වංග තරුණියකට පෙම් බැදි ශ්‍රීලාංකික සංගීතවේදියා

මෙරට සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා විශිෂ්ට සේවාවක් කළ අයකු ලෙස සංගීතවේදී එඩ්වින් සමරදිවාකර හැඳින්විය හැකි ය. සංගීතයට උපන් හපන්කම් දැක්වූ ඔහු වංග තරුණියකට පෙම් බැඳීම නිසා වරක් ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් නෙරපා දැමූ අතර එය ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීමක් විය. කෙසේ හෝ එම තරුණිය සමඟ විවාපත් වන එඩ්වින් සමරදිවාකර නැවැත මෙරටට පැමිණ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේ ය.

මෙම ලිපියෙන් අපි එඩ්වින් සමරදිවාකර නම් වූ ඒ සංගීතවේදියාණන් පිළිබඳ ව සොයා බලමු.

එඩ්වින් සමරදිවාකර  – ගාන්ධර්ව අපදානය 3- මහාචාර්ය සුනිල් ආරියරත්න

උපත හා අධ්‍යාපනය

1916 වසරේ ජූලි මස 22 වැනිදා මීගමුව, කටානේ දී උපත ලැබූ එඩ්වින් සමරදිවාකරගේ පියා දොම්පේ පැලහැල වලව්වේ විලියම් සමරදිවාකර වූ අතර මව කටානේ පී.ඩී එලිසබත්ය වූවා ය. එම පවුලේ එකම පුතු වූ එඩ්වින් කටානේ ශාන්ත ඇග්නස් රෝමානු කතෝලික පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර වැඩිදුර අධ්‍යාපනය සදහා මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයට ඇතුළත් විය.

පොල්වතු පාලකයකු වූ එඩ්වින්ගේ පියා විනෝදාංශය වශයෙන් වයලීන් වාදනය කළ අතර මෙය එඩ්වින් තුළ ද සංගීතය පිළිබඳ ව කැමැත්තක් ඇති කිරීමට සමත් විය. මේ අනුව සංගීතයට යොමු වූ එඩ්වින් සහජ කුසලතාවයෙන් ම ජපන් මැන්ඩලීන් හා ඉංග්ලිෂ් මැන්ඩලීන් අපූරුවට වාදනය කිරීමට සමත් විය.

ඔහුගේ මේ  දක්ෂතාව පිළිබඳ සඳලංකාව ප්‍රදේශයේ භාරත සංගීත සමාජය නම් ආයතනයක් පවත්වාගෙන ගිය ටියුඩර් සුබසිංහ නම් තැනැත්තාට ආරංචි වන අතර ඔහු තම ආයතනයට එඩ්වින් බඳවා ගත්තේය. ඒ සමග ම පාසල් ජීවිතය අවසන් කරන එඩ්වින් කටානේ ඩී.සී තෙල් මෝලෙහි ලිපිකාර තනතුරක් ලබා ගන්නා අතර ඒ අතරතුර සංගීතය ද හැදෑරී ය.

එඩ්වින් සමරදිවාකර මැදිවියේදී – miyurasavindana.net

සංගීත භාණ්ඩ සමග විවිධ පර්යේෂණ කරමින් උගත් සමරදිවාකරට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට පිවිසීමට ද හැකියාව ලැ‌බෙන අතර ඔහු එකල ද සැබෑ දක්ෂයකු බව ගුවන්විදුලියේ සිංහල වැඩසටහන් සම්පාදකවරයා වූ ඩී.ඇම්. කොළඹගේ පවසා ති‌බේ. මෙසේ මොහුගේ දක්ෂතා දියුණු වනු දුටු ටියුඩර් සුබසිංහ ඔහු භාරතයට අධ්‍යාපනය සදහා යැවීමට කටයුතු කර තිබිණි.

ශාන්ති නිකේතනයේ උසස් අධ්‍යාපනය ලැබීම

 එඩ්වින් ඉන්දියාවේ ‌බෝල්පූර්හි පිහිටි ශාන්ති නිකේතනයට 1945 වසරේ දී ඇතුළත් වූ අතර එහිදී ඔහුගේ ගුරුවරයා වූයේ සුසිල් කුමාර් භංජා චෞද්රී වන අතර සුප්‍රකට සංගීතවේදී අලවුදීන් ඛාන්ගේ ශිෂ්‍යයකු වූ සුසිල් කුමාර් වෙතින් ඔහු සිතාර් හා සරෝද් වාදනය ඉගෙන ගත්තේ ය.
ශාන්ති නිකේතනයේ දී සමරදිවාකරගේ කල්‍යාණ මිත්‍රයා බවට පත් වුයේ පසුව මෙරට ප්‍රකට සංගීතඥයකු බවට පත් වූ ඩබ්ලිව්. ඩී. මකුලොලුව යි.

