩකැන්දවල සරණංකර හිමියන් ශාන්ති නිකේතනයේ ඉගෙන ගන්නා අතරතුර ම පියදාස සිරිසේනගේ සිංහල ජාතිය, ස්වදේශ මිත්‍රයා, ස්වරාජ්‍යය ඇතුළු පුවත්පත්වලට ලිපි ලියා එව්වේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විවේචනය කරමින්. උන්වහන්සේ තම ජීවිතයේ පන්නරය ලැබීමට රවින්ද්‍රනාත් තාගොර්, මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු, සුභාෂ් චන්ද්‍ර බෝස් ආදීන් හේතු වූ බව සඳහන් කර තිබෙනවා.

ලංකාවේ කොමියුනිස්ට් ව්‍යාපාරයේ පුරෝගාමියෙක් වන දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ 1929 දී ශාන්ති නිකේතනයට පැමිණි අවස්ථාවේ උඩකැන්දවල සරණංකර හිමියන් මුල්වරට මුණ ගැසෙනවා. මේ හමුවීම පසුව ලංකාවේ දී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය බිහිවන සමය දක්වා ම දැඩි මිතුදමකට පදනම සැපයූවා.
 එකල ඉන්දියාවේ සිටි අධිරාජ්‍ය විරෝධී සංවිධානවල නායකයන් සමඟ සරණංකර හිමියන් දැන හැඳුනුම්කමක් ඇති කර ගත්තා.

ඉන්දීය සටන්කාමී නායකයන් සමඟ සාකච්ඡා කර එවැනි කණ්ඩායමක් ලංකාවේත් ආරම්භ කිරීමට තමයි උන්වහන්සේගේ රහසිගත අදහස වුණේ. උන්වහන්සේ කල්කටාව හරහා 1930 දී චිතගොං ප්‍රදේශයට ගොස් එහි දේශප්‍රේමී කැරළි නායකයන් හමු ව සාකච්ඡා කර තිබෙනවා.

 සරණංකර හිමියන් ඉගෙන ගත් කල්කටාවේ සිටි කොලිජිය – noisebeak.com

 

තරුණ සරණංකර හිමියන් ශාන්ති නිකේතයේ ඉගෙනුම 1931 වන විට අවසන් කළා. ඉන් පසු උන්වහන්සේ බෙංගාල ප්‍රාන්තයේ කල්කටාවේ සිටි කොලිජිය නම් ප්‍රකට අධ්‍යාපන ආයතනයට ඇතුළත් වුණේ වැඩිදුර ඉගෙනුම සඳහා යි. එහි ජනප්‍රිය චරිතයක් වූ උන්වහන්සේ ශිෂ්‍ය සංගමයේ සභාපති පදවියට නිලවරණයෙන් පත්වුණා. මේ කාලයේ ඉන්දියාවේ නිදහස් සටන උණුසුම් ස්වභාවයක් ගෙන තිබුණා. බෙංගාලයේ ජන නායකයන් සියල්ල සුදු ආණ්ඩුවේ හිරබත් කමින් තමයි සිටියේ. සරණංකර හිමියන් මහත්මා ගාන්ධිතුමා ගෙන ගිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයට සම්බන්ධ ව කටයුතු කරමින් සිටියා.

සරණංකර හිමියන් වෙතින් සුද්දන්ට එරෙහි එඩිතරකම නිතර දැක ගත හැකි වුණා. උන්වහන්සේ වසර හතරක් 1932 දී සිරගත කරන්නේ රැජනගේ ආණ්ඩුවට එරෙහි ව ප්‍රසිද්ධ රුස්වීමක කතා කිරීම නිසායි. බන්ධනාගාරයේ දී සුභාෂ් චන්ද්‍රබෝස් නම් ඉන්දීය ජාතික වීරයා හඳුනා ගන්නට ලැබෙනවා. බන්ධනාගාරයේ අඳුරු කුටිවල කල්ගත කිරීම නිසා උන්වහන්සේගේ ඇස් පෙනීම තරුණ කාලයේ දී ම දුර්වල වෙනවා. 1947 අගෝස්තු 15වැනි දා ඉන්දියාවට නිදහස ලැබුණු පසු සරණංකර හිමියන් ලංකාවට පිටුවහල් කරන්නේ සුද්දන්ට ඒ හිමියන් හිසරදයක් වී තිබුණු නිස යි.

