Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මැරුණු සත්තු එක්ක නිර්මාණ කරන – ඩේමියන් හර්ස්ට්

අද ලෝකය තුළ විවිධාකාර වූ නිර්මාණ බිහි වෙමින් පවතිනවා. ඒ සෑම නිර්මාණයක් පසුපසම එයට ජිවය දුන් නිර්මාණ ශිල්පියෙක් සිටිනවා. අලුත්ම අාකාරයකට සිතන පතන අැතැම් නිර්මාණකරුවන් තමාටම අාවේණික ශෙෙලීන් ගොඩ නගාගෙන ලෝක ප්‍රසිද්ධියට පත් වෙනවා.

ලෝකයට වෙනස්ම මානයක් එක් කළ අමුතුම විදිහේ සිතුවම් හා මුර්ති නිර්මාණකරුවකු ගෙන තොරතුරු ඔබට ගෙන ඒමටයි මේ ලිපිය තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඩේමියන් හර්ස්ට් නම් වන ඔහු අනෙක් නිර්මාණකරුවන්ගෙන් වෙනස් වන ප්‍රධානම ලක්ෂණය වන්නේ ඔහුගේ නිර්මාණවලට මියගිය සත්ත්වයන් විශාල වශයෙන් පාදක කර ගැනීමයි.

ජීවතුන් අතර සිටින ධනවත්ම කලාකරුන්වන් අතර ප්‍රමුඛ තැනක් හිමි වෙන ඉංග්‍රීසි ජාතික නිර්මාණකරුවෙකු වන ඩේමියන් හර්ස්ට් ව්‍යවසායකයෙකු වශයෙන් ද සැලකෙනවා. මොහු ලෝකය පුරාම නිරන්තරයෙන් කතා බහට ලක්වන නිර්මාණ බිහි කරන ශිල්පියෙකු ලෙස සලකන්න පුළුවන්. ඩේමියන්ගේ කෘතීන් අතර වීදුරු කුටි තුළ නිර්මිත මියගිය සත්ත්ව අනුරූ හා බෙහෙත් තබන රාක්කයන්වල මුර්ති විශේෂ තැනක් ගනු ලබනවා.

බොහෝ දෙනෙක්ට පිළිකුල් දේ තුළින් කලාවක්

සාර්ථකත්වයට මෙන්ම විවේචනවලටත් ලක් වූ මේ කලාකරුවා උපත් ලබන්නේ 1965 ජුනි 7 වනදායි. වයස අවුරුදු 12ක් වන විට මොහුගේ පියා සිය පවුල අතහැර යනවා. ඉන් පසුව හර්ස්ට්ගේ පිහිටට ඉන්නේ ඔහුගේ මවයි. ඇගෙන් ලැබුණු අනුබල දීම තම කලාත්මක වර්ධනයට බොහෝ සෙයින් ඉවහල් වුණු බව හර්ස්ට් පසු කාලයේදී පවසා තිබෙනවා. කතෝලිකයකු වන මොහුගේ ආගමික විශ්වාසද යම් තරමකට ඔහුගේ නිර්මාණවලට බලපෑමක් කළ බව සඳහන්.

ඩේමියන් ප්‍රකාශ කරන අාකාරයට ඔහු වඩාත් ප්‍රියකරන්නේ අවලස්සන, පිළිකුල්සහගත හා භයානක දේවල් නිර්මාණයටයි. කුඩා කල සිටම ජීව විද්‍යාවට දැඩි ඇල්මක් දක්වා තිබෙන මොහු ඒ හා සම්බන්ධ පොත් පත් නිතරම අධ්‍යනය කළ බවත්, ඒ ලැබුණු සම්භවයෙන් තමාට තුවාල හා රෝගවලට අසාමාන්‍යය ඇල්මක් ඇති වූ බවත් ඔහු කියා තිබෙනවා.

ඩේමියන් හර්ස්ට් (biography.com)

ඩේමියන් හර්ස්ට්ගේ කුඩා කාලය නම් එතරම් යහපත් එකක් වී තිබුනේ නැති බවයි සඳහන් වන්නේ. සාප්පු කොල්ලයන් වෙනුවෙන් ඔහුව දෙවරක් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මොහු තමාගේ අධ්‍යයන කටයුතු කර ඇත්තේ ලන්ඩන් නුවර ගෝල්ඩ්ස්මිත් විශ්ව විද්‍යාලයෙන් වන අතර ඔහු තම විශ්ව විද්‍යාලය සමයේදීත් “Freeze”නමින් ප්‍රදර්ශනයක් පවත්වන්න සමත් වුණා. එ් 1988දී.

