Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘චොක්ලට් කම්හලෙන්’ ජනප්‍රිය වූ ‘චාලි බකට්’

ළමා නළු නිළියන් කියන්නේ අපේ ළමා කාලය ලස්සන කළ තවත් දක්ෂයන් පිරිසක්. අපි වයසින් වැඩුණත්, එදා ඔවුන් දායක වූ ඇතැම් නිර්මාණ අදටත් අපිට ලෙහෙසියෙන් අමතක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම බටහිර සිනමාවෙන් පැමිණි මතක හිටින නිර්මාණ බොහෝමයක් අපේ ළමා කාලය වෙනුවෙන් දායාද වුණා. වැඩිහිටි වියේදී පවා අපට ඒවා නැවත නැවත රස විඳින්න පුළුවන්.

 හැරී පොටර් චිත්‍රපට මාලාව නිසා අදටත් අපි එමා වොට්සන්ට, ඩැනියෙල් රැඩ්ක්ලිෆ්ට ආදරෙයි. ළමා නළුවෙකු ලෙස “A.I. (Artificial Intelligence)” චිත්‍රපටයේ ඩේවිඩ්ගේ චරිතය රඟ දැක්වූ හේලී ජොයෙල් ඔස්මන්ට්ගේ රංග ප්‍රතිභාව ගැන අපි අදටත් පුදුම වෙනවා වගේම සංවේදී වෙනවා. ඒ අතර “Home Alone” චිත්‍රපටයේ කෙවින් මැකෑලස්ටර්ගේ චරිතයට පණ පෙවූ මැකෝලේ කල්කින් නිසා අපි ඇති තරම් හිනා වුණා. අද ඔවුන් අපත් සමඟම වයස්ගත වී හොලිවුඩ් සිනමාවේ සාර්ථක ගමනක යෙදෙනවා. 

මෙම ලිපිය වෙන්වන්නේ තවත් එවැනිම ජනප්‍රිය ළමා නළුවෙකුව සිට අද සිනමාවේ සාර්ථක ගමනක යෙදෙන පුද්ගලයෙකු වෙනුවෙනු යි. “චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි” චිත්‍රපටය නරඹා ඇත්නම් “චාලි බකට්” නම් චරිතය ඔබට මතක ඇති. මේ චරිතය සඳහා දායක වුණේ එකල ජනප්‍රිය ළමා නළුවෙකු ලෙස නමක් දිනාගත් ෆ්‍රෙඩී හයිමෝර්. ළමා වියේ පටන් සුපිරි නළු ජොනී ඩෙප්ගේ හොඳ මිතුරෙකු වෙන්නත් ඔහුට අවකාශ ලැබුණා.

සත් හැවිරිදි වියේදීම රංගනයට

 සිනමාවේ ෆ්‍රෙඩී හයිමෝර් නමින් පෙනී සිටියත්, ඔහුගේ සැබෑ නම වන්නේ ඇල්ෆ්‍රඩ් තෝමස් හයිමෝර්. 1992 වසරේ පෙබරවාරි මස 14 වැනිදා ලන්ඩනයේදී ෆ්‍රෙඩී හයිමෝර් උපත ලබනවා. ඔහුගේ පියා වූ එඩ්වඩ් හයිමෝර් ද රංගන ශිල්පියෙක්. ෆ්‍රෙඩීගේ මව බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම කුසලතා නියෝජිතවරියක ලෙස සේවය කරනවා. වෘත්තීය මට්ටමේ රංගන ශිල්පීන්, ලේඛකයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ගායකයන් වැනි අයගේ අභිලාෂ, විනෝදාස්වාද ක්ෂේත්‍රය තුළ ප්‍රවර්ධනය කිරීම සහ නියෝජනය කිරීම කුසලතා නියෝජිතවරුන්ගේ කාර්යභාරය වෙනවා. ඔවුන් සේවාදායකයා සහ සේවායෝජකයා අතර සිටිමින් විශාල කර්තව්‍යයක් සිදු කරනවා.

