Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපානය ගැන අපූරු කාරණා

හපන්නු ජීවත් වන ජපානය ගැන අපි මීට කලින් කතා කළේ ඔවුන්ව හපන්නු කරන ඔවුන්ගේ අධ්‍යාපනය ක්‍රමයෙන් අපට ඉගෙන ගත හැකි දේවල් ඉදිරිපත් කරන්න යි. සියවස් ගණනාවක් පැරණි සාම්ප්‍රදායන් සමඟ සාමකාමීව අත්වැල් බැඳ ගත් නූතන තාක්ෂණයන් සමග දිනෙන් දින ම ලෝකය ජය ගනිමින් ඉදිරියට යන ජපානය ලෝක සිතියමේ ඇති ඉතාමත් අපූරු රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ලෝකයේ ම අවධානය දිනා ගත් ජපානය ගැන තිබෙන අපූරු කාරණා නම් බොහෝම යි. මේ ලිපිය එවැනි පුදුම හිතෙන කාරණා කිහිපයක් ගැන යි.

ආරක්ෂිත ම නගරය

(wallpapercave.com)

දත්ත විශ්ලේෂණය මගින් පූර්ව කථනය සහ උපදේශනය සිදු කිරීම පිළිබඳ ලෝක ප්‍රකට Economist Intelligence Unit මගින් සිදු කර ඇති සමීක්ෂණයන්ට අනුව ලෝකයේ ආරක්ෂිත ම නගර අතරින් ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ජපානයේ අගනුවර වන ටෝකියෝ ව යි. ඔවුන් විසින් මෙසේ ආරක්ෂිත ම නගරය තේරීමේ දී ඒ සඳහා ඩිජිටල් ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, යටිතල පහසුකම් සහ පෞද්ගලික ආරක්ෂාව යන නිර්ණායකයන් යොදා ගෙන තිබෙනවා.

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය සිංගප්පූරුවේ අගනුවර වන සිංගප්පූරුවට හිමි වී ඇති අතර තෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ ජපානයේ ඔසාකා නුවර යි.

විස්තරාත්මක උපදෙස්

(tingov.net)

තමන් කරන සෑම දෙයක් ම ඉතාමත් පිරිසුදුව සහ පිළිවෙළට සිදු කරන්න ජපන් ජාතිකයන් දක්ෂ යි. එසේ ම පොදු ස්ථානවල දී මනා විනයක් පවත්වා ගැනීම ගැනත් ඔවුන්ට ඇත්තේ නොකිළිටි කීර්ති නාමයක්.

එය දිගින් දිගටම පවත්වාගෙන යාමේ අරමුණෙන් පොදු ස්ථාන බොහෝමයක දී විස්තරාත්මක උපදෙස් සහිත දැන්වීම් පුවරු ආදිය දක්නට ලැබීම ජපානයේ අතිශය සාමාන්‍ය දෙයක්. ඒ අනුව බස් රථයේ අසුන් ගත යුතු පිළිවෙළ පවා මෙසේ විස්තරාත්මක ම ස්වදේශිකයන්ට මෙන් ම විදේශිකයන්ට ද අවබෝධ කර ගත හැකි අයුරින් ඉංග්‍රීසි භාෂාවෙන් පවා දැක්වීමට ජපන් පාලන අධිකාරීන් වග බලාගෙන තිබෙනවා.

පොඩ්ඩන් හැමෝට ම පොදු උපන් දිනයක්

(grittymonkey.wordpress.com)

Shichi-Go-San (මෙහි අරුත් ‘හත-පහ-තුන’ යන්න යි) යනුවෙන් හැඳින්වෙන්නේ ජපන් පොඩිත්තන්ගේ මනා වැඩීම වෙනුවෙන් පවත්වනු ලබන සාම්ප්‍රදායික ආගමික උත්සවයක්. සෑම වසරක ම නොවැම්බර් 15 වැනි දින මෙය සමරනු ලබන්නේ අවුරුදු තුන සහ හත වයස් හි පසු වෙන දැරියන් සහ අවුරුදු තුන සහ පහ වයස් හි පසු වෙන දරුවන් උදෙසා යි.

ජපානයේ ඇති සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව ඔත්තේ සංඛ්‍යාවන් හි මායාවී බලයන් ගැබ් වී ඇති අතර වයස අවුරුදු තුන, පහ සහ හත, දරුවෙකුගේ වැඩීම සඳහා ඉතා තීරණාත්මක බව ඔවුන් විශ්වාස කරනවා.

