Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නෙ කොහොමදැ යි කියා දෙන, කැලුම් වැලිගම

‘කැලුම් වැලිගම’ කියන්නෙ ඔබට එතරම් නුහුරු නමක් නොවන බව අපි දන්නවා. Positive Thinking, එහෙමත් නැත්නම් ධනාත්මක චින්තනය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබ කාගේත් මතකයේ රැඳුණු, “ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නෙ කොහොමද?” කියලා ඔබට කියා දෙන ‘ඔහු’ එක්ක Roar සිංහල අපි ටිකක් කතා කළා. මේ ඒ අපූරු කතාබහේ රසමුසු තැන් කිහිපයක්.  

ඔබ වෘත්තීමය වශයෙන්පුද්ගල සංවර්ධනය  පිළිබඳ උපදේශකවරයෙකු’ නොවුණා නම් කවුරුන් වේවි ? අපි එතනින් කතාව පටන් ගමු.

ඒ ප්‍රශ්නයට වෙන උත්තරයක් නැහැ. මම ඉපදුනේ සහ පවතින්නේ පුද්ගල සංවර්ධන දේශකයෙක් සහ ලේඛකයෙක් වෙන්නම යි.

“සිහින”, හීන නොවෙන්නට ඉඩ නොදෙන්නේ කොහොම ද?

‘සිහින’ වෙනුවෙන් කැපවෙන්න ඕන. ඒ වගේම ‘කැපකිරීම්’ කරන්නත් ඕන. සිහින ‘යථාර්ථයක්’ බවට පත් කරන්න නම්, ඔය දේවල් දෙකම එකවර හෝ විටින් විට කරන්න වෙනවා. ඒ දේවල් නොකර ‘ඔව් මට පුළුවන්’ කියලා මතුර මතුර සිටීම සිහින සැබෑ නොකරගන්න හොඳම ක්‍රමය වෙනවා.

කැලුම් වැලිගම (පුද්ගල සංවර්ධනය පිළිබඳ දේශක/ ලේඛක) – kelumweligama.lk

ලංකාවේඅධ්‍යාපන ක්ෂේත්‍රය හා ක්‍රමවේදය’ ගැන කැලුම්ගේ අදහස?

ජීවත් වෙන්න දන්නේ නැති විභාග සමතුන් හදන ක්‍රමයට අපේ රටේ අධ්‍යාපනය කියලා කියනවා. විභාග සමත් කරන්න නොවේ, හොඳින් ජීවත් වෙන්න උගන්වන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යය යි. එහෙම නැති වුණොත් විභාග ඉහළින්ම සමත් මානසික දුබලයින් පිරිසක් තමයි මේ යන ක්‍රමයට ගියොත් රට තුළ නිර්මාණය වෙන්නේ.

රට බොහොම අසාරයි, ඉන්න උන්ගෙන් විකාරයිකියලා හිතෙන්නෙ නැද්ද?

රට අසාර්ථක යි කියලා ආර්ථීක වර්ධන වේගය සහ රුපියලේ අගය පිරිහීම පමණක් සලකා බැලුවත් සරලව කියන්න පුළුවන්. ඒකට හේතුව, රට හදන්න කියලා අපි යවපු බොහෝ මිනිස්සු වැරදි අය. ඒ නිසා රටේ අසාර්ථකත්වයට වගකියන්න  ඕන අපි මිසෙක දියවන්නාවේ ඉන්න අය නෙවෙයි. හරියට පාරේ යන්න දන්නේ නැති වැඩිහිටි මිනිස්සු ඉන්න රටක් මෙහෙම හරි පවතින එක ගැන මට තියෙන්නේ පුදුමාකාර සතුටක්.

කැලුම් වැලිගම- youtube

විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය වීම ගැන ඔබේ මතය?

