Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව සසල කළ රෙස්ලිං ශූර ක්‍රිස් බෙන්වාගේ අබිරහස් මරණය

මෑත යුගයේ දී රෙස්ලිං ක්‍රීඩාව ලොව පුරා අතිමහත් ජනප්‍රියත්වයට පත් වුණා. මේ නිසා WWE හි රෙස්ලිං ක්‍රීඩා තරගත්, ඒවාට සහභාගී වූ ක්‍රීඩකයනුත් ලොව බොහෝ දෙනා දන්නා අය බවට පත් වුණා. 2000 දශකයේ දී එලෙස ජනප්‍රියත්වයට පත් වූ ක්‍රීඩකයෙක් වන්නේ ක්‍රිස් බෙන්වා යි.

ඔහු WWE තරගවලට සහභාගී වීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක් ඉපැයුව ද, ඔහුගේ පෞද්ගලික ජීවිතය නම් හැල හැප්පීම් රාශියක් තිබුණු එකක් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 2007 වසරේ දී ඔහු සිය දිවි නසා ගත්තේ සිය බිරිය සහ දරුවා ඝාතනයෙන් අනතුරුව යි.

ක්‍රිස් බෙන්වා- www.sportskeeda.com

අති සාර්ථක ගමනක නිමාව

ක්‍රිස් බෙන්වා  උපත ලැබුවේ කැනඩාවේ ක්විබෙක් හී දී 1967 වසරේ  යි. ඉතා තරුණ වයසේදී ම රෙස්ලිං ක්‍රීඩාවට යොමු වූ ඔහු වෘත්තීයමය රෙස්ලිං ක්‍රීඩා තරගවලට සම්බන්ධ වන්නේ 1985 වසරේ දී යි. කැනඩාවේ සහ ජපානයේ රෙස්ලිං තරග හා සම්බන්ධ වූ ඔහුගේ ජීවිතයේ නව පිටුවක් පෙරළෙන්නේ 2000 වසරේදී වින්ස් මැක්මැහොන් ගේ WWE ආයතනය සහ සම්බන්ධ වීමත් සමඟ යි. එලෙස සම්බන්ධ වී, වැඩිකල් නොගොස් ම බෙන්වා එහි තරුවක් බවට පත් වෙනවා.

බෙන්වා සැලකෙන්නේ WWE ආයතන දුටු දක්ෂත ම ක්‍රීඩකයෙක් ලෙස යි. 2000-2007 අතර කාලය තුළ ඔහු තරගාවලි ජයග්‍රහණ 22ක් ලබා ගත්තා. රෙස්ලිං ක්‍රීඩාවේ ඉතා දිගු මෙන් ම පැහැබර අනාගතයක පෙර මඟ ලකුණු ඔහු වෙනුවෙන් පෙනෙන්නට තිබුණා. කෙසේ නමුත් 2007 වසරේ ජුනි මස දින තුනක දී ඒ සියල්ල ම උඩු යට්කුරු වුණා. එම කාලය තුඝ ඔහු සිය බිරිය නැන්සි සහ සත් හැවිරිදි පුත්‍රයා වන ඩැනියෙල් ඝාතනය කර, ඉන් අනතුරු ව සිය දිවි නසා ගත්තා. 

ක්‍රිස් බෙන්වා තුළ සැඟවුණු ප්‍රචණ්ඩකාරී ගති ලක්ෂණ

ක්‍රිස් බෙන්වා තමන් මුහුණදුන් රෙස්ලිං තරග රාශියක් ජයග්‍රහණය කළේ ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමිනු යි. විශේෂයෙන් ඔහුගේ උද්වේගකර ක්‍රීඩා විලාසය ප්‍රේක්ෂකයන්ගේ සිත් ගත්තා. ඔහුගෙන් විද්‍යමාන වූ, ‘වේදනාව දරාගැනීමේ අති මහත් හැකියාව’ ඔවුන් මහත් සේ අගය කරන්නක් වුණා. පුටු, ඉණිමග, යකඩ පොළු වැනි දේවලින් දැඩි ලෙසින් පහර කද්දීත්, ඒවා ඉවසාගෙන ප්‍රතිවාදියාට පෙරළා පහර දීම නිසා ඔහු රෙස්ලිං වළල්ල තුළ දී පරාජය කිරීමට ඉතා අපහසු අයෙක් බවට පත් වුණා.

