Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රේෂ්ඨයා – මහේල ජයවර්ධන

ශ්‍රී ලාංකිකයන්ගේ පමණක් නොව ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ සදාකාලික මතකයෙන් ඉවත් නොවන ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් නායකයෙක් වන මහේල ජයවර්ධන ක්‍රිකට් ඉතිහාසය වර්ණවත් කළ ක්‍රීඩකයෙක් බව අවිවාදයෙන් සටහන් කළ හැකියි.

බොහෝ දෙනෙකුට සිහිනයක් බඳු කවර් ඩ්‍රයිව් පහරවල් එල්ල කරන ක්‍රිකට් පිටියේ මහත්මා ගති ලක්ෂණ වලින් පිරිපුන් දර්ශනීය දකුණත් පිතිකරුවාගේ ක්‍රිකට් දිවිය පිළිබඳව සටහනක් ගෙන එන්නට අපි තීරණය කළා. ටෙස්ට් මෙන්ම එක් දින පිටියේත් ලකුණු 11,000 ඉක්ම වූ ලෝකයේ අතළොස්සක් ක්‍රීඩකයන් අතරින් අයෙකු වන මහේල ජයවර්ධන පිළිබඳව ඔබේ අදහසත් ලිපිය අවසානයේ සටහන් කරන්න අමතක කරන්න එපා.

නාලන්දාවෙන් බිහි වූ ක්‍රිකට් තරුව

මහේල ජයවර්ධන 1999 වසරේදී (Sunday Times Sri Lanka)

1977 වසරේ මැයි 27 වනදා සෙනරත් ජයවර්ධන හා සුනිලා ජයවර්ධන යන දෙමාපියන්ට දාව උපත ලබන දෙනගමගේ ප්‍රෝමෝද් මහේල ද සිල්වා ජයවර්ධන පිරිමි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා විය. 1995 වසරේදී පිළිකාවකට ගොදුරු වන ඔහුගේ සහෝදරයා වන දිසාල් ජයවර්ධන මෙලොව හැර යනවා.

වයස අවුරුදු අට වන විට NCC ක්‍රිකට් පාසලේ ලයනල් මෙන්ඩිස් ගුරුවරයා වෙත යොමු කිරීමට ඔහුගේ පියා තීරණය කරනවා. පාසල් අධ්‍යාපනය සඳහා කොළඹ නාලන්දා විදුහලට ඇතුල් වන මහේලගේ ක්‍රිකට් පදනම ගොඩ නැගෙන්නේ මෙම විදුහල පාදක කරගෙනයි.

නාලන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ මෙන්ම පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේද නායකත්වය දරන මහේල, 1994 වසරේදී පාසල් ක්‍රිකට් පිටියේ දක්ෂතම පිතිකරුවා ලෙස සම්මාන ලබනවා. පිතිකරුවෙක් ලෙස ඉතා සාර්ථක වූ බැවින් ඔහු 1994 වසරේදී 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙනවා. පළමු තරඟය ලෙස සිම්බාබ්වේ 19න් පහළ කණ්ඩායම හා ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී පැවති නිල නොවන ටෙස්ට් තරඟයේදී ලකුණු 108ක් ලබා ගැනීමට මහේලට හැකියාව ලැබෙනවා.

ටෙස්ට් ක්‍රිකට් පිටිය වර්ණවත් කළ මහේල

2006 වසරේ ලෝඩ්ස් පිටියේ (ESPNcricinfo)

1997 වසරේ අගෝස්තු හය වනදා ශ්‍රී ලංකාවේ 69 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයට එක් වෙන මහේල තම පළමු තරඟයේ දී ම ඉන්දියාවට එරෙහිව තම කුළුදුල් අර්ධ ශතකය රැස් කරන්නේ පන්දු 105කදී ලකුණු 66ක් ලබා ගනිමින්.

ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශතකයක් රැස් කළ  පළමු ක්‍රීඩකයා වන්නේත් මහේලයි. එසේම ඒ ඔහුගේ පලමු වන ටෙස්ට් ශතකයි. ඒ 1998 වසරේ ජුනි මාසයේ නවසීලන්තයට එරෙහිව ලකුණු 167ක් රැස් කරගනිමින්. ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ පිට පිට දෙවතාවක් ටෙස්ට් ශතක රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේත් මහේලයි. ඒ 2002 වසරේ හා 2006 වසරේ එංගලන්තයට එරෙහිවයි.

