කොටි වෙඩි පහරට ලක්වූ දිඹුලාගල හාමුදුරුවෝ

වෙසක් මාසෙ වෙඩිතබා ඝාතනය කෙරුණු දිඹුලාගල නායක හාමුදුරුවෝ අපේ රටේ කැපීපෙනෙන භික්ෂු චරිතයක්. කිසිවිට සැපදායක දිවියක් ගත නොකළ උන්වහන්සේගේ අපවත්වීම විශාල කතාබහකට ලක්වුණු කාරණයක්. ආදාහනය පැවති අවස්ථාවේ රටේ බොහෝ නගරවල වෙළෙඳසල් වසා විරෝධය පළ කෙරුණා. තමන්ගේ සුවපහසුව වෙනුවට රජරට දුප්පත් ගැමියන්ගේ ජීවිත ගොඩනැගීම පරමාර්ථය කරගත් ඒ හිමියන්ගේ ජීවිතය ගැන විමසා බැලීමට ගත් උත්සාහයක් මේ. 

ජීවන තතු

කිතලගම සීලාලංකාර නාහිමි තරුණ වියේදී – දිඹුලාගල විහාර වංශය- කිතලගම සීලාලංකාර හිමි කෘතියෙනි.

මාතර කිතලගම උපන් හේවාදුවගේ චාර්ලිස් ගමේ පාසලේ ඉගෙන ගත්තේ හතරවන පන්තිය දක්වා පමණ යි. ඔහු අධ්‍යාපනයට උනන්දුවක් දැක්වූයේ නැහැ. ඔහුගේ පියා හේවාදුවගේ දියෝනිස් වූ අතර මව නයිනහාමි නම් වුණා. පාඩම් වැරදීම නිසා ගුරුවරුන්ගේ දඬුවම්වලට නිතරම මුහුණ දීමට වූ නිසා චාර්ලිස් පාසල් ගමන අතරමඟ දී නතර කළා. 

ඔහුගේ පියා අහිංසක දුප්පතකු වුණා. පාසල් යාමට අකමැති වූ දරුවාගේ අනාගතය කඩාකප්පල් වීම වැළැක්වීමට ඔහු කළේ පුතා පැවිදි කිරීම යි. දෙමාපියන් සහ නෑදෑයන් සමග මහණවීමේ අදහසින් ගමේ පන්සලට ගිය ද ඔහුට ඒ අවස්ථාව හිමිවුණේ නැහැ. ඊට පසු චාර්ලිස්ගේ පියා  විල්පිට අරණ්‍ය සේනාසනයට ගියේ එතැනින්වත් පිළිසරණක් ලැබෙනු ඇතැ යි සිතාගෙන යි. අරණ්‍ය සේනාසනාධිපති ලෙස වැඩ විසූ උඩුපිහිල්ලේගොඩ පඤ්ඤාලංකාර හිමියෝ චාර්ලිස් දරුවා පැවිදි දිවියට පත්කර ගැනීමට කැමැත්ත පළ කළා. චාර්ලිස් පසුව “කිතලගම සීලාලංකාර” නමින් භික්ෂුත්වයට පත් වුණා.

බවුන් වැඩීමට පොළොන්නරු හිමයට

දිඹුලාගල කන්ද- mapio.net

ටිකෙන් ටික තරුණ වියට පත් සීලාලංකාර හිමියෝ අනිත්‍යය මෙණෙහි කරමින් බවුන් වැඩීමට වැඩි කැමැත්තක් දැක්වූවා. ඒ නිසා ජනාශ්‍රිත මාතර වෙනුවට ජනශුන්‍ය පොළොන්නරුවේ වනගත පෙදෙසකට පැමිණීමට ඒ හිමියෝ තීරණය කළා. තරුණ වයසේ සිටි උන්වහන්සේ ඕනැම අභියෝගයකට මුහුණදීමට තරම් එඩිතර සිත් සහිත වුණා.

