සමහර ක්ෂේත්‍රවල රැකියා සඳහා ඇති කාන්තා නියෝජනය පවතින්නේ අවම මට්ටමක. විශේෂයෙන් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු ශිල්පය හා ගණිතය ආදී ක්ෂේත්‍රවල අඩු කාන්තා නියෝජනය, අද වන විට ලොව පුරා කතාබහ සිදුවන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. මේ ප්‍රවණතාව වෙනස් කිරීම සඳහා GirlsWhoCode, TeachHerInitiative, සහ GlamSci වැනි විවිධාකාරයේ වැඩසටහන්, සමිති හා සංවිධාන ලොව බිහි වී තිබෙනවා.

අදටත් ශ්‍රී ලංකාව තුළ උක්ත විෂයය ක්ෂේත්‍රයන්වල රැකියාවේ නියුතු කාන්තාවන්ගේ ප්‍රතිශතය පවතින්නේ ඉතාමත් පහළ යි. 2017 වසරේ යුනෙස්කෝ සංවිධානයේ වාර්තාවකට අනුව ලිංගිකත්වය අනුව වෙන්කොට සැලකීම, කාන්තාවන් කෙරෙහි වෙනස් ආකල්පයන් දැරීම හේතුවෙන් ශිෂ්‍යයින්ට සාපේක්ෂව ශිෂ්‍යාවන්ට තත්ත්වයෙන් උසස් අධ්‍යාපනික අත්දැකීම් ලබාගැනීමේ අවස්ථා අහිමිවීම වැනි කාරණා නිසා ශ්‍රී ලාංකික කාන්තාවන්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා විෂයය ක්ෂේත්‍රයන් තෝරාගැනීමේ දී යම් යම් සීමා පැනවී තිබෙනවා.

තත්ත්වය එසේ තිබිය දී මේ සියළු බාධක බිඳහෙළා උක්ත විෂය ක්ෂේත්‍රයන්හි හිණිපෙත්තටම නැගි කාන්තාවන් කිහිපදෙනෙකුත් ලංකා ඉතිහාසයේ හමුවෙනවා. ශ්‍රී ලංකාවේ පළමු ඉංජිනේරුවරිය වන ආචාර්ය ප්‍රේමලා සිවප්‍රකාසපිල්ලේ සිවසේගරම් ඔවුන් අතරින් ඉදිරියෙන්ම සිටින්නියක්.

ඉංජිනේරු ක්ෂේත්‍රයට ආගමනය

ආචාර්ය සිවසේගරම්ගේ පියාත් ඉංජිනේරුවෙක්. එමෙන්ම ඇගේ සොයුරන් දෙදෙනාත් ඉංජිනේරුවන් ලෙස කටයුතු කළ බැව් ඇය අප හා පැවසුවා. කුඩාකල ඇගේ වැඩි ඇල්මක් තිබී ඇත්තේ නර්තනයට යි. කෙසේ නමුත් ඇගේ පියා ඊට එතරම් කැමැත්තක් දක්වා නැහැ. කාන්තාවක් හට නර්තන ක්ෂේත්‍රය ඉතා තරඟකාරී එකක් බවත්, ඉංජිනේරු ක්ෂේත්‍රය එසේ නොවන, එහෙයින් පහසුවෙන් ඉදිරියට යන්නට හැකි ක්ෂේත්‍රයක් බවත් ඔහුගේ අදහස වුණා.

ආචාර්ය සිවසේගරම්ගේ පියා ඉංජිනේරුවෙකු ලෙස සේවය කොට ඇත්තේ කොළඹ වරායේ යි. කෙසේ නමුත් 1942 වසරේ පෙබරවාරි මස ඔහු සිය පවුල ද කැටුව යාපනය බලා යන්නේ, එවකට පැවති දෙවන ලෝක යුද්ධය අතරතුර මලයාව හා සිංගප්පූරුව ජපානයට පරාජය වීම නිසා යි. මේ නිසා ඉක්මණිනම ජපාන හමුදා මඟින් කොළඹට ගුවන් ප්‍රහාරයක් එල්ල වීමේ විශාල ආවදානමක් පැණනැගුණා.

යාපනයට යන විට ගර්භණීව උන් ආචාර්යවරියගේ මව ඇයට උපත දෙන්නේ 1942 අප්‍රේල් 22 දා යාපනය කොටුව තුළ පිහිටි සිය මාමාගේ නිවසේ දී යි. 1942 ජූනි මස, ජපාන ප්‍රහාර අවදානම පහව ගිය පසු ඇය හා පවුල නැවත කොළඹ බලා පැමිණියා.