කලා ලොව අවධානය ලැබීම

පසුව ඩේමියන් හා ඔහුගේ මිත්‍ර ශිෂ්‍ය පිරිසක් එක්ව තරුණ බ්‍රිතාන්‍ය කලාකරුන්වන්ගේ කණ්ඩායමක් පිහිටවනු ලැබුවා. ඔවුන්ව වඩාත් ප්‍රසිද්ධ වුණේ ඔවුන්ගේ තිබු අසාමාන්‍ය අමුද්‍රව්‍ය භාවිතය හා මොවුන් ගේ නිර්මාණ පවතින ක්‍රමයට අභියෝගයක් වීම නිසාවෙනුයි. මොහුගේ නිර්මාණයන් එතරම් ම ජනතාව වැළඳ නොගත් යුගයක ඔහු වෙනුවෙන් සහයට පැමිණියේ වෙළඳ දැන්වීම් ලොව ප්‍රබල චරිතයක් හා සිතුවම් එකතු කරන්නෙකු වන චාල්ස් සාචියි. මෙය ඩේමියන්ගේ ජීවිතය තුළ විශාල පෙරළියක් කළා මෙන්ම එය ඔහුගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් ද ප්‍රයෝජනවත් වුණා.

1991 වර්ෂයේදී මොහු තමන්ගේ ප්‍රථම ඒක පුද්ගල සිතුවම් දැක්ම පවත්වනු ලබනවා. ඒ ලන්ඩන් නුවර වුඩ්ස් ස්ටොක් වීදියේ කලාගාරය තුලයි.

ගොනා හා කුකුලා (damienhirst.com)

ඩේමියන් හර්ස්ට් ගේ සුප්‍රසිද්ධ නිර්මාණ දෙකක් ගැන විස්තර පහත දැක්වෙනවා. ඔහුගේ සුවිශේෂී හැකියාව සහ චින්තන හැකියාව එ් දිහා බලලා ඔබටම තේරුම් ගන්න පුළුවන් වේවි.

බෙහෙත් කැබිනට්ටුව

මොහු විසින් නිර්මාණය කරන ලද බෙහෙත් කැබිනට්ටුව කෘතිය කලාව, ලිංගිකත්වය, මරණය, සමාජය හා මත්ද්‍රව්‍ය යන අංශ පාදක කරගනිමින් බිහි වූ එකක්. ඊට අමතරව කලාකරුවාගේ මරණය හා උත්පත්තිය පිළිබඳ දර්ශනය ද මෙමගින් පෙන්නුම් කරනු ලැබුවා. බොහෝ කලා විචාරකයන් බෙහෙත් කැබිනට්ටුව කලා කෘතියක් ලෙස පිළිගනු ලබන්නේ නෑ. නමුත් බෙහෙත් කැබිනට්ටුවක් සතු සුව කිරීමේ හැකියාව ඩේමියන් හර්ස්ට් විසින් මෙහිදී තම නිර්මාණයට පාදක කරගෙන තිබෙනවා.

ඔහුගේ මෙම නිර්මාණ පෙළ ආරම්භ වන්නේ කැබිනට් 12ක් සමගින්, ඒ ඔහු ගෝල්ඩ්ස්මිත් විශ්ව විද්‍යාලයේදී තමන්ගේ උපාධිය වෙනුවෙන් කළ නිබන්ධනයේ ප්‍රතිපලයක් ලෙසයි. එය සිදු කෙරුණේ 1989 වර්ෂයේදී යි.

බෙහෙත් කැබිනට්ටුව (fadmagazine.com)

මෝරා ගේ අනුරුව

ඩේමියන් හර්ස්ට් ගේ ප්‍රසිද්ධම නිර්මාණයක් ලෙස මෙය සැලකෙනවා. ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ඩ් දුපතෙන් මේ මෝරාව ඔහු රැගෙන විත් තිබෙනවා. 1991 වර්ෂයේ දී මේ වෙනුවෙන් ගෙවීම් කර ඇත්තේ ඔහුගේ නිර්මාණ මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවා වූ චාල්ස් සාචි විසිනුයි. ඔහු එ් වෙනුවෙන් මුදල් ලබා දී තිබෙන්නේ ඩේමියන්ට එය භාවිතයෙන් කැමති නිර්මාණයක් කරන්නට නිදහස ලබා දෙමිනුයි.

