Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිනහවෙන් දීර්ඝායුෂ විඳි තනිකඩ තරුණයා

පසුගිය දිනවල මුහුණුපොතේ විශාල පිරිසකගේ වෝල්වල සුදු කොඩි දකින්න ලැබුණා. ඒ කලාසූරී, ආචාර්ය එඩ්වින් ආරියදාසගේ අභාවය වෙනුවෙන්. දිවි ගමනේ සියවසක් සපිරීමට අවුරුද්දක් තිබිය දී පසුගිය ජනවාරි 22 දා අප අතරින් වියෝ වූ ඔහු මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක්. ඔහුගේ ගෝලයන් සංඛ්‍යාව දසදහස් ගණනක් කිව්වොත් නිවැරදි යි. ඔබ මෙම ලිපිය කියවන අන්තර්ජාලයට ඒ සිංහල වචනය ලබාදුන්නෙත් ඔහු යි.

ඇවිදින විශ්වකෝෂය

ආචාර්ය ආරියදාස 1986 දී –  nalakagunawardhane.com

එඩ්වින් ආරියදාස ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු, පරිසරවේදියෙකු, ගුරුවරයෙකු මෙන්ම වියතෙකු ද ලෙස සැලකෙනවා. ඔහුට මෑතක දී ආචාර්ය උපාධිය පිරිනැමුණේ එම දැනුමට ගරුකිරීමක් වශයෙන්. කලකට පෙර පටන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔහු ප්‍රචලික වෙලා හිටියේ ඇවිදින විශ්වකෝෂය හෝ “ඇවිදින පුස්තකාලය” යන නමින්. අන්තර්ජාලය පැමිණීමට පෙර සමයේ විවිධ අවස්ථාවල දී ජනමාධ්‍යවේදීන් දුලබ තොරතුරු සොයාගැනීමට, විවිධ ජාත්‍යන්තර කරුණු ගැන ඔත්තු දැනගැනීමට අමතන්නේ එඩ්වින් ආරියදාසට. ඔහු ඒ සැමවිටම නිහතමානීව කාටත් උදව් උපකාර කළා. නිතරම ටයිම් සගරාව අතේ තබාගෙන ඇවිදින ඔහු නිවසේ පැරණි ටයිම් සඟරා කලාප එකට බැඳ තබාගෙන සිටියා.

එඩ්වින් ආරියදාසගේ මෑතක දී නිකුත් වූ පරිවර්තනයක්- vidarshana.lk

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ට ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ එඩ්වින් ආරියදාස විචාර ලිපි සිය ගණනාවක් රචනා කර තිබෙනවා. පොත් සහ සිනමා විචාර දේශනත් සිය ගණනක් පවත්වා තිබෙනවා. සිනමා ලිපි ‘ලෝක ඉතිහාසය’, ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත් ‘විමුක්ති ප්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක්ම ඔහු පළ කර තිබෙනවා.

ජීවන තතු

ඉගෙනගත් ගාල්ල මහින්ද විදුහල – youtube.com

ගාල්ලේ උණවටුනේ ගැමි ගෙදරක 1922 දෙසැම්බර් 3 දා වි. කේ. ආබ්‍රහම් අප්පුහාමි සහ සිසිලයානා හාමිනේගේ පවුලේ බාලම දරුවා ලෙස උපත ලද පුත්‍රයා වී. කේ. එඩ්වින් ආරියදාස නම් වුණා. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ උණවටුන බෞද්ධ මිශ්‍ර පාසලෙන්. ඊට පසු දේවතුර ඉංග්‍රීසි පාසලෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ද්විතීය අධ්‍යාපනයට ඔහු ඇතුළුවුණේ ගාල්ල මහින්ද විද්‍යාලයයට යි.

2015 දී සරසවිය පුවත්පතට එඩ්වින් ආරියදාස සිය බාල කාලය ගැන මෙසේ පවසා තිබුණා:

මගේ කුඩා කාලය කවදාවත් හිතින් ගිලිහෙන්නේ නැති කාලයක්. ඒ කාලයේ මට බොහොම ඉහළින් ආදරය ලැබුණා. මට අය්යලා තුන්දෙනෙකුයි අක්කලා දෙන්නෙකුයි හිටියා. පවුලේ බාලයා වුණු  මට ඒ හැමෝම ආදරය කළා. මම වැඩිහිටියකු වුණාම මට අවශ්‍ය වුණේ ඒ ආදරය සමාජයට බෙදලා දෙන්න. දේවතුරේ ඉංග්‍රීසි පාසලේ ප්‍රධානාර්ය ඒ. එම්. අබේගුණරත්න කියන විද්වතා මට ඉංග්‍රිසි දැනුම දියුණුකර ගන්න උපකාර කළා. අනෙක් ළමයි පිට්ටනියේ ක්‍රීඩාකරන කාලෙත් මම පුස්තකාලයට ගිහින් පොත් කියෙව්වා.

