Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගිටාරයෙන් සංගීත ලෝකය එළිකළ ක්ලැරන්ස් විජේවර්ධන

ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ ….

මොකක් කියලාද දන් නෑ එහේ ගියෙත් නෑනේ

සාමාන්‍ය ගීත වලින් තරමක් වෙනස් සංගීත ශෛලයක් සමඟ ඇසෙන ක්ලැරන්ස් විජේවර්ධනයන් ප්‍රමුඛ Super Golden Chimes සංගීත කණ්ඩායම විසින් ගයන මේ සුමියුරු ගීත ඛණ්ඩයට මම මෙන්ම ඔබත් එක සේ ආදරය කරනවා නොඅනුමානයි. විදුලි ගිටාරය මූලික කරගනිමින් සංගීත නිර්මාණයේ යෙදුනු ක්ලැරන්ස් විජේවර්ධන ලාංකික කණ්ඩායම් සංගීතයේ ආරම්භකයා ලෙසද හැදින්වීම ඉතා නිවැරදියි.

ශ්‍රී ලංකා සංගීත වංශකතාවට පොප් සංගීතය හදුන්වා දෙමින් ගායකයෙකු, වාදකයෙකු, සංගීත අධ්‍යක්ෂ වරයෙකු මෙන්ම තවත් වරෙක ගීත රචකයෙකු ලෙස කලා ක්ෂේත්‍රය වෙනුවෙන් නොමැකෙන සේවාවක් ඉටු කළ ක්ලැරන්ස් විජේවර්ධන පිළිබඳව සොයා බලන්නටයි අද අපේ සූදානම.

ක්ලැරන්ස් රසිකයෙක් ලෙස ඔහුගේ ගීතයන් සියල්ලටම ආදරය කරන ඔබ මෙය කියවිය යුතු වනවා සේම මග හැරී ඇති දේවල් මෙන්ම ඔහුගේ ඔබ වඩාත් ප්‍රිය කරන ගීතය comment එකකින් සටහන් කර යන්නත් හැකියාව තිබෙනවා.

විටා කුරුප්පු ආරච්චිගේ ක්ලැරන්ස් ආතර් සෝමසිංහ විජේවර්ධන

ක්ලැරන්ස් විජේවර්ධන (sinhalasindu.lk)

සුන්දර හපුතලේ ප්‍රදේශයේ රෝහලක වෛද්‍යවරයෙක් වූ ආතර් ජෝර්ජ් පෙරේරා විජේවර්ධන හා සෝමා කුමාරි ඒකනායක යන දෙපළට දාව 1943 අගෝස්තු තුන් වන දින හපුතලේදී උපත ලබන ක්ලැරන්ස් විජේවර්ධනගේ මුල් නම ලෙස සදහන් වන්නේ විටා කුරුප්පු ආරච්චිගේ ක්ලැරන්ස් ආතර් සෝමසිංහ විජේවර්ධන ලෙසයි. පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක වැඩිමලා වූ ක්ලැරන්ස් කුඩා කළ හපුතලේ ප්‍රදේශයේ වාසය කළත් ඔහුගේ දෙමාපියන්ගේ ස්ථිර වාසය වුයේ මාතලේ ප්‍රදේශයයි.

සංගීතය උපතින්ම උරුම කරගත් ක්ලැරන්ස් කුඩා කළ සිට ප්‍රිය කරන්නේ බටහිර සංගීත ශෛලියයි. යටවත්ත මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරන ක්ලැරන්ස් කුඩා කළ සිටම ගිටාරය තම අතට හුරු කරගත් ගැටවරයෙක් ලෙස පාසල තුළ ජනප්‍රිය වෙනවා. ගීත රචනා කිරීම, තනු නිර්මාණය හා ගීත ගායනා කිරීමේ සුවිශේෂී හැකියා ත්‍රිත්වයම ඔහුට උරුම වීම සුවිශේෂී කරුණක්.

මූන්ස්ටෝන් (Moonstone) සංගීත කණ්ඩායම නිර්මාණය කිරීම

මූන්ස්ටෝන් කණ්ඩායම පිළිබඳව එකළ Ceylon Daily News පුවත්පතේ පළවූ ලිපියක් (Vernon Corea)

තරුණ ක්ලැරන්ස් ඔහුට යාන්තම් අවුරුදු 22 සම්පූර්ණ වන විට එනම් 1965 වසරේදී ඇනස්ලි මාලේවන සමග එකතු වී සිරිසඟබෝ කොරයාගේ කළමනාකාරීත්වයෙන් මූන්ස්ටෝන් (Moonstone) සංගීත කණ්ඩායම පිහිටවනවා. එවිට ඔහු වාසය කරන්නේ රත්නපුරයේයි.