ටෙස්ට් පිටියේ වාර්තා

ඉහළම ලකුණු සම්බන්ධතාවය ගොඩනැගීමෙන් පසු (Cricket Australia)

මහේල – සංගා සුසංයෝගය අති සාර්ථකව ක්‍රියාත්මක වූ අවස්ථාවකට හොදම උදාහරණය වෙන්නේ ටෙස්ට් පිටියේ මෙතෙක් කලක් ඕනෑම කඩුල්ලක් සඳහා වන ඉහළම ලකුණු සම්බන්ධතාවය ගොඩනැගීම යි. සනත් ජයසූරිය හා රොෂාන් මහානාමගේ 1997දී ඉන්දියාවට එරෙහිව  ලකුණු 576ක සම්බන්ධතාවය බිඳිමින් 2006 වසරේ ජූලි 27 වනදා නව වාර්තාව පිහිටුවනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ SSC ක්‍රීඩා පිටියේදී ලකුණු 624ක සම්බන්ධතාවයක් පවත්වා ගනිමින්.

ඔහු එම තරඟයේදී රැස් කළ ලකුණු 374 ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලබාගත් හතර වන ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා වෙනවා. 2000-2014 කාල සිමාව තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී මහේල – සංගා ගොඩ නැගූ මුළු ලකුණු සම්බන්ධතාවය 6554ක් වන අතර එය දෙවැනි වන්නේ රාහුල් – ටෙන්ඩුල්කාර් ගොඩනැඟූ ලකුණු 6920ක සම්බන්ධතාවයට පමණයි.

තම ටෙස්ට් දිවියේ එක් ත්‍රිත්ව ශතකයක් මෙන්ම ද්විත්ව ශතක හයක් ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. තවද ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැක ගත් ක්‍රීඩකයින් අතරින් ඔහුට දෙවන ස්ථානය හිමි වෙනවා. ඔහු රැක ගත් විශේෂතම උඩ පන්දුව වන්නේ 2010 වසරේ ජූලි 22දා මුරලිගේ 800 වැනි කඩුල්ල සඳහා ඉන්දීය ක්‍රීඩක ඕජා පිටියෙන් ඉවත් කිරීමයි.

මහේල තම ටෙස්ට් දිවියේ ඉනිම් 22කදී පන්දු යවා ඇති අතර එහිදී ලකුණු 310කට කදුළු හයක් බිඳ දමා තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දහවැනි නායකයා වන්නේ මහේල ජයවර්ධනයි. ටෙස්ට් තරඟ 38කට නායකත්වය දැරූ අතර ඉන් 18ක් ජයගත් අතර 12ක් පරාජයට පත් වී තිබෙනවා. වසර 17ක් තිස්සේ ටෙස්ට් තරඟ 149කට ක්‍රීඩා කර ශතක 34ක්ද, ලකුණු 11814ක්ද රැස් කර ඇති මහේල ජයවර්ධනගේ සාමාන්‍ය ලකුණු 49.84ක අගයක් ගන්නවා. 2014 වසරේ අගෝස්තු 17 වනදා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා පිටියෙන් සමු ගන්නේ ඉහළම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයන් අතර  අටවන ස්ථානය දිනා ගනිමින් සේම වැඩිම ශතක ලාභීන් අතර නව වන ස්ථානය දිනා ගනිමින්.

එක්දින පිටියේ දස්කම්

කවර් ඩ්‍රයිව් පහර (ESPN Cricinfo)

ශ්‍රී ලංකා එක්දින වංශ කතාවේ 92 වැනියා ලෙස මහේල එක් දින වරම් හිමි කරගන්නේ 1998 වසරේ ජනවාරි 24 වනදා සිම්බාබ්වේට එරෙහිව ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී යි. එම තරඟය කඩුලු පහකින් ශ්‍රී ලංකාව ජයගන්නා අතර මහේල නොදැවී එක ලකුණක් රැස් කරනවා.

1999 වසරේ එංගලන්තයට එරෙහිව තම මංගල ශතකය ලබා ගන්නා මහේල එක් දින පිටියේ තරඟ 448 කදී රැස් කර තිබෙන ශතක ගණන 19ක් වෙනවා.

