Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිට්ලර්ගේ ශාපයෙන් දරුවන් සිය ගණනක් මුදාගත් – සර් නිකොලස් වින්ටන්

ආත්මාර්ථකාමී ලෙස තම පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා ඕනෑම අයහපත් දෙයක් කිරීමට පෙළඹෙන මිනිසුන් අතරේ මනුෂ්‍යත්වය පෙරදැරිව ලෝකයට යහපත උදා කරන්නවුන් සිටින්නේ අතලොස්සකි. සර් නිකොලස් වින්ටන් යනු එවැනි මිනිසුන් අතරේ මනුෂ්‍යත්වයේ ජීවමාන සමරුවකි. හිට්ලර්ගේ කුරිරු බැවින් දරුවන් සිය ගණනකගේ ජීවිත මුදාගෙන ඔවුනට නැවත ජීවිතය විඳින්නට අවස්ථාව උදා කළ ඒ අසහාය මිනිසාගේ කතාවයි මේ.

මිතුරාගේ ඉල්ලීම සහ වහා ක්‍රියාත්මක වූ වින්ටන්

වර්ෂ 1938 දෙසැම්බර් මස වන විට වයස අවුරුදු 29ක කොටස් වෙළඳපළ තැරැව්කරුවකු වූ නිකොලස් වින්ටන් තරුණයා, හිම ක්‍රීඩා සඳහා ස්විස්ටර්ලන්තය බලා පියාසැරීමට සූදානමින් සිටියේය. ඒ සඳහා සියලු කටයුතු සූදානම්ව තිබෙන අතර හිටිහැටියේ නිකොලස්ගේ දුරකථනය නාද වන්නට විය. එය සිය මිතුරාගෙන් ඔහු වෙත ලැබෙන, සිය සංචාරය අවලංගු කිරීමට සිදු වන ආකාරයේ හදිසි ඇමතුමක් බව නිකොලස් ඒ වනවිටත් දැන සිටියේ නැත. නිකොලස්ගේ මිතුරා මාර්ටින් බ්ලේක්, ඔහු යෙදී සිටින ව්‍යාපෘතියක් සඳහා තම මිතුරාගේ සහය අපේක්ෂා කරමින් දන්වා සිටියේ හැකි නම් වහාම ප්‍රාග් නුවරට පැමිණෙන ලෙසය. ප්‍රාග් නුවරට පැමිණි නිකොලස්ගෙන් සිය මිතුරා මාර්ටින් ඉල්ලා සිටියේ හිට්ලර්ගේ වධකාගාර කඳවුරු තුළ සිරව ඉතා බියජනක ජීවිතයක් ගෙවන දහස් ගණනක් ජනයා ඉන් මුදවා ගැනීමට තමන්ට සහය වන ලෙසය.

දරුවන් මුදාගැනීමට වෙහෙසුණු වින්ටන් (gfpvm.cz)

වර්ෂ 1938 ඔක්තෝම්බර් මස ජර්මනිය සහ බටහිර යුරෝපීය බලවතුන් අතර, ජනතාවට අවාසනාව ගෙන දුන් මියුනිච් සම්මුතිය ඇති කරගන්නා ලද අතර එමගින් බටහිර චෙකොස්ලෝවැකියාවේ කොටසක් නාසීන් විසින් ඈඳා ගන්නා ලදී. ජර්මනිය සෙසු රටවල් වෙතද ක්‍රමානුකූලව නමුත් ඉක්මනින් ඇතුල් වී වාඩිලෑම වහා සිදුවනු ඇති බව වින්ටන්ට ඒත්තු ගියේය. වින්ටන් ඇතුළු තවත් බොහෝ දෙනෙකුට පෙනී ගියේ යුද්ධයේ පුපුරායෑම නොවැළැක්විය හැකි කරුණක් බවය. වර්ෂ 1938 නොවැම්බර් 9 සහ 10 යන දිනයන්හි රාත්‍රිය වන විටත් ජර්මානු සහ ඔස්ට්‍රියානු යුදෙව්වන්ට එරෙහිව මාරාන්තික ප්‍රහාරයක් එල්ල වෙමින් පැවතිණි. වින්ටන්ට දැනුණේ තවත් බලා සිටීමට කාලයක් ඉතිරි වී නොමැති බවය.