ආචාර්ය සිවසේගරම් මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ කාන්තා විද්‍යාලයෙන්. එහිදී ඇය කැපී පෙණුනු සිසුවියක වුණා. තෙවසර පිරුණු දා පටන් ඇය සංගීතය හා නර්තනය ඉතා ප්‍රිය කළ අතර, දක්ෂ නර්තන ශිල්පිනියක වූයෙන් පාසල් නර්ථන කණ්ඩායම්වල සාමාජිකාවක වුණා.

සමකාලීන සිසුවියන් අතරින් උසස් පෙළ අධ්‍යාපනය සඳහා ගණිතය විෂයය ධාරාව තෝරාගත්තේ සිවසේගරම් හා තවත් එක් සිසුවියක් පමණ යි. සිවසේගරම් උසස්පෙළ කඩඉම් හොඳින් තරණය කොට 1960 වසරේ දී ඉංජිනේරු පීඨයට ඇතුළත් වෙනවා.

ඉංජිනේරු අධ්‍යාපනය

සිවසේගරම් ලංකා විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීම බොහෝ දෙනා දුටුවේ නුසුදුසු දෙයක් ලෙස යි. ඔවුන්ගෙන් සමහරෙකුගේ ප්‍රශ්නය වූයේ පුරුෂයින්ට සුදුසු යකඩ පෑස්සීම වැනි 'බර වැඩ' කාන්තාවක් සිදුකරන්නේ කෙසේ ද යන්න යි. කොටින්ම ඉංජිනේරු පීඨ පාලනාධිකාරියෙනුත් ඇයට එතරම් මිත්‍රශීලී ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

ආචාර්ය සිවසේගරම් පසුගිය දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මඟින් 'වෙනසක් ඇති කළ කාන්තාවෝ' ලෙස බුහුමනට ලක් කළ 12 දෙනා අතර සිටින අයෙක්- sundayobserver.lk

'පීඨාධිපති මා විශ්වවිද්‍යාලයයට අනුයුක්ත කරගැනීමට එතරම් උනන්දුවකින් ක්‍රියා කළේ නැහැ,' ඇය අප හා වැඩිදුරටත් පැවසුවා. 'ගැහැණු ළමුන් මෙහි පැමිණි විට පිරිමින් අභිබවා යන්නට පාඩම් කර ඉහළ සාමාර්ථ ලබා, පුරුෂයින්ට ලැබෙන්නට තිබෙන පහසුකම්, අධ්‍යාපන අවස්ථා රැගෙන, සියල්ල අවසන විවාහ වී රැකියාවක නිරත නොවී සිටිනු ඇතැ' යි ඔහු වැඩිදුර පවසා තිබෙනවා. මේ නිසා පිරිමි ළමුන්ගේ ජීවනෝපායන්ට බාධා පැමිණේයැ යි ඔහු බිය පලකළ අතර, සමාජයේ තිබුණේ ද මෙවැනිම මතයක්. ඉන් නොනැවතී ඔහු එම පීඨයේ සාමාජිකයෙකු ද වූ ඇගේ පියාට ද දියණිය ඉංජිනේරු අධ්‍යාපනයට යොමු නොකරන මෙන් යෝජනා කොට තිබෙනවා. ඇගේ දෙමාපියන් ඊට එකඟ වී නැහැ.

එම සමයේ ලංකා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ‍ය පොදු ව්‍යවහාරයේ හඳුන්වා තිබෙන්නේ 'ටකරන් ෆැකල්ටිය' ලෙස යි. ඊට හේතුව වූයේ එකල එම පීඨයේ දේශන පැවැත්වූයේ ටකරං සෙවිලි කරන ලද ගොඩනැගිල්ලක වීම නිසා යි. සිවසේගරම් මේ ගොඩනැගිල්ලේ දී සැලසුම් ඇඳීම හා මිනුම් කටයුතු පිළිබඳ ඉගෙනගත් අතර, ඉංජිනේරු වෘත්තියට සබැඳි අනෙකුත් ප්‍රායෝගික කටයුතු සිදුකරන ලද්දේ මරදානේ ලංකා කාර්මික විද්‍යාලයේ දී යි.