 මවගේ වෘත්තිය පසුබිම නිසා බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ පුද්ගලයන් රාශියක් ෆ්‍රෙඩී හයිමෝර්ට කුඩා කාලයේ පටන්ම ආශ්‍රය කරන්නට ඉඩ ලැබුණා. ඒ අතරින් සුප්‍රසිද්ධ හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය සිදු කළ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් විශේෂ යි. ළමා කාලයේ පටන් ඉතා සමීප මිතුරන් ලෙස ඩැනියෙල් සහ ෆ්‍රෙඩී එකට හැදී වැඩුණා. 

කලාවට හිතැති පවුල් පසුබිම නිසාම ෆ්‍රෙඩී හයිමෝර්, සත් හැවිරිදි වියේදී රංගනයට ප්‍රවිශ්ට වෙනවා. 1999 වර්ෂයේ බ්‍රිතාන්‍ය ප්‍රහසන චිත්‍රපටයක් වූ “Women Talking Dirty” චිත්‍රපටයේ කුඩා චරිතයක් ඔහුගේ කුළුදුල් රංගනය බවට පත් වුණා. 

Finding Neverland චිත්‍රපටයේ ෆ්‍රෙඩී හයිමෝර් සහ ජොනී ඩෙප්. සැබෑ ජීවිතයේදීත් ඔවුන් හොඳ මිතුරන්-formationreimagined.org 

ජොනී-ෆ්‍රෙඩී සුසංයෝගය

චිත්‍රපට කිහිපයක කුඩා චරිත රඟ දක්වමින් සිටි ෆ්‍රෙඩී හයිමෝර්ට රංගන ක්ෂේත්‍රයේ පළමුවෙන්ම වැඩිම අවධානයක් ගෙන දුන් නිර්මාණය වන්නේ “Finding Neverland” නම් චිත්‍රපටය යි. ජොනී ඩෙප් සහ කේට් වින්ස්ලට් යන දැවැන්ත රංගන පෞරුෂයන්ගේ පහස ලබමින් තම දක්ෂතා පෙන්වන්නට ඔහුට “Finding Neverland” හරහා ඉඩකඩ ලැබුණා. චිත්‍රපටය තුළ කුඩා ෆ්‍රෙඩී හයිමෝර්ට විශාල කාර්යභාරයක් පැවරී තිබුණා. මෙම චිත්‍රපටය සුප්‍රසිද්ධ “පීටර් පෑන්” නම් කල්පිත චරිතය නිර්මාණය කිරීම සඳහා අඩිතාලම වැටුණු කතා වස්තුව පදනම් කරගත් නිර්මාණයක්. එහිදී කුඩා ෆ්‍රෙඩී හයිමෝර්ගේ රංගන හැකියාව ගැන කාර්ය මණ්ඩලයේ ඇතැමෙකු සැක උපදවා ගෙන තිබුණා.  චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ෆ්‍රෙඩීගේ හැකියාව ගැන දිගින් දිගටම විශ්වාස කළා.

 අවසානයේදී පීටර් පෑන් නිර්මාණය කළ ජේ.එම්. බැරීගේ චරිතය ජොනී ඩෙප් සාර්ථකව නිරූපණය කරමින් විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රශංසාව ලැබුවා. ඒ අතර චිත්ත වේදනාවෙන් සහ සාංකාවෙන් පෙළුණු කුඩා පිරිමි ළමයෙකුගේ චරිතය රඟ දක්වමින් පීටර් පෑන් බිහි කිරීම සඳහා ජේ.එම්. බැරී පෙලඹවූ ආකාරය ෆ්‍රෙඩී හයිමෝර් විශිෂ්ට අන්දමින් නිරූපණය කළා.

