Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටයිටැනික් ආදරය සංගීතයෙන් ඔපවත් කළ සෙලීන් ඩියෝන්

Every night in my dreams
I see you, I feel you
That is how I know you go on

Far across the distance
And spaces between us
You have come to show you go on

Near, far, wherever you are
I believe that the heart does go on
Once more, you open the door
And you’re here in my heart
And my heart will go on and on

ඔබ ටයිටැනික් චිත්‍රපටයේ රසිකයෙක් නම් ඉහත පද පේළිය හොඳින් හුරු පුරුදු ඇති. ටයිටැනික් සිනමා කෘතියෙන් ලෝකය ම අමන්දානන්දයට පත් කළ ආදර කතාවේ වටිනාකම, සිනමා පටයේ තේමා ගීතය නිසා දෙගුණ තෙගුණ වුණා. “My heart will go on” නමින් ලෝකයේ සංගීත දර්ශකවල මුල් ස්ථාන බොහෝමයක් තමා සතු කරගත් මේ ගීතය ගායනා කළේ සෙලීන් ඩියෝන්. ඇය බටහිර සංගීතයේ පුරාවෘත්තයක් බඳු තැනැත්තියක්. වෘත්තීය ජීවිතය තුළ මෙන්ම පෞද්ගලික ජීවිතයේත් ඇය මුහුණ දුන් අභියෝගවලින් ඕනෑම කෙනෙකුට උගත හැකි ආදර්ශ බොහෝමයක් තිබෙනවා. මේ ලිපිය වෙන් වන්නේ සෙලීන් ඩියෝන් වෙනුවෙන්.

කුඩා අවධිය

සෙලීන් මාරි ක්ලෝඩෙට් ඩියෝන්, එහෙමත් නැත්නම් සෙලීන් ඩියෝන්, 1968 මාර්තු 30 වැනිදා කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයට අයත් ෂාර්ලමේන් නම් කුඩා නගරයේ උපත ලබනවා. ඇඩෙමාර් සහ තෙරේස් ඩියෝන් යුවළගේ දරුවකු ලෙස ඇය ඉපදෙන්නේ දරුවන් 14 දෙනෙකුගෙන් යුත් පවුලේ ළාබාලතමයා ලෙසට යි. දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වූ පවුලක් වුණත්, ඩියෝන් පවුල නිහතමානී බව සහ ආදරයෙන් පිරුණු පවුලක් ලෙස හැඳින්වෙනවා. දරුවන් 14 දෙනෙකුගෙන් යුත් පවුලක ළාබාලතමයා ලෙස ඇය ගත කළේ පහසු ජීවිතයක් නොවෙයි. පවුලේ සාමාජිකයන් ගණනට සෑහෙන ඉඩ පහසුකම් ඇයගේ නිවසේ තිබුණේ නැහැ.

සෙලීන් ඩියෝන්ගේ විශාල පවුල – wjla.com

“අපේ ගෙදර එකම ඇඳේ තුන් හතර දෙනෙක් විතර හිටියා. මට නිදන කාමරයක් තිබුණේ නැහැ. පඩිපෙළ උඩ, නිදන කාමරවලට යන්න කලින් කුඩා ඉඩක් හමුවෙනවා. එතන තමයි මගේ ඇඳ තිබුණේ. ඉතින් හැමෝම නිදන කාමරවලට යනකොට මාව දකිනවා. ඒ නිසා හැමෝටම රාත්‍රිය හා උදෑසන වෙනුවෙන් සුබ පතන්න මට පුළුවන් වුණා”

වරෙක CBS News නාලිකාව වෙත සෙලීන් ඩියෝන් එසේ පවසා තිබුණා.

අගහිඟකම් තිබුණත්, සෙලීන් ඇයගේ පවුල දුප්පත් නොවූ බව කියා තිබෙනවා. ආදරය, සෙනෙහස නොඅඩුව තිබුණු පවුල තුළ ඇයට වෙනත් දෙයක් අවශ්‍ය නොවූ බව එයින් හඟවන්නට ඇය උත්සහ කළා.