මූන්ස්ටෝන්ස් යනුවෙන් අදහස් වෙන්නේ මැණික් වර්ගයක්. හතර දෙනෙක්ගෙන් යුත් මුන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායම  ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලවන, මොන්ටි වත්තලදෙණිය හා ධම්මික විජේසිරි යන මිතුරන් පිරිසකගේ එකතුවක් වෙනවා.

Country and Western ශෛලිය මෙන්ම බටහිර පොප් සංගීත කණ්ඩායම් වල ගීත ප්‍රිය කළ මෙම කණ්ඩායම සිරිසඟබෝ කොරයාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ Saturday Stars නම් සංගීත වැඩසටහනට සහභාගී වී ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගන්නවා.

ක්ලැරන්ස් විජේවර්ධන බොක්ස් ගිටාරය වයමින් ඔහුටම අවේනික සංගීත රටාවක් හදුන්වා දීම මෙහිදී දකින්නට ලැබෙනවා. පසුව ඩෙරික් සහ ලින්කන් ද සිල්වාගේ ආරාධනාවෙන් මොරටුවේදී පැවැත්වුණු Star Parade නම් සංගීත වැඩසටහනකට සහභාගී වීමට මූන්ස්ටෝන් කණ්ඩායමට අවස්ථාව ලැබෙනවා. එහිදීත් ඉතා ඉහළ ප්‍රේක්ෂක  ප්‍රතිචාරයක් ලබා ගැනීමට ක්ලැරන්ස් ඇතුළු පිරිස සමත් වෙනවා.

ගීත රචකයෙක් ලෙස

ක්ලැරන්ස් ප්‍රමුඛ කණ්ඩායම (Daily News)

ක්‍රමක්‍රමයෙන් ජනප්‍රියත්වයට පත්වෙන ඔවුන් පළමු ගී තැටිය ලෙස ක්ලැරන්ස්ගේ නායකත්වයෙන් යුතුව මංගෝ කළු නැන්දේ, සිත උදේ, මැණිකේ සුදු මැණිකේ හා රුවන්පුරය යන ගීත හතර ඇතුළත් කරමින් එළි දක්වනු ලබනවා. පසු කාලයේදී මුන්ස්ටෝන් කණ්ඩායම විසින් තවත් ගී තැටි දෙකක් එළිදක්වනවා. එහි එන සුමුදු සමන් මල්, සුමුදු මල් පිපුණු අතු කොනේ, හා මංගෝ කළු නැන්දේ යන ගීත ඔහුගේ පද රචනා අතරින් කිහිපයක්.

තවද ක්ලැරන්ස් විසින් ශ්‍රී සඟබෝ කොරයා මහතාගේ දියණියන් වෙනුවෙන් “රමණි” සහ “දිල්හානි දුවණි” යන ගීත නිර්මාණය කරනවා. 1969දී කරුණාරත්න අබේසේකරයන්ගේ පුතු වෙනුවෙන් “දිලීප පොඩි පුතු” තනු නිර්මාණය කර ගායනා කරමින් සංගීත ලොවට මුල් වතාවට ඔහු ගායනයෙන් ද අවතීරණය වෙනවා. Three Sisters කණ්ඩායමේ ඉන්ද්‍රානි පෙරේරා විසින් ගායනා කරන “සිහින් සිනිදු”, “අම්මා” වැනි ගීතද ක්ලැරන්ස්ගේ උසස් ගී නිර්මාණයන්.

තනු නිර්මාණය අතරින්ද ඔහුගේ දක්ෂතාවය මැනවින් නිරූපණය වන ගීත ලෙස මිල්ටන් මල්ලවාරච්චි විසින් ගයනා කරන  අවසර නැත මට, ඔහු විසින් ගයනා කරන මෑණියනි, පුංචි පුතා මගේ  යන ගීත හා නිලා වික්‍රමසිංහ සමඟ ගායනා කරන රහසේ හඬනා ගීතය ඊට උදාහරණ  ලෙස දැක්විය හැකිය. 1970දී ඔහු මුන්ස්ටෝන් කණ්ඩායමෙන් ඉවත්ව යනවා.

Golden Chimes සංගීත කණ්ඩායම නිර්මාණය කිරීම

1971 වසරේදී Golden Chimes සංගීත කණ්ඩායම පිහිටුවා ගනිමින් ඔහුටම සුවිශේෂී ගායන අනන්‍යතාවයක් ගොඩ නගා ගන්නේ එම කණ්ඩායම විසින් එළි දක්වනු ලැබූ පළමු ගී තැටිය හරහායි. කිමදනාවේ, මගේ පැල්පතේ, සමනළයෝ හා මලයි වැලයි එම ගීත අතරින් කිහිපයක්. නමුත් 1972 වසරේදී සංගීත කණ්ඩායමෙන් ක්ලැරන්ස් ඉවත්වීමට තීරණය කරනවා.