මමත් රාජ්‍ය‍ සරසවියක අධ්‍යාපනය ලැබූ කෙනෙක්. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල අලුතින් රට තුළ නිර්මාණය කරන්න ඕන. එහෙත් ඒවා ගුණාත්මකභාවයෙන් සහ ප්‍රමිතියෙන් උසස් ඒවා වෙන්න ඕන. නමුත් පවතින රාජ්‍ය සරසවි පෞද්ගලීකරණය කිරීම නොකළ යුතු දෙයක්. උසස් රාජ්‍ය සරසවි රටක තියෙන එක එම රටට අභිමානයක්.

අපේ රට ට්‍රිලියන ගාණක් ණය යි ලු නේද? මොකද්ද මේකෙන් ගොඩඑන්න කරන්න ඕනි, කැලුම්ට අනුව?

වැඩ කරන්න. තව වැඩ කරන්න. තව තවත් වැඩ කරන්න.

මේ මොහොතේ බිහිවෙමින් තිබෙන අලුත් නිර්මාණකරුවන්ගේ නිර්මාණ ගැන පොදුවේ කතා කළොත්?

ශ්‍රී ලංකාවට සාපෙක්ෂව හොඳ ඒවා බිහිවෙනවා. නමුත් ලෝක මට්ටමෙන් බැලුවාම අපට තව බොහෝ දේවල් කරන්න තියෙනවා. ඒ වගේම අපේ රටේ නිර්මාණ රසවිඳින රසික ප‍්‍රජාවේ බහුතරය තවමත් අවදානමක් අරගෙන වෙනස් සහ වටිනා කලාත්මක දේවල් රසවිඳින්න පෙළඹෙන්නේ නැහැ. ඒ රසවින්දනාත්මක කම්මැලිකම හොඳ දේවල් අඩුවෙන් බිහිවෙන්නත් හේතුවක්.

කැලුම් වැලිගම විසින් රචිත පොත් කිහිපයක් – kelumweligama.lk

කැලුම්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් පුද්ගල සංවර්ධනය පිළිබඳ පොත් විතරම ද? ඊට වෙනස් යමක් සහෘදයාට පිරිනමන්න අදහසක් නැද්ද?

මම ලියපු පුද්ගල සංවර්ධන පොත්වලට අමතරව ‘පර්සෝනා’ කියලා නවකතාවක් 2017 නිකුත් කළා. එය විලාසිතා, ආදරය, බලය, සහ ආත්ම විශ්වාසය යන තේමා ඔස්සේ නිර්මාණය වුණ නවකතාවක්. මේ වන විට එහි පස්වැනි මුද්‍රණයත් නිකුත් වෙලා අවසාන යි. ඉදිරියේ දී නවකතා සමහරවිට මම ලියයි. නමුත් මම කැමැති පුද්ගල සංවර්ධන පොත් ලියන්න. මිනිස්සු ඒ පොත් කියවලා, ජීවිතය තුළ ඔවුන් කරගත්ත පුංචි හෝ යහපත් වෙනසක් ගැන කියද්දි ලැබෙන සතුට රැස්කරන්න මම දැන් ඇබ්බැහි වෙලා.

Roar සිංහල’ අපි ගැන ඔබ දකින්නේ කොහොමද කියලාම අපි අදට මේ කතා බහ නිමා කරමු.

ලයික්වලින් මිනිස්සුන්ගේ වටිනාකම මනින ලෝකයක, මිනිස්සුන්ට වටිනාකමක් එක්කරන්න වටිනා දේවල් දෙන්න උත්සාහ කරන සයිබර් සඟරාවක් වශයෙන් ‘Roar සිංහල’ මගේ මනස තුළ මනාව ස්ථානගත වෙලා ඉන්නවා. තවත් හොඳ දේවල් කරන්න ශක්තිය සහ හැකියාව ‘Roar සිංහල’ කණ්ඩායමට තියෙනවා.

මේ වගේ කතාබහකට ඊළඟට හොඳ මොන වගේ ‘චරිතයක්’ ද? ඔබේ යෝජනාව කමෙන්ට් එකක් විදියට අපට කියන්න.

කවරයේ පින්තූරය: Roar Media

Related Articles