තමන් විසින් මුදාගත් දරුවෙකු සමඟ වින්ටන් (nytimes.com)

රැකවරණයක් නොමැති පවුල්වල දරුවන්ට රැකවලෙකු වීම

හිට්ලර්ගේ සතුරන් වූ සරණාගතයින්ගේ සහ වෙනත් කණ්ඩායම්වල දරුවන්ට කිසිවෙකුගේ රැකවරණයක් නොමැති බව වින්ටන්ට පැහැදිලි විය. ඒ අනුව ඔවුන් වෙනුවෙන් රැකවලෙකු ලෙස බලපත්‍ර ලබාගනිමින් බ්‍රිතාන්‍ය දක්වා ඔවුන් රැගෙන යාමට ඔහු තීරණය කළේය. ඒ අනුව එසේ ගෙනෙන ලද දරුවන් භාරගෙන හදා වඩා ගැනීමට කැමති පවුල්, වින්ටන් විසින් පිහිට වූ මව් ආයතනයෙහි පවුම් පනහක මුදලක් ඇප ලෙස තැන්පත් කළ යුතු විය. ඒ අවධියෙහි එය සැලකුණේ තරමක විශාල මුදලක් ලෙසිනි. යුදෙව් පවුල් ඒ වනවිටත් සිටියේ අතිශය වේදනාකාරී අඩියකය. සරණාගතයින් බොහෝ දෙනෙකු ආහාර වේලක් ලබා ගැනීමට පවා නොහැකි දුක්ඛිත තත්ත්වයක පසුවිය. තම දරුවන්ගේ කුසගින්න නිවීමට ඇතැම් මව්වරුන්ට, වඩා වේදනාකාරී, ආත්මය දවාලන සුළු ක්‍රමවේදයන්ට යොමු වීමට පවා සිදුවිය.

දරුවන් මව්වරුන් වෙතින් වින්ටන්ට භාර කිරීමට නියමිත අවස්ථාවක නිරූපණයක් (Berta Film)

මුළු පවුලටම වීසා ලබා ගැනීම දුෂ්කර වූ විට දෙමාපියන්ට අවශ්‍ය වූයේ අඩුම තරමින් තම දරුවන්ව හෝ පවත්නා පීඩිත වාතාවරණයෙන් ඔබ්බට ආරක්ෂිතව පිටමං කර හැරීමටය. වින්ටන්ට අවශ්‍ය වූයේ එවන් අසරණයන්ගේ දරුවන්, මහා පරිමාණයෙන්, දහස් ගණනින් මෙම ශාපලත් භූමියෙන් පිටමං කර හැරීමටය. ආරම්භයේදී ඔහුගේ කාර්යාලය, ප්‍රාග්හි ඔහු නැවතී සිටි හෝටලයේ තිබූ මේසයක් සහිත කෑම කාමරයක් විය. පසුව ඔහු ට්‍රෙවර් චැඩ්වික්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ලෙස නව කාර්යාලයක් වෝසිල්ස්කා වීදියෙහි ආරම්භ කරන ලදි. දෙමාපියන් දහස් ගණනක් දිගු පෝලිම් ගැසී තම දරුවන් වින්ටන්ට භාරදීමට පැමිණියහ. මෙය ජර්මන් ගෙස්ටාපෝ නාසි රහස් පොලීසියේ මහත් අවධානයට බඳුන් වූ සිදුවීමක් විය.

