Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමතක නොවන පැරණි සිංහයෝ 2 – දුලිප් මෙන්ඩිස්

1975-1989 කාල සමය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දුලිප් මෙන්ඩිස් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටියා. ඔහුගේ එම වේගවත් පිතිකරණ රටාව නිසාම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයත් නොමඳව දිනාගෙන සිටියා. එසේම බන්දුල වර්ණපුරගෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දුලිප් ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් ජයග්‍රහණය කරා මෙහෙය වූ නායකයා බවටත් පත් වුණා. එසේ නම් අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ දෙවන ලිපිය තුළින් කතා කරන්නේ දුලිප් මෙන්ඩිස් නම් ක්‍රීඩකයා පිළිබඳව යි.

දුලිප් මෙන්ඩිස්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මතක සටහන් 

ටෙස්ට් තරග 24ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දුලිප් මෙන්ඩිස් ඉනිම් 43ක් තුළ ලකුණු 1329ක් ලබාගෙන තිබෙනවා. එසේම සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ අර්ධ ශතක 8ක් සහ ශතක 4ක් ලබාගත් දුලිප් ඉන් ශතක 3ක් ම වාර්තා කළේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව යි. 

දුලිප් ශ්‍රී ලංකාව සහභාගි වුණු මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළා. 

ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගි වුණේ 1982 වසරේ දී යි. පී සරා ඕවල් පිටියේ පැවති එම තරගයේ දී ශ්‍රී ලංකාව තරග වැදුණේ එංගලන්ත කණ්ඩායම සමග යි. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 4 පිතිකරු ලෙස කටයුතු කළ දුලිප් මෙන්ඩිස්ට ඉනිම් දෙක තුළ ලබාගැනීමට හැකිවුණේ ලකුණු 17ක් සහ ලකුණු 27ක් පමණ යි. 

දුලිප්  පිත්තෙන් දස්කම් දැක්වූ ටෙස්ට් තරග 

දුලිප් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවිය තුළ ලබාගත් ශතක හතරෙන් 3ක්ම විදෙස් රටවල දී ලබාගත් ඒවා යි. ඒ  ඔහු ඉන්දියාවේ දී ලබාගත් ශතක 2ක සහ ලෝඩ්ස් පිටියේ දී ලබාගත් ශතකය යි.

ඉන්දියාවට  එරෙහිව ශතක 2ක් ලබාගත් 1982 චෙන්නායි ටෙස්ට් තරගය 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුල්මවරට ටෙස්ට් තරගයක් පැවැත්වුණේ 1982 වසරේ දී යි. එදා චෙන්නායි නුවර චිදම්බරම් පිටියේ දී පැවති එම ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට දුලිප් පිත්තෙන් දැක්වූ දස්කම් විශාල බලපෑමක් කළා. එදා ප්‍රබල ඉන්දීය පිලට එරෙහිව පැවති ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 2ම ලකුණු 11කට දැවීගියා. එලෙස සිය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු දුලිප් මෙන්ඩිස් ලකුණු 105ක් ලබාගනිමින් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

දුලිප් මෙන්ඩිස් (gettyimages)

ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 220ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණු 47කට දැවී ගියේ නැවතත් දුලිප්ට ඉනිම ගොඩනැගීමේ වගකීම පවරමින්. එහි දී නැවතත් සුපුරුදු රිද්මයට පැමිණි දුලිප් අගනා ලකුණු 105ක් වාර්තා කළේ ටෙස්ට් තරගයක ඉනිම් දෙකේ දීම ශතක ලබාගත් මුල්ම ශ්‍රී ලංකා පිතිකරුවා වෙමින්. එසේම ටෙස්ට් ඉනිම් දෙකේ දීම වැඩිම එක සමාන ලකුණු ප්‍රමාණයක් ලබාගත් පිතිකරුවා ලෙසින් එදා දුලිප් තැබූ විරල ටෙස්ට් වාර්තාව අදටත් සුරැකිව පවතිනවා.  

ලෝඩ්ස් පිටියේ දී එංගලන්තය අසරණ කළ දුලිප් 

1984 වසරේ දී ශ්‍රී ලංකාව මුල්ම වරට ලෝඩ්ස් පිටියේ දී ටෙස්ට් තරගයක් සඳහා සහභාගි වුණේ දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ යි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ දස්කම් දක්වමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගත්තේ පිතිකරුවන් දැක්වූ සුපිරි දස්කම් නිසා යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 491ක් ලබාගත්තේ ඔවුන් එම අවදියේ ටෙස්ට් ඉනිමක ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්. එහි දී ප්‍රචණ්ඩකාරී ඉනිමක් ක්‍රීඩාකළ නායක දුලිප් මෙන්ඩිස් පන්දු 143ක් තුළ හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 111ක් ලබාගැනීමට සමත් වුණා. දුලිප්ගේ පිත්තෙන් වාර්තා වුණු එම ශතකය ටෙස්ට් තරගය ශ්‍රී ලංකා නායකයෙකු වාර්තා කළ මුල්ම ටෙස්ට් ශතකය ලෙසින් ඉතිහාසගත වුණා.