මෙම මෝරා වෙනුවෙන් රුපියල් මිලියනකට ආසන්න මුදලක් වියදම් වී තිබෙනවා. සම්පුර්ණ කෘතිය වෙනුවෙන් කරන ලද වියදම ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 85 පමණ බව සඳහන්. මෙම නිර්මාණයේ අරමුණ කායික ශරීරයක සිදුවන මරණයක් ජිවත් ව සිටින අයකුගේ මනසට දැනෙන ආකාරය නිරූපණය කිරීමයි. මීටර් 4.3ක දිගින් යුතු මේ මෝරාගේ අනුරුව 2006 වසරේදී ප්‍රතිස්ථාපනය කර තිබෙනවා. මෙම කලා කෘතිය 2004 වර්ෂයේදී ඩොලර් මිලියන 8 කට ආසන්න මුදලකට අලෙවි කරන්නට සාචි සමත් වුණා.

මරණය පිළිබඳව වටහා ගැනීමට අැති භෞතික නොහැකියාව පෙන්වන මෝරාගේ මුර්තිය (damienhirst.com)

වෙනත් නිර්මාණ

ඉහත දැක්වුණේ ඩේමියන්ගේ ජාත්‍යන්තර කීර්තියට පත් නිර්මාණයන් දෙකක් පමණයි. තමන් මරණයෙන් පසු ලෝකය විනාශ කරන බව කියවෙන, සමනලුන් විශාල සංඛ්‍යාවකගේ පියාපත්වලින් නිර්මිත සිතුවම එක් වෙන්දේසියක දී පවුම් මිලියන දෙකකට අලෙවි වී තිබුණා.

“පියාගේ රාජධානිය” හෙවත් The Kingdom of the Father නිර්මාණය (broadmuseum.msu.edu)

2007 වර්ෂයේ මොහු විසින් දියමන්ති හා ප්ලැටිනම් ලෝහ ඇසුරින් නිර්මාණය කරන ලද “දෙවියන්ගේ ආදරය වෙනුවෙන්” කියා හැඳින්වෙන මිනී හිස්කබල වටිනා දියමන්ති 8601 කින් සමන්විතයි. මෙය නිර්මාණය වෙනුවෙන් ඔහු යූරෝ මිලියන 14ක් වියදම් කර තිබූ අතර ඔහුගේ මෙම නිර්මාණය යූරෝ 50 කට මිල කර තිබුණේ ජීවත්ව සිටියදී කලාකරුවෙකුගේ නිර්මාණයක් වෙනුවෙන් සිදු කෙරුණු විශාලම මිල කිරීම සටහන් කරමිනුයි.

දෙවියන්ගේ ආදරය වෙනුවෙන් (cloudfront.net)

ඩේමියන් හර්ස්ට් තමන්ගේ නිර්මාණ වෙනුවෙන් ජීවීන් ලක්ෂ 9 පමණ දැනට යොදා ගෙන තිබෙනවා.

කලාවේ වටිනාකම තේරුම් ගනිමු

කලාකරුවන්ගේ නිර්මාණ වෙනුවෙන් ලෝකය මෙතරම් මුදල් ගෙවන කාලයක පවා තවදුරටත් කලා නිර්මාණ අවතක්සේරු කරන අය ඕනෑ තරම් දැකගන්න පුළුවන්. නමුත් එ් බොහෝ දෙනෙක් කලාකරුවන්ගේ නිර්මාණවලට ජාත්‍යන්තරයේ හිමි වන මිල ගණන් නොදන්නා අයයි. කලාව කියන්නේ භෞතික හෝ තාර්කික මිනුම් දඬුවලින් බලලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නොවන බව කවුරුත් වටහා ගත යුතුයි.

නිර්මාණශීලිත්වයේ අසීමාන්තික බව පෙන්වන මෙවැනි නිර්මාණ අළුත් විදිහට හිතන්න, වෙනස් විදිහට ලෝකය දකින්න අවස්ථාව සළසා දෙනවා. මේ වගේ අමුතු නිර්මාණ බිහි කරන තවත් කලාකරුවන් ගැන ඔබත් දන්නවා නම් එ් විස්තර අප සමඟ බෙදා ගන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය – ඩේමියන් හර්ස්ට් විසින්  නිර්මිත “සමනළ සිතුවම ” – pinterest

Related Articles