Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිල ඇඳුම් ප්‍රශ්නයකට පාසැල් සිසුන් මරා දැමූ ඒකාධිපති බොකාසා

මෑත කාලීන අප්‍රිකානු ඉතිහාසයේ විවිධාකාරයේ ඒකාධිපතීන් ගණනාවක් ම අපට හමු වනවා. මෙයින් ඉඩි අමීන් පිළිබඳව අප මීට කළින් ඔබ වෙත විස්තර ගෙන ආවා. අද අප විස්තර කරනුයේ ඔහුගේ සමකාලීන ඒකාධිපතියකු පිළිබඳවයි.

ශෝන්-බෙදෙල් බොකාසා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ දෙවන ජනාධිපති වූ අතර ඔහුගේ මමත්වය කෙතෙක් වීද යත් පසු කාලීනව ඔහු තමන් ව අධිරාජයකුගේ තත්ත්වයට උසස් කරගත්තා. ඉඩි අමීන් මෙන් ම බොකාසා ද මිනීමස් කෑ බවට චෝදනා එල්ල වන නමුත් ඒවා ඔප්පු වී නැහැ. කෙසේ නමුත් ඉඩි අමීන් මෙන්ම සිය ප්‍රතිවාදීන් දරුණු වධ බන්ධනයනට ලක් කිරීම පිළිබඳ බොකාසා ද ප්‍රකටයි.

තම බිරිඳකට අයත් සමාගමකින් නිල ඇඳුම් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ පාසැල් සිසුන් පිරිසක් මරා දැමීම ඔහුගේ පාලනයේ ම්ලේච්ඡත්වය මැනවින් පෙන්නුම් කළ අවස්ථාවක් වුණා. ඉන් ටික කලකට පසු බොකාසා හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරනු ලැබුවා. ඉඩි අමීන් මෙන් නොව බොකාසා ඔහුට එරෙහිව වූ චෝදනා පිළිබඳ නඩු විභාගයකට මුහුණ දී වරදකරු කරනු ලැබුණා.

හමුදා සේවය​

බොකාසා උපන්නේ 1921 පෙබරවාරි 22 වනදා වත්මන් මධ්‍යම අප්‍රිකාවේ නිරිතදිග පිහිටි බොබංගුයි ප්‍රදේශයේ. ඔහුගේ පියා ගම් නායකයකු වූ අතර ඔහු ‘ම්බාකා’ ජනවර්ගයට අයත් වුණා. ඔවුන් එවක එම ප්‍රදේශය පාලනය කළ ප්‍රංශ යටත් විජිතවාදීන් සමඟ යහපත් සබඳතා පවත්වාගෙන ගිය අතර නිදහසින් පසුවත් එරට දේශපාලන බලය දැරූවන් වැඩි පිරිස එම ජනවර්ගයට අයත් වනවා.

බොකාසා 1939 දී ප්‍රංශ යටත් විජිත හමුදාවට බැඳුණු අතර ඔහු දෙවන ලෝක යුධ සමයේ නිදහස් ප්‍රංශ හමුදා සමඟ යුධ මෙහෙයුම්වලට සම්බන්ධ වූ බව පැවසෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු 1954 තෙක් ක්‍රියාත්මක වූ ඉන්දු චීන යුද්ධයට බොකාසා සම්බන්ධ වූ බව නිසැකව ම කිව හැකියි. මෙම යුද්ධය 1954 දී නිම වූයේ වියට්නාම් නිදහස් සටන්කාමීන් ‘ඩියෙන් බියෙන් පූ’ සටනේදී ප්‍රංශ හමුදා පරාජය කිරීමත් සමඟයි.

1958 වනවිට බොකාසා ප්‍රංශ යටත් විජිත හමුදාවේ ලුතිනන්වරයකු බවට පත් වුණා. එවකට මධ්‍යම අප්‍රිකාවට නිදහස ප්‍රදානය කිරීමේ සූදානමක් පැවති අතර මේ හේතුවෙන් නව රාජ්‍යයේ යුධ හමුදාව පිහිටුවීම සඳහා බොකාසා ද සම්බන්ධ වුණා.

