අපි එළියට ආවෙ රජරට සේවාව කියන හිම කබාය ඇතුළෙන් – මහින්ද චන්ද්‍රසේකර

පැන මඩ කඩිති, ජය සිරිමා හාමුදුරුවනේ, මාතොටින් එන, උතුරින් එන දුම්රියෙ දේවී, හාද වෙලා යමන් පනේ, මරතෝණ්ඩි රටා ඇඳී, ප්‍රාණ සමානා, ගාලු කොටුවෙ නෝනච්චී ආදී සුවිශේෂී ගීත නිර්මාණ රාශියක් අප ගීත සාහිත්‍යයට දායාද කළ  ප්‍රවීණ ගී පද රචක මහින්ද චන්ද්‍රසේකරයන්ගේ නිර්මාණ දිවියට දැන් හතලිස් වසරකි. ඒ නිමිත්තෙන් “සරෝජා ගී මියැසිය” දෙසැම්බර් 23 වන දින ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී සවස 3.00 ට පැවැත්වීමට නියමිතය. මේ කතා බහ ගොඩනැගෙන්නේ එය පදනම් කර ගනිමිනි.

රජරට සේවය බිහි වීම අපේ සාහිත්‍යයට ඉතා වැදගත් සංධිස්ථානයක්. ඔබත් එයින් බිහිවූ නිර්මාණකරුවෙක්. රජරට සේවය පිළිබඳව ඔබේ මතකය අවදි කළොත්…

රජරට සේවාව ආරම්භ කරනකොට සමහරවිට ඒ ආරම්භ කරපු ඇමතිතුමා හෝ ඒ රජය හෝ හිතපු නැති විශේෂිත සේවාවක් රජරට සේවාව තුළින් ආවා. රජරට සේවාව ආරම්භ කරන්න ආවේ සිරිල් රාජපක්ෂ මහත්මයා. ඔහු අපිට හිටපු ඉතාම ප‍්‍රබල සන්නිවේදකයෙක්. එතුමා තමයි රජරට සේවාවේ ප‍්‍රථම අධ්‍යක්ෂවරයා. ඒත් එක්කම ආවා පේ‍්‍රමකීර්ති ද අල්විස්, විජයානන්ද ජයවීර, ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාර, සේන ගුණසේකර, කුලසේන ෆොන්සේකා වගේ විශාල පිරිසක්. අගනුවරින් බැහැර ආරම්භ කරපු ප‍්‍රථම ප‍්‍රාදේශීය සේවාව තමයි රජරට සේවාව. ඒ නිසා මේක අගනුවරින් පාලනය කිරීම ටිකක් දුරස් වෙලා තිබුණා. ඒ නිසා ඒ අයට පුළුවන් වුණා තමන්ටම ස්වාධීනව තමන් රුචි කරන විදියට ගුවන් විදුලිය මෙහෙයව ගන්න. නමුත් ඒක ඒගොල්ලො අත්තනෝමතික විදියට නෙමෙයි කළේ. ඒගොල්ලන්ගේ යහපත් දැක්මක් යහපත් අරමුණක් තිබුණා. ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාර වගේ අය නිතර කියපු දෙයක් තමයි අත්වල කරගැට පිපිච්ච රජරට කොල්ලො කෙල්ලො ටික කලාකාරයො කරළා මැරෙන්න​ තිබ්බොත් අපිට ඒ ඇති කියලා.  ඒක තමයි ඒගොල්ලන්ගෙ දැක්ම. ඒ දැක්ම මත තමයි ඔවුන් ඒ සියල්ලම සංවිධානය කරළා තිබුණෙ. මට මතකයි සමහර වෙලාවකට අපේ රසවින්දනය යහපත් තැනකට අරන් යන්න කිසියම් සොඳුරු ආඥාදායකත්වයක් රජරට සේවය විසින් ක‍්‍රියාත්මක කළා.

