Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරිප්පු මහත්තයා වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා

ඇන්. ඇම්. පෙරේරා යනු මෙරට පළමු ලියාපදිංචි පක්ෂය වන 1935 වසරේ දෙසැම්බර් මාසයේ ආරම්භ කරන ලද සම සමාජ පක්ෂයේ නායකයා යි. පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්‌ලි ගුණවර්ධන හා රොබට් ගුණවර්ධන ද පසුව දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ ද මෙම පක්ෂය සමග එකතු වෙනවා. මින් බොහෝ දෙනා එංගලන්තයේ හෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලද කාලයන් හි මාක්ස්වාදී දේශපාලන දර්ශනය කෙරෙහි ඉතා කැමැත්තක් දැක්වූ උගත් බුද්ධිමතුන් වෙනවා.

ඇන්. ඇම්. පෙරේරා යනු එම පක්ෂයේ නායකයා මෙන්ම, 1947 වසරේ ලංකාවේ පැවති පළමු මහ මැතිවරණයන් පසුව පැවති පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ද වෙයි. ඔහු ඇතුළු පිරිස මාක්ස්වාදී පක්ෂ දේශපාලනයට ප්‍රථම සූරිය මල් ව්‍යාපාරය නමින් ප්‍රජා සංවිධානයක් නිර්මාණය කරනවා. එහි ප්‍රධානියා වන්නේ ද ඇන්. ඇම්. පෙරේරා යි. මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණ වන්නේ පළමු ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය හමුදාව නියොජනය කරමින් මරණයට පත් වූ හා ආබාධිත වූ ලාංකික සොල්දාදුවන් වෙනුවෙන් සුභසාධනය සැලසීම යි. ඊට අමතරව, 1934 හා 1935 කාලවල දී ලංකාව පුරා වේගයෙන් පැතිරී ගිය මැලේරියා වසංගතයෙන් පීඩා විදින ගැමියන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමත් මේ සංවිධානයේ ප්‍රධාන කාර්යයක් වෙනවා. මැලේරියා වසංගතයෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් හාල්, පරිප්පු, මාමයිට්, සිනි​ හා තේ කොළ වැනි දේවල් රැගෙන ගමින් ගමට ගිය හේතුවෙන් එවකට ගැමියන් අචාර්ය ඇන්. ඇම්. පෙරේරාට  පරිප්පු මහත්තයා ලෙස ගෞරව අන්වර්ථ නාමයක් පටබදිනවා.

අධිරාජ්‍ය විරෝධී සූරිය මල් ව්‍යාපාරය ආරම්භ වීම

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා (dailynews.lk)

බ්‍රිතාන්‍යයන් විසින් පළමු ලෝක යුද්ධයෙන් මියගිය හා අබාධිත සොල්දාදුවන් වෙනුවෙන් සුභසාධනය සඳහා පොපි මල් ව්‍යාපාරය ආරම්භ කරනවා. ලංකාවේ ද පොපි මල් විකිණීම සිදුවුවත් එම මුදල් බ්‍රිතාන්‍ය හමුදා නියෝජනය කරමින් යුද්ධයට සහභාගී වූ මෙරට භටයන්ගේ සුභසාධනය සඳහා යෙදවෙන්නේ නෑ. ඒ හේතුවෙන් ඊට එරෙහිව 1933 වසරේ නොවැම්බර් මාසයේ දී සූරියමල් ව්‍යාපාරය ආරම්භ වෙනවා.

ඒ සඳහා දොස්තර වික්‍රමසිංහ, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන යන උගත් ධනවත් තරුණ පිරිසක් මූලිකත්වය ගනු ලබනවා. පසු කාලයේ ලංකාවේ වාමාංශික දේශපාලන සඳහා පැමිණෙන ඔවුන්ගේ මුලාරම්භ සංවිධානය ලෙස ද සූරිය මල් ව්‍යාපාරය සඳහන් කළ හැකි යි. සංවිධානයේ ආරම්භ සභාපතිත්වය කාන්තාවකට හිමි වීම ද මෙහි විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකි යි. සභාපතිවරිය වූයේ, එවකට කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ඩොරින් විනිප්‍රිඩා යං නම් බ්‍රිතාන්‍ය තරුණ කාන්තාව යි. ලංකාවේ කොමියුනිස්ට් දේශපාලනයේ ප්‍රධාන චරිතයක් වන දොස්තර වික්‍රමසිංහගේ බිරිඳ වන්නේ ඇය යි. පළමු රැස්වීම පවත්වන්නේ මෙරට නියෝජනය කරමින් 1958 දී පළමුවෙන්ම රාමෝන් මැග්සේසේ සම්මානය ලද මේරි රත්නම් වෛද්‍යවරියගේ නිවසේ දී යි.