ප්‍රේම වෘත්තාන්තය

විසි නව හැවිරිදි වියේ දී ශාන්ති නිකේතනයට ගිය සමරදිවාකරට ඒ කාලයේ දී ප්‍රේම සම්බන්ධයකට සිත් පහළ වූ අතර ඒ අනුව ශාන්ති නිකේතනයේ සංගීත් භවන්හි ශිල්ප ශාස්ත්‍ර හදාරමින් සිටි වංග යුවතියක් වූ ප්‍රීති ඝෝෂ් සමඟ ඔහු ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගෙන තිබිණි. ඇය ධනවත් ප්‍රභූ පවුලක  දියණියක් වූ අතර ඇගේ පියා ටාටා සමාගමේ ඉංජිනේරුවරයෙක් විය. ඔවුන්ගේ නිවස ද ශාන්ති නිකේතනයට නුදුරින් විය. සමරදිවාකර  ප්‍රීතිට දුන් පෙම් පතක් හසු වීමෙන් ඇයගේ මව්පියෝ ‌බෙහෙවින් කුපිත වූහ. ඔවුහු මේ ගැන ශාන්ති නිකේතනයේ පාලනාධිකාරයට දැන්වූහ. එහි ප්‍රතිඵලය වූයේ සමරදිවාකරගේ  පන්ති තහනම් කොට ශිෂ්‍ය නේවාසිකාගාරයෙන් ඔහු නෙරපීමයි.

එඩ්වින් සමරදිවාකර සිය පෙම්වතිය සමග – ගාන්ධර්ව අපදානය 3- මහාචාර්ය සුනිල් ආරියරත්න

ඒ අනුව ඔහු අසල පිහිටි වෙනත් ස්ථානයක නවාතැන් ගත් අතර සිය දක්ෂ ශිෂ්‍යයාට සිදු වූ අකරතැබ්බය ගැන කනගාටු වූ සුසිල් කුමාර් ගුරුතුමා ඔහුගේ අලුත් නවාතැනට ගොස් අඛණ්ඩව ඉගැන්වීම කටයුතු කර ඇත. ඒ අතර වාරයේ දී ඔහු ප්‍රීතිගේ නිවැසියන් හමු වී සමරදිවාකරගේ දක්ෂකම් ගැන පවසා එවැනි දක්ෂ සංගීත ශිල්පියකු ඔවුන්ගේ පවුලට සම්බන්ධ වීමේ වැදගත්කම පහදා දී ඇත. ඒ අනුව ප්‍රීතිගේ මව්පියෝ සිය පැමිණිල්ල ඉල්ලා අස් කරගත් හ. එයින් පසුව නැවතත් සමරදිවාකරට ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමි විය.

1949 දී ප්‍රීති ඝෝෂ් විවාහ කර ගත් සමරදිවාරකර පෙරළා ලංකාවට පැමිණ ඇත. එතැන් පටන් කොළඹ, මීගමුව, වෙන්නප්පුව, කටුනේරිය, කුලියාපිටිය ආදී ස්ථානයන් හි ඔහු සංගීත පන්ති පැවැත්වූ අතර පසු ව ඔහු චිත්‍රසේන කලායතනයට ද සම්බන්ධ විය.

සංගීත ක්ෂේත්‍රයට කළ සේවාව

1952 වසරේ ඔක්තෝම්බර් 1 වැනිදා ගුවන් විදුලි සංස්ථාවට බැඳුණු එඩ්වින්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා ඉතිහාසයේ ප්‍රථම වරට ස්ථාපිත ස්ථිර වාදක මණ්ඩලයේ නායකයා ද විය. ඔහුට ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වීම සදහා උපකාර කරන ලද්දේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ය.

ගුවන් විදුලි ඉතිහාසයේ ප්‍රථම සරෝද් සහ සූර්බහාර් යන වාද්‍ය භාණ්ඩවලින් වාදන ඉදිරිපත් කළ සංගීත ශිල්පියා ලෙස එඩ්වින් සමරදිවාකර නාමය සටහන් වන අතර, මෙරට ප්‍රථම ගුවන් විදුලි නාට්‍ය වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කළ මනෝහාරී ගීත නාටකයේ සංගීත සම්පාදනය සඳහා ද ඔහු දායක විය. ඉන් අනතුරුව ඔහු සංගීතවත් කළ ගුවන් විදුලි ගීත නාට්‍ය ලෙස සෝණ ගංතීරය, පේමතෝ ජායතී සෝකෝ, සුභානි, යසෝධරා, ඍතු සංහාරය ආදිය හඳුන්වා දිය හැකි ය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන් නිෂ්පාදනය කළ රත්තරන් සහ කදාවළලු වේදිකා නාට්‍ය ද්විත්වය සඳහා මෙන් ම චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ විශාඛා නාට්‍ය සඳහා ද එඩ්වින් විසින් සංගීත අධ්‍යක්ෂණය කර තිබිණි.