කුඩා අවධියේ පටන්ම සෙලීන් ඩියෝන්ට සංගීත විෂය ආගන්තුක වුණේ නැහැ. ඇයගේ මව්පියන් “ඩියෝන්ස් ෆැමිලි” නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගනිමින් කැනඩාව පුරා සංචාරය කළා. පසුකලෙක ඔවුන් පියානෝ බාර් එකක් විවෘත කළ අතර, එකල පස් හැවිරිදි දැරියක වූ සෙලීන්, තම ඉදිරිපත් කිරීම් හරහා පාරිභෝගිකයන් සතුටට පත් කළා.

දොළොස් හැවිරිදි වියේදි අනාගත සහකරු හමුවෙයි

වයස අවුරුදු දොළහේදී සෙලීන් සිය මව සමඟ එක්ව ලියා තිබූ ගීතයක් පටිගත කළා. සිය දියණියගේ ගායන හැකියාව ගැන මනා අවබෝධයක් තිබූ මවක ලෙස ඇය එම කැසට් පටය, ප්‍රකට ප්‍රංශ ගායිකාවක් වූ ජිනෙට් රෙනෝගේ වෘත්තිය කළමනාකරු වූ රෙනේ ඇන්ජලිල් වෙත යැව්වා. ගීතය ඇසීමෙන් පසු රෙනේ ඇන්ජලිල් සෙලීන් ඩියෝන්ට පෞද්ගලිකව තම දක්ෂතා පෙන්වීමට හමුවක් ලබා දුන්නා.

“මෙන්න ඔබේ මයික්‍රොෆෝනය. දැන් සියලු ආසන පිරී ගිය ප්‍රේක්ෂකාගාරයක් ඉදිරිපිට සිටිනවාක් මෙන් ගායනා කරන්න”

ම‍යික්‍රොෆෝනය ලෙස කුඩා පැන්සලක් ලබා දෙමින් ඔහු සෙලීන්ට අභියෝගයක් භාර දුන්නා. සෙලීන්ගේ එම ගායනය හමුවේ ඇයගේ ලොකුම රසිකයා බවට රෙනේ ඇන්ජලිල් පත්වුණා. එය ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ වඩාත් අපූරු කලාකරු – කළමනාකරු සබඳතාවක ආරම්භය වුණා. රෙනේ ඇන්ජලිල් තම අනාගත සහකරු බව සෙලීන් ඒ මොහොතේදී නිකමටවත් නොසිතන්නට ඇති.

කෙසේ හෝ සෙලීන්ගේ දක්ෂතාව මනාව ග්‍රහණය කරගත් රෙනේ ඇන්ජලිල්, ඇයගේ වෘත්තිය කෙරෙහි පූර්ණ පාලනයක් ඔහුට ලැබෙන අන්දමේ කොන්දේසියක් සහිත ගිවිසුමකට ඇය බඳවා ගත්තා. ඇයගේ කුළුදුල් සංගීත ඇල්බමය වූ “La Voix du bon Dieu” සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට රෙනේ ඇන්ජලිල් තම නිවස පවා උකසට තැබුවා.

සෙලීන් ඩියෝන්ගේ ප්‍රථම ගීත ඇල්බමය – beatnickmusic.com 

 

වයස අවුරුදු 18 වනවිට සෙලීන් ඩියෝන් ප්‍රංශ බසින් සංගීත ඇල්බම් 9ක් නිකුත් කොට තිබුණා. ඒ වනවිට ඇය ෆීලික්ස් සහ ජූනෝ සම්මාන පවා තම ගායන හැකියාව වෙනුවෙන් දිනා ගෙන තිබුණා. මේ සම්මාන ද්විත්වය කැනඩාව තුළ ග්‍රැමි සම්මානය තරමට වැදගත් වෙනවා. 1988 දී අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ පැවති යුරෝවිෂන් ගීත තරගය ජයග්‍රහණය කිරීමට ඇය සමත් වූ අතර, ඇයගේ ඉදිරිපත් කිරීම් යුරෝපය, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාව සහ ජපානය මූලික කරගත් නාලිකාවල සජීවිව විකාශය වුණා. එයින් ලැබුණු ජාත්‍යන්තර අවධානයත් සමඟ සෙලීන්, කැනඩාව හැර අනෙකුත් අමෙරිකා කලාපයේ සංගීත ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කළා. ඒ අනුව ඇය තම ප්‍රථම ඉංග්‍රීසි ඇල්බමය “Unison”, 1990 දී නිකුත් කළා. එම ඇල්බමයේ පිටපත් මිලියනයකටත් වඩා ලෝකය පුරා අලෙවි වුණා.