බොකාසා අධිරාජයා (Getty)

මධ්‍යම අප්‍රිකාවේ නිදහස් සටනට නායකත්වය දුන්නේ බර්තෙලමි බොගන්ඩා නම් නායකයෙක්. නමුත් ඔහු මධ්‍යම අප්‍රිකාව නිදහස ලැබීමට සුළු කලකට පෙර ගුවන් අනතුරකින් මිය ගියා. එහෙයින් 1960 දී නිදහස ලබන අවස්ථාවේ තමන්ට හිතවත් පුද්ගලයකු වූ ඩේවිඩ් ඩැකෝ එරට නායකත්වයට පත් කිරීමට ප්‍රංශයට හැකි වුණා.

ඩැකෝගේ ඥාති සහෝදරයෙකු වූ බොකාසා 1962 ජනවාරි 1 වන දා ප්‍රංශ හමුදාවෙන් ඉවත් ව මධ්‍යම අප්‍රිකානු හමුදාවට එක් වූ අතර ටික කලෙකින් එහි හමුදාපති බවටත් පත් වුණා.

නමුත් වසර කිහිපයක් යන විට ඩැකෝ සහ බොකාසා අතර මත ගැටුම් සහ බල අරගලයක් ඇති වුණා. ඩැකෝගේ පාලනය අසාර්ථක වීමත් බොකාසාට වාසියට සිටි අතර ඩැකෝ බලයෙන් ඉවත් කිරීම කෙරෙහි ප්‍රංශය ද එතරම් විරුද්ධ වූයේ නැහැ.

1965 දෙසැම්බර් 31 වනදා රාත්‍රී 11 ට පමණ බොකාසාට හිතවත් සෙබලුන් බංගි අගනුවර මර්මස්ථාන අල්ලාගැනීමට පටන් ගත්තා. මෙහිදී කපිතාන් ඇලෙක්සැන්ඩර් බැන්සාගෙන් බොකාසාට විශාල සහයක් ලැබුණා. ඩැකෝ නිවාස අඩස්සියට පත් කර 1966 ජනවාරි 1 වනදා ඩැකෝ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව නිවේදනය කෙරුණා. මේ අනුව බොකාසා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ දෙවන ජනාධිපති බවට පත් වුණා.

ජනාධිපති බොකාසා

ජනාධිපති ධූරයට පත් වූ අලුත බොකාසා අනුගමනය කළ ඇතැම් ක්‍රියාමාර්ග බෙහෙවින් ජනප්‍රිය වුණා. ඔහු රටේ පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමට කටයුතු කළ අතර ආහාර නිෂ්පාදනය සහ සැපයුම ද ක්‍රමවත් කිරීමට පියවර ගත්තා.

බොකාසා හමුදාපති සමයේ පටන් ම දැක්වූ පුහු ආටෝපයට ඇති කැමැත්ත ජනාධිපති වීමෙන් පසු තවත් වැඩි වූවා මිස අඩු වූයේ නම් නැහැ. ජනාධිපති ධූරයට පත් මුල් කාලයේදී පැවති තත්ත්වය යහපත් අතට හැරවීමෙන් පසු එම ධූරයෙන් ඉවත් වීමේ අදහසක් බොකාසා තුළ වූ බව ඇතැම් වාර්තා අනුව කියැවෙනවා. නමුත් බලයෙහි රස වැටුණ ඔහු දිගටම එය තමන් වෙත තබා ගැනීම පිණිස කළ හැකි සියල්ලක් ම සිදු කළා.

ඔහුට බලයට පැමිණීමට උපකාර කළ බැන්සා ඔහුව බලයෙන් නෙරපීමට සූදානම් වන බව සැක කළ බොකාසා 1969 දී බැන්සා අත්අඩංගුවට ගෙන වධ දී, මරණ දඬුවමට ලක් කරනු ලැබුවා. ඉන්පසු අවස්ථා කිහිපයකදීම සත්‍ය මෙන්ම මවාගත් හමුදා කුමන්ත්‍රණවලට සම්බන්ධ වූ බවට සැක කළ අයව බොකාසා විසින් මරණ දඬුවමට ලක් කෙරුණා.