උන්වහන්සේ මුලින්ම කදුරුවෙල පලුගස්දමන ප‍්‍රදේශයට පැමිණියා. ඒ 1940 දශකයේ දී යි. පලුගස්දමන ප‍්‍රදේශයේ සොහොන් පිටියක වූ නුග ගසක් ආවාසය කරගත් සීලාලංකාර හිමියෝ භාවනායෝගීව සිටීමට සොහොන් පිටියේ වූ කුඩා ගොඩනැගිල්ල භාවිත කළ බව පැවසෙනවා. කාලය ගතවත්ම පලුගස්දමන ප‍්‍රදේශය ජනාවාස වන්නට වුණා. ඒ අතර ඒ ජනාවාසවල වෙසෙන ජනතාව අප‍්‍රමාණ දුක් කන්දරාවක් විඳින බව ද සීලාලංකාර හිමියන්ට අවබෝධ වුණා. භාවනා කර පුද්ගල විමුක්තිය සලසා ගන්නවා වෙනුවට දුක්විඳින රජරට ජනතාවට සේවයක් කිරීමේ උනන්දුව සීලාලංකාර හාමුදුරුවන්ට ඇති වුණා.

දිඹුලාගල ලෙන් – Lankaexcurtionsholiday.com

පොළොන්නරුව සොරිවිල පුරාණ සිංහල ගමක්. උන්වහන්සේ පලුගස්දමනට නුදුරු සොරිවිලට පැමිණියේ 1948 දී යි. ගම්වැසියන්ගේ වාසගම් මුදියන්සේ, රත්නායක මුදියන්සේ ආදී ලෙස තිබුණත්, නම් තිබුණේ කන්නයියා, කන්නම්මා වැනි දෙමළ බසට නැඹුරුවකින්. මොවුන් ආහාරයට ගත්තේ දඩ මස්.  කටුක දිවියක් ගත කළ ඔවුන් ජීවත් වුණේ වැද්දන් වගේ.

දුක් විඳින ගැමි ජනතාවගේ ජීවිතය ගොඩ නැගීමට උන්වහන්සේ කටයුතු කරන්නට වුණා. මුලින්ම සිංහල භාෂාව පිළිබඳ දැනුමක් ඇති පිරිසක් තෝරා ගෙන පාසලක් ආරම්භ කිරීමට සීලාලංකාර හාමුරුවෝ කටයුතු කළා.  එහෙත් එය සාර්ථක ප‍්‍රතිඵල ගෙන දුන්නේ නැහැ. පසුව සැතපුම් විස්සක් පමණ දුර පොළොන්නරුවට පයින්ම වැඩම කළ සීලාලංකාර හිමියන් හාල්, ලුණු, මිරිස් ආදිය ගම්වාසීන්ට ගෙනවිත් ලබාදීමට කටයුතු කළා.  දානපතියන්ගේ උපකාරය ලබාගෙන පාසලට පැමිණෙන ළමයින්ට උදේ සහ දිවා ආහාරය ලබා දෙන වැඩපිළිවෙළක් ද සකස් කළා. ආහාර ලැබෙන විට පාසලේ ශිෂ්‍ය පිරිස ක‍්‍රමයෙන් ඉහළ ගියා. අද සොරිවිල මහා විද්‍යාලයය බවට පත්ව ඇත්තේ ඒ පාසල යි.

දිඹුලාගල මහ ලෙනකට

දිඹුලාගල විහාර ගොඩනැගිලි- tripadvisor.com

පසුව උන්වහන්සේ හඳපාන් විල්ලුවේ පැරණි ලෙනකට වැඩ වාසය කිරීම ආරම්භ කළා. ඒ අතර ඈතින් පෙනෙන දිඹුලාගල කඳුවැටිය ගැනත් උන්වහන්සේ උනන්දු වුණා. අනුරාධපුර යුගයේ වනගත ආරණ්‍යයක් ලෙස තිබූ, “ධූමරක්ඛපබ්බත” ලෙස මහාවංශයේ හඳුන්වන දිඹුලාගල මහ වන මැද තිබුණේ කිසිවකුගේ අවධානයට ලක් නොවී. මහා කාශ්‍යප නාහිමි මෙහි ලෙන්වල වැඩි සිටි බව ඉතිහාසයේ සඳහන්  වෙනවා. දිඹුලාගල ලෙන්ලෙන් රාශියක් වාසස්ථාන බවට පත්කරගෙන හිටියේ වැදි ජනතාව යි. උන්වහන්සේ දිඹුලාගල ප‍්‍රදේශයට භාවනාව සඳහා පිටත්වීමට අදහස් කළා. 