පෝස්ට්කාඩ් එනවා එක දිගට ඒ කාලෙ ජනප‍්‍රිය ගීත ඉල්ලලා. ඒවා ජනප‍්‍රිය වුණාට සුභාවිත ගීත නෙවෙයි. ඉතින් රජරට සේවයේ නිවේදක මහත්තුරුත් අර නම් වැලම කියවනවා. කියවලා ඒගොල්ලන්ගේ වැඩසටහන්වලට ඒගොල්ලන්ම හිතලා ඇතුළත් කරපු ගීත තමයි ප‍්‍රචාරය කරන්නෙ. ඉතින් කාලයක් යනකොට අසන්නො හුරු වුණා රජරට සේවාව ප‍්‍රචාරය කරන ගීත අහන්න. ඒ හින්දා එක පැත්තකින් රසවින්දනය දියුණු කරන්න උත්සාහ කළා. අනිත් පැත්තෙන් පිළේ පැදුර වගේ වැඩසටහන් රජයේ ආයතන පවා විවේචනය කරමින් විවේචන ප‍්‍රවෘත්ති පැත්තෙන් ඉදිරියට ගියා. ඒ හින්දා රජරට සේවය සාමාන්‍ය ජනතාවට සමීප වුණා. මොකද පොදු මිනිහාගේ පැත්තෙ ඉඳලා සමාජ ප‍්‍රශ්න ගැටළු සාකච්ඡා කරපු සේවාවක් බවට පත් වෙච්ච හින්දා.

අනික් පැත්තෙන් නිර්මාණකරුවො. අපි රජරට සේවාව ආරම්භ කරන යුගය වෙනකොට ගීත ලියන්න දන්නෙ නැහැ. ඉතින් අපේ නිර්මාණ ගුරුතුමා තමයි ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාර මැතිතුමා. පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හාමුදුරුවො, මහින්ද දිසානායක මහත්මයා, කරුණාරත්න ජයතිලක, රෝහණ දන්දෙනිය වගේ අය ළඟට කැඳවලා අපිට කියා දෙනවා නිර්මාණ කරන හැටි. නිර්මාණ අගය කරනවා, විවේචනය කරනවා. හොඳ ඒවා ගීත බවට පත් කරනවා.

ඔන්න ඔහොම කරන අවධියේ තමයි එක්දහස් නවසිය අසූ එකේ අගෝස්තු මාසෙක විශාරද කපුගේ රජරටට එන්නෙ. ඔහු ඇවිල්ලා බොහොම ලොකු විප්ලවීය වෙනසක් කළා. සංගීතඥයන්ට ඒක කරන හැටි කියලා දුන්නා. ඒ වගේම ගායනය කරන හැටි. පද රචනා වල විශේෂතා කියලා දුන්නා. ඉතාම හොඳ ගුරුවරයෙක් වගේ නිර්ලෝභී අයෙක්. ආධුනික නිර්මාණකරුවන්ගේ පද වැල් වලට තනු යොදමින් ලොකූ පිරිසක් ඉදිරියට ගේන්න ගීත සාහිත්‍ය පැත්තෙන් විශාරද කපුගේ ඊට දායක වුණා. දොස්තොව්ස්කි කිව්වනෙ අපි ඔක්කෝම එළියට ආවේ ගොගොල්ගේ හිම කබායෙන් කියලා. අන්න ඒ වගේ අපි සියළු දෙනාට රජරට සේවාව කියන හිම කබාය ඇතුළෙන් එළියට එන්න පුළුවන් වුණා.

අවුරුදු හතලිහක් පුරා ගීතයත් එක්ක රැඳී සිටි ඔබට ගීතය කියන නිර්මාණ මාධ්‍යය ගැන තිබෙන විග‍්‍රහය මොකක්ද ?

