Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියානු සාහිත්‍යයේ නව යුගයේ ලකුණ – චේතන් භගත්

ඉන්දියාව අතීතයේ පටන් විශිෂ්ට සාහිත්‍යධරයින් ලොවට දායාද කළ රටක්. රාමායනය ලියූ වාල්මිකී පටන් විසිවන සියවසේ ජීවත් වූ මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර්, ලේඛක විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යායි දක්වා එහි බිහිවූ සාහිත්‍ය රසකාමීන් ගේ ගණන අති විශාල යි. මෙම ප්‍රවණතාව වර්තමානය වන විසි එක් වන සියවස වන විට ද එරටින් වි‍යැකී ගොස් නැහැ. නව යුගයේ එරටින් බිහි වූ විශිෂ්ටතම රචකයින් අතර ඉදිරියෙන්ම කියැවෙන නමක් ලෙස චේතන් භගත් හැඳින්විය හැකි යි.

චේතන්  භගත් ගේ දිවියේ මුල් කාලය

චේතන් භගත්- indianexpress.com

චේතන් භගත් හැඳින්වෙන්නේ ඉන්දියානු සාහිත්‍ය අඹරෙහි නැගී එන රන් තාරකාවක් ලෙස යි. ඔහු නවකතා රචකයෙකු, පුවත්පත් තීරු ලිපි රචකයෙකු, ප්‍රසිද්ධ කථකයෙකු මෙන්ම තිර පිටපත් රචකයෙකු ලෙසත් කටයුතු කරනවා. මෑත අතීතයේ වඩාත් ජන ප්‍රසාදයට පත් වූ කෘති අතර Five Point Someone, The 3 Mistakes of My Life, සහ 2 States වෙනවා. විශේෂයෙන් ඔහුගේ ලිවීම්වල අන්තර්ගතය වර්තමාන තරුණ ප්‍රජාව මුහුණපාන ගැටළු හා ඔවුන්ගේ මනෝභාවයන් වීම නිසා ඔහු ඉන්දීය තරුණ ප්‍රජාව අතර ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය වුණා.

චේතන් භගත් උපත ලැබුවේ 1974 වසරේ අප්‍රේල් මස 22 වන දා ඉන්දියාවේ නවදිල්ලියේහි දී යි. ඔහුගේ පවුල සාම්ප්‍රදායික පන්ජාබ් මධ්‍යම පාන්තික එකක්. ඔහුගේ පියා ඉන්දියානු යුධ හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු වශයෙන් ක්‍රියා කළ අතර මව කෘෂිකර්ම දෙපාර්තාමේන්තුවේ  සේවය කළා.

චේතන් සිය මූලික හා ද්විතියික අධ්‍යාපනය ලැබුවේ නවදිල්ලියේ දීම යි. 1978 වසරේ දී ඔහු නවදිල්ලි යුධ හමුදා රජයේ පාසලට අනුයුක්ත කෙරුණු අතර, එහිදී සාර්ථකව පාසල් අධ්‍යාපනය නිමා කළ ඔහු නවදිල්ලියේම ඉන්දියානු තාක්ෂණික ආයතනය හා සම්බන්ධ වූයේ යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව හැදෑරීමට යි. එහි අධ්‍යාපනය ද හොඳින් සම්පූර්ණ කරන චේතන්, අනතුරුව අහමදාබාද්හි ඉන්දියානු කලමණාකරණ ආයතනයට අනුයුක්ත වුණා. මෙහිදී හමු වූ අනූෂා සූර්යනාරායනන් නම් ශිෂ්‍යාව හා පෙමින් බැඳුණු ඔහු ඇය හා විවාහ වී හොංකොං බලා යනවා. එහිදී 11 වසරක් ඔහු බැංකු ක්ෂේත්‍රයේ උසස් රැකියාවක නිරත වෙනවා.