1954 දී  සීලාලංකාර හාමුදුරුවෝ පාත‍්‍රයක් පමණක් අතට ගෙන වාසය කිරීමට ගල් ලෙනක් සොයමින් දිඹුලාගල වනයේ ඇවිදිමින් සිටියා. එහෙත් හමුවන හැම ගල්ලෙනකම වැදි ජනතාව ජීවත්වුණා. වැදි නායකයා වූ ‘මිල්ලාන’ හමුවූ උන්වහන්සේ ගල් ගුහාවක් තමාට ලබාගත හැකිදැ යි විමසුවා. වැදි ජනතාවට විසීමට තැනක් ලබා දෙන බව ප‍්‍රකාශ කළ පසුව මිල්ලානා තමා පදිංචිව සිටි ලෙන කිතලගම හිමියන්ට පූජා කිරීමට කැමැති වුණා. අද ඒ ලෙන දිඹුලාගල විහාරයේ බුදුමැදුර බවට පත්ව තිබෙනවා.

පසුව උන්වහන්සේට සිතුණේ වැදි පිරිස ශිෂ්ටාචාරයට ගත යුතු බව යි. මිල්ලානගේ කුඩා දරුවා මහණ කිරීමට බුද්ධ ශාසනයට එක්කර ගත්තා. ඒ දිඹුලාගල සිරියාලංකාර යන නමින්. කොළඹට වැඩම කර ආධාර උපකාර ලබාගත් උන්වහන්සේ වැද්දන් සඳහා ගෙවල් සාදාදීම ආරම්භ කළා.

ජනතාවට පිහිට

නාහිමියෝ වගාබිමක -dinamina.lk

1957 මහ ගංවතුර පැමිණ දිඹුලාගල අවට පහත්බිම් සියල්ල ජලයෙන් යටවුණා. දිඹුලාගල අවට කාටවත් කෑමට කිසිවක් තිබුණේ නැහැ. හාමුදුරුවෝ ගංවතුරේ බැහැලා පයින්ම පොළොන්නරුවට ගියා. දිඹුලාගල කන්දේ සිටින පිරිස ගැන උන්වහන්සේ දිසාපතිවරයාට කියා සිටියා. ඒ වන තෙක් දිසාපතිවරයාට ද මෙවැනි පිරිසක් ගැන කිසිම තොරතුරක් ලැබී තිබුණේ නැත. පසුව ආහාර පාර්සල් යැවීමට කටයුතු කෙරුණි. මෙහිදී සිය ගණනක් වූ වැසියන්ගේ ජීවිත බේරුණේ සීලාලංකාර හිමියන් කළ කැපවීම නිසා යි.

දිඹුලාගල සංවර්ධනය

එඩිතර භික්ෂුව – dinamina.lk

ද්‍රවිඩ, මුස්ලිම්, උඩරට, පහතරට භේදයකින් තොරව අටසිය පනහකට ආසන්න පිරිසක් උන්වහන්සේ පැවිදිකර ගත්තා. මාතර කිතලගම සීලාලංකාර හිමි “දිඹුලාගල නායක හාමුරුවෝ” නමින් රටේම පතල වුණා. බෞද්ධ විහාර නොතිබූ ප්‍රදේශයේ පැරණි නටබුන් සහිත තැන්වල මෙන්ම අවට ගම්මානවල විහාර 40කට ආසන්න සංඛ්‍යාවක් ආරම්භ කළා.  

දිඹුලාගල විහාරයත් අලුත් විහාර ගෙවල්, සංඝාවාස ඉදිකර සංවර්ධනය කෙරුණා. 1967 දී දිඹුලාගල මහා කාශ්‍යප ධර්මායතන පිරිවෙන ආරම්භ කළේ භික්ෂු අධ්‍යාපනය වර්ධනය කිරීමට යි. එමෙන්ම දිවයිනේ පළමු වරට වැදි දරුවන් 20 දෙනෙකු පැවිදි කිරීමත් උන්වහන්සේ කළ තවත් කාර්යයක්. 

