Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හින්දි සිනමාවේ අති දක්ෂයා – දේව් ආනන්ද්

වසර 106ක් පැරණි හින්දි සිනමාව තුළ වරින් වර අති දක්ෂ නළුවන් බිහිවුණා. එමෙන්ම ප්‍රේක්ෂක හදවත් සොරාගත් ජනප්‍රිය හා කඩවසම් නළුවන් ද බිහිවුණා. කෙසේ නමුත් මේ ගුණයන් දෙකම සමානව පිහිටි රංගන ශිල්පීන් බිහිවූවා නම් ඒ ඉතා විරලව යි. මේ කුලකයට අයත් අයවළුන් අතරිනුත් දේව් ආනන්ද්ට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. නළුවෙක් වශයෙන් පමණක් නොව හොඳ අධ්‍යක්ෂකවරයෙකු වශයෙනුත් වසර 65කට ආසන්න කාලයක් බොලිවුඩය බැබළවූ ඔහු එහි පෑයූ දීප්තිමත්ම තාරකාවක් ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකියි.

උපත හා මුල් කාලය

ධරම්දේව් පිශෝරිමාල් ආනන්ද් උපත ලැබුවේ 1923 වසරේ සැප්තැම්බර් මස 26 වන දා වර්තමාන පාකිස්ථානයට අයත් පන්ජාබ් ප්‍රාන්තයේ ගුර්දස්පූර්හි දී යි. යමක් කමක් ඇති ඉහළ මධ්‍යම පාන්තික පවුලක් උපත ලද ඔහු ලාහෝරයේ රජයේ උසස් පාසලෙන් ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳව උපාධියක් ලබාගත්තා.

තුරුණු වියේදී- storypick.com

කුඩා කල සිටම රංගනය කෙරෙහි කුඩා දේව්ගේ සිත ඇදී ගොස් තිබුණා. මේ හේතුව නිසාම ඔහු 1940 දශකයේ මැද භාගයේ මුම්බායි බලා යනවා. මසකට රුපියල් 160ක් ලැබෙන කුඩා රැකියාවක් සොයාගත් ඔහු නිතරම බොලිවුඩය කෙරෙහි අවධානයෙන් පසුවුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1946 වසරේ දී හම් එක් හේ නම් චිත්‍රපටයකට රංගනයෙන් දායක වීමේ අවස්ථාව ඔහුට ලැබෙනවා. එහි ප්‍රධාන චරිතයක් ලැබෙන්නට තරම් ඔහු වාසනාවන්ත වුණා. මෙහිදී ඔහුට ගුරු දත් නම් මිත්‍රයෙකු හමුවනවා. චිත්‍රපට අධ්‍යක්ෂණයටත් කැමැත්තක් දැක්වූ ඔහු හා දේව්ගේ මිත්‍රකම ඉක්මණින්ම දළු ලා වැඩෙනවා. යම් දිනෙක දේව් චිත්‍රපටයක් නිෂ්පාදනය කළහොත් එය අධ්‍යක්ෂණය කරන්නට ගුරු දත්ට ලබා දෙන්නටත්, ගුරු දත් එවැන්නක් නිපැයුවහොත් එහි ප්‍රධාන රංගන ශිල්පියාගේ භූමිකාව දේව්ට ලබා දෙන්නටත් ඔවුන් දෙදෙනා ගිවිසගත්තා.

පෙරළුණු ඉරණම

දේව් ආනන්ද් ගේ ජීවිතයේ පෙරළියක් සිදුවූයේ අහම්බයකිනුයි. දේව්ගේ ප්‍රියතම නළුවා වූ අශෝක් කුමාර් බොලිවුඩ් පුරයේ දී ඔහු දැක, ඔහුට සිද්ධි නම් චිත්‍රපටයේ ප්‍රධාන නළු භූමිකාව ලබා දෙනවා. මෙහිදී ඔහු ඉතා ජනප්‍රිය වන අතර බොලිවුඩයේ සිය ප්‍රථම සලකුණ තබනවා.

1949 වසරේ දී දේව් ඔහුගේම කියා චිත්‍රපට සමාගමක් සාදා, එයට ‘නව්කේතන්’ යනුවෙන් නම් තබනු ලැබුණා. මින් කෙටි කලක් ගතවන විටම ගුරු දත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට අදහස් කළ අතර පොරොන්දු ප්‍රකාරවම දේව්ට එහි ප්‍රධාන නළු භූමිකාව ලබා දෙනවා. බාසි යනුවෙන් 1951 වසරේ දී තිරගත වූ එය දේව් ආනන්ද් තරුවක් බවට පත් කරනවා.

චරිතාංග නළුවෙකු ලෙස

දේව්- කල්පනා- catchnews.com

බොලිවුඩයේ බොහෝ නළුවන් හුදු පෙම්වතාගේ චරිතයට කොටුවන විට දේව්ට අවශ්‍ය වූයේ විවිධ චරිත අත්හදා බලන්නට යි. ජාල් (1952) චිත්‍රපටයේ සූදු අන්තුවෙකු හා සොරෙකුගේ චරිතයක් නිරූපණය කළ ඔහු ටැක්සි ඩ්‍රයිවර්(1954) හි කුලීරථ රියැදුරෙකුගේ චරිතය නිරූපණය කළා. මේ චිත්‍රපටයේ ඔහුගේ පෙම්වතිය ලෙස රඟ පෑ කල්පනා කාර්තික් හා පෙමින් බැඳුණු ඔහු 1954 වසරේ දී ඇය හා විවාහ වුණා. මොවුන් දෙදෙනාට 1956 වසරේ දී දරු සම්පතකුත් ලැබුණා. නමුත් ඒ වන විට කෙමෙන් කෙමෙන් බොලිවුඩයේ ඉහළට යමින් සිටි දේව්ගේ ගමන බිඳකින් හෝ අඩාල කරන්නට විවාහය හෝ දරු උපත සමත් වූයේ නැහැ. මේ කාලය තුළ දී ඔහු රඟපෑ සී. අයි. ඩී (1956), මුනිම්ජී (1955), හා පෙයින් ගෙස්ට් (1957) වැනි චිත්‍රපට ඉතා ජනප්‍රිය වුණා.