Charlie and The Chocolate Factory චිත්‍රපටියේ එන දර්ශනයක්-seventeen.com 

“Finding Neverland” චිත්‍රපටය නිසා ෆ්‍රෙඩී හයිමෝර් සහ ජොනී ඩෙප් අතර යම් මිතුදමක් ගොඩනැඟී තිබුණා. කුඩා ළමයෙකු වුණත්, පරිණත රංගනයක් ෆ්‍රෙඩීගෙන් දුටු මිනිසුන් අතර ජොනී ඩෙප් රංගන ශිල්පියාත් සිටියා. “Finding Neverland” චිත්‍රපටය නිකුත් වී ටික කලකට පසු ජොනී ඩෙප් හට “Charlie and the Chocolate Factory” චිත්‍රපටයේ සුප්‍රකට විලී වොන්කාගේ චරිතය සඳහා ආරාධනා ලැබුණා. එහි ඊළඟ ප්‍රධාන චරිතය වූ ‘චාලි බකට්’ වෙනුවෙන් පෙනී සිටීමට ෆ්‍රෙඩී හයිමෝර්ට ආරාධනා කරන ලෙස ජොනී ඩෙප්, චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව ජොනී ඩෙප් සහ ෆ්‍රෙඩී හයිමෝර් සුසංයෝගය නැවතත් සිනමාවට ප්‍රවිශ්‍ට වුණා.

 “Finding Neverland” තුළින් ෆ්‍රෙඩීගේ රංගන හැකියාව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තේරුම් ගත්තත්, සාමාන්‍ය මිනිසුන් අතර ෆ්‍රෙඩී හයිමෝර් වැඩියෙන්ම ජනප්‍රිය වුණේ “Charlie and the Chocolate Factory” චිත්‍රපටය හරහා යි. එය ශ්‍රී ලංකාවේත් ජනප්‍රිය වූ චිත්‍රපටයක්.

August Rush චිත්‍රපටය වෙනුවෙන් ෆ්‍රෙඩී හයිමෝර් මාස හයක් ගිටාර් වාදනය ප්‍රගුණ කළා.-timeout.com

August Rush

 මිනිස් හදවත් අතිශයින් සංවේදී කරන සුවිශේෂි චරිත රැසකට කුඩා අවදියේදීම රංගන දායකත්වය ලබා දෙන්න ෆ්‍රෙඩී හයිමෝර්ට හැකි වුණා. එවැනි චරිත අතර “August Rush” චිත්‍රපටය වෙනුවෙන් ෆ්‍රෙඩී කළ අද්විතීය රංගය අමතක කරන්න බැහැ. උපතින්ම මනා සංගීත හැකියාවක් පිහිටපු අහිංසක දරුවෙකුගේ ජීවන චාරිකාව වටා “August Rush” චිත්‍රපටයේ කතාව දිව යනවා. ඒ වෙනුවෙන් කුඩා ෆ්‍රෙඩී හයිමෝර් මාස හයක් මුළුල්ලේ ගිටාර් වාදනය පුහුණු වුණා. උපතින් ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නිසා අමෙරිකානු ඌරුව අනුව ඉංග්‍රීසි උච්චාරණය මෙන්ම, වාද්‍ය වෘන්දයක් පවත්වාගෙන යන්නේ කෙලෙසද යන වගත් ඉගෙන ගත්තා. මෙහිදී ඔහුගේ ජීවිතය තවත් එක වැදගත් අවස්ථාවකට එළඹුණා. “August Rush” හරහා හොලිවුඩයේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ රොබින් විලියම්ස් සමඟ රංගනයේ යෙදෙන්න ඔහුට හැකි වුණා. රොබින් සමඟ එකට වැඩ කළ සුළු කාල පරාසය තුළ ෆ්‍රෙඩී හයිමෝර් රංගනය ගැන තවත් බොහෝ දේවල් ඉගෙන ගත් බව කියවෙනවා.

නෝමන් බේට්ස්ගේ චරිතය නිරූපණය කළ ඇන්තනී ප(ර්)කින්ස් (ඉහළ) සහ ෆ්‍රෙඩී හයිමෝර් (පහළ)-reddit.com 

නෝර්මන් බේට්ස් යළි ඉපදෙයි!