සමරදිවාකර යුවළ සිය පුතුන් දෙදෙනා සමඟ –  ගාන්ධර්ව අපදානය 3- මහාචාර්ය සුනිල් ආරියරත්න

සමරදිවාකර සංගීත අධ්‍යක්ෂණය කළද එක ම චිත්‍රපටය ලෙස සඳහන් වන්නේ 1958 වසරේ දී තිරගත වූ දස්කම චිත්‍රපටයයි. පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කරන “ඉපිද මැරේ” යන අතිශය ජනප්‍රිය ගීතයත් එහි එන එක් ගීතයකි. ගංතෙර, කුරුලු බැද්ද යන චිත්‍රපට සඳහා සංගීතය නිර්මාණය කිරීමට ඔහුට පැවරී තිබුණ ද ඔහුගේ හදිසි අභාවය හේතුවෙන් එම නිර්මාණ සිදු කිරීමට නොහැකි වූ බව සඳහන් වේ.

ගුවන් විදුලිය වෙනුවෙන් එඩ්වින් සමරදිවාකරයන් තේමා වාදන හා අතුරු වාදන රාශියක් නිර්මාණය කළ අතර 1959 දී සැප්තැම්බර් 26 වැනිදා සිදු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ප්‍රචාරය කිරීම සදහා නිර්මාණය කළ වාද්‍ය සංගීතය ඒ අතුරින් සුවිෙශ්ෂී වේ.

යුග දිවිය

සමරදිවාකරයන් සිය වංග ජාතික බිරිය සමඟ ඉතා යහපත් යුග දිවියක් ගත කළ අතර ඇය ද ගුවන් විදුලියේ ගීත ගායනා කිරීම ද සිදු කර ඇත. 1959 වසර වන විට මෙම දෙපළට  පිරිමි දරුවන් දෙදෙකු වූ අතර කුළුඳුල් දරුවා ග්ලැඩ්වින් හා දෙවැනි දරුවා ඩොනල්ඩ් නම් විය. 1959 වසරේ දී ප්‍රීති තවත් දරු ප්‍රසූතියකට සූදානම් වූ නිසා ඇය දරුවන් දෙදෙනාත් කැටුව ‌බෙංගාලයේ සිය මව්පිය නිවස බලා ගිය අතර මාස කිහිපයකින් ඇය හා දරුවන් කැඳවා ගෙන ඒමට එන බවට සමරදිවාකර පොරොන්දු විය.

අවසාන කාලය

1959 වසරේ ඔක්තෝම්බර් මස 8 වැනිදා උදෑසන තම සිය රිය පදවා ගෙන එඩ්වින් සමරදිවාකරයන් ගුවන්විදුලි සංස්ථා කාර්යාලයට ගිය අතර එහිදී ඔහුට හෘදයාබාධයක් වැළඳිණි. වහාම ‌රෝහල්ගත  කෙරුණ ද ස්වල්ප වේලාවකින් ඔහු මිය ගියේ ය. මිය යන විට දී ඔහු 43 වැනි වියෙහි පසු විය.

සමරදිවාකරයන්ගේ සොහොන් කොත – ගාන්ධර්ව අපදානය 3- මහාචාර්ය සුනිල් ආරියරත්න

සිය සැමියාගේ හදිසි අභාවය දැනගත් ප්‍රීති පෙරළා ලංකාවට පැමිණි අතර අවමංගල්‍ය කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කටාන හල්පේ රෝමානු කතෝලික සුසාන භූමියේ දී සිදු විය. සිය සැමියාගේ වියෝවයෙන් අනතුරු ව නැවතත් විදෙස් ගත වන ප්‍රීතිට රෑමා යනුවෙන් දියණියක ලැබුණු අතර ඉන් අනතුරුව ඔවුන් පිළිබඳ ව තොරතුරු අනාවරණය නොවී ය.

කවරයේ පින්තූරය- ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියේදී සිතාරයක් වයන එඩ්වින් සමරදිවාකරයන්- ගාන්ධර්ව අපදානය 3- මහාචාර්ය සුනිල් ආරියරත්න 

මූලාශ්‍ර-

ගාන්ධර්ව අපදානය - 3  - මහාචාර්ය සුනිල් ආරියරත්න 

www.miyurasavindana.net

 www.lankadeepa.lk

Related Articles