ක්‍රිස් බෙන්වාගේ නිවෙස – Barry Williams/Getty Images

ක්‍රිස් බෙන්වාට මේ හැකියාව ලැබුණේ, හුදු කාය ශක්තිය හා ආත්ම විශ්වාසය නිසාම පමණක් නොවේ,  ඔහු  සිය දරා ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා ටෙස්ටොස්ටෙරෝන සහ තවත් ස්ටෙරොයිඩ් වර්ග භාවිත කළ අතර, ඔහුටත් නොදැනීම කෙමෙන් කෙමෙන් එය ඇබ්බැහියක් බවට පත් වී, තමන් වෙතින් මතු වන ප්‍රචණ්ඩකාරී හැඟීම් නිසි ලෙස පාලනය කරගන්නට නොහැකි තත්ත්වයකට ඔහු පත් වුණා. කෙසේ නමුත් බාහිර ලෝකයාට එය නිරාවරණය වූයේ නැහැ.

රෙස්ලිං වළල්ලෙන් පිටත දී ද ක්‍රිස් බෙන්වා ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් විටින් විට ඉස්මතු වුණා. දෙවරක් විවාහ වූ ඔහුට දරුවන් තිදෙනෙක් වූ අතර, ඔහුගේ දෙවන විවාහයෙන් ලැබුණු එකම දරුවා  ඩැනියෙල් නම් පුත්‍රයෙක් වුණා. 2000 වසරේ දී විවාහ වූ ඔහුගේ දෙවන බිරිය වන නැන්සි  ඔහුට එරෙහි ව වරක් දික්කසාද නඩුවක් පවා පවරා තිබුණේ ඔහුගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිසා යි. සාමාන්‍ය ජීවිතයේදී සාමකාමී මිනිසකු ලෙස පෙනුණ ද, කෝපයට පත් වූ විට බෙන්වා  ඉතාමත් ප්‍රචණ්ඩකාරී මෙන් ම, විශ්වාස කළ නොහැකි තත්ත්වයට පත්වන බැව් නැන්සි පවසා තිබුණා. තමන්ට හා දරුවාට ඔහු හානියක් සිදු කරාවි යැයි තමන්ට බියක් දැනෙන බැව් ඇය බලධාරීන් වෙත තව දුරටත් පවසා තිබුණා. කෙසේ නමුත් පසුකාලීනව ඇය එම පැමිණිල්ල ඉල්ලා අස් කර ගෙන තිබුණා.

ක්‍රිස් බෙන්වා, බිරිය සහ පුතා – www.facebook.com/BooScream

ඝාතන සහ සිය දිවි නසා ගැනීම සිදු වූ ආකාරය

2007 වසරේ ජුනි මස 24 වන දින බෙන්වා WWE හි ‘වෙන්ජන්ස්’ නම් තරගයට සහභාගී වන්නට නියමිතව තිබුණා. ඒ ටෙක්සාස් හි හූස්ටන් නුවර දී යි. මෙය ඔහු ජයගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ මුත්, එදින තරගයට සහභාගී වන්නට ඔහු පැමිණියේ නැහැ.

