බෞද්ධ ලෝකයේ බලවතා වීමට සිහින දුටු චූලාලංකාර රජු

චූලාලොන්කෝන්, නැතිනම් ලංකාවේ හුරුවට “චූලාලංකාර” කියලා අපි ආමන්ත්‍රණය කරන තායි රජතුමා තමයි තායිලන්තය සුදු ජාතිකයින්ට යටත් වෙන්නට නොදී ස්වාධීන රාජ්‍යයක් විදිහට දියුණු කළ පාලකයා. වර්ෂ 1868 ඉදලා 1910 දක්වා තායිලන්තයේ රජකම් කළ එතුමාට තවත් එක් සිහිනයක් තිබුණා. ඒ, ‌‌‌බෞද්ධ ලෝකයේම නායකයා වීම යි. නමුත් අපේ රටේ ප්‍රභූවරයෙකුගේ ක්‍රියාවක් නිසා මේ රජතුමා තමන්ගේ ඒ සිහිනය අතහැරලා දැම්මා කියලා කිව්වොත් ඔබට විශ්වාස කරන්න පුළුවන් ද?

ඉතින් මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ චූලාලංකාර රජුගේ ජීවිත කතාව සහ ඉහත සඳහන් කරන ලද ලාංකික ප්‍රභූවරයා සම්බන්ධ සිදුවීම යි.

මුල් අවධියේ ජීවිතය

1853 සැප්තැම්බර් 20 වන දින තායිලන්තයේ බැංකොක්හි දී චූලාලොන්කෝන් කුමරු උපත ලැබූවේ තායිලන්ත රාම රජ පෙළපතේ හතරවන රජු වූ මොන්කුට් රජුගේ නව වැනි දරුවා විදිහට. ඒ්ත් ඩෙබ්සිරින්දා නම් රාජකීය බිසවකට දාව උපන් පළමු පුත්‍රයා වූණේ චූලාලංකාර කුමරු නිසා කුඩාකල සිටම ඔහු සිංහාසනයේ උරුමක්කාරයා ලෙස කවුරුත් සලකනු ලැබුවා. මේ නිසාම මොන්කුට් රජු ඔහුට බටහිර අධ්‍යාපනය ලබා දුන්නේ ඇනා ලියොනොවන්ස් වැනි උගතුන්ගේ ද උපදෙස් ඇතිව යි.

චූලාලංකාර රජු/Wikimedia

 

1866 වසරේ දී, රාජකීය සම්ප්‍රදායට අනුව සය මාසයක තාවකාලික පැවිද්දකට ඇතුළුවන මේ කුමරා නැවත ගිහිබවට පත් වුණාට පසුව සූර්යග්‍රහණයක් නැරඹීම සඳහා තම පියා සමග මැලේ අර්ධද්වීපයට යනවා. ඒ ගිය ගමන හේතුවෙන් දෙදෙනාම මැලේරියා රෝගයට ගොදුරුවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 1868 ඔක්තෝබර් 01 වන දින මොන්කුට් රජු මියයනවා.

රජකමට පත්වීම

එවකට තායිලන්ත රජයේ බලවත්ම නිලධාරියා වූ එස්. සූරියවොන්ග්‌සෙගේ මැදිහත්වීමෙන් චූලාලොන්කෝන් කුමරුන් සිංහාසනයට පත්වීම ස්ථිර වන අතර, 1868 නොවැම්බර් 11 වන දින ඔහු රාජ්‍ය කටයුතු භාරගනු ලබනවා. චූලාලොන්කෝන් තම සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරුණු පසු රාජ්‍ය පාලන කටයුතුවලට මැදිහත් වෙනවා. 

අලුත් රජතුමා තමන්ගේ ප්‍රථම රාජකාරිය විදියට බ්‍රිතාන්‍ය යටත්විජිතවල පරිපාලනය හදාරන්න 1870 දී සිංගප්පූරුවට සහ ජාවාවලටත්, 1872 දී ඉන්දියාවටත් ගියා. තායිලන්තයේ පසුකාලීනව සිදුවුණු ප්‍රතිසංස්කරණවලට මේ සංචාරයන් මුල්වුණා කියලා කියනවා. එතුමා 1873 නොවැම්බර් 16 වන දින “පස්වන රාම” ලෙස නිල වශයෙන් අභිශේක වෙලා කිරුළු පළඳිනවා.