ගීතය ගැන විවිධ නිර්වචන තිබෙනවා තමයි. නමුත් මම හිතන්නෙ නැහැ ගීතය කියලා කියන්නෙ හදවත අමතන, වින්දනය කැඳවන ඊට සීමා වන මාධ්‍යයක් කියලා. මම ලියපු හුඟාක් රචනාවල මම ඒක පිළි අරගෙන නැහැ. පැන මඩ කඩිති ගීතය ගත්තාම අදටත් පාසල් වල ගුරු දිනය දවසේ වාදනය කරන ගීතයක්. නමුත් ඇත්තටම මේ ගීතය ඇතුළේ මම කියන්න උත්සාහ කළේ ගුරුවරයාගේ ජීවිතයේ තිබෙන අර්බුධය සහ අධ්‍යාපන ක‍්‍රමය මහා අර්බුධයකට ලක් වෙලා කියන එක. ඒක ඇත්තටම ගුරු උපහාර ගීතයකට වැඩිය මේ ඛේදවාචකය සමාජ කතිකාවතකට ගේන්න තමයි මට  ඕන කළේ. පස්සෙ තමයි මට තේරුණේ ගීතයට බර වැඩි දේවල් ලියවිලා ඒවා ගීත කරන්න උත්සාහ කරලා තිබෙනවා කියලා. කවියෙන් අපි ආපු හින්දා එහෙම වුණා වෙන්නත් පුළුවන්. ගීතයෙන් නෙමෙයිනෙ අපි ආවෙ. අපි ආවෙ ඊට වැඩිය බර මාධ්‍යයකින්.

අපේ සමකාලීන, අපිට පුර්වගාමී, බොහෝ ගීත රචකයන්ගේ නිර්මාණ ගත්තාම පේ‍්‍රමය, සෞන්දර්යය ඉතාම අපූර්ව ආකාරයෙන් කියපු නිර්මාණ. නමුත් අපේ ගීතය ගීතයක්ද කියලත් මට වෙලාවකට හිතෙනවා. මොකද විවිධ ප‍්‍රශ්න ගේන්න මම උත්සාහ කරළා තිබෙනවා. හැබැයි ඒකට මම කැමැතියි. අනිත් අය කොහොම පිළිගත්තත් මම මේකට කැමතියි. පවන වගේ නිර්මාණාවලියක් මම එදත් කැමතියි. අදත් කැමතියි. ඒ වගේ සමහර නිර්මාණ වල ප‍්‍රචාරාත්මක ලක්ෂණ තිබුණා. ඒක සාමාන්‍යයෙන් ප‍්‍රවණතාත්මක සාහිත්‍ය ඇතුළෙ දකින්න පුළුවන් දෙයක්. පරාක‍්‍රම කොඩිතුවක්කු කවියා වරෙක කියනවා ගීතය කියලා කියන්නෙ මේ දැන් ශීතකරණයකින් ගත්ත මෘදු සිහිල් පළතුරක් නෙමෙයි. ගීතය ඊට එහා ගිය කාර්යභාරයක් කරන්න පුළුවන් එකක් කියලා. ඉතින් ඒක මම කැමති දෙයක්. මම විශ්වාස කරන දෙයක්.

ඔබ යම් නිර්මාණයක් කරද්දි කුමක් හෝ ඉලක්කයක් කුමක් හෝ අරමුණක් ඇතිවද නිර්මාණයට එළඹෙන්නේ් ?

අභාවප‍්‍රාප්ත ස්වර්ණ ශී‍්‍ර බණ්ඩාර අපේ නිර්මාණ ගුරුතුමාගෙන් අපිට මුලින්ම ලැබෙන පාඩමක් තමයි, ගීතයකට අත්දැකීමක් ලැබුණු ගමන් දුවගෙන ගිහිල්ලා සින්දු ලියන්න එපා කියන එක​. ඒක පුරන් වෙන්න තියන්න. පුරන් වෙන්න කුඹුුරු තියන්නෙ ගොවියොනෙ. ඒ වගේ එතුමත් කියනවා මේ අත්දැකීම පුරන් වෙන්න තියන්න. පුරන් වෙනකොට තමයි කුඹුරක් සරුසාර වෙන්නෙ. ඒ වගේම අත්දැකීමක් සරුසාර වෙන්නෙ. ඉතින් මේ උපදෙස අපිට සෑහෙන්න දුරට බලපෑවා. ඒ හින්දා ගීතයකට සුදුසුයි කියලා හිතෙන කිසියම් අත්දැකීමක් ලැබුණාම තමයි අපි ලියන්නෙ. එහෙම නැතුව ලියන්නෙ නැහැ. එතකොට ඒ  අත්දැකීම පරිපාකයට පත් වෙන්න අපි හිත ඇතුළෙම තියාගෙන කාලයක් ඉන්නවා. සමහර ගීත තිබෙනවා අවුරුදු දෙක තුනක් තොරතුරු හොයමින් හිතමින් ඉඳලා නිර්මාණය කරපු. ඔය මරතෝණ්ඩිය රටා ඇඳී (ෆාතිමා) ගීතය වගේ ඒවා ඇත්තටම කාලයක් තිස්සේ අධ්‍යයනය කරමින් ඉඳලා ලියපු ගීත. කිසිම හදිස්සියක් අපට තිබුණේ නැහැ. මේක මේ විදියට කෙරුණොත්, මේ වගේ හැඟීමක්, මේ වගේ පණිවිඩයක් මේකට ඇතුළු කරන්න පුළුවන් වුණොත්, මේක නොදැනෙන විදියට කිසියම් සියුම් යටිපෙළක් මේකෙ ගම්‍ය කරන්න පුළුවන් වුණොත් හොඳයි කියන එක හිතේ තියෙනවා. ඒ නිසා මම හුඟාක් ගීත වල යටිපෙළක් ගැන හිතුවා. එහෙම නැති ගීතත් ඇති. ඒවා ඉතාම අල්පයයි. බොහෝ විට අපි උත්සාහ කළේ කිසියම් මතුපිට දිසි අරුත වගේම වැසි අරුත ප‍්‍රබල වෙන නිර්මාණයක් කරන්න.