ගායන දිවියේ සන්ධිස්ථානය වූ ‘Beauty and the Beast’

සෙලීන් ඩියෝන් ගායන ක්ෂේත්‍රය තුළ වඩාත්ම අවධානයට පාත්‍ර වුණේ 1992 වර්ෂයේදී යි. ඒ ඩිස්නි සමාගම නිපදවූ “බියුටි ඇන්ඩ් ද බීස්ට්” සජීවිකරණ චිත්‍රපටයේ තේමා ගීතය වෙනුවෙන් ඇය දායක වූ නිසා යි. සම්මාන රැසක් දිනාගත් මෙම ගීතය නිසා සෙලීන් ඩියෝන් සංගීත ක්ෂේත්‍රය තුළ ඉහළ ස්ථාවරත්වයක් අත්කර ගත්තා. ඉන්පසු ටයිටැනික් චිත්‍රපටයේ තේමා ගීතය වූ “My Heart Will Go On” ගීතයට දායක වීමෙන් ඇය ලෝකය පුරා සදාදරණීය මතකයක් බවට පත් වුණා.

My heart will go on ගීතය නිසා ටයිටැනික් චිත්‍රපටයේ අගය තවත් වැඩි වුණා – reviewjournal.com

සෙලීන් ඩියෝන් සාපේක්ෂව වැඩි සංගීත ඇල්බම ගණනක් නිකුත් කළ ගායිකාවක්. ඇය ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා ද්විත්වයෙන්ම ගීත නිර්මාණ රසිකයන්ට දායාද කරනවා. ඇයගේ ඉංග්‍රීසි ඇල්බම අතුරින් Let’s Talk About Love, Falling into you, A New Day Has Come, වැනි ඇල්බම ඉහළ සාර්ථකත්වයක් අත්කර ගත් අතර, මෑත කාලයේ නිකුත් වූ සෙලීන් ඩියෝන්ගේ සංගීත ඇල්බමත් ඇයගේ රසිකයන් ඉමහත් ආදරයෙන් පිළි ගත්තා. ‘ටයිටැනික්’ තේමා ගීතය හැරුණු කොට It’s All Coming Back to Me Now, Immortality, That’s the Way It Is, A New Day Has Come, I’m Alive වැනි ඇයගේ බොහෝ ගීත ශ්‍රී ලංකාවේත් අතිශයින් ජනප්‍රිය වුණා.

වර්තමානයේදී සෙලීන් ඩියෝන් යනු ජාත්‍යන්තරව සංගීත ලෝකය ඉහළින්ම ජයගත් තැනැත්තියක් බවට අවිවාදිත යි. ‘ෆෝබ්ස්’ සඟරාවට අනුව ඇය ලෝකයේ ධනවත්ම ගායිකාවන් දසදෙනා අතර සිටිනවා. කෙසේ නමුත්, සාර්ථකත්වයේ හිනි පෙත්තේ සිටි අවස්ථාවල පවා ඇයට ජීවිතයේ ඉතාම අමාරු අවස්ථාවලට මුහුණ දෙන්න සිදු වුණා. එතුළින් ගීත වලටත් වඩා සුන්දර ඇයගේ ජීවිතයේ ඇතුළාන්තය ගැන ලෝකයට දැන ගන්නට ලැබුණා.