උපහාර ලිපි සරණිය- facebook

උසස් අධ්‍යාපනය සඳහා ආරියදාස සිසුවා කොළඹ විශ්වවිද්‍යාල කොලීජියට ඇතුළත් වුණා. 1942 දී එය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයය බවට පත්වූ අතර එම විශ්වවිද්‍යාලයයේ මුල්ම සිසු කණ්ඩායමට ඔහු ද ඇතුළත් වුණා. ඔහු විශ්වවිද්‍යාලයයේ දී ඉංග්‍රීසි ඉගෙන ගත්තේ ඊ. එෆ්. ඊ. ලුඩොවයික් නම් විශිෂ්ට ගුරුවරයාගෙන්. ඒ කාලේ පටන්ම පත්තර, සඟරාවලට ඉංග්‍රීසියෙන් මෙන්ම සිංහලෙන්ද ලිපි ලිව්වා. ඔහු 1945 දී සිංහල ගෞරව උපාධිය ලබාගත්තේ එවකට උපකුලපති සර් අයිවර් ජෙනිංග්ස් අතින්. උපාධිධරයෙක්වීමෙන් පසු ටික කලක් තමන් ඉගෙනගත් මහින්ද විද්‍යාලයයේ ගුරුවරයකු ලෙස උගන්වන ඔහු පසුව කොළඹ එනවා.

ලේක්හවුසියේ පත්තර රස්සාව

දිගුකලක් රැකියාව කළ ලේක්හවුසිය- lakehouse.lk

ඔහු 1949 මාර්තු 8 දා ලේක්හවුස් ආයතනයට එක්වන්නේ පුවත්පත් කලාවේදියෙකු ලෙසින්. දිනමිණ පුවත්පතේ උපකතුවරයෙකු සහ විශේෂාංග කතුවරයෙකු ලෙස වර්ෂ ගණනාවක් සේවය කළ ඔහු ලිපි සියගණනින් රචනා කළා. ලෝක දැනුම මෙරටට බෙදා දුන්නා. 1978 සිට 1982 දක්වා නවයුගය පුවත්පතේ කර්තෘ ලෙස පත්වූ ඔහු එම පුවත්පත ඔස්සේ ජාත්‍යන්තර දැනුම මෙරටට ළඟාකරවීමට සමත් වුණා. ඔහු මධ්‍යම පරිසර අධිකාරියේ පළමු ප්‍රවර්ධන අධ්‍යක්ෂ ලෙසද කාලයක් කටයුතු කළා.  

ජනවිඥාපනය හෙවත් ජනසන්නිවේදනය

කේ. ජයතිලකගේ චරිත තුනක් පරිවර්තනය- abebooks.com

ශ්‍රී ලංකාවට විධිමත් ලෙස සන්නිවේදනය විෂය හඳුන්වා දෙන ලද්දේ 1968/69 කාල වකවානුවේ දී යි. එවකට දෙහිවල කනිෂ්ට විශ්වවිද්‍යාලයය නම් ආයතනය රජයෙන් ආරම්භ කළා. වෘත්තීය විෂයයන්වලට මුල්තැන දුන් එහි ‘ජනවිඥාපනය’ නමින් පාඨමාලාවක් ආරම්භ කළේ එවකට අධ්‍යාපන ඇමැතිව සිටි අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ලගේ මැදිහත්වීම යටතේ. පුවත්පත් කලාව ද ඇතුළත් වූ එය මෙරට ජනසන්නිවේදන අධ්‍යාපනයේ ආරම්භය සටහන් කරනවා. එකල මෙරට කිසිවකු ජනසන්නිවේදනය ගැන උසස් අධ්‍යාපනයක් ලබා සිටියේ නැහැ. පොතපතින් ඒ ගැන උගත් එඩ්වින් ආරියදාසට ජන සන්නිවේදන විෂය නිර්දේශය සකස්කර දීම බාර වුණා. ඔහු ලේක්හවුසියේ වැඩකරන ගමන් එම විෂය ඉගැන්වීමට ද සම්බන්ධ වුණා.