විවාපත් වින්ටන් (news.163.com)

දරුවන් බාර දීමට රාජ්‍යයට ඉල්ලීම් කිරීම

දරුවන් භාරදීමට තමන්ට හැකි වේ යැයි සිතන රාජ්‍යයන් ගණනාවක් සම්බන්ධ කරගත් වින්ටන් ඒ සඳහා ඔවුන්ගේ සහය ආයාචනය කළේය. එහෙත් ඒ සඳහා පූර්ණ කැමැත්ත පළ කළේ ස්වීඩනය පමණි. වයස අවුරුදු 18ට අඩු දරුවන් පමණක් භාර ගැනීමට මහා බ්‍රිතාන්‍යය එකඟ විය. ඒ දරුවන්ට භාරකරුවන් මෙන්ම පවුම් පනහ බැගින් අනුග්‍රහ කිරීමට කැමති පුද්ගලයන් පවා ඔහු සොයා ගත්තේය. ඔහු උදෑසන වරුව සිය කොටස් වෙළඳපළ තැරැව්කාර කටයුතු සඳහා වැය කළ අතර දවසේ ඉතිරි කොටසින් මධ්‍යම රාත්‍රිය දක්වාම දරුවන් මුදා ගැනීමේ සිය මෙහෙයුම උදෙසා කැප කළේය. ඔහු සංවිධානයක් පිහිටුවා එය “The British Committee for Refugees from Czechoslovakia, Children’s Section” ලෙස නම් කළේය. එම කමිටුවේ සෙසු සාමාජිකයන් වූයේ ඔහුත්, ඔහුගේම මවත්, ඔහුගේ ලේකම් සහ ස්වෙච්ඡා සාමාජිකයන් කිහිප දෙනෙකුත්ය.

තමා බේරාගත් දරුවන් වියපත් වූ පසු හමුව පුදුමයට පත්වන වින්ටන් (youtube.com)

දරුවන් රැගත් ප්‍රථම ගුවන් යානය පිටත් වීම

වින්ටන්ට වූ ගැටලු වූයේ වියදම් සඳහා අනුග්‍රාහකයන් සොයා ගැනීමත්, දරුවන්ගේ වීසා සැකසීම අකාර්යක්ෂමව සිදු වීමත්ය. ඒ හේතුවෙන් ඇතුල් වීමේ බලපත්‍ර හොරට සැකසීමට ද ඔහුට සිදුවිය. ඔහුගේ සියලු උත්සාහයන් සඵල කරමින් ඔහු විසින් මුදාගන්නා ලද දරුවන් රැගත් ප්‍රථම යානය වර්ෂ 1939 මාර්තු 14 වන දින ප්‍රාග් නුවර සිට බ්‍රිතාන්‍ය දක්වා පියාසර කළේය. එවන් තවත් කණ්ඩායම් හතක් ඔහු බෝට්ටු මගින් එංගලන්තය කරා රැගෙන ආවේය. දරුවන්ගේ කැපකාර මව්පියවරු ඔවුන් භාර ගැනීමට ගමනාන්තයන්හි පෙළ ගැසී සිටියහ. අවසාන මුදා ගැනීම වර්ෂ 1939 අගෝස්තු මස 2වන දින සිදු විය. ඒ අනුව ළමුන් 669ක් වින්ටන්ගේ කැපකිරීම් මත යහපත් ජීවිත ළඟා කරගැනීමට තරම් වාසනාවන්ත වූහ.

තමා විසින් මුදාගත් දරුවන් ඉදිරියේ ඇගයීමට ලක් වූ වින්ටන් (youtube.com)