 දුලිප් මෙන්ඩිස්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

එලෙස පළමු ඉනිමේ දස්කම් දැක්වූ දුලිප් දෙවන ඉනිමේ දී ත් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 97ක් තුළ හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 94ක් ලබාගැනීමට සමත් වුණා. නමුත් එම ඉනිමේ දී දුලිප් ශතකය අභියස දීම දැවීයාම අවාසනාවන්ත සිදුවීමක් බවට පත් වුණා.

ඉන්දියාවට එරෙහිව සිය කණ්ඩායම පරාජයෙන් බේරාගත් ශතකය 

1985 වසරේ දී පැවති ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ තෙවන තරගය ක්‍රියාත්මක වුණේ මහනුවර අස්ගිරිය පිටියේ දී යි. එම තරගය ආරම්භ වන විට 1-0 ලෙස ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගෙන සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එම නිසාම ඉන්දියානුවන් තරගය සඳහා අවතීර්ණ වුණේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. එවැනි වටපිටාවක් යටතේ ආරම්භ වුණු තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 249ක් ලබාගත්තා. ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනාම දැවී ලබාගත්තේ ලකුණු 198කට පමණ යි. එහි දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දුලිප් ලකුණු 53ක් ලබාගැනීමට සමත් වුණා. මුල් ඉනිම අවසානයේ දී ලකුණු 51ක් ඉදිරියෙන් සිටි ඉන්දීය කණ්ඩායම දෙවන ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 325ක් ලබාසිටිය දී ඉනිම අත්හිටවූයේ ශ්‍රී ලංකාවට ලකුණු 377ක ඉලක්කයක් ලබාදෙමින්. එම අවස්ථාවේ දී ලකුණු 377ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 34ක් තුළ දැවී ගියා. එලෙස සිය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු නායක දුලිප් මෙන්ඩිස් අගනා ලකුණු 124ක් ලබාගත්තේ සිය කණ්ඩායම පරාජයෙන් බේරාගනිමින්.

අවසන් ටෙස්ට් ඉනිමේ දී සටන්කාමී අර්ධ ශතකයක් 

දුලිප් මෙන්ඩිස් සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ 1988 වසරේ දී ලෝඩ්ස් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 194ට පිළිතුරු ලෙසින් එංගලන්තය ලකුණු 429ක් ලබාගත්තා. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 235ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 147ක් තුළ දැවීගියා. එලෙස සිය කණ්ඩායම අවදානම් අඩියකට වැටී සිටි මොහොතක සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ දුලිප් ලකුණු 56ක් ලබාගත්තේ සිය කණ්ඩායම ඉනිමක පරාජයෙන් බේරාගනිමින්. 

දුලිප් ටෙස්ට් තරගවල දී නායකයෙකු ලෙස දැක්වූ දස්කම් 

දුලිප් ටෙස්ට් තරග 19ක දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. එහි දී ඔහු ටෙස්ට් තරග 2ක් ජයග්‍රහණය කරන විට තරග 8ක් පරාජය වුණා. ශ්‍රී ලංකාව ලබාගත් මුල්ම ටෙස්ට් තරග ජයග්‍රහණය මෙන්ම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වාර්තා වුණේ දුලිප්ගේ නායකත්වය යටතේ යි. ඒ 1985 වසරේ දී එවකට ලෝක ශූරයන් බවට පත්ව සිටි ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව යි.

දුලිප් මෙන්ඩිස්ගේ එක්දින ක්‍රිකට් දිවියේ මතක සටහන් 

එක්දින තරග 79ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දුලිප් මෙන්ඩිස් ඉනිම් 74ක් තුළ ලකුණු 1527ක් ලබාගෙන තිබෙනවා. එසේම සිය එක්දින ක්‍රිකට් දිවිය තුළ අර්ධ ශතක 7ක් ලබාගත් දුලිප් සිය හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළේ ප්‍රබල.ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව යි.

දුලිප් ශ්‍රී ලංකාව සහභාගි වුණු මංගල එක්දින තරගය සඳහා ක්‍රීඩා කළා. 

