Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකානු ජනාධිපති වීමට තරග කරන හින්දු කාන්තාව – තුල්සි ගැබාර්ඩ්

ඇමරිකා එක්සත් ජනපදයේ 2020 ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂික අපේක්ෂකයා තෝරාගැනීමේ තරගය මේ දිනවල පැවැත්වෙනවා. මේ සඳහා අපේක්ෂකයන් 25 දෙනකුට වැඩි පිරිසක් මුලින් ඉදිරිපත් වූ අතර කිහිප දෙනෙකු මේ වනවිට ඉන් ඉවත්ව තිබෙනවා. එමෙන්ම​, හිලරි ක්ලින්ටන් ද මෙම තරගයට ඇතුල් වේයැ යි ඇතැමුන් තවම විශ්වාස කරනවා.

මෙවර නාම යෝජනා දිනාගැනීමේ තරගයේ ප්‍රධාන ලක්ෂණ ලෙස ඉදිරිපත් වූ අපේක්ෂක සංඛ්‍යාව, ඔවුන් අතර තරුණ අපේක්ෂක සංඛ්‍යාව සහ කාන්තා අපේක්ෂක සංඛ්‍යාව ද සලකන්න පුළුවන්. දැනට තරගයේ රැඳී සිටින්නන් 19 දෙනාගෙන් පස් දෙනකු කාන්තාවන් වන අතර​, අට දෙනකු වයස අවුරුදු 50 හෝ ඊට අඩු අය යි.

මේ අතරින් ලාබාලම අපේක්ෂිකාවක ලෙස 38 හැවිරිදි තුල්සි ගැබාර්ඩ් හඳුන්වා දෙන්නා පුළුවන්. එමෙන්ම ඇය ඇමරිකානු ජනාධිපති ධුරයට තරග කරන පළමු හින්දු භක්තිකයා ලෙස ද සැලකෙනවා. තවද​, ජනාධිපති ධුරයට තරග කරන යුධ සේවයේ නිරත වූ පළමු කාන්තාව​ ලෙස ද ඇය සැලකෙනවා. (මෙහිදී අපේක්ෂකත්වය යන්නෙන් අදහස් කරන්නේ ජනාධිපතිවරණ නාම යෝජනා සටන ද ඇතුලත්ව යි. ඇමරිකාවේ බොහෝ පක්ෂවල ජනාධිපතිවරණ නාම යෝජනා දිනා ගැනීම සඳහා පක්ෂය තුළම තරගයක් පැවැත්වෙනවා. මේ දිනවල ඩිමොක්‍රටික් පක්ෂයේ එම නාම යෝජනා තරගය පැවැත්වෙනවා. රිපබ්ලිකන් පක්ෂයේ නාම යෝජනා සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝගයක් එල්ල වේයැ යි සිතීමට අපහසු යි).

කියවන්න​: ලෝකයටම බලපාන ඇමරිකානු ජනපතිවරණය පවත්වන්නේ මෙහෙමයි

හවායි හි ජීවත්වන තුල්සි ගැබාර්ඩ් උපතින් සැමෝවානු ඇමරිකන් කාන්තාවක්. 2012 දී ඇය හවායි ප්‍රාන්තයේ දෙවන කොන්ග්‍රස් දිස්ත්‍රික්කයෙන් ඇමරිකානු කොන්ග්‍රස් සභාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වුණේ කොන්ග්‍රස් සභාවේ පළමු සැමෝවානු ඇමරිකන් සහ පළමු හින්දු ලබ්ධික සභිකයා බවට පත් වෙමින්.

තුල්සි ගැබාර්ඩ් (Gage Skidmore)

තුල්සි ගැබාර්ඩ් උපන්නේ 1981 අප්‍රේල් 12 වනදා ඇමරිකන් සැමෝවා හි විශාලම දූපත වන ටුටුයිලා හි දී යි. ඇගේ වයස අවුරුදු දෙකක් වනවිට ඇගේ පවුල හවායි වෙත පදිංචියට පැමිණියා. ඇගේ පියා වන මයික් ගැබාර්ඩ් එහි ප්‍රාන්ත සෙනට් සභාවේ සභිකයකු වනවා.

තුල්සිගේ මව ජර්මන් සම්භවයකින් යුත් කාන්තාවක වන අතර ඇය හින්දු ආගම අදහන්නියක්. තුල්සි ද එම ආගම තෝරාගනු ලැබුවා. තුල්සි තමා පිළිබඳව සඳහන් කරන පරිදි ඇය අග්නිදිග ආසියානු, ජර්මන්, පොලිනීසියන් සහ වෙනත් ජනවර්ග නවයක පමණ සම්භවයන් සහිත කාන්තාවක් වනවා.

දේශපාලනය සහ හමුදා සේවය

තුල්සි ගැබාර්ඩ් 2002 දී හවායි ප්‍රාන්ත නියෝජිත මන්ත්‍රණ සභාවට තරග කර ජයග්‍රහණය කළා. ඉන් ස්වල්ප කලකට පසු, 2003 මාර්තු මාසයේ දී ඉරාක යුද්ධය ඇරඹුණා. අප්‍රේල් මාසයේ දී හවායි ජාතික භට හමුදාවට බැඳුණ ඇය ජූලි මස සිට වසරක් ඉරාකයේ සේවය කළා. පසු කාලීනව 2008 සිට වසරක කාලයක් ඇය කුවේට් රාජ්‍යයේ සේවය කළා.