ටික කාලයකින් පසුව මහනුවර, යාපනය, ගාල්ල හා මාතර වැනි ප්‍රදේශවල බිම් මට්‌ටමින් සූරිය මල් ව්‍යාපාරය දිවයින පුරා පැතිර යනවා. 

ඔවුන්ගේ ප්‍රධාන අරමුණට අමතරව සූරියමල් ව්‍යාපාරය ලංකාවේ පහත්යැ යි සම්මත කුලවල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ද කටයුතු කරනවා. එවකට මුළු රටේම ලාංකිකයන් ලක්ෂ ගණනාවක් මරණයට පත් කළ මැලේරියා වසංගතයෙන් මිනිසුන් ගලවා ගැනීම සඳහා ද සූරිය මල් ව්‍යාපාරය කටයුතු කරනවා.

මැලේරියා මර්දනය සඳහා කටයුතු කළ සූරියමල් ව්‍යාපාරය 

සූරිය මල (wikimedia)

මෑතකාලීනව ලංකාවේ ලොකුම මැලේරියා වසංගතය ඇති වන්නේ 1934-35 අවුරුදුවල දී යි. මේ අවුරුදු දෙකේ දී වාර්තා වුණු මැලේරියා රෝගීන් මිලියන 1.5ක ප්‍රමාණයක් අතරින් 80,000කට වඩා පිරිසකගේ ජීවිත අහිමි වෙනවා. 1935 දී ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ජනගහණයත් මිලියන 6කට අඩු බව වාර්තාවල දැක්වෙනවා. ඒ අනුව රටේ ජනතාවගෙන් හතරෙන් එකකටම මැලේරියාව වැළඳුණු බව සඳහන්.

මෙම මැලේරියා රෝග වසංගතයට එරෙහිව සූරියමල් ව්‍යාපාරය කටයුතු කළ ආකාරය පිළිබඳව මහාචාර්ය තිස්ස කාරියවසම් තම කෘතියක දීර්ඝව විස්තර කර තිබෙනවා. මැලේරියා තදින් පැතිරුණු ප්‍රදේශවල සහන කටයුතුවල නිරත වන සූරියමල් ව්‍යාපාරයේ සාමාජිකයන් එවැනි ගම්වල සෑම නිවසකටම රුපියල් 250ක් වටිනා ආහාර ලබාදීම සිදුකළ බව එහි සඳහන් වෙනවා. මැලේරියා රෝගීන්ට සහනයක් ගෙන ඒමට කැරොල් ගායනා කණ්ඩායමක් ද සූරියමල් ව්‍යාපාරය සතු වෙනවා. ඊට අමතරව, ඔවුන්ගේ මැලේරියා සහන අරමුදල රුපියල් 18856.89ක් වූ බව ද සඳහන්.

පුවත්පත් වාර්තා කර තිබූ අන්දම (lankadeepa.lk)

තව ද, එම කෘතියේ පිටුවක මෙලෙස සදහන් වෙනවා. 

“මැලේරියාවට ගොදුරු වූ තුන් කෝරළයේ ජනතාවට කෑම බීම සහ බෙහෙත් ද රැගෙන ඇන්. එම්. ඇතුළු පිරිස ගෙයක් පාසා ගියහ. කඳු හෙල් පල්ලම් ආදී බාධාවන් පමණක් නොව මුදලි මුහන්දිරම්වරුන්ගේ රැවුම් ගෙරවුම් ද මැ​ඩ ගෙන ගෙයක් ගෙයක් පාසා ගොස් තමනට සාත්තු සප්පායම් කළ කඩවසම් තරුණයා කෙරෙහි සිත් බැඳ ගත් තුන් කෝරළයේ ජනතාව ඇන්. ඇම්. හැඳින්වූයේ  “පරිප්පු මහත්තයා” යන ආදරණීය නමිනි.”

ඇන්. ඇම්. පෙරේරා (pinimg.com)

මැලේරියාවෙන් මියගිය මව්වරුන්ගේ තනයෙන් කිරි උරා බොන ළදරුවන් පවා දුටු අන්දම ඇන්. ඇම්. පසුව සිහිපත් කරන්නේ හද කකියන වේදනාවෙන්. නමුත්, පවුල් පිටින් ගම් නියම්ගම් පිටින් විනාශ වළක්වා ගන්නට ඇන්. ඇම්. ඇතුළු සූරියමල් ව්‍යාපාරයේ උද්​යෝගිමත් තරුණ පිරිස් මඳක් හෝ සමත් වූ බව එකල සිටි බොහෝ දෙනාගේ මතය වෙනවා.

මූලාශ්‍රයයන්: 

Lankadeepa

BBC

කවරය- Roar සිංහල 

Related Articles