ආචාර්ය සිවසේගරම්ට අනුව ඇයට සිය පීඨයේ සඟයින් හා එක්කාසුව සහයෝගයෙන් අධ්‍යාපන කටයුතු සිදුකිරීමට හැකිවී තිබෙනවා. ඔවුන් ඇයට දක්වා ඇත්තේ ඉතා මිත්‍රශීලී ප්‍රතිචාරයක්. ඇයට උදව් කර නැත්තේ වඩු වැඩ සඳහා සිසුන්ට අත්වැල් දුන් එක් වඩුවෙකු පමණ යි.

සිවසේගරම් ප්‍රායෝගික අධ්‍යාපනය ඉතා යුහුසුළුව කර තිබෙනවා. මේ නිසා ඉක්මණින්ම ඇයගේ දෑත් ඉංජිනේරු කටයුතු සියල්ලම සඳහා සුහුරු වුණා. එම හැකියාව අනාගතයේ ඇයට විශාල ලෙස උපකාරී වුණා.

1964 වසරේ ඇය ලංකාවේ ප්‍රථම ඉංජිනේරුවරිය ලෙස පත්වුණා. ඇයට පසුව සුමී මුණසිංහ 1966 වසරේ විදුලි ඉංජිනේරුවරියක ලෙස ද, ඉන්දිරා අරුල්ප්‍රකාසම් 1977 වසරේ දී කාර්මික ඉංජිනේරුවරියක ලෙස ද පත් වූයේ ඇයගේ අඩිපාරේ යමිනුයි. මින් ඉන්දිරා කැනඩාවේ ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස ද කලක් කටයුතු කළා.

වැඩිදුර අධ්‍යාපනය

උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු සිවසේගරම් කොලඹ ලංකා විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු උපදේශිකාවක ලෙස පත්වීම් ලබනවා. මේ කාලයේ දීම එහි ඉංජිනේරු පීඨය පේරාදෙණියට රැගෙන යන අතර, එහිදී විද්‍යාගාර උපකරණ නිසිලෙස ස්ථානගත කරන්නට ඇය විසින් උපදෙස් ලබා දෙනවා.

එසමයේ පොදු සේවය අනිවාර්යව තිබූ අතර, සිවසේගරම්ගේ මීළඟ පියවර වූයේ පොදුවැඩ දෙපාර්තමේන්තුවට බැඳීම යි. ඇය එහි මාස කිහිපයක් සේවය කළ අතර, ලංකා රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වය ලැබීම හේතුවෙන් වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ්හි සමර්විල් විද්‍යාලයට ඇතුළත් වෙනවා. එහිදී ඇය සිය ආචාර්ය උපාධිය ලබාගන්නවා. ඇයට මෙම ශිෂ්‍යත්වය ලැබුණේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මොහොතක වූ නමුත් අවස්ථානුකූලව සිතාමතා ඇය එය පිළිගෙන තිබුණා.

මහා බ්‍රිතාන්‍යයේ දී ඇය ලද අධ්‍යාපනය හේතුවෙන් ඇයට විවිධාකාරයේ වටිනා අවස්ථාවන් ලැබුණා. කොටින්ම ඇයට 1967 වසරේ කේම්බ්‍රිජ්හි පැවති ඉංජිනේරුවරියන් හා විද්‍යාඥවරියන් සඳහා වූ සමුළුවට සහභාගී වීමේ වරම් ද හිමිවෙනවා. ඇය එහි වූ එක් දේශනයක මුලසුන පවා හෙබවූවා.

ආචාර්ය සිවප්‍රකාසපිල්ලේ සිවසේගරම් (වම්පස සිට සිව්වැනියා) ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ, කාන්තා ඉංජිනේරු මණ්ඩපයේ ඉංජිනේරුවරියන් කිහිපදෙනෙකු සමග 2016 වසරේ ලෝක කාන්තා ඉංජිනේරුවරියන්ගේ දිනයේ දී.- ioes18

1965-1968 යන කාලය තුළ ඇය සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ අතර බ්‍රිතාන්‍යයේ පොදු ගොඩනැගිලි හා වැඩ පිළිබඳව වූ අමාත්‍යාංශයේ සැලකිය යුතු මට්ටමේ රැකියාවක ද නිරත වුණා. ඇය 1968 වසරේ දෙසැම්බර් මාසයේ දී විවාහ වූ අතර, පළමු දරු ප්‍රසූතියෙන් ඉතා කෙටි කලකට පසු නැවත ඉක්මණින්ම රැකියාව කරා යන්නට සිදුවූයේ  දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත යි.