බැංකු රැකියාවෙන් පමණක් සෑහීමකට පත් නොවූ චේතන් නැවතත් ඉන්දියාව බලා පැමිණෙනවා. ඔහු මෙවර පදිංචිය සඳහා තෝරාගන්නේ මුම්බායි නුවර යි. මුම්බායි නුවර දී ඔහුට වාසනාව උදාවෙනවා. ඒ මෙතෙක් කාලයක් සිතේ සිර කරගෙන සිටිය ද හරියාකාරයෙන් ඉවතට නොගත් ඔහු තුල වූ දක්ෂ ලේඛකයා ඉවතට ගැනීමට ඔහු තීරණය කිරීමත් සමග යි.

නව යුගයේ ලේඛකයෙකු ලෙස

බැංකු ක්ෂේත්‍රයේ නියැලෙමින් සිටිය දීම චේතන් භගත් ඔහුගේ පළමු නවකතා ද්විත්වය සඳහා මූලික සටහන් ලිවීම ආරම්භ කරනවා. මේ අනුව ඔහු 2004 වසරේ දී හෙවත් තිස් වන වියේ දී සිය ප්‍රථම නවකතාව එළිදක්වනවා. ඔහු එය නම් කර තිබුණේ Five Point Someone – What not to do at IIT! ලෙස යි. මෙහි කතා තේමාව වනුයේ ඉතා ඉහළ සාමාර්ථ ලබාගත් යාන්ත්‍රික ඉන්ජිනේරු ශිෂ්‍යයින් තිදෙනෙකු ගේ ජීවිත ගලා යන ආකාරය යි. මෙම කතාව ගොඩනැංවීමේ දී ඔහු සිය ජීවිත අත්දැකීම් මොනවට උපයෝගී කොටගෙන තිබූ අතර, ඉන්දියානු කාර්මික විද්‍යාල ඇතුළු රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ලකුණු ලබාදීමේ හා කාණ්ඩගත කිරීමේ පටිපාටියේ ඇති අසාර්ථක බව හොඳින්ම විවේචනය කර තිබුණා. මේ හේතුව නිසා ගිරවුන් ලෙස පාඩම් කරන සිසුන් ඉදිරියට එන ආකාරය හා වඩා බුද්ධිමත්, ප්‍රායෝගිකව සිතන සිසුන් පසුපසට යන ආකාරය ඔහු සිත්ගන්නා සුළු ආකාරයෙන් ඉදිරිපත් කර තිබුණා. එමෙන්ම එහි සුගම භාෂා විලාසයත්, ප්‍රථම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන් ඉදිරිපත් කර තිබීමත් උක්ත ගැටළුවලින් තැලී පොඩිවී සිටි ඉන්දියානු තරුණ ප්‍රජාව ආකර්ෂණය කර ගැනීමට සමත් වුණා. මෙහිදී සාම්ප්‍රදායික ඉන්දියානු ඉගැන්වීම් ක්‍රමවල අකාර්යයක්ෂමතාව පිළිබඳවත් චේතන් ඉතා දැඩි ලෙස ගෙන හැර පා තිබුණා. විශේෂයෙන් උක්ත හේතු නිසා ඉන්දියාවෙන් බිහි වන ඉංජිනේරුවන් වැඩි දෙනා යමක් නිර්මාණශීලී හා ප්‍රායෝගික ලෙස සිතා වැඩ කළ හැකි අය නොවන බවත්, ගිරවුන් මෙන් පාඩම් කළ හැකි පිරිසක් පමණක් බවත් ඔහු සිය නිර්මාණයෙන් ඉතා සාර්ථක ලෙස ජනගත කොට තිබූ අතර, නිර්මාණශීලී මිනිසුන් ඉදිරියට ගත යුතු බවට තර්ක කොට තිබුණා.