වර්ෂ 1939 සැප්තැම්බර් මස 1 වන දින එතෙක් ප්‍රවාහනය කළ ළමුන් විශාලම ප්‍රමාණය එංගලන්තය බලා පිටත් කර හැරීමට සූදානම් කර තිබූ අතර ඒ වනවිටත් හිට්ලර්, පෝලන්තය තම අණසකට යටත් කරගනිමින් සියලුම ජර්මානු මාර්ග වසා දමා තිබුණි. දරුවන් 250ක් රැගත් එම අවසාන දුම්රිය අතුරුදන් වූ අතර එම දරුවන් පිළිබඳ යළි කිසිදු දිනෙක අසන්නට නොලැබුණි. එම දරුවන් 250ගේ කැපකාර මව්පියෝ වේදනාබර දෑසින් යළිත් හිස් අතින් නික්ම ගියහ. මුදාගත් බොහෝ දරුවන්ගේ දෙමාපියන් සහ සොයුරු සොයුරියන් හෝලකෝස්ට්හි දී ඝාතනයට ලක් විය. යුද්ධයෙන් පසු නිකොලස් වින්ටන් තම මුදා ගැනීම් පිළිබඳ කිසිවෙකුට නොකීවේය. ඔහුගේ ආදරණීය භාර්යාව හෝ මේ පිළිබඳ දැන සිටියේ නැත. වර්ෂ 1988දී වින්ටන්ගේ භාර්යාවට ළමුන් ගණනාවකගේ විස්තර සහිත, ඔවුන්ගේ ඡායාරූප සහ දෙමාපියන් විසින් දෙන ලද විවිධ ලිපි සහ ලේඛන සහිත ගොනුවක් අහම්බෙන් හමුවන අතර වින්ටන්ගේ අනගි මෙහෙවර පිළිබඳ ඈ ප්‍රථම වරට දැනුවත් වන්නේ එහිදී ය.

ලැබෙන උපහාර හමුවේ සංවේදී වූ වින්ටන් (Why Israel)

වියපත් වූ වින්ටන්ට වැඩිහිටි වූ දරුවන්ගේ උපහාරය

ඇය එකී ලිපිගොනුව මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කරන අතර බීබීසී රූපවාහිනී සේවයේ වැඩසටහනකට ද මේ අනුව වින්ටන්ට ආරාධනා ලැබේ. එහි වියපත් වින්ටන් වටා අසුන්ගෙන සිටියේ ඔහු විසින් මුදාගත් දරුවන් වූ අතර ඔහු ඒ පිළිබඳ දැනගන්නේ ඔවුන් සියලු දෙනා අසුන්වලින් නැගිට ඔහුට උපහාර දක්වන්නට යෙදුණු අවස්ථාවේදී ය. එය අතිශය උණුසුම් සහ සංවේදී අවස්ථාවක් විය.

සම්මානයට පාත්‍ර වූ වින්ටන් (Metro)

වින්ටන් මුදාගත් දරුවන් අතර මේ වනවිට ලොව ප්‍රකට මාධ්‍යවේදීන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, ඇමතිවරු, ගත් කතුවරු යනාදී නොයෙක් ක්ෂේත්‍රවල පුද්ගලයන් සිටී. වින්ටන් ඔහුගේ මෙහෙවර උදෙසා නොයෙක් වර රාජ්‍ය ඇගයීමට පාත්‍ර වේ. වර්ෂ 1993දී දෙවන එළිසබත් රැජිණ ඔහුව සම්මානයට පාත්‍ර කරයි. එමෙන්ම ඇය අතින් වර්ෂ 2002දී ඔහුට නයිට් පදවියක් ද පිරිනැමේ. All My Loved Ones සහ සම්මානනීය චිත්‍රපටයක් වන Nicholas Winton: The Power of Good, ඔහු නමින් නිර්මිත ප්‍රධාන චිත්‍රපටයන්ය.

රැජින අතින් සම්මානයට පාත්‍ර වූ වින්ටන් (sakvoiazh.ru)

මේ අසහාය මිනිසා වසර 106ක් ආයු වළඳා 2015 වර්ෂයේදී ණය නොමැති මිනිසෙකු ලෙස මිහිතලයට ආයුබෝවන් කියූවේය.

කවරයේ පින්තූරය (Metro)

මූලාශ්‍ර

  • The Power of Good, powerofgood.net
  • NICHOLAS WINTON AND THE RESCUE OF CHILDREN FROM CZECHOSLOVAKIA, 1938–1939, ushmm.org
  • Holocaust ‘hero’ Sir Nicholas Winton dies aged 106, bbc.com

Related Articles