බොකාසා අධිරාජයා සහ කැතරින් අධිරාජිණිය (huffingtonpost)

මෙයින් වඩාත් ප්‍රකට වූයේ 1976 පෙබරවාරියේදී බංගි අගනුවර ගුවන් තොටුපළේදී ඔහු ඝාතනය කිරීමට කළ උත්සාහයයි. එයට සම්බන්ධ බවට සැක කළ ඔහුගේ බෑණනුවන් මරා දැමීමට බොකාසා කටයුතු කළා.

මේ අතර බොකාසා අධික වියදම් සහිත ජීවිතයකට හුරු වුණා. කුඩා රාජ්‍යයක් වූ මධ්‍යම අප්‍රිකානු ජනරජයට මෙය කිසි අයුරකින් හෝ දරා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. තවද රටේ රාජ්‍ය දේපළ පුද්ගලීකරණ වැඩපිළිවෙලක් ද ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද අතර එයින් පසු එම දේපළ බොහොමයක් ඔහු හෝ ඔහුගේ පවුලේ අයට හිමි වනු දක්නට ලැබුණා.

පළමු වන බොකාසා අධිරාජයා

1976 වසරේ දෙසැම්බර් 4 වනදා බොකාසා නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් සිය රාජ්‍යය එදින පටන් අධිරාජ්‍යයක් ලෙස හැඳින්වෙන බව ප්‍රකාශ කළා. ඔහුගේ ප්‍රියතම බිරිඳගේ පුත්‍රයා සිය කිරුළ හිමි කුමරු බවට පත් කළ ඔහු සිය රාජ වංශය බොකාසා රාජ වංශය ලෙස හැඳින්වූවා. ඔහු මෙම නව තනතුර තමන් වෙත පවරා ගැනීමට දෙසැම්බර් 4 වනදා තෝරාගත්තේ එය 1804 දී නැපෝලියන් අධිරාජයා කිරුළු පළන් දිනය වූ නිසායි. ඊට හේතු වූයේ බොකාසා නැපෝලියන්ව සිය වීරයා ලෙස සළකනු ලැබීමයි.

මීට හරියටම වසරකට පසු 1977 දෙසැම්බර් 4 වනදා බොකාසා සිය කිරුළ පැළඳීමේ උත්සවය පැවැත්වූවා. ඊට වියදම් කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් – 30 ක් අතර වන්නට ඇතැයි සැළකෙනවා. ඔහු මෙම උත්සවයට තේමාව බවට පත් කරගත්තේ ද නැපෝලියන් ගේ කිරුළු පැළඳීමේ උත්සවයයි.

මෙම අධික වියදම් හමුවේ රට බංකොලොත් වූ අතර බොකාසාගේ අතින් පාලනය ගිලිහෙන ලකුණු පහළ වුණා. සිවිල් සේවකයන්ට වැටුප් ගෙවීම ඔහුගේ රජයට වූ විශාල අභියෝගයක් වුණා. වැටුප් නොලද හමුදා සෙබලුන් ඇත් දළ ජාවාරමට පෙළඹුණේ රටේ ඇත් ගහනය ද තර්ජනයට ලක් කරමින්. රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ දියමන්ති කර්මාන්තය ද අකාර්යක්ෂමතාව හේතුවෙන් කඩා වැටී තිබුණා. මේ අතර මෙතෙක් කල් ඔහුට සහය දක්වමින් සිටි ප්‍රංශය ද බොකාසාගෙන් ඈත් වීමට පටන් ගත්තා.

අවසානය වේගවත් වූයේ 1979 ජනවාරි 18 වනදා බංගි අගනුවර ඇතිවූ විරෝධතා සමඟයි. බොකාසා නව රෙගුලාසියක් ගෙනෙමින් සියලු පාසැල් සහ සරසවි සිසුන් නිල ඇඳුම් ඇඳිය යුතු බව නියෝග කළා. මෙම නිල ඇඳුම් රෙදි ගෙන්වනු ලැබූ සමාගම අයත් වූයේ ඔහුගේ බිරිඳ වූ කැතරින් අධිරාජිණියටයි. මෙම නියෝගයට එරෙහිව සිසුන් වීථි බැස්සා.