ලේඛකයාගේ වෙනත් නිර්මාණ

3 Idiots (2009) – learningandcreativity.com

චේතන් භගත් ගේ Five Point Someone නිර්මාණශීලී භාවයෙන් මෙන්ම ආර්ථික අතින් ද ඉතා සාර්ථක නවකතාවක් වුණා. මේ නිසා ඇති වූ අතිශය ජනප්‍රිය භාවය හේතුවන් ඔහු දිගින් දිගටම ලේඛණ කලාවට යොමු වුණා. ඔහු ලේඛකයෙකු ලෙස සාර්ථකත්වයේ හිණිපෙත්තේ තැබීමට සමත් වූයේ ද මෙම නවකතාව යි. එය කෙතරම් ජනප්‍රිය වී ද යත් 2009 වසරේ දී 3 Idiots නම් සිනමා නිර්මාණයකට ද නැගුණා. එම සිනමාපටයත් අතිශය සාර්ථකත්වයට පත් වුණා. ඔහුගේ දෙවන නවකතාව වන One Night At A Call Center ද එලෙසම ජනප්‍රිය වූ අතර එය පසුකාලීනව සිනමාවට නැගුණේ Hello යන නාමයෙනු යි. එහි තිර පිටපත් රචනය ද චේතන් භගත් විසින්ම සිදුකෙරුණා. කෙසේ නමුත් එය එතරම් ජනප්‍රිය වූයේ නැහැ. සිනමාපටය අසාර්ථක එකක් ලෙස නම් කෙරුණා. මෙමඟින් අධෛර්යයට පත් නොවූ ඔහු සිය තෙවන නවකතාව වන The 3 Mistakes of My Life 2008 වසරේ දී ලියා පල කළා. මෙහි ප්‍රධාන කතා තේමාවට ක්‍රිකට් ක්‍රීඩාව ද සම්බන්ධව තිබුණා. මේ හට පාඨකයා ගෙන් සුභවාදී ප්‍රතිචාර ලැබීමත් සමග නැවතත් චේතන් පිළිබඳව ලෝකයා කතා වෙන්නට පටන් ගත්තා. මේ නවකතාවද 2013 වසරේ දී Kai Po Che! නමින් සිනමා පටයකට නැගුණු අතර, එය සාර්ථක වුණා.

චේතන් භගත් ගේ සිව්වන නවකතාව වූයේ Two States නම් කෘතිය යි. එය යම් ආකාරයකින් ඔහුගේ ස්වයං චරිතාපතානයක් වුණා. මෙහිදී ඔහු විවේචනයට ලක් කොට තිබුණේ බහු වාර්ගික හෝ බහු සංස්කෘතික විවාහයක දී යුවලක් මුහුණපාන ගැටළු පිළිබඳව යි. මෙය ඇත්තෙන්ම ඔහු හා ඔහුගේ බිරිය මුහුණපෑ ගැටළුවක් වුණා. මෙහිදී ඉන්දියානුවන් විවාහයක දී සලකනු ලබන සමහරක් අමනොඥ කරුණු පිළිබඳව ඔහු තදින් හා උපහාසාත්මකව විවේචනය කොට තිබුණා. මෙය ද ඉතා සාර්ථක වුණා.

චේතන් භගත් බිරිය සමග- merepix.com

චේතන් විසින් පසුකාලීනව තවත් කෘති පහක් රචනා කළා. මේවා Revolution 2020, What Young India Wants, Half Girlfriend, One Indian Girl, හා The Girl in Room 105 නම් වූ අතර පෙර කෘති මෙන්ම ජනප්‍රසාදයට ලක් වුණා. සිය ලේඛණ කටයුතු සඳහා ඔහු සම්මාන කීපයකටම පාත්‍ර වූ අතර, ඒ අතර හොඳම තිර පිටපත් රචනය උදෙසා ලැබුණු ෆිල්ම්ෆෙයාර් සම්මානයකුත් තිබෙනවා.

කවරයේ පින්තූරය- feminisminindia.com

Related Articles