එදිනම ඔහු සිය මිතුරා වන, මියගිය රෙස්ලිං ශූර එඩී ගුරේරෝ ගේ ඥාති චාවෝ ගුරේරෝ වෙත ‘අමුතු’ පන්නයේ කෙටි පණිවිඩයක් එවා තිබුණා. එහි ‘බල්ලන්, වසා දමා ඇති පිහිණුම් තටාකය පෙදෙසේ රඳවා ඇති අතර, පසුපස දොර ඇර ඇත’ යනුවෙන් සටහන් ව තිබුණා. චාවෝ මෙය එතරම් ගණන් නොගත් අතර, එදින තරගයට බෙන්වා නොපැමිණි බැව් කන වැකීමත් සමඟ තමන්ට යමක් වැරදී ඇති බැව් චාවෝට  වැටහුණා. මේ නිසා කඩිනමින් ඒ පිළිබඳ ව WWE බලධාරීන් දැනුම්වත් කරන්නට ඔහු පියවර ගත්තා. මේ අනුව WWE බලධාරීන් වහා ම පොලිසිය ඇමතූ අතර, වහාම ජෝර්ජියාවේ ෆයෙට්විල් හි පිහිටි බෙන්වාගේ නිවසට විමර්ෂණ කණ්ඩායමක් යැවුණා. එහිදී ඔවුනට දැකගැනීමට හැකි වූයේ බෙන්වා, ඔහුගේ බිරිය නැන්සි සහ දරුවා ඩැනියෙල් මිය ගොස් සිටින ආකාරය යි.

පරීක්ෂණවලින් හෙළි වූයේ බෙන්වා ජුනි 22 වන දින හට ගත් හදිසි කෝපය නිසා හෝ වෙනත් කරුණක් නිසා නැන්සිට පහර දීමෙන් ඇය ඝාතනය වී ඇති බව යි. ඉන් පසු බෙන්වා ඩැනියෙල්ට සැනැක්ස් නම් ඖෂධය අධිමාත්‍රාවක් පොවා ඔහු ඝාතනය කර ඇති අතර, අවසන සිය කාය වර්ධන කාමරයේ වූ රැහැනක් භාවිතයෙන් ගෙල වැලලාගෙන තිබුණා. මෙම ඝාතන සිදු කරන්නට පෙර ඔහු අන්තර්ජාලයෙන් ‘ගෙල බිඳිය හැකි පහසු ම ක්‍රම’ වැනි දේ ද කියවා තිබුණා. නැන්සි හා ඩැනියෙල් ඝාතනය කිරීමෙන් අනතුරු ව, එම සිරුරු මත බයිබල තැබූ බෙන්වා, සිය දිවි නසා ගෙන තිබුණේ ඉන් පසු දින යි.

බෙන්වා WWE හි තරග වදිමින්- www.sportsmanor.com

මරණය කැන්දූ අධිමාත්‍රාව

ක්‍රිස් බෙන්වා සිය පවුලේ සාමාජිකයන් ද ඝාතනය කර සිය දිවි නසා ගැනීමේ පුවත ලැව් ගින්නක් සේ ලොව පුරා පැතිර ගියා. ඔහු මෙලෙස සිය දිවි නසා ගන්නට හේතු සෙවීමට බලධාරීන් කඩිනම් පියවර ගත්තා.

පර්යේෂණවලින් හෙළි වූයේ ටෙස්ටෙස්ටරෝන සහ ස්ටෙරොයිඩ භාවිතය නිසා බෙන්වාගේ මනසට හානි පැමිණ ඇති බව යි. බෙන්වාගේ මොළයෙහි වූ ටෙස්ටොස්ටෙරෝන හෝමෝන ප්‍රමාණය සමාන්‍ය පුද්ගලයකුගේ මෙන් 10 ගුණයක් වූ අතර, ඔහුගේ හදවත ද විශාල වී තිබුණේ, ඕනෑම මොහොතක එමඟින් වුව ද ඔහු මිය හා හැකි බවට ඉඟි සපයමින්. කෙසේ නමුත් ඔහු ගේ ඉක්මන් කෝපය නිසා මෙම ඝාතන සහ සිය දිවි නසා ගැනීම සිදු ව ඇති බවට අවසානයේ තීන්දු වුණා.

