අතීතයේ දී ලංකා දේශපාලන බිමේ සිටි බොහෝමයක් දේශපාලනඥයන් ජනතාවගේ හදවතට වඩාත් සමීපව සිටියා. එම නිසාම එකල දේශපාලන බිමේ සිටි සමහර චරිත පිළිබඳව අදටත් බොහෝ දෙනා ගෞරවයෙන් යුතුව කතා කරනවා. එලෙස අදටත් ජනතාවගේ මතකයෙන් ගිලිහී ගොස් නැති දේශපාලනඥයන් අතුරින් ඩඩ්ලි සේනානායකට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. ලංකා දේශපාලන බිමේ සිටි ප්‍රබලම පවුලකින් පැවත ආ ඩඩ්ලි, සිව්වරක් අග්‍රාමාත්‍ය ධූරය ලැබීමට තරම් වාසනාවන්තයෙකු වුණා. එසේ නම් මේ, ඩඩ්ලි සේනානායකගේ දේශපාලන දිවිය පිළිබඳව ආපසු හැරී බැලීමක්.

ඩඩ්ලි දේශපාලනයට පිවිසි 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය 

ඩොනමෝර් කොමිසමේ නිර්දේශවලට අනුව ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණේ 1931 වසරේ දී යි. එම යුගය වන විට 20 හැවිරිදි වියේ පසුවුණු ඩඩ්ලි සේනානායක, දේශපාලන කටයුතුවලට එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. නමුත්, 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය එළඹෙන විට ඒ සඳහා තරග කරන ලෙස ඩඩ්ලිගෙන් බොහෝ දෙනෙකු ඉල්ලා සිටියා. අවසානයේ දී සිය පවුලේ උදවියගේ සහ හිතවතුන්ගේ ඉල්ලීමට කන් දුන් ඩඩ්ලි, දැදිගම අසුනින් මැතිවරණය සඳහා තරග කළා. එදා වැඩි ඡන්ද 8,299කින් දැදිගම අසුන ජයග්‍රහණය කළ ඩඩ්ලි සේනානායක, රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වුණු ළාබාලම මන්ත්‍රීවරයා වුණා.

ඩඩ්ලි මුල්මවරට රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීමෙන් පසුව (ඩඩ්ලි සේනානායක චරිතාපදානය)

1947 වසරේ දී පාර්ලිමේන්තුවට පිවිසෙයි

1947 වසරේ මහා මැතිවරණය පැවැත්වෙන විට ඩඩ්ලි, සිය පියා වුණු ඩී. ඇස්. සේනානායක නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂයට එකතු වී සිටියා. එම පක්ෂය යටතේ 1947 මහා මැතිවරණයේ දී දැදිගම අසුනට තරග කළ ඩඩ්ලි, වාර්තාගත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වුණා. එහි දී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය වුණු 23,691න් ඡන්ද 20,170ක් ම ඩඩ්ලිගේ නම ඉදිරියේ සටහන් වී තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. එවර මහා මැතිවරණයේ දී වැඩි ආසන ප්‍රමාණයක් හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂවල සහයෝගය ඇතිව රජයක් පිහිටවනු ලැබුවා. එම රජය යටතේ පත් කළ කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා ලෙස තේරී පත් වුණේ ඩඩ්ලි සේනානායක යි. සිය පියා වුණු ඩී. ඇස්. සේනානායක රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ගෙන ගිය සාර්ථක වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම එදා ඩඩ්ලිගේ එකම අරමුණ වුණා. 1937 වසරේ දී ඩී. ඇස්. සේනානායක කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කළ අවධියේ දී ගල් ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය පිළිබඳව මුලින්ම යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත්, යම් යම් හේතූන් නිසා එම යෝජනාව ක්‍රියාවට නැංවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එදා සිය පියා විසින් යෝජනා කළ එම ව්‍යාපෘතිය 1949 වසරේ දී ඔහුගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කළ ඩඩ්ලි, එමඟින් රටේ ජනතාවට විශාල සේවයක් කළා. එහි ප්‍රතිලාභ අදටත් එම ප්‍රදේශවල ජනතාව භුක්ති විඳිනවා. 