සාමූහික උදෑසන ව්‍යායාම

(xpatnation.com)

බොහෝමයක් ජපන් පාසල්වල මෙන් ම රැකියා ස්ථානවල ද උදෑසන කටයුතු අරඹන්නේ සියලු දෙනා එකට එක් ව සාමූහික ව උදෑසන ව්‍යායාම්වල යෙදීමෙන් අනතුරු ව යි. ජපන් බසින් rajio taisō (මෙහි වචනාර්ථය ‘රේඩියෝ ව්‍යායාම්’ යන්න යි) යනුවෙන් නම් කර ඇති මෙය 1928 තරම් ඈත කාලයේ දී මුල් වරට හඳුන්වා දී ඇත්තේ හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේකය වෙනුවෙන්. රේඩියෝව හරහා උපදෙස් ලබා දෙමින් සිදු කරන ලද මෙම ව්‍යායාම් මගින් බලාපොරොත්තු වූයේ ජපන් සොල්දාදුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම යි.

සියවසකට ආසන්න කාලයක් තිස්සේ පැවති මේ පුරුද්ද අදටත් ජපානයේ ක්‍රියාත්මක වන අතර විදීවල සවි කර ඇති ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ව්‍යායාම් සඳහා අවශ්‍ය උපදෙස් සහ සංගීත ඛණ්ඩ විකාශනය කිරීමට අදාළ ආයතන කටයුතු කරනවා.

පාරිතෝෂික සිකුරාදා

(sumikai.com)

වැඩට දක්ෂ ජපන් ජාතිකයන් සතිය පුරා ම ඉතාමත් මහන්සියෙන් තමන්ට අදාළ වැඩ කොටස ඉටු කරන බව ලෝකයට ම නොරහසක්. මේ නිසා ම සති අන්තයේ දී බොහෝමයක් ජපන් ජාතිකයන් අධික තෙහෙට්ටුවෙන් පීඩා විඳිනවා. ඒ තත්ත්වය මග හරවා ගැනීම සඳහා ඉතාමත් මෑතක දී ජපන් රජය විසින් හඳුන්වා දුන් සංකල්පයක් තමයි, පාරිතෝෂික සිකුරාදාව (Premium Friday) කියන්නේ.

ඒ අනුව රජයේ මෙන් ම පෞද්ගලික අංශයේ ද සෑම සේවකයෙකුට ම මාසයේ අවසන් සිකුරාදා දිනයේ දී පැය කිහිපයකට කලින් නිවෙස බලා යාමට අවසර ලැබෙන අතර එය මොන ම අයුරකින් හෝ මාසික වැටුපට බලපෑමක් සිදු කරන්නේ නැහැ.

වසර දහස් ගණනක් පැරණි සමාගම්

(uniqhotels.com)

රාජ්‍යයක් ලෙස ජපානයට ඇත්තේ ඉතාමත් දීර්ඝ ඉතිහාසයක්. ඒ හා සමාන දීර්ඝ ඉතිහාසයන් සහිත සමාගම් දක්නට ලැබීම ජපානයේ දී එතරම් දුර්ලභ දෙයක් නෙමෙයි. එයට හේතුව ජපන් දේපළ නීතීන් ඉතා දැඩි සහ අනම්‍යශීලි වීම යි. මේ හේතුවෙන් බොහෝමයක් ව්‍යාපාර සහ ඒවාට අයත් දේපළ වසර ගණනාවක් තිස්සේ එක ම පවුලක පරිපාලනයට නතු වී තිබෙනවා.

දැනට ජපානයේ පවතින පැරණි ම ව්‍යාපාරයක් ලෙස Kongo Gumi හැඳින්විය හැකි යි. ක්‍රිස්තු වර්ෂ 578 දී පමණ එය පිහිටුවා ඇත්තේ බෞද්ධ විහාර ගොඩ නැංවීම සඳහා ජපානයට පැමිණි කොරියානු සංක්‍රමණිකයෙක් විසින්.

ක්‍රිස්තු වර්ෂ 705 දී ගොඩ නංවන ලද Keiunkan හෝටලය සැලකෙන්නේ ලෝකයේ පැරණිතම හෝටලය ලෙස යි. නූතන සැප පහසුකම්වලින් යුතු එහි කාමරයක් වෙන් කරවා ගැනීම සඳහා දිනෙකට ජපන් යෙන් 22,000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 30,000) ක පමණ මුදලක් අය කරනවා.

ආහාර කැටයම්

(yaplakal.com)

ජපනය පුරා පැතිර ගිය තවත් අපූරු කලාවක් තමයි, Mukimono හෙවත් ආහාර කැටයම් කිරීම. නැවුම් එළවළු සහ පලතුරු අලෙවි කරන වෙළඳසැල්වල දී මෙසේ කැටයම් කරන ලද ආහාර දක්නට ලැබෙන අතර එක් එක් ප්‍රදේශ සඳහා එයට ම ආවේණික ආහාර කැටයම් රටාවන් පවතිනවා.

මූලාශ්‍ර : brightside.me, bbc.com, businessinsider.com, en.wikipedia.org, taiken.co, theguardian.com

කවරයේ පින්තූරය: m1infodoccelinej.wordpress.com

Related Articles