පර්යේෂණවලින් අනාවරණය වී තිබුණේ බෙන්වාගේ මොළය ඇල්සයිමර් රෝගය ඇති  85 වන වියේ පසුවන්නකුගේ ලක්ෂණ පෙන්නුම් කරන බව යි. මීට ඖෂධ අධිමාත්‍රාවලට අමතර ව රෙස්ලිං තරගවලදී නිතර නිතර හිසට එල්ල වූ පහරවල් ද හේතු වී තිබුණා.

ක්‍රිස් බෙන්වාගේ සමීපතමයන්ට ඔහුගේ හැසිරීමේ වෙනසක් දැනී තිබුණේ 2005 වසරේ පමණ සිට යි. එම වසරේ දී රෙස්ලිං ශූර එඩී ගුරේරෝ හදිසියේ මිය ගිය අතර ඒ සිද්ධිය තදාසන්න ව බෙන්වා ද ඉතා අසාමාන්‍ය ලෙස හැසිරීමට පටන් ගෙන තිබුණා. මියගිය නැන්සිගේ සොයුරු, රෙස්ලිං ශූර ක්‍රිස් ජෙරිකෝ පවසා තිබුණේ සමහර විටෙක බෙන්වා සති ගණන් ගෙදර නොපැමිණෙන බව යි.

ක්‍රිස් බෙන්වාගේ අවාසනාවන්ත මරණය, තරගකාරී රෙස්ලිං ක්‍රීඩාවේ එක් අඳුරු පැතිකඩක් පෙන්වනවා – www.twm.news

රෙස්ලිං ක්‍රීඩාවේ දිශානතිය වෙනස් කළ මරණය

බෙන්වාගේ මරණය සැලවීමත් සමඟග ප්‍රකාශයක් නිකුත් කළ WWE ආයතනය, රෙස්ලිං ක්‍රීඩාව නිසා මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙන්නට ඔහුට සිදු වූවා යන්න ප්‍රතික්ෂේප කළා. ඉන් නොනැවතුණු ඔවුන් බෙන්වාගෙ වීඩියෝ සහ ඡායාරූප සියල්ල ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ඉවත් කළා. කෙසේ නමුත් පසුකාලීන ව, WWE ආයතනය හිසට පුටුවලින් පහර දීම තහනම් කිරීම වැනි, ක්‍රීඩකයාගේ ආරක්ෂාවට වැදගත් තීරණ රාශියක් ගත්තා. මීට අමතරව, රෙස්ලිං ක්‍රීඩාවට සම්බන්ධ වන්නන් ගේ තහනම් අන්තරායකර ඖෂධ භාවිතයට එරෙහි නීති රීති ඉතා දැඩි කළා. ඒ සියල්ල සිදුවන්නට බෙන්වාගේ මරණය හේතු වුණා.

පසුවදන

ක්‍රිස් බෙන්වාගේ අවාසනාවන්ත මරණය, තරගකාරී රෙස්ලිං ක්‍රීඩාවේ එක් අඳුරු පැතිකඩක් පෙන්වනවා. ඔහුගේ මරණයෙන් ලෝකයක් හඬා වැටුණු අතර, එක අතෙකින් ඒත් සමඟ WWE ආයතනය එතෙක් සඟවා ගෙන සිටි එක්තරා තිත්ත ඇත්තක් ලෝකයට නිරාවරණය වුණා. බෙන්වාගේ මරණයෙන් පසුවත් රෙස්ලිං හා සබැඳි අකල් මරණ වාර්තා වුණද, ඒවායේ අඩුවක් දක්නට ලැබුණේ සමහර නීති රීති වෙනස් වීම නිසා අන්තරායදායක පහරදීම් මෙන් ම මත් ද්‍රව්‍ය භාවිතය යම් පමණකට හෝ අවම වීම නිසා යි.

කවරයේ ඡායාරූපය - රෙස්ලිං ශූර ක්‍රිස් බෙන්වා - KMazur//Getty Images
මූලාශ්‍ර:
Allthatsinteresting.com
Prowrestling.fandom.com
bleacherreport.com

Related Articles