ඔබේ නිර්මාණාවලිය තුළ සරෝජා ගීතය ඉතාමත් සුවිශේෂයි. එම ගීතයෙන් ඔබ පැති ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරනවා. යුද්ධය, පංති ප‍්‍රශ්නය, මනුෂ්‍යත්වය, ආදී දේවල් ගැන. මේ අත්දැකීම ලැබෙන්නෙ කොහොමද ඔබට ?

සරෝජා ගීතය අපේ රටේ විශේෂයෙන්ම යුද්ධයට ගොදුරු වෙච්ච ගම්බිම් ගණනාවක අත්දැකීම් ගත්තු ගීතයක්. මට මුල්ම අත්දැකීම ලැබුණෙ අම්පාර දිස්ත‍්‍රික්කයේ පානම්පත්තුවෙදි. ඒ පාසල් වල උගන්වනකොට සිංහල ළමයිනුත් ද්‍රවිඩ ළමයිනුත් හිටියා. අසූ ගණන් වල මැද වෙනකොට නැගෙනහිර පළාතේ විවිධ කල්ලි කණ්ඩායම් බිහි වෙමින් හිටියා. ඒගොල්ලො හැමෝටම  ඕන වුණේ පිරිස් බලය වැඩි කර ගන්න. ඒගොල්ලො මේ සඳහා දරුවන් තමයි යොදා ගත්තේ. ඉතින් අපෙත් හිටියා ඒ වගේ දරුවො. බොහෝ විට ඒගොල්ලො මේ තර්ජනයෙන් බේරෙන්න අද එක තැනක හෙට තව තැනක. නමුත් අපිට ආරංචි වුණා සමහර ළමයින්ව අරන් ගියා කියලා. ඉතින් ඔන්න ඔය ප‍්‍රශ්න හමුවේ අපිටත් ඉන්න බැරි වුණා පාසල් වල. අපි දිස්ත‍්‍රික්කයේ වෙනත් තැන්වලට මාරුවීම් ලබලා ගියා, මේ තර්ජන හින්දා. අවුරුදු දහයක් විතර ඔන්න ඔය දරුවො මුහුණ දුන්නු ප‍්‍රශ්නය මගේ හිතේ තිබුණා.

ඊට පස්සෙ මම ආවා අනුරාධපුර ඉස්කෝලෙකට. ඒ ආවාම තව යුද්ධයක් තිබුණා. ඒ කියන්නෙ ඒ කාලෙ සාමාන්‍ය පෙළ හරි යාන්තම් පාස් වෙච්ච ළමයි හමුදාවට බැ‍ඳ‍ෙනවා. චරිත සහතික ලියන්න වෙනවා අපිට ඉස්කෝලෙදි. මාස හයක් යනකොට සමහර ළමයි වෙඩි වැදිලා මැරෙනවා. අපිට මළ ගෙදර කතා කරන්නත් යන්න වෙනවා. ඉතින් බැලුවාම අරෙහෙ දෙමළ ළමයි මැරෙනවා. මෙහෙ සිංහල ළමයි මැරෙනවා. ඉතින් ගුරුවරයෙකුට මේක හරි ප‍්‍රශ්නයක්. මොකද ගුරුවරුන්ට මේ ඔක්කොම ළමයි.