ඔහුගෙන් විශ්වවිද්‍යාලයයේ දී ඉගෙන ගත් ශිෂ්‍යයෙකු වූ ආචාර්ය ප්‍රණිත් අභයසුන්දර පසුගිය දිනෙක මෙසේ සඳහන් කර තිබෙනවා: 

අපි තරුණ කාලේ අපිට එඩ්වින් ආරියදාස සූරින් හොඳ දැනුමක් ලබා දුන්නා.ඉතා සුන්දර සංස්කෘතික ප්‍රබෝධය ඇතිවන අයුරින් එතුමා අපිට ගුරුවරයෙක් වුණා. අපට ජන සන්නිවේදනය ඉගැන්වූ එදිරිවීර සරත්චන්ද්‍රයාණන් එතුමාට දීලා තිබුණු නම විඥානය කියලයි.

එකල අපට අපේ විශ්වවිද්‍යාලයයේ (ශ්‍රී ජයවර්ධනපුර) ලේඛකත්වය කියලා පාඨමාලාවක් තිබුණා. මෙතුමා උගන්නනවා. අපි ඉගෙන ගන්න ගමන් පුවත්පත්වලට ලිපි සැපයුවා. නවයුගය පුවත්පත අපි පුදුම ආසාවකින් තමයි කියෙව්වේ.

එඩ්වින් ආරියදාස තිරරචනය කළ සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය- youtube.com

ආචාර්ය ලක්ෂ්මන් වික්‍රමසිංහ  ඔහු ගැන මතකය අවදිකර ඇත්තේ මෙලෙස යි:

එඩ්වින් ආරියදාස සූරීන් මට හමුවුණේ ලේක්හවුසියේ දී. එහිදී මා සරසවියේ කතුවරයෙක් ලෙස සේවය කළා. අපි මාසයකට සැරයක් දෙසැරයක් හමුවී කතා කළා. ජාත්‍යන්තර සිනමාව, සාහිත්‍යය,කාලීන තොරතුරු, අභ්‍යවකාශය වැනි දේ සම්බන්ධව බොහෝ කතා බහ සිදුකළා, එය මගේ වෘත්තීය දියුණුවට විශාල වශයෙන් ආධාර වුණා. යහපත් ගතිගුණ වර්ධනය, මෛත්‍රිය, හොඳ හිත, පක්ෂපාතී නොවී කොහොමද හොඳ මිනිසෙකු වන්නේ? කියන ආරියරත්නයන්ගේ විශ්වීය දැනුමට ශීර්ෂයන් දැමීම, පිටු සැකසුම සම්බන්ධයෙන් මට විටින් විට සැක හිතුණා මම මෙතුමාට සාධාරණයක් කළා ද කියලා? මගේ ගුරුවරයෙක් වූ ආරියදාස ශූරීන්ගේ ලිපි සංස්කරණයේ දී මාව හොඳ පැත්තට යි යොමු කළේ. එතුමා තරුණ පුවත්පත් කලාවේදීන්ට විෂය කලාව හැසිරීම ඉගැන්නුවා. ඉවසීම ඉගැන්නුවා. ද්වි භාෂාවෙන් පුවත්පත් පොත් ලියූ විශිෂ්ට පුවත්පත් කලාවේදීන් සිටී නම් ඒ ආරියරත්නයන්ම පමණ යි. 

නිතර සිනහවෙන් පිරි වියත් ලකුණ- dailynews.lk

ප්‍රවිණ මාධ්‍යවේදී සෝමවීර සේනානායක ඔහුගෙන් අප රට ලද දායකත්වය මෙසේ වර්ග කර තිබෙනවා:

  1. නූතන විද්‍යාවට සිංහලෙන් ජනප්‍රිය කරවීම

  2. නව චින්තනය සිංහලෙන් හඳුන්වාදීම

  3. බටහිර සාහිත්‍යය පිළීබඳ සිංහල කියවන්නන් දැනුවත් කිරීම

  4. සිංහල සංස්කෘතිය ඉංග්‍රීසි පාඨකයන්ට හඳුන්වා දීම

  5. ජනමාධ්‍ය විෂය ජනප්‍රිය කරවීම

  6. ප්‍රවීණයන්ට මඟපෙන්වීම හා නවකයන් දිරිගැන්වීම

(අනාගතය විනිවිද දුටු මහා ප්‍රාඥයා එඩ්වින් ආරියදාස- සරත් ජයසිංහ)