තුල්සි ගැබාර්ඩ් හමුදා නිල ඇඳුමින් (tulsi2020.com)

තුල්සි ගැබාර්ඩ් 2010 දී නැවත දේශපාලනයට පිවිසියේ හවායි හි හොනලුලු නගර සභාවට තරග කර ජය ගැනීමෙන්. 2012 දී ඇය ඇමරිකා එක්සත් ජනපද කොන්ග්‍රස් සභාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා හවායි හි දෙවන දිස්ත්‍රික්කයෙන් තරග කළා. සුරක්ෂිත ඩිමොක්‍රටික් ආසනයක් වන එහි ඇයට තිබුණ විශාලම අභියෝගය වූයේ පක්ෂයේ නාමයෝජනා දිනාගැනීම යි. ඇයට එරෙහිව පැමිණි විශාලම චෝදනාව වූයේ ඇය තවම බොහෝ තරුණ අයකු වීම යි. එහෙත් එම අභියෝගයට මුහුණ දුන් ඇය පක්ෂයේ නාමයෝජනා දිනාගැනීමේ තරගයෙන් ජයගත්තා. ඉන් අනතුරුව පහසුවෙන්ම ඇය කොන්ග්‍රස් සභාවට තේරී පත්වුණා. එතැන් පටන් මේ දක්වා ඇය දිගටම කොන්ග්‍රස් සභිකයකු ලෙස කටයුතු කරනවා.

තුල්සි ගැබාර්ඩ් කොන්ග්‍රස් සභිකවරියක ලෙස සන්නද්ධ සේවා කමිටුව​, විදේශ කටයුතු කමිටුව සහ මූල්‍ය සේවා කමිටුව යන කොන්ග්‍රස් සභා කමිටුවල කටයුතු කර තිබෙනවා.

ස්ථාවරයන්

තුල්සි ගැබාර්ඩ්ගේ ස්ථාවරයන් සාමාන්‍යයෙන් සෙනට් සභික බර්නි සැන්ඩර්ස්ගේ ස්ථාවරයන් කිට්ටුවෙන් පවතින බව සැලකීමට පුළුවන්. 2016 දී, තමා එවකට දරමින් සිටි ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ උප සභාපති ධුරයෙන් ඉවත් වූ ඇය ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ නාමයෝජනා තරගයේ දී සැන්ඩර්ස්ට සහය පළ කළා. නමුත් හිලරි ක්ලින්ටන් විසින් එහිදී සැන්ඩර්ස් පරාජයට පත් කෙරුණා.

ගැබාර්ඩ්ගේ ප්‍රතිපත්ති අතර සැමට සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයක් ලබාදීම ප්‍රධාන වන අතර අනෙකුත් කරුණු බොහොමයක දී ඇය සහ අනෙක් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතර ද විශාල වෙනස්කම් නැතැ යි කිව හැකියි. නමුත් ඇය ඇතැම් කරුණු හේතුවෙන් ආන්දෝලනාත්මක චරිතයක් වනවා.

මේ අතර 2017 දී සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් හමුවීමට යාම ප්‍රධාන යි. එකල අසාද් රජය වෙත රසායන අවි භාවිතා කිරීම පිළිබඳ චෝදනා මතුවෙමින් තිබුණා. ගැබාර්ඩ් එම චෝදනා පිළිබඳ සැක පළ කළා.

දේශපාලනයට පැමිණි සමයෙහි ගැබාර්ඩ් සමරිසි අයිතීන්ට එරෙහි වූවකු වූ අතර පසුව එම ස්ථාවරයන් වෙනස් කරගෙන තිබෙනවා. ඇගේ පියා ප්‍රබල ලෙස සමරිසි අයිතීන්ට එරෙහි වන්නකු ලෙස ප්‍රකට යි.

ජනාධිපති ව්‍යාපාරය

තුල්සි ගැබාර්ඩ් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය ඇරඹූවේ 2019 ජනවාරි 11 වන දා යි. ඇය පිළිබඳ සැලකිය යුතු උද්‍යෝගයක් පැවති නමුත් විශාල අපේක්ෂකයන් පිරිසක් අතර ඇයට වඩා අවධානය යොමු වූ කිහිප දෙනකුම සිටියා. එහෙයින් ගැබාර්ඩ් තවමත් අපේක්ෂකත්ව තරගයේ බෙහෙවින් පිටිපසින් සිටිනවා.

ඇය පළමු ඩිමොක්‍රටික් විවාද දෙකට සහභාගී වුණ ද තුන්වන විවාදයට සුදුසුකම් ලැබුවේ නැහැ. සිව් වන විවාදයට සුදුසුකම් ලැබුව ද ඇය වරක් එය වර්ජනය කිරීමට සූදානම් වුණා. විවාදවලට සුදුසුකම් ලැබීමේ ක්‍රමය ඇය විසින් ප්‍රශ්න කරනු ලැබුණා. කෙසේ නමුත් පසුව ඇය එම විවාදයට ඉදිරිපත් වන බව කියා සිටියා.

Cover Image: තුල්සි ගැබාර්ඩ් (Reuters)

Related Articles