සැමියාගේ පිළිකාව සමඟ කළ අරගලය

කළින් සඳහන් කළ පරිදි සෙලීන් ඩියෝන්ට තම ජීවන සහකරු හමුවන්නේ වයස අවුරුදු දොළහ තරම් කුඩා අවදියේදී යි. පසුව ඔහු ඇයගේ වෘත්තීය ජීවිතයේ කළමනාකරු බවට පත් වෙනවා. එහෙත් ඔවුන් අතර ප්‍රේමයක් දළුලා වැඩෙන්නට තවත් වසර පහක කාලයක් ගත වුණා. රෙනේ ඇන්ජලිල් සහ සෙලීන් ඩියෝන් අතර වසර 26ක පමණ පරතරයක් තිබුණු අතර, එම සබඳතාවට සෙලීන්ගේ මව තම අනුමැතිය ලබා දුන්නේ නැහැ. කෙසේ නමුත්, ඔවුන් දෙපළ 1994 දෙසැම්බර් 17 වැනිදා විවාහ වෙනවා.

සෙලීන් ඩියෝන් සිය සැමියා වූ රෙනේ ඇන්ජලිල් සමඟ -usmagazine.com 

2000 මුල් භාගයේදී සෙලීන් තම පවුල කෙරෙහි වඩාත් අවධානය යොමු කළ යුතු බව පවසමින් සංගීත ක්ෂේත්‍රයෙන් තාවකාලිකව ඈත් වුණා. 2001 ජනවාරි 25 වන දින සෙලීන්ට, රෙනේ ඇන්ජලිල්ට දාව පුතෙකු බිහි වෙනවා. පසු කලෙක නිවුන් දරු උපතකටත් ඇය මුහුණ දෙනවා. මේ සියලු සතුටුදායක කාරණා අතර ඇය නිතර අරගල කළ අඳුරු පැතිකඩකුත් තිබුණා. ඇයගේ සැමියා උගුර ආශ්‍රිත පිළිකාවකට ගොදුරු වී ඇති බව 1999 දී අනාවරණය වීමයි ඒ.

“Let’s Talk About Love” ගීත ඇල්බමයට අදාළ ප්‍රසංග මාලාව පැවත්වෙන විටත් ඇයගේ සැමියා පිළිකාව සමඟ සටන් කරමින් සිටි නිසා, මේ දැවැන්ත ප්‍රසංග මාලාවේ වැදගත් අවස්ථා ඔහුට මඟ හැරුණා. ප්‍රසංගය අතරතුරේදී සෙලීන් ඔහුට විශේෂ උපහාරයක් දැක්වූවා. මෙම ප්‍රසංග මාලාවේ අවසන් අදියර මොන්ට්‍රියල් නගරයේ මෝල්සන් සෙන්ටර්හි ප්‍රසංග වේදිකාවක 1999 දෙසැම්බර් 31 වැනිදා පැවත්වුණා. ඒ වනවිට පිළිකාව පරාජය කර තිබූ රෙනේ ඇන්ජලිල්, සහශ්‍රයේ අවසාන තත්පර කිහිපය තුළ තම බිරිය සිප ගැනීම සඳහා වේදිකාවට ගොඩ වුණා. ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කළ මෙම ප්‍රසංග අදියරෙන් පසු ඇය තම පෞද්ගලික ජීවිතය වෙනුවෙන් වඩා වැඩි කාලයක් කැප කළ යුතු බව තීරණය කළා.

ඇයගේ ජීවිතයට නැවතත් කුණාටුවක්

2013 වර්ෂයේදී ඇයගේ ජීවිතයට නැවතත් කුණාටුවක් පැමිණියා. සැමියාගේ පිළිකා තත්ත්වය නැවතත් ඉස්මතු වීමයි ඒ. සංගීත ක්ෂේත්‍රය තුළ අතිශය කාර්යබහුල අවධියක් ඇය ගතකරමින් සිටියත්, ඒ සියල්ල පසෙකට දමා 2014 දී ඇය නැවතත් ප්‍රසිද්ධ ජීවිතයෙන් ඈත් වෙනවා. මුළු කාලයම තම ස්වාමි පුරුෂයා සහ දරුවන් තිදෙනා වෙනුවෙන් කැප කිරීමට ඇය උත්සහ කළත්, ගිලන්ව සිටි රෙනේ ඇන්ජලිල්ට ඇය නැවතත් වේදිකාව මත දැකීමට අවශ්‍ය වුණා. ඇයගේ ගායනය නැවතත් ඇසීමට ඔහුට අවශ්‍ය වුණා. ඒ අනුව මවක්, බිරියක්, රැකබලා ගන්නියක් මෙන්ම, වරින් වර රසිකයන් වෙනුවෙන් සිය හඬ අවදි කරන්නියක් වීමටත් ඇයට සිදු වුණා.