1970 වසරේ අප්‍රේල් මස ආචාර්ය සිවසේගරම් නැවත ශ්‍රී ලංකාව පැමිණෙනවා. මේ වන විට ඇගේ පුත්‍රයාට යාන්තම් මාස 6 සම්පූර්ණ වී තිබුණා.

"මම තවත් මාස 6ක් දරුවා සමග ගත කොට නැවත සේවය කරා යන්නට කැමති වූ මුත් ඔවුන් (බ්‍රිතාන්‍ය අමාත්‍යංශය) එසේ නොපැමිණියහොත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 150ක් දෛනිකව දඩ ගසන බැව් මට දන්වා තිබුණා. මගේ වේතනය වූයේත් මාසයකට රු. 500ක් පමණ යි," ඇය පැවසුවා.

උක්ත 'බලකිරීම' නිසා එම රැකියා ස්ථානයෙන් ඉවත් වන්නට තීරණය කළ ඇය ලංකාවට පැමිණියා. කෙසේ නමුත් ලංකාවට පැමිණි වහාම ඇය තීරණය කළේ නැවත රැකියාවක් සොයාගන්නට යි. කිසිදු වැඩක් නොකොට සිටියහොත්, 'ලංකාවේ පළමු ඉංජිනේරුවරිය විවාහවීමෙන් පසු ක්ෂේත්‍රයෙන් ඉවත් වී යැ' යි යන නරක නාමය ඇයට පටබැඳේවී යි ඇය බිය වුණා.

නැවතත් සේවයේ

ආචාර්ය සිවසේගරම් ලංකාවට පැමිණි පසු 'මහනුවර ගොවීන්ගේ කොමිසමේ' ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන්නට ඇයට ආරාධනා ලැබෙනවා. උක්ත ස්ථානයේ සේවය කිරීම සතුටුදායක එකක් වුව ද, ආචාර්යවරියට වඩා ඉහළ බලාපොරොත්තු තිබුණා. සමහර විටෙක අතීතයේ පීඨාධිපති, කාන්තාවකට ඉංජිනේරුවෙක් විය නොහැකියැ යි පැවසූ දේ සිතෙහි හොල්මං කළ නිසාදෝ තමන් 'කාන්තාවක් වීම' නිසාම කිසිදු රැකියාවක් ප්‍රතික්ෂේප කළ නොයුතු යැ' යි ඇය ඉටාගත්තා. 

ආචාර්ය සිවසේගරම් පැමිණි මාවත මල් ඇතිරූ එකක් නොවේ. කාන්තාවක වීම නිසා යම් යම් අවස්ථාවන්හි දී ඇය අපහසුතාවට පත් වූ අවස්ථා බහුල යි. නව රැකියාව ලබා පළමු දිනයේ රජයේ නිලධාරියෙක් ඇය හට වැසිකිලිය පෙන්වන්නට ආරාධනා කළ අතර, ප්‍රධාන දිස්ත්‍රික් ඉන්ජිනේරුවරයාගේ මැදිහත් වීමෙන් එය වැලකී ගියා.

ආචාර්ය සිවසේගරම් පසුකාලීනව කොලඹ නිර්මාණ කාර්යයාලයට මාරු වී පැමිණෙනවා. 1978 වසරේ ඇය එහි ප්‍රධාන ව්‍යුහ ඉංජිනේරු වශයෙන් තේරී පත් වූ අතර, ඇගේ කාලයේ සිදුවූ ප්‍රධාන ඉදිකිරීම් අතර පොලිස් මූලස්ථානය, ජාතික පුස්තකාලය, ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව වැනි ගොඩනැගිලිවල කොටස් වුණා.

ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග ඉංජිනේරු ක්ෂේත්‍රය විශාල වෙනසකට මුහුණපෑවා. මේ නිසා සුවිශාල වැඩ කටයුතු පිටරට සමාගම්වලට පැවරුණා. මේ හේතුවෙන් ලාංකික ඉංජිනේරුවාහට පාඩු සිදු වුණා. සමහරු සේවය හැරගියා. කෙසේ නමුත් මේ අවස්ථාවේ ආචාරය සිවසේගරම් නොපැකිළව සේවයේ රැඳී සිටියා. 