ලංකාවේ සමසමාජ නියමුවෝ – dinamina.lk

 

ඇස් පෙනීම දුර්වල නිසා උපැස් යුවළක් පැළඳගෙන මවුබිමට නැවෙන් පැමිණ ගොඩබට සරණංකර හිමියන් දොස්තර එස්. ඒ. වික්‍රමසිංහගේ ලංකා සමසමාජ පක්ෂයට එක්වෙනවා. එම පක්ෂයට එක්වී සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් මවුබිම නිදහස් කර ගැනීමේ අරගලයේ පෙරමුණ ගන්නවා. ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා වැනි සමසමාජ නායකයන් සමඟ සූරියමල් ව්‍යාපාරය මුළු සිරිලක පුරා ව්‍යාප්ත කරමින් උන්වහන්සේ ගම්දනව්වල ඇවිදිමින් ජනතාවට අනුශාසනා කරන්නට වුණා.

සරණංකර හිමියන් 1941 ජුනි මස 28 වැනි දින දොඩන්දූව තිරණාගම දී සුදු ආණ්ඩුවට පහර ගසමින් දේශනයක් කළ අතර ආණ්ඩුව උන්වහන්සේගේ කට වැසීමට කරන්නේ අවුරුදු දෙකකට හිරේට නියම කිරීමෙන්.

 ලිපියක් ලියන සරණංකර හිමි- dinamina.lk

නවලෝකය සඟරාව සහ සාහිත්‍ය සේවය

සිරෙන් නිදහස් වීමෙන් පසු 1940 දශකයේ ‘නවලෝකය’ නම් සඟරාව උන්වහන්සේ ආරම්භ කරනවා. අධිරාජ්‍ය විරෝධී සමාජවාදී අදහස්වලින් පිරුණු එම සඟරාව තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය වෙනවා. මේ සඟරාව 1966 දී ඒ හිමියන් අපවත් වනතුරු ම පවත්වාගෙන ගොස් තිබෙනවා. ලෝක යුද්ධයට එරෙහිව දරුණු විවේචන එහි පළ වුණා. සුද්දන්ගේ අසාධාරණකම් නිතර මතුකර පෙන්නුවා.

ගුණසේන සමාගම 1953 දී ලිහිණි පොත් පෙළ ආරම්භ කළ අතර එම පොත් පෙළ සඳහා මැක්සිම් හෝර්කිගේ අම්මා නවකතාව අම්මා නමින් ද, වික්ටර් හියුගේගේ ද මිසරාබ්ලේ නවකතාව දීන දුක නමින් ද උන්වහන්සේ පරිවර්තනය කළා. වංග භාෂාවෙන් රචිත සරච්චන්ද්‍ර චතෝපාධ්‍යයගේ පල්ලි සමාජ් කෘතිය පරිවර්තනය  කළේ ගැමි සමාජය නමින්.   

 සටහන සටහන් චරිතාපදානය සහ සරණංකර හිමියන් ගැන ලියූ කෘතියක් – dayawansajayakody.com

ලංකා සාම මණ්ඩලය

ලෝක සාම මණ්ඩලයේ ක්‍රියාකාරි සාමාජිකයෙක් වූ උන් වහන්සේ 1955 දී හෙල්සිංකි නගරයේ පැවැත්වුණු ලෝක මහා සාම සම්මේලනයට ලංකාව වෙනුවෙන් සහභාගි වෙමින් ‘‘ ලොව ඇති සියලු ම පරමාණු අවි ගබඩා විනාශ කළ යුතුයි” යන ආයාචනය ද ඉදිරිපත් කර සිටියා. ලංකා සාම මණ්ඩලයේ සභාපති වුණේ සරණංකර හිමියන්.