ඩඩ්ලි කෘෂිකර්ම සහ ඉඩම් ඇමති ලෙස සිය පියා සමග (ඩඩ්ලි සේනානායක චරිතාපදානය)

ඩඩ්ලිට අගමැති පදවිය හිමිවෙයි 

1952 වසරේ මාර්තු 22 වැනිදා කිසිවෙකු නොසිතූ මොහොතක ඩී. ඇස්. සේනානායක අගමැතිවරයා දැයෙන් සමුගනු ලැබුවා. එම අවස්ථාවේ දී පුරප්පාඩු වුණු අගමැති ධූරය ලබාගැනීම සඳහා ඩඩ්ලි සහ කොතලාවල අතර සීතල යුද්ධයක් පැවතුණා. නමුත්, අවසානයේ දී වැඩිදෙනාගේ කැමැත්ත මත එම තනතුර ඩඩ්ලිට හිමි වුණා. එසේම, ඩී. ඇස්. සේනානායක මියයන විට සිය අනුප්‍රාප්තිකයා ලෙස නම් කර තිබුණේ ඩඩ්ලිව බව පසුව අනාවරණය වුණා. එලෙස ඩඩ්ලි අගමැතිවරයා ලෙස පත් වීමෙන් මසකට පමණ පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. ඉන්පසුව පැවැත්වුණු මහා මැතිවරණයේ දී ඩඩ්ලි සේනානායකගේ නායකත්වය යටතේ තරග වැදුණු එක්සත් ජාතික පක්ෂය ආසන 95න් 54ක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එහි දී නැවතත් දැදිගම ආසනයට ඉදිරිපත් වුණු ඩඩ්ලි ප්‍රකාශිත ඡන්ද 28,226න් 21,206ක් ම ඩඩ්ලි ලබාගෙන තිබුණා. ඒ අනුව එවර මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය වඩාත් ප්‍රබල ආණ්ඩුවක් නිර්මාණය කළා. 

ඩඩ්ලි සහ කොතලාවල සමීපව සිටින දසුනක් (ඩඩ්ලි සේනානායක චරිතාපදානය)

ඩඩ්ලි අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි 

1953 වසරේ මැද භාගය වන විට ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබුණා. එම අවස්ථාවේ දී ලෝක බැංකුවේ උපදෙස් මත රජයට සහනාධාර කප්පාදුවකට යාමට සිදුවුණා. ඒ අනුව, එම වසරේ ජූලි මස ඉදිරිපත් කළ අයවැයෙන් සහල් සහනාධාරය කපා දැමූ නිසා සහල් සේරුවක මිල සත 25 සිට සත 70 දක්වා වැඩි වුණා. එසේම, පාසල් ළමුන්ට ලබාදෙමින් තිබුණු දිවා ආහාරය ද නවතා දමනු ලැබුවා. එලෙස ආණ්ඩුව ජනතාවගේ සහන කප්පාදු කිරීමත් සමගම ඔවුන් නොසන්සුන් වුණා. ඉන් ප්‍රයෝජන ගත් වාමාංශික පක්ෂ ප්‍රමුඛ විපක්ෂය අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් මහා හර්තාලයක් ආරම්භ කළා. පසුකලෙක 1953 හර්තාලය ලෙසින් ප්‍රසිද්ධ වුණේ මෙම හර්තාලය යි. එදා හර්තාලය නිසා සිදුවුණු මරණ ගැන දැඩි කණගාටුවට පත් ඩඩ්ලි සේනානායක, අගමැති ධූරයෙන් ඉල්ලා අස් වුණා. එලෙස ඩඩ්ලි ඉල්ලා අස් වීමෙන් පසුව ඔහුගේ තනතුරට ජෝන් කොතලාවල පත් කරනු ලැබුවා.

හර්තාලයේ අවස්ථාවක් (Daily News)