 2013 දී හයිමෝර් අමුතුම ආකාරයේ නිර්මාණ කටයුත්තකට දායක වුණා. ඒ තමයි “Bates Motel”. නමුත්, “Bates Motel” කියන්නේ රූපවාහිනි ටෙලි නාට්‍ය මාලාවක්. 1960 දශකයේ ඇල්ෆ්‍රඩ් හිච්කොක් නමැති අග්‍රගණ්‍ය අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක් වූ “Psycho” චිත්‍රපට මාලාව ආශ්‍රය කරගෙන “Bates Motel” නිපදවා තිබෙනවා. “Psycho” චිත්‍රපට මාලාව පුද්ගල මනස සම්බන්ධ ත්‍රාසජනක කතා මාතෘකා රැගත් නිර්මාණ අතර සංධිස්ථානයක් බඳු ‍යි. එය ආශ්‍රය කරගෙන දශක ගණනාවකට පසු ටෙලි කතා පෙළක් නිර්මාණය වීම ප්‍රේක්ෂකයන්ට අමුතුම අත්දැකීමක් වුණා.

  “Psycho” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ නෝර්මන් බේට්ස්ගේ චරිතය එදා රඟ දැක්වූයේ ඇන්තනී ප(ර්)කින්ස්. එය තරමක් සංකීර්ණ චරිත නිරූපණය කිරීමක්. නෝමන් බේට්ස් චරිතය,  “විඝටිත අනන්‍යතා ආබාධය” නම් මානසික සංකූලතාවයෙන් පෙළෙන්නෙක් ලෙස හැඳින්විය හැකි යි. මේ නිසා ඔහු තුළ පෞරුෂත්ව දෙකක් ක්‍රියාත්මක වෙනවා. මේ අභියෝගාත්මක චරිතයට දශක ගණනාවකට පසු නැවත ජීවය ගෙන ඒමේ භාරදූර කටයුත්ත “Bates Motel” හරහා ෆ්‍රෙඩී හයිමෝර්ට භාර වෙනවා. ඔහු දායක වූ පෙර නිර්මාණ මෙන් නෝමන් බේට්ස් චරිතය අහිංසක නැහැ. නිර්මාණයට අනුව නෝමන් බේට්ස් පසුකලෙක දාම ඝාතකයෙකු බවට පත් වෙනවා.

Bates Motel කතා මාලාවේ එන දර්ශනයක්-hollywoodreporter.com 

 කතා සමයන් පහකට පසු 2017 දී  “Bates Motel” අවසාන වුණා. එම කතා මාලාවේ අවසාන කථාංගයේ රූගත කිරීම් අවසාන වී දින තුනක් ඇතුළත ඔහු තවත් විශිෂ්ට නිර්මාණයක් වූ “The good doctor” ටෙලි කතා මාලාවේ ප්‍රධාන චරිතයට දායකත්වය ලබාදීම වෙනුවෙන් සූදානම් වුණා. “The good doctor” හරහා ඔහු දායක වූ චරිතයත් ලෙහෙසි පහසු එකක් වුණේ නැහැ. වසර කිහිපයක් මානසික ව්‍යාකූලත්වයෙන් මෙන්ම ඝාතකයෙකු ලෙස ක්‍රියා කළ චරිතයකට පණ දුන් ඔහු, දින තුනක් ඇතුළත මානුෂිකත්වයෙන් පිරුණු තරුණ වෛද්‍යවරයෙකුගේ චරිතයකට මාරු වුණා. මේ සෑම දෙයක් පිටුපසම ඔහුගේ කැපවීම කැපී පෙණුනා.