චූලාලංකාර රජතුමා සිය සහෝදරයන්ගේ හා තරුණ මිතුරන්ගේ සහාය ඇතිව රාජ්‍යයේ පැවතුනු පැරණි ක්‍රමයේ ප්‍රතිසංස්කරණ එකතු කිරීම ආරම්භ කරනවා. බලයට පත්වීමෙන් අනතුරුව තායිලන්තය භෞතික සහ සමාජයීය වශයෙන් දියුණු තත්ත්වයකට ගෙන ඒම සඳහා සුවිශේෂී මෙහෙවරක් කරන ලද අයෙකු ලෙස එතුමා ඉතිහාසගතව සිටිනවා.

රටේ ප්‍රතිසංස්කරණ

 

මහා බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරයන් අතරවාරයේ ලබාගත් දැනුම, සහ ඩම්රොන්ග් නම් කුමරුගේ යෝජනාවක් මත, 1897 වසරේ දී චූලාලංකාර රජු මොන්ටන් ක්‍රමය ස්ථාපිත කළා. එම ක්‍රමය යටතේ පළාත, නගරය, ඇම්ෆෝ, තම්බොන්ග්, සහ මුබන් (ගම) යන පරිපාලන ඒකක පිහිටුවනු ලැබුවා. ඒ ඒ මොන්ටන් ඒකකවල පරිපාලන කටයුතු සඳහා අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නිලධාරියෙකු පත්කළ අතර, මෙම ක්‍රමය ස්ථාපිත කිරීමත් සමග ප්‍රාදේශීය අධිකාරීන්ගේ බලය බිඳ වැටුනා. එසේම සියලුම ප්‍රදේශ මොන්ටන් ක්‍රමය යටතේ මධ්‍යම පාලන තන්ත්‍රය යටතට පත්වුණා.

රජු සහ රැජින/Wikimedia 

කෙසේ නමුත් ප්‍රාදේශීය පාලකයින් සිය කැමැත්තෙන් බලය අත් නොහැරි අතර, එනිසා 1901 – 1903 අතර කාලයේ දී කැරලි තුනකට මුහුණ දෙන්න රජුට සිදුවෙනවා. නමුත් ප්‍රාදේශීය පාලකයින්ගේ බලය විසුරුවා හැරීමත් සමග සියලු කැරලි අවසාන වෙනවා.

තායිලන්තය තුළ එවකට ක්‍රියාත්මක වෙමින් පැවැති වැඩවසම් සමාජ ක්‍රමය බිඳ දැමීම පිළිබඳ ගෞරවය ලැබිය යුත්තේ චූලාලංකාර රජු යි. මෙහිදී ජන කැලඹීමක් නොවන අයුරින්, අවශ්‍ය පියවර සූක්ෂමව ගැනීමටත් එතුමා දක්ෂ වුණා. මේ කාලය වන විට, යම් කිසිවෙකුගෙන් ණය මුදලක් ලබාගත් අයෙකුට එම ණය මුදල ගෙවාගත නොහැකි වුවහොත් ණය ලබාදුන් තැනැත්තාගේ වහලෙකු බවට පත්වීමට සිදුවුණා. විශේෂයෙන්ම තායිලන්තයේ පැවැති අසීරු ජීවන තත්ත්වය නිසා බොහෝ දෙනෙකුට මෙයාකාරයෙන් වහලුන් බවට පත්වීමට සිදුවුණා. මෙය කොපමණ දරුණු ද කිව්වොත්, 1867 වසරේ වන සමස්ත තායිලන්ත ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වහලුන් බවට පත්ව සිටියා.

කෙසේ නමුත් චූලාලංකාර රජු, තමන් රාජ්‍යත්වයට පත් වූ 1867 වසරේ උපත ලැබූ සියලුම දෙනා වයස අවුරුදු 21 සම්පූර්ණ වූ විට වහල්භාවයෙන් නිදහස් කිරීම සඳහා වන නීතියක් 1874 වසරේ දී සම්පාදනය කළා. නිදහස් කරන ලද තරුණයින් ගොවීන් හෝ වෙළඳුන් ලෙස සිය ජීවිකාව ඇරඹුවා. 1905 වසරේ දී ගෙනෙන ලද පනතක් මඟින් තායිලන්තයේ සියලුම ආකාරයේ වැඩවසම් කටයුතු තුරන් කරන්නත් මේ රජුට පුළුවන් වුණා. එමෙන්ම 1900 වසරේ දී, සියලුම ශ්‍රමිකයන්ට මුදල් ගෙවිය යුතු බවත්, වැඩ කිරීම සඳහා කිසිවෙකුට බලපෑම් නොකළ යුතු බවටත් සඳහන් කරමින් නව පනතක් ද ක්‍රියාත්මක කෙරුනා.