බොකාසා ප්‍රංශයේ තමන්ට අයත් බලකොටුව ඉදිරිපිට 1985 දී (AP)

හමුදාව විරෝධතාකරුවන්ට වෙඩි තැබූ අතර මියගිය ගණන ඇතැම් විට සියයකට අධික වුණා. එහෙත් විරෝධතාවයන් නැවතුණේ නැහැ. එය තවත් සති කිහිපයක් තිස්සේ ඇදී යනු දක්නට ලැබුණා. කෝපයට පත් බොකාසා අප්‍රේල් මාසයේ දිනෙක මෙම විරෝධතාවයේ නායකයන් අත් අඩංගුවට ගැනීමට අණ කළා. මේ අනුව බොහෝ කොටම වයස අවුරුදු 12 -16 අතර වූ පාසැල් සිසුන් අත් අඩංගුවට ගනු ලැබුණා. මේ අය අතර වයස අවුරුදු 8 පමණ වූ සිසුන් ද සිටි බව කියැවුණා.

එදින රාත්‍රියේ මෙම සිසුන්ට පහර දීමෙන් සහ වෙනත් ආකාරයෙන් වධයන්ට භාජනය කිරීමෙන් සියයක හෝ ඊට වැඩි පිරිසක් මරා දැමුණා. බොකාසා ද පුද්ගලිකව ඊට සහභාගී වූ බව සඳහන් වෙනවා.

මෙම ඝාතනවල තොරතුරු ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් එළි කෙරුණ අතර පසුව පත් කරන ලද ජාත්‍යන්තර කොමිසමක් මගින් සනාථ කරනු ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රංශ රජය බොකාසා බලයෙන් පහ කිරීමට පියවර ගත්තා. මේ අනුව 1979 සැප්තැම්බරයේදී ප්‍රංශ පැරෂුට් භටයන් විසින් ඩේවිඩ් ඩැකෝ යළි ජනාධිපති තනතුරේ පිහිටුවනු ලැබුවා. බොකාසා අයිවරි කෝස්ට් රාජ්‍යයට පළා ගිය අතර පසුව ඔහුට ප්‍රංශයට පැමිණීමට අවසර දෙනු ලැබුවා.

යළි පැමිණීම​

බොකාසාට විරුද්ධව මධ්‍යම අප්‍රිකා ජනරජයේදී ඔහු නොමැතිව නඩු විභාගයක් පවත්වන ලද අතර ඒ අනුව 1980 දී ඔහුට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම දෙනු ලැබුණා. 1986 දී සියල්ලන් මවිතයට පත් කරමින් බොකාසා සිය රට පැමිණියා. ඔහුට එරෙහිව යළි නඩු විභාගයක් පැවති අතර එහිදී ඝාතනයන් කිහිපයක් සහ පාසැල් සිසුන් මරා දැමීම සම්බන්ධව ඔහුට එරෙහි නඩු විභාග කෙරුණා. ඒවා ඔප්පු කරන ලදුව ඔහුට මරණ දඬුවම පැනවුණා.

බොකාසා සිය නඩුවේදී (Getty)

කෙසේ වෙතත් පසුව මෙම දඬුවම වසර 20 ක සිර දඬුවමක් බවට පත් කෙරුණ අතර 1993 දී ඔහු නිදහස් කිරීමට එවක රජය පියවර ගත්තා. ඉන් තුන් වසරකට පසු බොකාසා සිය රටේදී ම මරණයට පත් වුණා.

මියයන තුරුම බොකාසා තම නිදොස්භාවය ප්‍රකාශ කරමින් සිටි අතර ඔහු තමන් කළ අපරාධ පිළිබඳව කිසිදු පසු තැවීමක් පෙන්නුම් කළේ නැහැ. ඊට හොඳම උදාහරණය නම් 1993 දී නිදහස ලැබූ පසු එම වසරේ ම පැවති මධ්‍යම අප්‍රිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉල්ලුම් කිරීමයි. ඔහු එම ඉල්ලීම කළේ ද පළමු වන බොකාසා යන නමින්. කෙසේ නමුත් බොකාසා යනු අප්‍රිකාවේ සිටි දරුණුම ඒකාධිපතියකු ලෙස ඉතිහාසගත වී අවසන්.

Cover Image: බොකාසා කිරුළු පළඳී (Getty)

Related Articles