මම පානම්පත්තුවේදි ලැබුණු අත්දැකීම අරන් එනවා මගේ ගම කිට්ටුව තිබෙන මඩු පල්ලියට. මඩු පල්ලිය තමයි මන්නාරමෙන් එන යුධ ගිණිදැල්වල රස්නය දැනිච්ච පළාත. මඩු පල්ලියේ ඉස්කෝලත් වැහුණා. එතකොට අනාථ කඳවුරක ඉන්න දැරියක් තමයි සරෝජා. සරෝජා කියන නමේ තේරුම සරෙහි ජාත වන්නේ යමක්ද ඒ සරෙජය කියන්නේ නෙලුම් මල. ඉතින් මේ නෙළුම් මල අපේ ජාතියට අයිති මලක් හැටියටයි මම සලකන්නෙ. සිංහල දෙමළ මුස්ලිම් ඒ සියලුම දරුවන් නෙලුම් මල් හැටියටයි මම සලකන්නෙ. ඉතින් මම අර දරුවන්ගේ ආත්මය දුන්නා එක දැරියකට. ඒ තමයි සරෝජා. අම්මා තාත්තා නැති අනාථ වෙච්ච දැරියක්. ඉතින් එයා බලා කියා ගන්න වෙන්නෙත්, ගුරුතුමියකට. එයා බොහොම ඈත ඉඳලා ආපු කෙනෙක්. අපිත් ගියේ රුපියල් එක්දහස් හැටේ පඩියකට ඒ කාලෙ. ඉතින් ඒකෙන් අපිටවත් ජීවත් වෙන්න බැහැ. ඉතින් කොහොමද අපි මේ දරුවො රැක ගන්නෙ. ඒක තමයි මම ලිව්වෙ අපි එක පංතියේ කියලා. ඒ නිසයි අපිට දරුවො බේර ගන්න බැරි වුණේ. ඊට වැඩිය ආර්ථික ශක්තියක් තිබුණා නම් ඒ දරුවන්ව අපි බේර ගන්නවා. අපි දෙගොල්ලන්ම එක ප‍්‍රශ්නයකට තමයි මුහුණ දුන්නේ. ඒ ප‍්‍රශ්නය තමයි මම සරෝජා ගීතයෙන් සාකච්ඡා කරන්න උත්සාහ කළේ.

පංති ප‍්‍රශ්නය ඔබ නිර්මාණ ඇතුළෙ ඉතාම සූක්ෂ්ම විදියට පාවිච්චි කරනවා. එවැනි සමාජ ප්‍රශ්නයක් ගීතය හරහා සාකච්ඡා කිරීමේදී ඒ කතිකාවත කොයි තරම් දුරට සාර්ථක වෙලා තිබෙනවද ?