ජනසන්නිවේදනය සරසවියට

මූර්ති දැක්මකට පැමිණි අවස්ථාවක්- wijayabandara wmk fb පිටුවෙන්

1972 දී ජනසන්නිවේදනය විශ්වවිද්‍යාල විෂයයක් ලෙස ඉගැන්වීමට තීරණය කරනවා. මුල්ම ජනසන්නිවේදන අංශය කැලණිය විශ්වවිද්‍යාලයේ ඇරඹීමට යෝජිත වුණා. එයට පෙර ඒ පිළිබඳ හේතු සොයන්නට පත් කළ කොමිසමේ සභාපතිවරයා වූයේත් ආචාර්ය ආරියදාස යි. එම විෂයය ඉගැන්වීමට බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසත් ඔහු දායක වුණා. කොළඹ විශ්වවිද්‍යාලයට මෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයටත් ජනසන්නිවේදන විෂය ඉගැන්වීමට ඔහුගේ සහයෝගය සහ දායකත්වය ලබාදුන්නා.

අලුත් වචන

ජනසන්නිවේදනයට සහ තොරතුරු තාක්ෂණයට අදාළ අලුත් වචන රාශියක් ඔහු සිංහලෙන් නිර්මාණය කළා. සමිප රූප (Close up), සජීවීකරණය (Animation), මාධ්‍යරූප (Graphics), අන්තර්ජාලය (Internet), උස්තල මුද්‍රණය (Letterpress),  සමතල මුද්‍රණය (Offset), පටුපිටු (Tabloid), පුළුල් පිටු (Broadsheet) ඒ අතරින් කිහිපයක් පමණ යි.

ඔහු ග්‍රන්ථ රාශියක් සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන් ද ලියා තිබනවා. පොත් රැසක් සිංහලට පරිවර්තනය කිරීම ද කර තිබෙනවා. එවරස්ට් දිනපොත, අමෙරිකන් විප්ලවයේ අරුත, 2001 ලෝකය, අමෙරිකන් ඉතිහාසයේ ජීවමාන වාර්තා, හුදෙකලා කලාකරු, නිවැරදිව සිතන මග ඔහු සිංහලට පරිවර්තනය කළ කෘති කිහිපයක්. කේ. ජයතිකලගේ චරිත තුනක් පොත ඔහු ඉංග්‍රීසියට පරිවර්තනය කළේ Three Characters නමින්.

සම්මාන

හිටපු ජනපති මෛත්‍රී අතින් සම්මානයක් ලබාගනිමින් – thecolomboexpress.com

සම්මානවලින් නම් ඔහුට කිසි අඩුවක් තිබුණේ නැහැ. ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් ඔහු හිමිකරගෙන තිබෙනවා.  

ලැබුණු සම්මාන සිය ගණනක් අතරින් ශ්‍රී ලංකා රජයෙන් කලාකීර්ති සම්මානය ලැබුණේ 1992 දී යි. රුහුණු විශ්වවිද්‍යාලයයෙන් ඔහුට “රෝහණ ප්‍රදීප” සම්මානය 2003 දී පිරිනමනවා. ඔහුට සම්මාන ආචාර්ය උපාධිය පිරිනමන්නේ කැලණිය විශ්වවිද්‍යාලයයෙන්.

තනිකඩ තරුණයා

එඩ්වින් ආරියදාස හැමවිටම සිනහ මුහුණින් සිටි කෙනෙක්. ඔහු නිතර පවසන්නේ තමන් දීර්ඝායුෂ විඳීමේ රහස කිසිවකුට වෛර නොකරන, කිසිදින තරහ නොගන්නා නිසා බව යි. පියකරු ප්‍රසන්න පෙනුමකින් යුත් ඔහුට තරුණ කාලේ පෙම්වතියන් කිහිපදෙනෙකු සිටි බව සඳහන්.

මම ඒ කවුරුවත් අහිමිකර ගන්නට කැමති වුණේ නැහැ. හැමෝටම ආදරෙයි. ඒ හින්දා එක්කෙනෙක්වත් බැන්ඳේ නැහැ. ඔහු පවසා තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

http://www.lankanews24.com

අනාගතය විනිවිද දුටු මහා ප්‍රාඥයා එඩ්වින් ආරියදාස- සරත් ජයසිංහ

කවරය- ආචාර්ය එඩ්වින් ආරියදාස -Rukshila Wettamuni fb page

Related Articles