1873 දී එරට තුළ දණ්ඩනමස්කාරය තහනම් කරපු රජ්ජුරුවෝ, ප්‍රභූන්ට ගරු කිරීම සඳහා දණ නැවීම අවශ්‍ය නොවන බවත්, හිස නමා ආචාර කිරීම පමණක් ප්‍රමාණවත් බවත් සඳහන් කළා.

මීට අමතරව රටේ අධ්‍යාපන තත්ත්වය දියුණු කරන්නට කටයුතු කළ ඔහු බටහිරට ගොස් අධ්‍යාපනය ලැබීමට කැමති ශිෂ්‍යයන්ට උපකාරයක් වශයෙන් චූලාලංකාර ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ කළා. 1901 වසරේ දී තායිලන්තයේ පළමු දුම්රිය මාර්ගය බැංකොක් සිට කෝරාට් දක්වා විවෘත කෙරුණු අතර විදුලිය නිපදවීම සහ අනිකුත් මාර්ග සංවර්ධන කටයුතු රැසක් ද ඇරඹුනා. අද තායිලන්තයේ දක්නට ලැ‌බෙන අධ්‍යාපන, සෞඛ්‍ය, යටිතල පහසුකම් ආදී සියල්ලෙහි සමාරම්භකයා විදියට චූලාලංකාර රජු හැඳින්වුවොත් වැරදි නැහැ.

ශ්‍රී ලංකාව සමග පැවැති සබඳතා

චූලාලංකාර රජුගේ පියා වුණු මොන්කුට් රජ්ජුරුවෝ පාලි භාෂාව හොඳින් හැදෑරූ අයෙකු වූ නිසාත්, රජවීමට පෙර තාවකාලික පැවිද්ද ලැබූ අයෙකු වූ නිසාත් තායිලන්තයේ බුදු දහම දියුණු කිරීමට කටයුතු කරනවා. තායි සංඝ සංස්ථාව පිරිසිදු කරන ඔහු නිසි ප්‍රතිපත්තිවලින් යුතු භික්ෂු සමාජයක් ඇති කරන්න “ධම්මයුක්තිත” නම් අ‍ලුත් නිකායක් ආරම්භ කරනවා.

ලංකාවත් එක්කත් සබඳතා පවත්වන මොන්කුට් රජ්ජුරුවෝ ලංකාවේ පළමු ‌‌බෞද්ධ මුද්‍රණාලය ආරම්භ කිරීමට අවශ්‍ය වූ මුදල පවා බුලත්ගම ධම්මාලංකාර නම් හිමියන්ට එවනවා. මේ අනුව තමයි ලංකාවේ ‌බෞද්ධ පාර්ශවය මිෂනාරින්ට හරි හරියට උත්තර දීමට පටන්ගන්නේ.

රජු සිය පුත් කුමාරවරුන් සමග/bangkokpost.com

චූලාලංකාර රජු තමන්ගේ පිය රජ්ජුරුවන්ගේ අඩිපාරේ යමින්, බුලත්ගම ධම්මාලංකාර හිමියන් සමග තිබුණු සබඳතාව දිගමට පවත්වා ගන්නවා. ඒ නිසාම ‍1882 දී “අට්ඨසාලිනී පදයෝජනා” ආදී වූ ලංකාවේ දුර්ලභ පොත් පෙට්ටි දහයක් පුරවා බුලත්ගම හාමුදුරුවන්ට එවීමට රජතුමා පියවර ගන්නවා. බුලත්ගම හාමුදුරුවෝ ගාලු වරායේ සිට ගාල්ලේ පරමානන්ද විහාරයට මේ පොත් පෙරහැරෙන් රැගෙන යද්දී මේසන් නම් නඩුකාරයා ඊට බාධාකොට දඩයක් ගැසූබව ආරංචි වූ රජු, ඒ ගැන වික්ටෝරියා රැජිනට පැහැදිලි කර දඩය ඉවත් කරවන්නට කටයුතු කළා. එසේම හාමුදුරුවන්‌ට ඕනෑම දිනයක, ඕනෑම වෙලාවක ‌බෙර දවුල් සහිතව පෙරහැරකින් පූජ්‍ය වස්තුවක් වැඩම කරවන්න විශේෂ අවසර පත්‍රයකුත් ලබා දෙනවා.