ඩඩ්ලිගේ දේශපාලන දිවිය නිසොල්මනේ ඉදිරියට ඇදෙයි 

අගමැති තනතුරෙන් ඉල්ලා අස් වීමෙන් පසුව, පසු පෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඩඩ්ලි නිහඬව සිය දේශපාලන කටයුතුවල නිරත වුණා. එම කාල වකවානුව තුළ ජනතා අප්‍රසාදයට ලක්වෙමින් පැවති කොතලාවල ආණ්ඩුව, 1956 මහා මැතිවරණය ආසන්න වන විට දුර්වල තත්ත්වයේ පැවතුණා. ඒ වන විට තරමක අසනීප ගතියෙන් පෙළුණු ඩඩ්ලි, 1956 මහා මැතිවරණට තරග නොකිරීමට තීරණය කළා. එවර මැතිවරණයේ දී දැවැන්ත පරාජයකට ලක් වුණු එක්සත් ජාතික පක්ෂය අවසානයේ දී ලබාගත්තේ ආසන 8ක් පමණ යි. 1956 මැතිවරණ පරාජයෙන් පසුව බොහෝ දෙනෙකු සිතුවේ එක්සත් ජාතික පක්ෂයට යළි ජීවය ලැබීමට නොහැකි වනු ඇති බව යි. යළි සිය පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය වුණු අවස්ථාවේ ඩඩ්ලි සොයා ගිය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්, යළි දේශපාලනයට පිවිස පක්ෂයට නායකත්වය දෙන ලෙස ආයාචනය කළා. එහි දී ජනතාවගේ මතයට ඇහුන්කම් දුන් ඩඩ්ලි, යළි පක්ෂ නායකත්වය ලබාගෙන සිය පක්ෂ මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් සූදානම් කිරීම ඇරඹුවා. 1959 වසරේ දී එවකට අගමැති වරයා ලෙසින් කටයුතු කළ S.W.R.D බණ්ඩාරනායක සාහසිකයෙකුගේ වෙඩි පහරකින් මරණයට පත් වීමත් සමගම විජයානන්ද දහනායක අගමැතිවරයා ලෙස පත් කරනු ලැබුවා. නමුත්, දහනායකට පාලන කටයුතු හරියාකාරව කරගෙන යාමට නොහැකි වුණු නිසා පාර්ලිමේන්තුව විසිරුවා හැරියා.

ඩඩ්ලි සිය පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවයි 

1960 වසරේ මාර්තු මාසයේ පැවැත්වුණු මහා මැතිවරණයෙන් වැඩි ආසන ප්‍රමාණයක් ලබාගත්තේ එක්සත් ජාතික පක්ෂය යි. එදා එක්සත් ජාතික පක්ෂය ආසන 50ක් ලබාගන්නා විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 46ක් ලබාගැනීමට සමත් වුණා. එහි දී යළි දැදිගම අසුනට තරග කළ ඩඩ්ලි, වැඩි ඡන්ද 6,579කින් සිය ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එසේම, එම මැතිවරණය එළඹෙන විට හිටපු අගමැති ජෝන් කොතලාවල දේශපාලන දිවියෙන් සමුගෙන තිබීමත් සුවිශේෂී සිදුවීමක් වුණා. එදා එක්සත් ජාතික පක්ෂය වැඩි ආසන ප්‍රමාණයක් දිනාගනු ලැබුවත් විපක්ෂය වඩාත් බලවත් වුණා. එම නිසාම ඔවුන්ට ආණ්ඩුව ඉදිරියට රැගෙන යාමට හැකි වුණේ නැහැ.

1960 මාර්තු මහා මැතිවරණයේ අවස්ථාවක් (gettyimages)

ඩඩ්ලි යළි විපක්ෂයට 

1960 මාර්තු මහා මැතිවරණයෙන් පසුව අප්‍රේල් 6 වැනිදා මුල්මවරට පාර්ලිමේන්තුව රැස් කරනු ලැබුවා. එදා කථානායකවරයා තේරීම සඳහා පැවති ඡන්දයේ දී විපක්ෂයෙන් ඉදිරිපත් කළ ටී. බී. සුභසිංහ ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඉන්පසුව, අප්‍රේල් 22 වැනිදා රාජාසන කතාව පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වුණු අවස්ථාවේ දී යළි ආණ්ඩු පක්ෂය අබිබවා ගිය විපක්ෂය වැඩි ඡන්ද 25කින් රාජාසන කතාව පිළිබඳව යෝජනාව පරාජය කරනු ලැබුවා. ඒ අනුව, 1960 මාර්තු මහා මැතිවරණයෙන් පත් වුණු ඩඩ්ලිගේ ආණ්ඩුව ඉතාමත් කෙටි කාලයකින් විසිරුවා හරිනු ලැබුවා. ඉන්පසුව, 1960 ජූලි මාසයේ පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් වන විට සිරිමා බණ්ඩාරනායක, ලොව ප්‍රථම අගමැතිනිය ලෙසින් අභිෂේක ලැබුවා. එලෙස සිය පක්ෂය පරාජය වන විට වැඩි ඡන්ද 1,657කින් සිය අසුන ජයගත් ඩඩ්ලිට වසර කිහිපයක් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට සිදුවුණා.