කලා මාධ්‍ය භාවිතයේදී මතු වෙන එක ගැටළුවක් තමයි අපි සමාජ සත්ථාව ප‍්‍රකාශයට පත් කරද්දි මොන විදියේ විධික‍්‍රමයන්ද භාවිත කරන්නේ කියන එක. මොන තරම් හොඳ දේවල් කියන්න පුලුවන් වුණත්, ඒක විවෘතව ප‍්‍රකාශ කරන්න ගියොත්, අපි එක තැනකදී අසමත් වෙන්න පුලුවන්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ මාධ්‍යයේ සීමාවන් අතික‍්‍රමණය නොකර ඒක ඇතුළෙම ඉඳලා ඒ විරෝ්ධය පළකරන්න. විශාරද කපුගේ බොහොම ආසාවෙන් සමාජ ප‍්‍රශ්න ගීතය සඳහා තෝර ගත්ත කෙනෙක්. රත්න ශ්‍රී විජේසිංහ, ලූෂන් බුලත්සිංහල, රණ්බණ්ඩා සෙනෙවිරත්න, මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ රචකයන් ඉතාමත් තියුණු විදියට සාකච්ඡා කරපු මාතෘකාවක් ගැන තමයි ඔබ අහන්නෙ. ඉතින් මම හිතන්නෙත් ඇත්තටම සමාජයේ අප පෙළන අප‍්‍රිය අමනාප තත්ත්වයන් පෙන්වා දෙන එක කලාකරුවෙකුගේ යුතුකමක්. සමාජමය වගකීමක්. ඒ වගකීම ඉටු කරන්න වෙන්නෙ ඒ විරෝධාකල්පය සඟවමින්. මට මතකයි වරක් විශාරද කපුගේම කිව්වා විරෝධාකල්ප කියලා බෝඩ් එල්ල ගත්ත ගීත වගයක් තියෙනවා. මම නම් ඒවාට විරුද්ධයි කියලා. ඒ කිව්වෙ අර ප‍්‍රචාරාත්මක ගීත ගැන. නමුත් කපුගේ ගායනා කරපු සබඳ අපි කඳු නොවෙමු, ලෙලි තලන නුඹෙ අතට, කරණවෑමි සොයුරාණනේ, ඔය වගේ බොහෝ ගීත වල ඇත්තටම ඒ ඇති නැති පරතරය සමාජය පෙළන කුල පීඩනය, පංති පීඩනය, ඒ වගේම ජනවාර්ගික ගැටළු, මේ වගේ දේවල් සාකච්ඡා කරන්න උත්සාහ කරළා තිබෙනවා.

මම පෞද්ගලිකව හරිම කැමතියි ගීතය පරිකල්පනය මත නෙමෙයි සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් මත ගොඩනැගෙනවා නම්. ඒ කියන්නෙ, අපේ විශ්ව විද්‍යාලය වෙන්න ඕනෙ ජනතාවනෙ. ජනකවියා නිතරම හිටියෙ මිනිස්සුත් එක්ක. ඒ ජන මූලයන් එක්කනෙ ඔහුගෙ නිර්මාණ ඔක්කොම ගැට ගැහුණෙ. ඉතින් අපි සඳ තාරකා වලින් බැහැලා පොළොවට ඇවිල්ලා ඊට පස්සෙ සඳ තාරකාත් ග‍්‍රහණය කරගෙන පොළොවේ යථාර්ථය කියන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. අපේ එහෙම නිර්මාණත් රාශියක් තිබෙනවා.

අනෙකාගේ සංස්කෘතිය ඉවසන්නට නොහැකි වීම තමයි ජාතිවාදය කියන්නෙ. ඔබේ නිර්මාණ ඇතුළෙත් ඉතා සියුම් විදියට ජාතිවාදය පිළිබඳව කතා කරනවා. අපේ රටේ අවස්ථා ගණනාවකදීම ජාතිවාදී ප්‍රවණතාවයන් මතු වුණා. මේකට හේතුව විදියට ඔබ දකින්නෙ මොකක්ද ?

ඇත්තටම මේක ඇතුළෙ තිබෙන්නෙ වෙනත් සමාජමය ප‍්‍රශ්නයක්. ඔය ප‍්‍රශ්නය ඇති කරළා තිබෙන්නෙ බල ලෝභී දේශපාලඥයන් විසින්. ඒක ඒගොල්ලන්ගේ ප‍්‍රශ්නයක්. අපේ සීමාවේ ඔය වවුනියාවේ දෙමළ ප‍්‍රදේශය එක පැත්තක. අනික් පැත්තෙ ඉන්නෙ සිංහල අය. දෙමළ කාන්තාවෝ ගොයම් කපන්න එනවා ඒ ගම් වලට. සිංහල කාන්තාවො යනවා ඒ අයගෙ ලූණු ගලවන කාලෙට. ඉතින් මේ ශ‍්‍රමික සහෝදරත්වයන් ඇතුළෙ ඔය පිළිකෙව් කිරීම් නැහැ. බොහොම එකට එකමුතුව තල් රා ටික බොනවා. මෙහාට ආපුවාම පොල් රා ටික බොනවා. ඉතින් ඒ වගේ බොහෝම සුන්දර සංස්කෘතියක්නෙ තිබෙන්නෙ. ඒ අය කිසිසේත් ඒ දේවල් ගරහන්නේ නෑ. ඒ නිසා ශ‍්‍රමික සහෝදරකම් ඇතුළෙ මනුස්සකම් විතරයි මතු වෙන්නෙ. ඒගොල්ලො ඇත්තටම ජීවිතය දිනා ගන්න කරන සටනෙදි ඔය ප‍්‍රශ්න ඇත්තෙ නැහැ. ඉතින් හැමදාම උඩින් ඇති කරපු ප‍්‍රශ්නයකින් තමයි ඒ මිනිස්සු මේවට ගොදුරු වෙන්නෙ. එහෙම නැත්නම් ඒ මිනිස්සු ලැජ්ජ වෙනවා අනේ එහා ගමේ මිනිස්සුන්ට අපිට ගහන්න වුණානෙ. ඒ මිනිස්සුන්ට බයෙන් ඉන්න වුණානෙ. එහෙම හිතලා මහ පොළොවේ ජීවත් වන මිනිස්සු කම්පනයට පත් වෙනවා. ඒක නිසා මම හැමදාම දකින්නෙ මේක මනුස්සකමේ ප‍්‍රශ්නයක්. මනුස්සකමට ජාතියක් ආගමක් නැහැ.