1957 වසරේ දී කොළඹ පැවැත්වූ ලෝක සාම සම්මේලනය සංවිධානය කරන්නේ ද සරණංකර හිමියන්ගේ මූලිකත්වයෙන්. මෙම සම්මේලනය ආසියාවේ පැවැත්වූ මුල් අවස්ථාව එය වුණා. රටවල් 69කින් නියෝජිතයන් 400ක් පමණ ලංකාවට පැමිණි අතර උන්වහන්සේ එහිදී ධනවත් රටවල න්‍යෂ්ටික අත්හදා බැලීම් ගැන කළ අගනා දේශනය ලෝකය පුරා පැසසුමට ලක් වුණා.

මේ කාලයේ ඉතා බලවත් න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීමට අමෙරිකාවට අවශ්‍ය වුණා. ඒ සඳහා තෝරා ගෙන තිබුණේ ඉන්දියන් සාගරයේ කුඩා දිවයිනක් වන දියාගෝ ගාර්සියා දූපත යි. මෙම පිපිරවීම නිසා අසල්වැසි රටවල ජනතාවට සිදුවිය හැකි බියකරු විපාක ගැන ලෝකයට මුලින් ම කරුණු ඉදිරිපත් කළේ සරණංකර හිමියන්. න්‍යෂ්ටික අවි අත්හදා බැලීමට එරෙහි ව කොළඹ නගරයේ දැවැන්ත පෙළපාලි, උද්ඝෝෂණ සංවිධානය කළා. ලෝක සාම මණ්ඩලය මගින් ද ලොව පුරා රටවල උද්ඝෝෂණ පැවැත්වූවා.

 ලෙනින් සාම ත්‍යාගය – wikipedia.org

 

මෙම පිපිරවීමේ අත්හදා බැලීම නතර නොකළේ නම් තමන් ඇතුළු කණ්ඩායමක් දියාගෝ ගාර්සියා දූපතට ගොස් බෝම්බයට බිලිවන බවට ද උන්වහන්සේ තර්ජනය කළා. එයට විරුද්ධ ව මාරාන්තික උපවාසයක් ද ආරම්භ කළා. මෙසේ දිගින් දිගට ම ලෝකයෙන් එල්ල වන විරෝධය නිසා අවසානයේ න්‍යෂ්ටික අත්හදා බැලීම නතර කර දැමීමට අමෙරිකාවට සිදු වුණා.
1957 නොවැම්බර් මාසයේ උඩකැන්දවල සිරි සරණංකර හිමියන් ලෝක සාමය උදෙසා කළ උදාර සේවය අගය කරමින් රුසියාවේ ලෙනින් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවා.
සරණංකර හාමුදුරුවෝ වරප්‍රසාද ලාභ අපේක්ෂාවෙන් තොරව යි ඕනෑම තැනක පෙනී සිටියේ. සමාජවාදී දේශපාලනයට කැපවීම නිසා උන්වහන්සේට අපවත් වනතුරු ම උපසම්පදාව ලබාදීමට මහනායක හිමිවරුන් කැමති වුණේ නැහැ. මේ නිසා උඩකැන්දවල සිරි සරණංකර හාමුදුරුවෝ 1966 නොවැම්බර් 13 දා අපවත් වුණේ සාමණේර නමක් විදිහට යි.

කවරයේ ඡායාරූපය - සටන්කාමී සරණංකර හිමි - උඩකැන්දවල සරණංකර හිමිගේ සටනක සටහන් කෘතියේ කවරය හා www.deshaya.lk/ ඇසුරිනි. 

මූලාශ්‍ර :
dinamina.lk
budusarana.lk
lankadeepa.lk
සටනක සටහන්- උඩකැන්දවල සරණංකර හිමි
උඩකැන්දවල සිරි සරණංකර හිමි භූමිකාව-චන්දන විජේකෝන්

Related Articles