1886 දී බුලත්ගම හාමුදුරුවන්ට තායි රජ මාළිගාවේ වස් වසන්නට ආරාධනා කරන චූලාලංකාර රජ්ජුරුවෝ උන්වහන්සේට තමන්ගේ මාළිගාවේ තැම්පත් කර තිබූ ධාතූන්වහන්සේ, බුද්ධ ප්‍රතිමා ඇතුළු පිරිකර රැසක් පූජා කරනවා. හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවන් සමගත් ‌‌‌සමීප සම්බන්ධතාව තිබූ රජ්ජුරුවෝ 1888 දී මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ දියුණුවට රුපියල් 10,000ක් පරිත්‍යාගයක් කරනවා. ඒ පරිත්‍යාගයෙන් තමයි පිරිවෙනේ දක්ෂතම ශිෂ්‍යයාට ශ්‍යාමරාජ ත්‍යාගය පිරිනැමීම ආරම්භ කරන්නේ. අදටත් චූලාලංකාර රජුව සිහිපත් කෙරෙමින් ඒ ත්‍යාගය පිරිනැමෙනවා.

තමන් රාජ්‍යත්වයට පත්වී වසර 25 සැපිරෙන අවස්ථාවේ දී ත්‍රිපිටකය මුද්‍රණයෙන් එළිදක්වන රජතුමා ඒ පොත් තායිලන්තයේ වගේම අවට රාජ්‍යවලත් උගත් භික්ෂූන්වහන්සේට පූජා කරනවා. ලංකාවෙන් ඒ පිටක පොත් කට්ටල ලැබුන ස්වාමීන්වහන්සේ විදියට මොරගල්ලේ බුද්ධතිස්ස නාහිමි, වස්කඩුවේ සූභූති නාහිමි ආදීන් සඳහන් වෙනවා.

චූලාලංකාර රජු තම රාජකීය නෞකාව වූ මහා චක්‍රී නෞකාවෙන් යුරෝපය බලා ගමන් කරන අතරවාරයේ දී ලංකාවට පැමිණීමට ද අමතක කරන්නේ නෑ. ඒ 1897 අප්‍රේල් මස 17 වැනිදා.

බෞද්ධ ලෝකයේ බලවතා බවට පත්වීමට යෝජනා කිරීම

ෆුකට්හි නගර ශාලාව ඉදිරිපිට පිහිටි චූලාලංකාර ප්‍රතිමාව/thephuketnews

චූලාලංකාර රජුගේ සමීප ඥාතියෙක් වුණ ප්‍රින්ස්ඩන් චුම්සායි නම් කුමාරයා මේ කාලය වන විට ලංකාවේ පී. සී. ජිනවරවංශ නමින් පැවිදිව සිටියා. කලක් රජුගේ යුරෝපා තානාපති ලෙස කටයුතු කළ මේ කුමාරයා රජුගේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියටත් උපකාර කළ අයෙක්. නමුත් පසුකාලයේ ඇති වෙන අමනාපයක් නිසා මුල් සබඳතා බිඳ වැටෙනවා.

චූලාලංකාර රජු ලංකාවට පැමිණෙන බව දැනගත් මේ සියම් කුමාර හාමුදුරුවෝ රජුගේ හිත දිනාගන්න යෝජනාවක් කරනවා. ඒ, ඒ වන විට ථෙරවාදී ‌‌‌‌‌බෞද්ධ රටවල් සියල්ල බ්‍රිතාන්‍යයන්ට යටත්ව තිබුණ නිසා තායිලන්තය මුල්කර ගෙන ‌බෞද්ධ ලෝකයේ බලවතා, එහෙම නැත්නම් නායකයා වෙන්න කියලා යි. ඊට කැමති වෙන රජතුමා ගාලු වරායෙන් ගොඩබැහැලා ගාල්ලේ පරමානන්ද හා ගංගාරාම කියන විහාරස්ථාන දෙක වැඳපුදාගෙන කොළඹට ගොස්, ලංකාවේ එවක වැඩ සිටි ප්‍රධාන භික්ෂූන්වහන්සේ වුණු හික්කඩුවේ සුමංගල, දොඩන්දූවේ පියරතන යන හිමිවරුන් ඇතුළු ස්වාමීන්වහන්සේ පිරිසක් කොළඹ රජගෙදර දී හමුවී පිරිකර පූජාවක් පවත්වනවා.