පාසල්, රෝහල් අරඹයි

සොරිවිල පාසලේ දරුවන්- facebook

දිඹුලාගල අවට අධ්‍යාපනය පැවතියේ ප්‍රාථමික තත්ත්වයේ. උසස් අධ්‍යාපනයක් නොලද උන්වහන්සේ ඉගෙනීමේ අගය හොඳින්ම දැන සිටියා. ගම අවට පාසල් කීපයක් ඇරැඹීමට පාසල්වලට අවශ්‍ය අපකරණ එකතුකර ගොඩනැඟිලි ඉදිකළේ ද උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය තුළින්. මනම්පිටිය සිංහල මහ විදුහල, අරලගංවිලයාය මධ්‍ය මහා විදුහල, දිඹුලාගල මහ කස්‌සප මහ විදුහල, සේරුවිල රෝහණ විදුහල වැනි පාසල් 26ක් පිහිටුවීමට උන්වහන්සේට හැකියාව ලැබුණා. මනම්පිටිය රෝහල සහ දිඹුලාගල ආයුර්වේද රෝහලත් ආරම්භ කළේ දිඹුලාගල හිමියන්ගේ කැපවීම හා උනන්දුව නිසයි. වැව් අමුණු සිය ගණනක්‌, මංමාවත් සිය ගණනක්‌ අලුතින් බිහිවුණා. දිඹුලාගල අවට කලාපයට ජලය සැපයීමට මාදුරුඔය ව්‍යාපාරය ආරම්භ කිරීමටත් විශාල උත්සාහයක් ගෙන රටේ නායකයන් උනන්දු කළා. මේ අතර 1979 දී උන්වහන්සේට උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායකධුරය ද හිමිවුණා.

කොටින්ගේ ඝාතන ලැයිස්තුවේ

හිටපු ඇමැති ලලිත් ඇතුලත්මුදලි සමඟ – dinamina.lk

දිඹුලාගල අවට ගම්මානවල සංවර්ධන කටයුතු කිරීමත්, සිංහල ජනතාව ගම්වල පදිංචි කිරීමත් නිසා කොටි ත්‍රස්තවාදීන් දිඹුලාගල හාමුදුරුවන් සමග කෝපයෙන් සිටියා. දිඹුලාගල විහාරයත්, එහි භික්ෂූන්වහන්සේත් වනසා සුණුවිසුණු කරන බවට කොටි ත්‍රස්තවාදීන්ගෙන් නිතරම නායක හිමියන්ට පණිවිඩ ලැබෙන්නට වුණා. කොටි තර්ජන නිසා විහාරයට පිටතින් දාන මාන ලැබීමත් නැවතුණා. මේ නිසා උන්වහන්සේ භික්ෂූන්වහන්සේට අවශ්‍ය දානය පිළියෙල කිරීමට වගාවක් ආරම්භ කර තිබුණා. කොටි මරණ තර්ජන නිසා උන්වහන්සේට හමුදා ආරක්ෂාව ලබාදී තිබුණත්, 1995 පෙබරවාරි 04 වන දා එසේ ආරක්‌ෂාව සඳහා ලබාදී තිබුණ හමුදා අනුඛණ්‌ඩය ඉවත් කෙරුණා. ඒ වෙනුවට පොලිස්‌ නිලධාරීන් කීපදෙනකු ලබාදී තිබුණා.

ආදාහන පෙරහර- dailynews.lk

උන්වහන්සේ 1995 මැයි 26 දා උදේ එම එළවළු වගාවට ගමන්කර ඇත්තේ ඵලදාව රැගෙන විත් දාන මාන කටයුතුවලට එක් කිරීමට යි. නමුත් උදේ 7.15ට පමණ අතරමඟ දී  ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. උන්වහන්සේ ‍මඩ ගොහොරුවක අපවත් වුණා .

උන්වහන්සේගෙන් පසුව දිඹුලාගල නායක හිමියන් ලෙස මල්දෙණියේ ජිනාලංකාර හිමියන් කටයුතු කළ අතර, උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව නායක ධුරයට පත්වුණේ මිල්ලානේ සිරියාලංකාර හිමියන්. උන්වහන්සේ වැදිනායකව සිටි මිල්ලානා යාපාගේ පුතා යි.

ප්‍රතිමාවක් ඉදිවේ

පසුගිය දා ඉදිවුණු ප්‍රතිමාව – thecolombopost.net

කිතලගම සිරි සීලාලංකාර නායක මා හිමිපාණන්ගේ ජීවමාන ප‍්‍රමාණයේ ප‍්‍රතිමාවක් පසුගිය 2020 දී උන්වහන්සේගේ මතක සටහන් සහිත මනම්පිටිය සීලපුර මඩකල්පුව හන්දියේ දී විවෘත කෙරුණා. ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

ආශ්‍රිත මූලාශ්‍ර:

Dinamina.lk

Silumina.lk

Cover- දිඹුලාගල නායක හාමුදුරුවෝ - dailynews.lk

Related Articles