රජ පෙරහැර මැද ඇතා නටනවා කියන ගීතය ඔබේ ගීත ගොන්නෙහි එන දේශපාලනමය සංකේතාත්මක ගීතයක්. මේක පෙරහැරක් ගැන කතාවක් නෙමෙයි. අතිශය දේශපාලන ප‍්‍රශ්නයක් නේද ඔබ මතුකරන්නෙ ?

අපේ සමාජයේ අපේ ඇස් ඉස්සරහා තිබෙන ඉතාම සරල දෙයක් තමයි මම මුලින්ම දැක්කෙ. මම ඇතාගෙන් සංකේතවත් කරන්නෙ දේශපාලන ධාරාව. දේශපාලන පක්ෂය කියලා කියමුකො. එතකොට අපි අවුරුදු පහෙන් පහට, හයෙන් හයට ජනතා පරමාධිපත්‍යය කියන කරඬුව අරගෙන මේ ඇතාගෙ පිට උඩින් තියනවා. එහෙම තියපුවාම අපි බලාපොරොත්තු වෙන්නෙ අනේ මේ ඇතා අපේ සාදුකාර හඬ අහමින් අපිව තෘප්තිමත් කරමින් මේ පෙරහැරේ යයි කියලනෙ. නමුත් ටිකක් වෙලා යනකොට මේ සාදුකාර හඬ ඇහෙනකොට ඔල්වරසන් හඬ ඇහෙනකොට කකුලක් ඔසවලා අනෙක් කකුල තියන්න පාවඩ එළනකොට මේ පෙරහැරේ යන ඇතාට හිතෙනවා මම තමයි මෙතන සාදුකාර ලබන පිදුම් ලබන එකම කෙනා කියල​. ඊට පස්සේ ඌ පටන් ගන්නවා වියරු රංගනයක්. බලන්න පෙරහැරක කරඬුව ගෙනියන ඇතා නටන්න ගත්තොත් කොච්චර කැතද ? කොච්චර බිය ජනකද ? අම්මලා ළමයි වඩාගෙන දුවයි. ළමයි අඬයි. ආරක්ෂක ස්ථානවලට දුවයි මේ ඇතාට පිස්සු කියලා. ඉතින් එහෙම පිස්සුවක්නෙ අපි මේ දකින්නෙ. අපි හිතපු නැති සතෙක් තමයි ඊට පස්සෙ මතු වෙන්නෙ. ඉන් පස්සෙ අපි කොහොම හරි ඇතා මෙල්ල කරනවා අවුරුදු පහකට හයකට සැරයක්. ඇතා මෙල්ල කරළා විලංගු දාලා අයින් කරනවා. එහෙම අයින් කළාට පස්සෙ අපි අර ජනතා පරමාධිපත්‍යය කියන කරඬුව ආයෙ සැරයක් අපේ දෝතට ගන්නවා. දෝතට ගත්තට ජනතාවට මේක අරන් යන්න බැහැ. ඒකට යාන්ත‍්‍රණයක් විධික‍්‍රමයක් තියෙන්න  ඕනෙ. ඒකට තමයි අපි දේශපාලන පක්ෂයක් කියල කියන්නෙ. ඉතින් ඒ ඇතා ආපහු එනකල් මිනිස්සු බලන් ඉන්නවා, ජනතා පරමාධිපත්‍යය කරඬුව ආපහු සැරයක් ඇතාගේ පිටේ තියන්න. මේක දෙදහස් වසරක් අපි රැක ගත්ත සංස්කෘතිය සභ්‍යත්වය අපේ ජන බලය ඒ ඔක්කෝම සංකේතවත් වෙච්ච දේ. ඒක දෝතෙ තියාගෙන අනේ අපි සුසුම්ලා බලන් ඉන්නවා කවදා හරි පරමාදර්ශී කිසියම් පාලන ක‍්‍රමයක් එයි කියලා. අපිට සෙනේ ඇති බෝසත් ගිජිඳ‍ෙක් ඇවිල්ලා අපේ ඉස්සරහා දණ නමයිද මේ කරඬුව තියන්න. ඉතින් ඒ මහා අපේක්ෂාවෙන් මිනිස්සු බලන් ඉන්නවා අනාගතය දිහා. ඒ සංකේතාර්ථය තමයි මම ඔය ගීතයෙන් කියන්න හැදුවෙ.