ශ්‍රී ලංකා එක් දින පිටියේ 12 වැනි නායකයා වන මහේල, 2004 වසරේදී නායකත්වයට පත් වී  2013 වසරේදී නායකත්වයෙන් ඉවත් වෙනවා. එම කාලය තුළ දී තරඟ 126 කට නායකත්වය ලබා දී ඇති අතර ඉන් තරඟ 68ක් ජය ගැනීමට හැකියාව ලැබෙන අතර  තරඟ 49ක් පරාජයට පත් වී තිබෙනවා. අර්ජුන රණතුංගට පසුව වැඩිම එක්දින තරඟ සංඛ්‍යාවකට නායකත්වය ලබා දී තිබෙන්නේ මහේල ජයවර්ධනයි.

2007 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම මහේලගේ නායකත්වයෙන් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය දක්වා ගමන් කරනවා. නමුත් අවාසනාවන්ත ලෙස අවසන් තරඟයේ දී ඔස්ට්‍රේලියාව අතින් පරාජයට පත් වෙනවා. 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී ඉන්දියාවට එරහිව ලකුණු 103ක් රැස් කලත් එම තරඟයත් පරාජයට පත් වන  අතර මෙය මහේලගේ අවාසනාවන්ත තරඟය ලෙස හඳුන්වනවා.

1998- 2015 කාල සීමාව තුල රටවල් 18කට එරෙහිව ලකුණු 12650ක් රැස් කිරීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. ඔහු එක්දින තරග පිටියේ එක තරඟයක ලබා ගෙන ඇති වැඩිම ලකුණු ගණන වන්නේ 144ක්. ඒ 2011 වසරේදී එංගලන්තයට එරෙහිව ලීඩ්ස් හිදීයි.

එක්දින පිටියේ වැඩිම උඩ පන්දු ලාභියා

2015 ලෝක කුසලාන තරඟාවලියේදී (NDTV Sports)

ජාත්‍යන්තර එක් දින පිටියේ වැඩිම උඩ පන්දු ලාභියා වන්නේ මහේල ජයවර්ධන යි. 1998- 2015 කාල සීමාව තුළ ඔහු තරඟ 448 කදී උඩ පන්දු 218 ක් රැකගෙන තිබෙනවා. එක් දින තරඟවල දී තරඟයේ වීරයා සම්මාන 22ක් හා තරඟාවලියේ වීරයා සම්මාන 4 ක්ද හිමි කරගෙන තිබෙනවා. 2015 මාර්තු 15 වනදා සිඩ්නි පිටියේ දකුණු අප්‍රිකාව සමඟ පැවති ලෝක කුසලාන අර්ධ අවසන් පුර්ව තරඟය පරාජය වීමෙන් පසුව එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගන්නවා.

20 – 20

කුමාර් සංගක්කාර සමඟ (YouTube)

මහේල ජයවර්ධන 20-20 ප්‍රථම නායකයායි. එම කාල සීමාවේදී තරඟ 19කට නායකත්වය දරා ඇති අතර ඉන් 12ක් ජයගෙන තිබෙනවා. නායකත්වය දුන් සමයේ 20-20 ලෝක අනුශූරයන් බවට පත් වෙන්නෙත් ශ්‍රී ලංකාවයි.  ක්‍රීඩා කරන සමයේදී තරඟ 55කට සහභාගී වී ඇති මහේල එහිදී ලකුණු 1493ක් රැස් කිරීමට සමත් වී තිබුණත් වාර්තා කර ඇත්තේ එක ශතකයක් පමණයි. ඒ 2010 වසරේ සිම්බාබ්වේට එරෙහිවයි.

තම පවුල සමඟ (ESPNcricinfo)

වසර ගණනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තබන්නට තම ශක්තිය යෙදවූ මේ අසහාය ක්‍රීඩකයා සිය කණ්ඩායම් සගයින්ගේ උරමතින් ක්‍රිකට් පිටියෙන් සමුගනිමින් මෙසේ ප්‍රකාශ කරනවා.

“එය උදාර ගමනක්, පසුතැවීමක් නෑ. මා එය මුළුමනින්ම වින්දා ඒ ගමනේ තිබූ නැගීම් වගේම බැසීම් විසින් මා වඩාත් හොඳ පුද්ගලයෙක් මෙන්ම ක්‍රීඩකයෙක් කළා”

කවරයේ ජායාරූපය – HD Wallpapers Free Download

Related Articles