කෙසේ නමුත් 1983 වසරේ කළු ජූලිය අතරතුර ආචාර්ය සිවසේගරම් සිය පවුල ද කැටුව එංගලන්තය බලා යනවා. බොහෝ කලක් එහි ගතකළ ඇය නැවත පැමිණෙන්නේ සිය පුත්‍රයා උපාධිය ලබාගත් පසු යි. ශ්‍රී ලංකාවට පැමිණි පසු නාවල විවෘත විශ්වවිද්‍යාලයයට සම්බන්ධ වන ඇය ඉංජිනේරු ශිල්පය සඳහා ලියැවුණු පොත්පත් කිහිපයකම සෝදුපත් බැලුවා.

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තිය

ආචාරය සිවසේගරම්ගේ විශ්වාසයට අනුව දැනටත් ඉංජිනේරු ක්ෂේත්‍රයේ එකලට වඩා වැඩි වෙනසක් සිදු වී නැහැ. නමුත් මිනිසුන්ගේ ආකල්ප නම් බොහෝ සෙයින් වෙනස් වී ඇති බැව් ඇය පවසනවා. විශේෂයෙන්ම කැපවීමෙන් ක්‍රියා කරන ගුරුවරුන් අඩු වී ඇති බැව් ඇය පෙන්වා දෙනවා. වර්තමානය වෙද්දී ගුරුවරුන් සමහරෙක් මුදලට යට වී ඇති බව ඇය පවසන්නේ කණගාටුවෙන්. ඇය පවසන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බව යි. විශේෂයෙන් ගිරවුන් ලෙස පාඩම් කිරීම නිසා අවසානයේ බිහිවන්නේ සිතීමට නොහැකි පුහු මිනිසුන් බැව් ඇය පවසනවා. ඔවුන් බහුතරයකට යමක් සිය බුද්ධියට ගෝචර කරගෙන ක්‍රියා කළ නොහැකියි. එමෙන්ම විශ්ව බස ලෙස ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි භාවිතයේ හුරුව ලබාගැනීම ඉතා වැදගත් බවයි ඇගේ අදහස.

ආචාරය සිවසේගරම් වර්තමානයේ ඉංජිනේරු වැනි ක්ෂේත්‍රවලට සම්බන්ධ කාන්තා පාර්ශවය මඳකින් හෝ ඉහළ යාම පිළිබඳව සතුටු වෙනවා. “මට මෙතෙක් හමු වූ හොඳම ශිෂ්‍යාව කුරුණෑගල ප්‍රදේශයෙන් පැමිණි කෙනෙක්. ඇය ඉතා විශිෂ්ට ලෙස යමක් තනියෙන් සිතා අවබෝධ කරගෙන හොඳින් කටයුතු කරනවා”යි ඇය සිහිපත් කළා. "එහෙත් කාන්තාවක වශයෙන් අවසානයේ ඇයටත් බාධාවලට මුහුණදෙන්නට සිදුවුණා. ඇගේ පියා ඇය වෘත්තියෙහි යෙදීම නවත්වා, විවාහ කර දීමට කටයුතු කළා. එය ඇත්තෙන්ම කණගාටුදායක යි."

ශ්‍රී ලංකාව වැනි රටවල කාන්තාවන් ඉංජිනේරු ශිල්පය වැනි විෂයයන් අතික්‍රමණය කිරීම සඳහා සුදුසු හැකියාවන් ප්‍රගුණ කළ හැකි තත්තවයක පසුවන බව පෙනී යන නමුත් විවිධාකාරයේ බාධාවන් නිසා ඔවුන් බහුතරයක ගමන අතරමඟ දී කඩාකප්පල් වෙනවා. සාමාන්‍ය ශ්‍රී ලාංකීය කාන්තාවක් මුහුණදෙන බාධක බහුතරයකට මුහුණදීමෙන් අනතුරුවත්, එම බාධක සියල්ල ජයගෙන, සිය දිවියේ ඉහළම ස්ථානවලට ළඟා වූ ආචාර්ය සිවසේගරම් වැනි තැනැත්තියන් විශේෂයෙන් සැමරිය යුත්තේ එබැවිනුයි.

කවරයේ පින්තූරය- Roar media/ English

මූලාශ්‍රය:

https://roar.media/english/life/identities/dr-premila-sivaprakasapillai-sivasegaram-the-first-female-engineer-in-sri-lanka/