ශ්‍රී ලංකාව මංගල එක්දින තරගය සඳහා සහභාගි වුණේ 1975 වසරේ දී යි. 1975 එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවති එම තරගයේ දී ශ්‍රී ලංකාව තරග වැදුණේ ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග යි. ශ්‍රී ලංකාව කඩුලු 9ක දරුණු පරාජයක් ලැබූ එම තරගයේ දී දුලිප්ට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 8ක් පමණ යි.

දුලිප්  පිත්තෙන් දස්කම් දැක්වූ එක්දින තරග 

ශ්‍රී ලංකාව ලබාගත් මුල්ම එක්දින තරග ජයග්‍රහණයේ නියමුවා වුණු දුලිප් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම හයේ පහර එල්ල කළ පිතිකරුවා ලෙසත් ඉතිහාසගත වනවා. එසේම එම අවදියේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙසින් ප්‍රසිද්ධව සිටි දුලිප් එක්දින තරග රටාවට වඩාත් උචිත පිතිකරුවෙකු බවටත් පත්ව සිටියා.

ශ්‍රී ලංකාවට මංගල එක්දින ජයග්‍රහණය ලබාදුන් වේගවත් ඉනිම 

1979 එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයක දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග වැදුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 60 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 238ක් ලබාගත්තා. එහි දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දුලිප් හයේ පහර 3ක් සමඟින් පන්දු 57ක දී ලකුණු 64ක් වාර්තා කළා. එසේම එදා දුලිප් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක දී මුල්ම හයේ පහර එල්ල කළ පිතිකරුවා බවටත් පත් වුණා. ඉන් පසුව ලකුණු 239ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම ලකුණු 191කට දැවීගිය නිසා ශ්‍රී ලංකාවට ලකුණු 47ක ජයක් හිමි වුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් මංගල එක්දින ජයග්‍රහණයේ දී දුලිප් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීම සුවිශේෂී සිදුවීමක් වුණා.

පාකිස්ථානයට එරෙහිව ලැබූ මංගල එක්දින ජයේ නියමුවෙකු වුණා 

1982 වසරේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති දෙවන එක්දින තරගය පන්දුවාර 40කට සීමා වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම නියමිත පන්දුවාර 40 තුළ කඩුලු 4කට ලකුණු 239ක් ලබාගත්තේ සහීර් අබ්බාස් පන්දු 87කින් ලබාගත් ලකුණු 123 නිසා යි. ඉන් පසුව ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33ක් අවසානයේ දී කඩුලු 4කට ලකුණු 227ක් ලබා සිටිය දී වර්ෂාව ඇඳ වැටුණා. එලෙස වර්ෂාව ඇඳ වැටෙන අවස්ථාව වන විට ක්‍රියාත්මකව තිබුණු පන්දුවාර ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාවට ලබාගැනීමට තිබුණේ ලකුණු 198ක් පමණ යි. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 30ක ජයක් ලැබූ එම තරගයේ දී පිත්තෙන් දස්කම් දැක්වූ දුලිප් පන්දු 46කින් ලකුණු 52ක් ලබාගැනීමට සමත් වුණා. 

සිඩ්නි පිටියේ දී කැංගරුවන් හමුවේ ලබාගත් සටන්කාමී ලකුණු 80 

1984/85 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ 10 වැනි තරගය සිඩ්නි ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 55ක් තුළ දැවීගියා. එලෙස සිය කණ්ඩායම අසීරු අඩියකට වැටුණු අවස්ථාවේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දුලිප් ලකුණු 80ක් ලබාගත්තේ පන්දු 79කට පමණක් මුහුණදෙමින්.

දුලිප් එක්දින තරගවල දී නායකයෙකු ලෙස දැක්වූ දස්කම් 

දුලිප්  එක්දින තරග 61ක දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. එහි දී ඔහු එක්දින තරග 11ක් ජයග්‍රහණය කරන විට තරග 46ක් පරාජය වුණා. නමුත් ශ්‍රී ලංකාව ලබාගත් මුල්ම එක්දින තරගාවලි ජයග්‍රහණය වාර්තා වුණේ දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ යි. ඒ 1983 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලිය 2-0 ලෙසින් ජයග්‍රහණය කරමින්. එසේම 1986 වසරේ ආසියානු කුසලානයත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ යි.

කවරයේ ඡායාරූපය - දුලිප් මෙන්ඩිස් 1984 ලෝඩ්ස් ටෙස්ට් තරගයේ දී  (gettyimages)

Related Articles