හිත හොඳ දොස්තර, ෂෝන් මර්ෆි

“The good doctor” කතා මාලාවේ තරුණ වෛද්‍යවරයෙකු වූ ෂෝන් මර්ෆිගේ චරිතය නිසා ෆ්‍රෙඩී හයිමෝර් ඉහළ ජනප්‍රියත්වයක් ලබා තිබෙනවා. මෙම කතා මාලාව තවමත් එක්සත් ජනපදය තුළ විකාශනය වෙමින් පවතින ටෙලි නිර්මාණයක්. ඔටිසම් ආබාධය සමඟ ජීවත් වෙන, පමණටත් වඩා අවංක, එහෙත් අසාමාන්‍ය දක්ෂතාවක් සහිත වෛද්‍යවරයෙකු ලෙස ෂෝන් මර්ෆි නම් චරිතය හැඳින්විය හැකි යි. ඔටිසම් ආබාධය සහිත පුද්ගලයෙකුගේ චරිත ස්වභාවය විශිෂ්ට අන්දමින් නිරූපණය කරන නිසා ෆ්‍රෙඩී හයිමෝර් බොහෝ සම්මානවලට නිර්දේශ වී තිබෙනවා. ඒ අතර විචාරක‍යන්ගේ පැසසුම් පවා ඔහු දිනා ගත්තා. ඔටිසම් සමඟ සටන් කරන පුද්ගලයන්ට මනා ආත්ම ශක්තියක් ලබා දෙන අයුරින්  කරන චරිත නිරූපණය නිසා ප්‍රේක්ෂකයන්ගේ පැසසුමත් ඔහුට අඩුවක් නැතුව ලැබෙනවා. මානුෂීය බවින් පිරුණු කතාවක් ලෙස The Good Doctor නැරඹීම ඔබට නවමු අත්දැකීමක් වේවි.

The Good Doctor කියන්නේ මානුෂීය බවින් පිරුණු නිර්මාණයක්-hollywoodreporter.com 

 මීට අමතරව, තමන් රංගනයෙන් දායක වූ ටෙලිකතා නිර්මාණවල ඇතැම් කොටස් සඳහා අධ්‍යක්ෂණයෙන්, නිෂ්පාදනයෙන් පවා ඔහු තම සහභාගීත්වය දක්වා තිබෙනවා. ඔහු දක්ෂ හඬ කැවීම් ශිල්පියෙක්.

සැබෑ ජීවිතය තුළ හයිමෝර්

ෆ්‍රෙඩී හයිමෝර් ෆේස්බුක්, ට්වීටර්, ඉන්ස්ටග්‍රෑම්, වැනි සමාජ ජාලා ගිණුම් තුළ සක්‍රීයව සිටින පුද්ගලයෙකු නොවන බව කියවෙනවා. ෆ්‍රෙඩී හයිමෝර් නමින් බිහිවී ඇති කිසිදු සමාජ ජාලා ගිණුමක් වෙනුවෙන් ඔහු දායකත්වය සපයන්නේ නැහැ. සමාජ ජාලා කෙරෙහි තමාට ඇති ආශාව ඉතා අල්ප බව ඔහු කිහිප තැනක සඳහන් කර තිබෙනවා.

ෆ්‍රෙඩී හයිමෝර් කියන්නේ ඉතා හොඳ භාෂා උගතෙක්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඔහු ස්පාඤ්ඤ සහ අරාබි භාෂාවන් වෙනුවෙන් උපාධිය ලබා තිබෙනවා. ඇතැම් සම්මුඛ සාකච්ඡාවල ආරාධනය පරිදි ඔහු තම භාෂා හැකියාව විදහා දක්වා තිබෙන අතර, ව්‍යක්ත භාෂා හැසිරවීම නිසා, එම විදෙස් භාෂා මවුබස ලෙස හසුරුවන ඔහුගේ රසිකයන් පුදුමයට පත් වී තිබෙනවා.

 ෆ්‍රෙඩී හයිමෝර්, සමාජ ක්‍රියාකාරීත්වය තුළ සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින්නෙක් සහ සහය දක්වන්නෙක් ලෙස හඳුනා ගැනෙනවා. ඔහු හොඳ පාපන්දු ලෝලියෙක්. විසිනව හැවිරිදි තරුණයෙකු ලෙස ඔහුට රංගන ක්ෂේත්‍රයේ තව බොහෝ දුර යන්න ට තිබෙනවා. විවිධත්වයක් සහිත චරිත වලට පණ පොවන්නෙකු ලෙස ඔහුගෙන් ඉතා හොඳ නිර්මාණ ඉදිරියේදී අපට බලාපොරොත්තු විය හැකි යි.

කවරයේ ඡායාරූපය: තරුණ ෆ්‍රෙඩී හයිමෝර්- www.citynews1130.com

මූලාශ්‍ර:

www.biography.com

thefactsite.com

careerexplorer.com

encyclopedia.com 

www.straight.com 

Related Articles