Super Golden Chimes සංගීත කණ්ඩායම පිහිටවීම

ක්ලැරන්ස් ප්‍රමුඛ කණ්ඩායම (Daily News)

1973දී ක්ලැරන්ස් විසින් නැවතත් ඇනස්ලි මාලේවන හා ඩික්සන් ගුණරත්න සමඟ එක්ව Super Golden Chimes සංගීත කණ්ඩායම පිහිටවනවා. මෙම කාලයේදී ක්ලැරන්ස් විසින් ගමෙන් ලියුමක්, උඩරට නිළිය, හා වන බඹරෝ වැනි ගීත රැසක් එළිදක්වන අතර එම ගීත සියල්ලේම   ගීත රචනය, තනු නිර්මාණය, සංගීත අධ්‍යක්ෂණය හා ගායනය යන සියල්ලම සිදු කරමින් තම දුර්ලභ හැකියාව විදහා දක්වනවා.

පසුව මෙම කණ්ඩායමෙනුත් ඉවත්ව ස්වාධීන ගායකයෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනවා. මෙම කාලයේදී ඔහු ලවා ගීත ලියවා ගත් ප්‍රවීණයන් ලෙස ඇන්ජලි ගුණතිලක, මිල්ටන් මල්ලවආරච්චි, එච්.ආර් ජෝති පාල, සනත් නන්දසිරි, මරියසෙල් ගුණතිලක, ශාමි ෆොන්සේකා හා නිලන්ති කරුණානායක වැනි ගායක ගායිකාවන් හදුන්වා දිය හැකියි.

ක්ලැරන්ස් විජේවර්ධන Style

“ක්‌ලැරන් සැළුවුණු ගී” නමින් ක්‌ලැරන්ස්‌ගේ දුලභ ගීත නැවත තම හඩින් පටිගතකර අනාගත පරපුරට එම ගීත රස විදීමට ඉඩ විවර කරවන මුන්ස්ටෝන් සංගීත කණ්ඩායමේ දමයන්ත කුරුප්පු (Daily News)

ගීතයක් එක් වරක් ඇසූ පමණින් එහි සංගීත නිර්මාණය ක්ලැරන්ස් විජේවර්ධනගේ බව හදුනා ගැනීමට හැකි වන ලෙස එම ගීතයේ ගිටාර් වාදනයේ විවිධ Rhythm Styles වලින් අලංකාරව පවතිනවා.

Mute Guitar, Chicken picking වැනි ගිටාර් ශෛලීන් ගීතවල විශේෂත්වයක් ඉස්මතු කළ අතර Jive, Slow Rhythm වැනි Drum Beats උපයෝගී කර ගනිමින් කළ නිර්මාණයන් අතර මගේ වියෝවෙන්, නිසංසලේ අපි හමුවෙලා, රහසේ හඬනා, ඈත රන් විමන් තුළින් වැනි ගීත ගෙනහැර දක්වන්නට පුළුවන්. කොටින්ම පවසනවානම් ඔහුගේ ගිටාර් විලාසිතාවට ඔහුටම අනන්‍ය විය.

චිත්‍රපට හා ටෙලිනාට්‍ය වලට ඔහු දක්වා තිබෙන විශිෂ්ටදායකත්වය සිහසුන, සිකුරුලියා, නිදිකුම්බා මල්, සුසීමා, අපේක්ෂා හා කොළඹ සන්නිය වැනි නිර්මාණයන් වල ඇති ගීත තුළින් මනාව පැහැදිලි වෙනවා.

ගීත 2000කට ආසන්න ප්‍රමාණයක් ගායනා කර ඇති, 70, 80 හා 90 දශකයන් වල ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ අග්‍රගන්‍ය කලාකරුවා 1996 දෙසැම්බර් 13 වන දින සංගීතයට මෙන්ම දිවිගමනටද ආයුබෝවන් කියා පිට වී යන්නේ සිරෝසිස් රෝගයට ගොදුරු වීමෙන්.

වයස අවුරුදු 53ක් වැනි කෙටි කාලයක් ජීවත් වූවත් ඔහු විසින් කලා ලෝකයට දායාද කළ නිර්මාණයන්ගේ වටිනාකම මිල කළ නොහැකි වනවා සේම ඒවායේ කලාත්මකභාවය මතු පරපුරත් ආදරයෙන් වැළදගනු නොඅනුමානයි.

Related Articles