සිරිමා බණ්ඩාරනායක (gettyimages)

සිව්වන වරටත් අගමැතිවරයා බවට පත් වෙයි 

1964 වසර ආරම්භ වන විට ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ එක්ව පිහිටුවාගෙන තිබුණු වාමාංශික එක්සත් පෙරමුණ වඩාත් ප්‍රබල දේශපාලන බලවේගයක් ලෙස ඉදිරියට එන්නට වුණා. ඉන් බියට පත් වුණු සිරිමා බණ්ඩාරනායක, වමේ පක්ෂ එකතු කරගෙන සභාග රජයක් ගොඩනගනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බහුතර බලයක් තිබුණු අවස්ථාවේ අගමැතිනිය විසින් කළ එම ක්‍රියාවට විරෝධය දැක්වූ සභා නායක සී. පී. ද සිල්වා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයට එක් වී රාජාසන කතාවේ දී ආණ්ඩුව එක් ඡන්දයකින් පරාජය කරනු ලැබුවා. ඒ අනුව, 1965 වසරේ පැවති මහා මැතිවරණයෙන් ආසන 66ක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය සුළු පක්ෂවල සහයෝගය ලබාගෙන රජයක් පිහිටවනු ලැබුවා. එදා එක්සත් ජාතික පක්ෂ බිහි කළ රජය හඳුන්වනු ලැබුවේ හත්හවුල ලෙස යි. ඒ අනුව, ඩඩ්ලි සේනානායක සිව්වන වරටත් ලංකාවේ අගමැතිවරයා ලෙසින් තේරී පත් වුණා.

1965 කැබිනට් මණ්ඩලය (ඩඩ්ලි සේනානායක චරිතාපදානය)

ඩඩ්ලිගේ දේශපාලන දිවියේ සැඳෑ සමය 

1965 වසරේ දී බලයට පත් වුණු ඩඩ්ලි සේනානායක, ආණ්ඩුවට ජනතා සිතුම් පැතුම් එලෙසින්ම ඉටුකිරීමට හැකි වුණේ නැහැ. එම නිසාම, 1970 වසරේ පැවති මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ආසන 17ක් පමණක් ලබාගන්නා විට ඩඩ්ලි, දැදිගම අසුන බේරාගත්තේ වැඩි ඡන්ද 1067ක් පමණක් ලබා ගනිමින්. එදා සිය පක්ෂය ලබාගත් දැවැන්ත පරාජයෙන් පසුව දැඩි සිත් තැවුලට පත් වුණු විපක්ෂනායක තනතුර ජේ. ආර්. ජයවර්ධනට භාරදෙනු ලැබුවා. නමුත්, පක්ෂයේ පාලනය දිගටම තමා යටතේ තබා ගැනීමට ඔහු තීරණය කළා. මෙම යුගය වන විට ඩඩ්ලි සහ ජේ. ආර්. අතර අර්බුදයක් නිර්මාණය වී තිබුණු නිසා එක්සත් ජාතික පක්ෂය දැඩි පසුබෑමකට ලක් වී තිබුණා. එසේම, එදා එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයෙකු වුණු රණසිංහ ප්‍රේමදාසත් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් වී කොළඹ පුරවැසි පෙරමුණ නමින් සංවිධානයක් පිහිටුවා ගනු ලැබුවා. නමුත්, 1972 වසරේ ජූනි මාසය වන විට ඩඩ්ලි සහ ජේ. ආර්. අතර තිබුණු ගැටුම සමථයකට පත් වුණා. ඉන් අනතුරුව, යළි සිය පක්ෂය වෙනුවෙන් ඇප කැප වී සේවය කරමින් සිටි ඩඩ්ලි, 1973 වසර වන විට දැඩි අසනීප තත්ත්වයෙන් පසු වුණා. 1973 අප්‍රේල් 10 වැනිදා වන විට හෘදයාබාධ තත්ත්වයක් නිසා දැඩි ලෙස රෝගී වුණු ඩඩ්ලි, අප්‍රේල් 13 වැනිදා සඳහටම දෙනෙත් පියාගත්තේ ඔහුට ආදරය කළ ජනතාව දුක් සයුරේ ගිල්වමින්.

කවරයේ ඡායාරූපය- ඩඩ්ලි සේනානායක ගොවියන් පිරිසක් සමග (Daily News)

මූලාශ්‍රයයන්:  

ඩඩ්ලි සේනානායක චරිතාපදානය- සේනානායක පදනම

තිස් වසරක නොනිමි සටහන්- ලාල් සමරසිංහ 

මහා මැතිවරණ ප්‍රතිඵල 1947-1970- මැතිවරණ දෙපාර්තමේන්තුව