ඛලීල් ජිබ්රාන් කවියා කියනවා මිනිසුන්ගේ විශේෂත්වය රැඳී තිබෙන්නේ ඔහු දිනා ගන්න දේ තුළ නොවෙයි. ඔහු දිනා ගැනීමට අරමුණු කරගෙන සිටින දේ තුළය කියලා. ඇත්තටම නිර්මාණකරුවන් ප‍්‍රාර්ථනා කරන දේවල්  දිනා ගන්නට තවම නොහැකි වී තිබෙනවා. නමුත් ඒ අරමුණු ඉතාම සුවිශේෂී අරමුණු නේද ?

අපි අහලා තිබෙනවා යහපත් අරමුණු, හීන එකතු වෙලා තමයි කවදාහරි දවසක යම් යහපත් දෙයක් සිද්ධ වෙන්නෙ කියලා. මහා භාරතයේ කියනවා හැම රජෙක්ම හීන දකින්න  ඕනලු. හැම රාත‍්‍රීයකම. ඒක එයාගෙ පෞද්ගලික හීනයක් නෙමෙයි. ඒක ජනතාව වෙනුවෙන් දකින හීනයක්. ඇත්තෙන්ම කලාකරුවොත් එහෙම සිහින දකිනවා. මහගම සේකර කවියා වරක කියනවා අපි ජාතික නිවාසයක් හදන්න ඕන. සමනළ කන්ද මූල කණුවක් හැටියට තියාගෙන, ඒ වටේ අපි ඔක්කෝටම ඉන්න පුළුවන් නිවාසයක් හදන්න ඕන කියලා. ඊළඟට වෙසක් සඳ උදාවෙනවා, කටු කම්බි තාප්ප සියල්ල කැඩිලා ලෝකය තනි යායක් වෙනවා කියලා ඔහු කියනවා. ඇත්තටම ඒවා සිහින. ඒ හීන ඇතුළෙ කිසියම් යහපත් අරමුණු තිබෙනවා. මේ හීන ඇතුළෙ තමයි අරමුණු සඟවලා තිබෙන්නෙ. ආනන්දය සහ ප‍්‍රඥාව නිපදවීම තමයි කලාකරුවන්ගේ කාර්යය. ගීතය, කෙටිකතාව, කවිය, නාට්‍ය ඔය හැම අංශයකම මුඛ්‍ය තේමාව තමයි අපි සතුටක් දෙනවා අපේ සහෘදයන්ට. ඒ සතුට ඇතුළෙ අපි කිසියම් ප‍්‍රඥාවක් ජනිත කරන්න උත්සාහ කරනවා. ඒ ආනන්දය සහ ප‍්‍රඥාව දෙක පිරි නිර්මාණ යහපත් අරමුණු මිනිසා තුළ ජනිත කරමින් යහපත් සමාජයක් දිනා ගන්න මිනිසාට කිසියම් පිටිවහලක් වෙයි කියලා ඇත්තටම අපි විශ්වාස කරනවා.

Related Articles