ඉන් අනතුරු මහනුවර දළදා මාළිගාවට යන රජු කුමාර හාමුදුරුවන්ගේ යෝජනාවත් සාර්ථක කරගැනීමේ අරමුණින් දළදාවහන්සේ වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව, උන්වහන්සේ තමන්ගේ දෑත මත වඩා හිඳවන ලෙස එවකට දියවඩන නිලමේවරයාගෙන් ඉල්ලනවා. එකල උඩරට ප්‍රබල නායකයෙකු වූ පාන‌බොක්කේ මෙම ක්‍රියාවට විරුද්ධ වෙනවා විතරක් නෙවෙයි, රජු ඉල්ලා සිටි පැරණි පුස්තකයක් ලබාදීම ද ප්‍රතික්ෂේප කරනවා. මෙයින් කළකිරී ලංකාවෙන් පිටවෙන රජ්ජුරුවෝ ‌‌බෞද්ධ ලෝකයේ බලවතා වෙන සිහිනය අතැහැරියා විතරක් නෙවෙයි, ඉන් ටික කාලයකට පසු ලංකාවේ ‌බෞද්ධ කටයුතුවලට උපකාර කිරීමත් සම්පූර්ණයෙන්ම නවතලා දානවා.

පානබොක්කේගේ මේ ක්‍රියාව නිසා එකල ලංකාවේ බෞද්ධ නායකයෝ විශාල ලෙස කලබල වෙනවා. ඔවුන් අනගාරික ධර්මපාලතුමාගේ සහෝදරයෙකු සහ පියදාස සිරිසේන මහනුවරට එවලා මහ මළුවේ රැස්වීමකුත් සංවිධානය කරනවා. ඒ රැස්වීමේ ප්‍රතිඵලයක් හැටියට මේ පානබොක්කේ දළඳා මාළිගාව සම්බන්ධ සියලු කටයුතුවලින් ඉවත් කළා කියලා යි සඳහන් වෙන්නේ.

පුද්ගලික ජීවිතය සහ අවසන් කාලය

සුනන්දා කුමාරිරතන යන ප්‍රධාන රාජකීය බිසව හැරුනු විට තවත් බිසෝවරු 115 දෙනෙකු චූලාලංකාර රජුට සිටිය බව සඳහන් වෙනවා. ඔහු දාව පුත් කුමාරවරුන් 33 දෙනෙකුත්, කුමාරියන් 44කුත් උපන් බව කියැවෙනවා.

චූලාලංකාර රජතුමා වර්ෂ 1910 ඔක්තෝම්බර් 10 වෙනිදා වකුගඩු රෝගයක් උත්සන්න වීමෙන් මියයනවා. තායි රටවැසියන් අදත් රජතුමන් හඳුන්වන්නේ “පියමහ රජතුමා” යන ආදරබර නාමයෙන්.

චූලාලංකාර දිනය වෙනුවෙන් ඉදිකරන ලද තොරණක්/thaibis.com

සෑම වසරකම ඔක්තොම්බර් 23 වැනිදා එතුමන්‌ගේ ගුණ සිහිපත් කරන තායිලන්ත වැසියන් රජයේ දෙපාර්තමේන්තු, සමිති සමාගම්, විශ්වවිද්‍යාල, විද්‍යාල ආදී සෑම ආයතනයකින්ම විශාල මල් පොකුරු රැගෙනගොස්, කැබිනට් මන්දිරය ඉදිරිපිට නෙළා ති‌‌බෙන එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වනවා. එදිනම සවස් කාලයේ තායි රජු හා දේවිය එහි ගොස් පුෂ්පෝපහාර දක්වලා, ග්‍රෑන්ඩ් පැලස්, එහෙම නැත්නම් රජ මාළිගාවේ, අමරින්ද්‍ර ශාලාවේ ශ්වේත ඡත්‍රය ය‌ට තැම්පත් කර තියෙන චූලාලංකාර රජ්ජුරුවන්ගේ භෂ්මාවශේෂවලටත්, එතුමන්ගේ කාලයේ නෙළන ලද බුද්ධ ප්‍රතිමාවට නමස්කාර කර, පිරිත් දේශනාවකට සවන් දී එතුමන්ට පින් අනුමෝදන් කරනවා.

 

 

මූලාශ්‍රයයන්:

පාන‌බොක්කේ කොලේ ඉරා ගනී - සරත් අමුණුගම

සමීපාතීතයෙහි ‌බෞද්ධාචාර්යෝ - පොල්වත්තේ බුද්ධදත්ත හිමි

තායිලන්ත ‌බෞද්ධ සංස්කෘතිය - ‌බෝයගම විමලසිරි හිමි

Cover Photo- 12go_asia

Related Articles