2016 ජනවාරි 14 වැනිදා රසිකයන් කම්පාවට පත් කරමින් සෙලීන් ඩියෝන්ගේ සැමියා, රෙනේ ඇන්ජලිල් මෙලොවින් සමු ගන්නවා. එයින් දින දෙකකට පසු ඇයගේ සහෝදරයෙකුත් මිය යනවා.

සෙලීන් ඩියෝන් සිය දරුවන් සමඟ සැමියාගේ අවමංගල්‍යයට සහභාගි වෙමින් – www.independent.ie 

සෙලීන් මෙතරම් සාර්ථක වීම පිටුපස තිබෙන්නේ ඇයගේ දක්ෂතාව පමණක් නොවේ. රෙනේ ඇන්ජලිල්ගේ නිවැරදි මඟ පෙන්වීමත් එයට බොහෝ සේ බලපෑවා. සෙලීන්ගේ වෘත්තිය සම්බන්ධයෙන් ඔහු ගත් තීරණ, සෙලීන්ගේ රසිකයන් සතුටු කිරීමට ඔහුට තිබූ ආශාව සහ උනන්දුව මත පදනම් වුණා. රෙනේ ඇන්ජලිල්ගේ සමුගැනීම සෙලීන් ඩියෝන් තරමටම ඇයගේ රසිකයන්ටත් දැනුණේ ඒ නිසා යි.

Courage (ධෛර්යය)

ස්වාමිපුරුෂයාගේ අභාවයෙන් පසු ඇය ඉංග්‍රීසි බසින් කළ පළමු ඇල්බමය, Courage, 2019 දී නිකුත් වුණා. එම ඇල්බමය ඇයගේ ආදරය අහිමි වීමේ වේදනාව සමනය කර ගැනීමට උපකාරී වූ බව කියැවෙනවා. මීට පෙර නිකුත් කළ ගීත ඇල්බමවල නිෂ්පාදන කටයුතු සහ ප්‍රසංග මාලා සංවිධානය කිරිමේ වගකීම් රෙනේ ඇන්ජලිල් සිදු කළා. මේ නිසා සැමියා නොමැතිව කරන Courage ඇල්බමය සඳහා ඇයට වැඩි වගකීමක් දරන්න සිදු වුණා. සෙලීන්ට එය විශාල වෙනසක් ලෙස දැනුණු බව පැවසෙනවා.

සෙලීන්ගේ සාර්ථකත්වයට රෙනේ ඇන්ජලිල්ගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නැහැ. ඇය අදටත් ඒ වෙනුවෙන් ඔහුට උපහාර දක්වනවා –
 thesun.co.uk 

“මම තවමත් ඔහුට ආදරෙයි. මට මගේ දරුවන්ගේ ආදරය තියෙනවා. රසිකයන්ගේ ආදරය තියෙනවා. මාත් සමඟ වැඩ කරන මිනිසුන්ට ආදරය දක්වනවා. ඒ නිසා මගේ ජීවිතය ආදරයෙන් තොර හිස් එකක් නෙවෙයි. නමුත්, සියා නමැති ගායිකාවගේ ගීතයක් තිබෙනවා ‘ මා නින්දට යන්නේ ඔබ තවමත් මා සමඟ සිටින බව සිතමින්’ කියලා. මම තවමත් ඔහු සමඟ නිදි යහනට යනවා. මම තවමත් ඔහු සමඟ ප්‍රසංග වේදිකාවට පැමිණෙනවා. ඇත්තටම මම තවමත් ඉන්නේ ඔහුත් සමඟ විවාහ වෙලා”

සැමියාගේ වියෝවෙන් පසු CBS News නාලිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පැවසුවා.

 

Cover photo: සෙලීන් ඩියෝන්/wallpapersafari.com/

මූලාශ්‍රයයන්: celinedion.com/

thelist.com/

biography.com/

tuko.co.ke/

Related Articles