හිණිපෙත්තටම

1950 දශකයේ අග භාගය වන විට, ඒ වන විට බොලිවුඩ් සිනමාවේ පතාක යෝධයින් ලෙස හැඳින්වුණු රාජ් කපූර් හා දිලිප් කුමාර් සමග කරට කර සටන් කළ හැකි මට්ටමකට දේව් ආනන්ද් පැමිණ තිබුණා. ප්‍රසන්න මෙන්ම හොඳින් හැඟීම් ජනනය කළ හැකි මුහුණත්, චරිතයෙන් චරිතයට සියුම් ලෙස වෙනස් විය හැකි රංගන ප්‍රතිභාවත් ප්‍රේක්ෂකයින් අතර දේව් ආනන්ද් ‘උන්මාදයක්’ ඇති කිරීමට සමත් වුණා. රංගනය පිළිබඳ ඇගයීම් ද ඔහුට ලැබුණු අතර උදාහරණ ලෙස ‘කාලා පානි’ (1958) චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය ලැබීම ගත හැකියි.

ගයිඩ්- livemint.com

දේව් ආනන්ද් ගේ පළමු වර්ණ චිත්‍රපටය වන්නේ 1965 වසරේ තිරගත වූ ගයිඩ් චිත්‍රපටය යි. එහිදී ඔහුගේ පෙම්වතිය ලෙස වහීඩා රෙහෙමාන් රඟපෑ අතර එය ඔහුගේ බාල සොයුරු විජේ ආනන්ද් ගේ අධ්‍යක්ෂණයක් වුණා. එය සාර්ථක වීමෙන් පසු විජේ දේව් යොදාගනිමින් ජුවෙල් තීෆ් (1967) නම් තවත් සාර්ථක චිත්‍රපටයක් නිපැයුවා. මොවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් නිපැයුණු තෙවන චිත්‍රපටය වන්නේ ජොනී මෙරා නාම් (1970) චිත්‍රපටය යි.

අධ්‍යක්ෂකවරයෙකු ලෙස

දේව් ආනන්ද් අධ්‍යක්ෂකවරයෙකු ලෙස කළ එලි බැස්සේ 1970 වසරේ ප්‍රේම් පුජාරී චිත්‍රපටයෙනුයි. අවාසනාවට එය ආදායම් අතින් අසාර්ථක වුණා. කෙසේ නමුත් ඔහුගේ දෙවන අධ්‍යක්ෂණය වූ හරි රාමා හරි ක්‍රිෂ්ණා (1971) බොක්ස් ඔෆිස් වාර්ථා බිඳහෙළූ අතිසාර්ථක නිෂ්පාදනයක් වුණා.

1978 වසරේ දී තිරගත වූ දේස් පර්දේස් චිත්‍රපටයෙන් පසු කෙමෙන් කෙමෙන් රංගන ශිල්පියෙකු වශයෙන් දේව් ට වූ ජනප්‍රියතාව අඩු වී ගියා. නමුත් එතැන් පටන් මියයන තුරුම ඔහු බොලිවුඩයේ වසර 33ක් පමණ කාලයක් සක්‍රීයව සිටියා.

දේව් ආනන්ද් වියපත්ව- IANS

දිවියෙන් සමුගැනීම

වසර 88 ක් දිවි ගෙවූ දේව් ආනන්ද් සිය දිවිය පුරාම පාහේ සෑහෙන තරම් නිරෝගී දිවියක් ගතකරන්නට තරම් වාසනාවන්ත වී තිබුණා. 2011 වසරේ දෙසැම්බර් මස ආරම්භයේ දී ඔහු පවුලේ උදවිය සමග ලන්ඩනයට ගොස් තිබුණේ සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා යි. දෙසැම්බර් මස 3 වන දා නින්දේ දී වැළඳුණු හෘදයාබාධයකින් හදිසියේම ඔහු මියගොස් තිබුණේ නැවතී සිටි හෝටල් කාමරය තුළ යි. මේ වන විට ඔහුගේ අවසාන චිත්‍රපටය අධ්‍යක්ෂණය වූ චාර්ජ්ෂීට්(2011) නිකුත් වී වැඩි කලක් ගත වී තිබුණේ නැහැ. මෙහි ඔහු  චරිතයක් ද නිරූපණය කර තිබුණා.

දේව් ආනන්ද් සිය ජීවිත කාලය තුළ සම්මාන රාශියකට නිර්දේශ වී ඇති අතර ඉන් කිහිපයක්ම දිනාගෙනත් තිබෙනවා. ඔහු තරම් සියුම්ව චරිත නිරූපණය කළ හැකි රංගන ශිල්පීන් අදටත් බොලිවුඩයේ සිටින්නේ ඉතා අඩුවෙන් බව සිනමා විචාරකයින් පවසනවා.

කවරයේ පින්තූරය- dnaindia.com

Related Articles